ඒ දඟකාර හිනාවමද මේ? – 2 කොටස


ලී ගේ කාමරේ හොයා හොයා ඇවිදින කොට කොරිඩෝවේ කෙලවරින් එකපාරට මතුවුනේ තවත් ආචාර්ය උපාධි අපේක්ෂක ශිෂ්‍යයෙක් වෙන ජින්. කවුරු උනත් ගෑණු ළමයෙක් දැක්කොත් මල්සරා වගේ හිනා වෙලා හායි හූයි ගාන එක ජින් ගෙ පුරුද්දක්. එදා මාව දැකල ‘හායි බියුටි’ කියල කෑ ගැහුව පාරට නම් මට තිබුන බය වාෂ්ප වෙලා ගිහින් හිනා ගියා හොඳටම.
‘ජින් ඔයා මොකද මෙහෙ කරන්නේ?’
‘අපූ මම මගේ සුපවයිසර් ආචාර්ය ඇන්ඩෲ ව මුණගැහෙන්න ආවා. ඔයා ඇයි මේ දොරවල් දිහා බල බල යන්නේ? කාවද හොයන්නේ? ‘ ජින් ට ප්‍රශ්න ගොඩයි. මගේ නම අපුර්වා උනාට එයාට ඒක කියාගන්න බැහැ. මගේ නම අහපු මුල් දවසෙම ‘අපුර්වා’ කියද්දී දිව උලුක් වෙනවා කියල එයාම ‘අපූ’ කියල දා ගත්ත.
‘මගේ සුපවයිසර් ලී ගෙ කාමරේ හොයන්නේ. මට එයා එක්ක මීටිමක් තියෙනවා. ඔයා දන්නවද එයා ඉන්න තැන?’
‘ආහ් ලී ඉන්නේ අර පැත්තේ … එන්න මම පෙන්නනම්. යමු.’
ජින් පස්සෙන් යන ගමන් මට ආයෙත් මතක් උනේ ඉසුරු. එක පාරටම නම් ඉසුරු ජින් ට සමාන කරන එක මහා විකාරයක්. ඉසුරු ලංකාවේ සිංහල කොල්ලෙක්. ජින් චීන ජාතික කොල්ලෙක්. ඒ උනාට ජින් ට තිබුනෙත් ඉසුරුගේ අර නාහෙට නාහන දඟ හිනාවමයි. මේ මට පේන හැටිද? කෙනෙක් අමතක කරන්න හදන කොට අහක ඉන්න අයත් ඒ වගේ පේන්න ගන්නවද? මට තේරෙන්නේ නෑ. මේ වගේ වෙලාවක මේ වගේ මළ මඟුල් හිතෙන්නේ ඇයි?
‘ලී හරිම දක්ෂ යි. ඔයා හරිම වාසනාවන්තයි එයා යටතේ වැඩ කරන්න හම්බෙච්ච එකට.’ ජින් කිව්වේ මගේ අවුල් වෙච්ච සිතුවිලි දාමයට බාධ කරමින්.
‘ඔන්න අපූ අපි තැනට ආව. මේ තියෙන්නේ ලී ගෙ කාමරේ. එහෙනම් මම යනවා.’
‘ලොකු උදව්වක් ඔයා කරේ ජින්. ගොඩක් ස්තුති.’
ජින් ට සමු දීල මම දොරට තට්ටු කරා.
ලී මොන විදියේ කෙනෙක්ද දන්නේ නෑ. ජින් නම් එයාගේ ෆෑන් කෙනෙක් වගේ. මගෙන් අහන ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න ඕන. නැත්තම් පළවෙනි දවසෙම හිතයි මේ මොන මැටි කෙල්ලෙක්ද කියල. නෑ නෑ එහෙම ඍණ විදියට හිතන්න නරකයි. ආත්ම විශ්වාසය තියෙන්න ඕනා.

කාමරේ ඇතුලින් ‘කම් ඉන්’ කියල ඇහුන නිසා එහෙම හිතාගෙන මම දොර ඇරන් ඇතුලට ගියා.

ලොක්කව හම්බෙන දවස – 1 කොටස


උදෙන් නැගිටින්න හිතාන හිටියත් සරත් සමයේ සීතලට මට ඇඳේ ගුලිවෙලාම ඉන්නයි හිතුනේ. සරත් ඍතුව කියන්නේ සීතල පටන් ගන්න කාලේ. ලංකාවේ ගිනි රස්නේ ඉඳන් ආපු මට ඒකත් ගැහෙන තරමට සීතල. ඒත් ඉතින් මොනා කරන්නද… ගෙදරදී වගේ තේ හදල ‘නැගිටින්නේ  නැද්ද පුතේ’ කියල කෑගහන්න අම්ම ළඟ නෑනේ. එලාම් ඔරලෝසුවට පණ තියෙනව නම් අස්වීමේ ලිපිය බාර දීල ගොඩක් කල්. තුන් හතර පාරක්ම ‘ස්නුස්’ බොත්තම ඔබ ඔබ ඉදල අන්තිමට නැගිටින කොට 7 ත් පහුයි. ඒත් උදේ 7 කියල කියන්නවත් බෑ – එච්චරට කළුවරයි. කොහොම හරි අද නින්දෙන්ම වගේ මං නාල කාල ලැහැස්ති උණා.
අද මට විශේෂ දවසක්. ආචාර්ය උපාධියට  ඇවිත් සතියක් ගෙවුනත් අද තමයි මගේ මහාචාර්ය වරයා හම්බෙන්නේ. එයා මෙතුවක් කල් විදෙස් ගත වෙලා හිටි නිසා මගේ මුල් සතිය ගෙවුනේ කාර්යාලය සකසා ගන්න, ශිෂ්‍ය ලියාපදිංචි වීමේ කටයුතු වගේ දේවල් කරන්නයි. හරියට වැඩ පටන් ගන්න යන්නේ අද තමයි ලොක්ක හම්බ වෙලාම.
ඇත්තම කියනවා නම් හිතේ පොඩි බයකුත් තියෙනවා. මොකද ගෙවුණු සතිය තුළ අනිත් ආචාර්ය උපාධිය කරන ළමයි හම්බ වෙලා කතා කෙරුවා. ඒ අතරින් සමහර අය එයාලගේ මහාචාර්ය තුමාට පණ බයයි. අනික සමහරුන්ගේ මතයක් තිබුන ආසියාතික – විශේෂයෙන්ම චීන සම්භවයක් තියෙන මහාචාර්ය/ආචාර්ය වරු ටිකක් ‘සැර’ යි කියල. මගේ එක්කෙනත් චීන ජාතිකයෙක් නිසා මේක මගේ හිතේ වැඩ කරා.
ලැබ් එකට යනකොට උදේ නවයත් පහු උනත් ඒ වෙනකොට ඇවිත් හිටියේ තව කීප දෙනෙක් විතරයි. මට ඉස්සරහින්ම ඉන්නේ ඉන්දියන් ජාතික කල්පන්. එහා කොනේ සිතාරා – තවත් ලංකාවෙන් ආපු කෙල්ලෙක්. එදා හිටියේ ඒ දෙන්න විතරයි ඒ වෙනකොට.
‘මොකද හලෝ මේ මෝහිනී වගේ? ගිහින් කොණ්ඩේ පීර ගන්නවා. ලොක්ක හම්බෙන්න යන කොට පිළිවලට යන්න එපැයි’ සිතාරා හිනා වේවි කිව්වේ හුළඟට අහුවෙච්ච මගේ කොණ්ඩේ දැකල. සරත් කාලෙට මෙල්බන් නගරයේ හරිම හුළං. ට්‍රෑම් රථයෙන් බැහැල කැම්පස් එකට ඇවිදින කොට සීතල හුළං ඇවිත් දිග කොණ්ඩ අයාලේ යවනවා.
‘එයා යන්නේ මහාචාර්ය වරයා හම්බෙන්න මිසක් බෝයි ෆ්‍රෙන්ඩ් හම්බෙන්න නෙවෙයි’ කල්පන් කිව්වේ මං දඩි බිඩියේ කොණ්ඩේ පිරද්දී.
මෙයාලට විහිළු. මමනේ දන්නේ මං බයේ ඉන්න තරම.එහෙම හිත හිත මං ලැබ් එකෙන් පිට උනේ මහාචාර්ය ලී ගේ කාමරේ නම අතේ ලියාගෙන, ගොඩනැගිලි සිතියමෙන් තැනත්බලාගෙනයි.

කතන්දරයක ඇරඹුම


කතන්දර කියන්නේ පුදුම දේවල්. කතන්දරයක අයිතිය තියෙන්නේ කාටද? ඒක කියන කෙනාටද? නැත්තම් ඒක අහන කෙනාටද?
කවුරු හරි කතාවක් කිව්වම ඒක අහන කෙනාගේ හිතේ මැවෙන්නේ ටිකක් වෙනස් වෙච්ච එයාටම අනන්‍ය කතාවක්. කතා පොතක් කියවල විඳින රසය එකේම චිත්‍රපටිය බැලුවම එන්නේ නැත්තේ ඒකයි.

ඉතින් මේ ලියන්න යන කතාව උනත් එහෙමයි. මේකේ අයිතිය මටද? ඔබටද?
මගේ කතාව ඔබේ කරන් රස වින්දොත් ඒක ඔබටම අයිති වේවි. අනික මම මේ ලියන්නේ මගේම කතාව නොවෙන්නත් පුළුවන්. බාගවිට මේක ඔබේ කතාව වෙන්නත් පුළුවනි.

එහෙනම් එන්න මාත් එක්ක කතන්දර ගමනක…!