බහු වරණ ස්නේහය


කියල දෙනවද අපි දෙන්න අතරේ
තියෙන බැඳීම මොකද්ද කියල?
හැම දෙයක් ගැනම මහ ලොකුවට
කියවන පණ්ඩිතය නේ …
හැම දේටම හිනාවෙවී
මාවත් හිනාගස්සපු මගේ විකටයා
ඇයි අද මුකුත් නොකිය
මා දිහා බලා ඉන්නේ?
එයාට මම ආදරෙයි.
එතකොට ඔයා?
මම දන්නේ නෑ

ආදරය – රාගය – මිත්‍රත්වය – සහෝදර ප්‍රේමය!
නිවැරදි වචනය යටින් ඉරක් අඳින්න

මේ පේපර් එක නම් මං ෆේල් වෙයි වගේ…

ඔබ නැති නම් මිහිපිට නැත මම


රසබර රහසක බින්දක් පෙන්වා සදහටම අතරමං කලැයි ඔබ නිතරම ගතු කිවු, සැන්දෑ යාමයන් හිඳී තුරු සෙවනකට මුවා වී ඔබ සිප සනසා ලු, නිරතුරු වම ඔබේ රුව සෙවූ, ඔබ මහත් සේ ආදරය කල මගේ දෙනයන … ඉතින් ඔබ ව නොපෙනේ නම් එපා මට. කඳුළු සළනවා හැරෙන්නට වෙන කිසිවක් කරන්නට මේ දෙනෙත් දැන් අසමත්ය.
මුහුදු වෙරළේ සෙල්ලක්කාර සුළඟට රැවටී නිතරම අයාලේ ගිය, ඔබේ අතැඟිලි පහසට පමණක්ම අවනත වූ, පිච්ච මල් සුවඳ දෙන්නේ යැයි කියමින් ඔබ වත සඟවා ගත්, මගේ අකීකරු දිගු අක් බමරු කෙහෙ රැල්… කවර පළක්ද ආදරයෙන් ඇවිත් පැටලෙන්නට නැත්නම් ඔබේ ගත? කපා විසි කර දමන්නට සිතේ මට.
තනිකමින් සිටිද්දී ඔබේ සුන්දර සිත දැක, එක මොහොතින්ම පෙර සසරේ බැඳි සෙනෙහෙ හඳුනාගෙන, ඔබේ තනි අයිතියට පරාන භුක්තියක්වත් නැතිව මා විසින් සපුරා පවරා දුන් මගේ ඉරි තැලුණු හදවත… ඔබත් සමගම අතුරුදන්වී ගොස් ඇත. පපු කුහරයේ හිස් තැනක් පමණක් ඇත. ඔබ යන විට දී යන්නට අමතක උනාද?

ඔබ නැති තුසිතයද මට දුරු කතරකි.
ඔබ නැති සෑම මොහොතක්ම කල්පයකි.
අවදියක් නැති බියකරු සිහිනයකි.

ඇඟිලි ගනිමින් සිටිමි මම
ගමන නිමවී නැවතුම් තිත පෙනෙන තෙක්.

එක එක ජාතියේ මල්…4 කොටස


ජින්ට කෑම ඇනවුම් කරන්න කියල මම කැන්ටිම කෙළවර එළිමහනට ලංවෙන්න තිබුණු මේසයක වාඩිවුණා. දවල් කෑම වෙලාව නිසාද කොහෙද කැන්ටිම සරසවි තරුණ තරුණියන්ගෙන් පිරිලා.එක එක ජාතිවල කට්ටිය. සුදු, කළු, දුඹුරු – යුරෝපිය, ආසියාතික, අප්‍රිකානු – ඔය හැම වර්ගයකම අය. ඇත්තටම මෙල්බර්න් නගරය කොච්චර බහු සංස්කෘතික ද?

‘කෑම ලෑස්තියි මහ රැජිනියනි’ සැන්ඩ්විච් පිඟන් දෙකක් අරන් ජින් ඉක්මනටම ඇවිත්.

ජින්ගේ කෝලම් වලට හිනා වේවිම මම සැන්ඩ්විච් එකක් අතට ගත්තේ බඩ පනුවෝ ඒ වෙනකොට මහා උද්ඝෝෂණයක් ආරම්භ කරලා තිබුන නිසා.

‘ඔයා මොනවා ගැනද හිත හිත හිටියේ අපූ? මං දැක්ක ඔයා බර කල්පනාවක ඉන්නවා. හා හා මං දන්නවා… ඔයා ලංකාවේ ඉන්න බෝයි ෆ්‍රෙන්ඩ් ගැන නේද හිතුවේ?’

‘ලංකාවේ ඉන්න බෝයි ෆ්‍රෙන්ඩ් ගැන මොකටද හිතන්නේ ජින්? එයා ලංකාවෙනෙ…මං කල්පනා කරේ මෙල්බර්න් වලින් බෝයි ෆ්‍රෙන්ඩ්ස් ල තුන් හතර දෙනෙක් සෙට් කරගන්නේ කොහොමද කියල…’

මාත් අත ඇරියේ නෑ. ඒ දවස් වල යාලුවෝ ඉසුරුට කියනවා ‘ඕයි තමුසෙටම ගැලපෙන බෝක්කු කටක්නේ තමුසෙගෙ හාමිනේටත් තියෙන්නේ. උඹලගේ ළමයි අනිවා පාර්ලිමේන්තු යවපන්.’ කියල. ඕක මතක් වෙලා හිනා යන්න ආවත් අමාරුවෙන් තද කර ගත්තේ ඊට පස්සේ ජින් අහන ප්‍රශ්න පත්තරේට උත්තර ලියන්න වෙන නිසයි.

‘නෑ ජින්. මම කල්පනා කරේ මෙල්බර්න් වල කොච්චර රටවල් වලින් ආපු අය ඉන්නවද කියල.’

‘ඔව් එක ඇත්ත. මම මෙල්බර්න් වලට කැමති එක හේතුවක් ඒක. මම ඔස්ට්‍රේලියාවට එන්න කලින් චීනෙන් පිට කොහේ වත් රටකට ගිහින් තිබුනේ නෑ. හැබැයි මෙහෙට ආවට පස්සේ මට හිතෙනවා ලෝකේ හැම රටකම නියෝජිතයෝ මෙහෙ ඉන්නවා කියල. කොහෙන් ආවත් මිනිස්සු මිනිස්සුම තමයි අපූ. අපි අතරේ තියෙන සංස්කෘතිමය වෙනස්කම් නිසා අපි බේද වෙන්න ඕන නැහැනේ. එක එක ජාතියේ අය ඉන්නකොට එතන අමුතු ලස්සනක්, විශේෂත්වයක් මම දකිනවා. එකම ජාතියේ මල් තියෙන පාත්තියකට වඩා එක එක ජාතියේ මල් තියෙන පාත්ති මට ලස්සනට පේනවා.’

‘ඔව් ඔයා කියන දේට මාත් එකඟයි. ඒ උනාට ගොඩක් මිනිස්සු තමන්ට වඩා වෙනස් අයට අකමැතියි නේ. නේද?’

‘අපූ එහෙම කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි, එයාල හිතන්නේ තමන් ජිවත් වෙන විදිය තමයි මනුස්සයෙක්ට ජීවත්වෙන්න තියෙන එකම විදිය කියල. තම තමන්ගේ ආගමේ නැත්නම් සංස්කෘතියේ දෘෂ්ටි කෝනෙන් තමයි හැම දෙයක්ම දකින්නේ.’

‘එහෙම දැක්කට කමක් නෑ ජින්. හැබැයි එයාල ඒ දැක්මෙන්ම අනිත් මිනිස්සුන්ව වර්ග කරලා ලේබල් ගහන එක තමයි මට දිරවන්නේ නැත්තේ.’

පිස්සු වහන්ගතයක් වගේ හිටියට ජින් ට සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා ගැඹුරු ජීවන දර්ශනයක් තියෙනවා කියල මට මුලින්ම දැනෙන්න ගත්තේ එදා උනු මේ කතා බහෙන් පස්සෙයි…

පසුපසින් හඹා එන කහ මලින් සැරසුණු මාවතේ මතක පෙරහැර – 3 කොටස


මහාචාර්ය ලී ගේ මිටීම ඉවර වෙනකොට දවල් වෙලා. ආපහු ලැබ් එකට යන ගමන් අද දවල්ට මොනවාද කන්නේ කියල හිතල බැලුව.
කැන්ටින් එකේ කෑම ගණන් වැඩියි. ලොකු රහකුත් නෑ. ඒ උනාට ඉතින් මොනවා කරන්නද. අද නැගිටිනකොට පරක්කු උන නිසා මුකුත් හදන් එන්නත් බැරි උනානේ.
‘ආහ් මේ එන්නේ … කොහොමද මීටින් එක? පැයක් විතර ගියා නේද? නැගල ගියාද?’ ලැබ් එකේ දොර ඇරන් යන කොටම සිතාරා කෑ ගහලත් ඉවරයි.
‘අවුලක් නෑ සිතාරා. ලී ට එච්චර වයස නෑ වගේ. සැර පාටකුත් නෑ. අපි ඉස්සරහට කරන්න ඉන්න වැඩ ගැන පොඩි කතා බහක් කරේ. මගේ පර්යේෂණයට වැදගත් වෙයි කියල හිතපු ලිපි කීපෙකුත් දුන්න. මේ’
මම බරට බරේ අතේ තිබුන ෆයිල් එක පෙන්නන ගමන් කිව්වා. සිතාරා මට වඩා  මාස හයකට කලින් ආචාර්ය උපාධිය පටන් ගත්ත කෙනෙක්. ඒ වගේම වයසිනුත් මට වඩා අවුරුදු කීපෙකින් වැඩිමහල්. ඒක නිසා මම ගොඩක් දේවල් ගැන උපදෙස් ගත්තේ එයාගෙන්.

‘මාර බඩගිනියි … ඔයා දැන්ම කනවද සිතාරා?’

‘ම්ම්ම් මම මේ වැඩේ ඉවර කරලම කන්න කියල අපූ… ඔයාට බඩගිනි නම් කන්න. එකට කමක් නැහැ.’

සිතාරා පස්සේ කන්නම් කිව්වා නිසා මම මොනා හරි කැන්ටින් එකෙන් කන්න හිතාගෙන ඒ පැත්තට ගියා.

අපි ඉන්න ගොඩනැගිල්ලේ ඉඳන් කැන්ටිම දිහාට ටිකක් දුරයි. කැන්ටිම දිහාට යන්න තියෙන කෙටිම මාර්ගේ ‘Memorial Drive’ හෙවත් අනුස්මරණ මාවත දිගේ කෙලින්ම යන එකයි. හෙවනට ලොකු අතු තියෙන ගස් වවපු ඒ පාරේ ඇවිදින්න ආස හිතෙන තරමට සෞන්දර්යාත්මකයි. නම නොදන්නා ඒ ගස් හෙවනේ ඇවිද ගෙන යද්දී මට මතක් උනේ ඒ වගේම තවත් ලස්සන හෙවනින් යුතු මාවතක්. ඒ මාවතත් විශ්ව විද්‍යාලයක් මැදින් යන, දෙපැත්තේ අවුරුදු ගානක් වයස ගස් තියෙන සුන්දර එකක්. අනුස්මරණ මාවත දෙපැත්තේ තිබුන ගස් වල රෝස පාට මල් තිබුනට මගේ හදවතේ අමරණිය වෙලා තිබුණු ඒ අනික් මාවත හැමදාම සැරසුනේ කහ මලින්. අනුස්මරණ මාවතට හැතැප්ම දහස් ගානක් එහා මුහුදෙන් එතෙර පුංචි රටක දුවිල්ලෙන් පිරුණු ගෙන්දගම් නගරයක සැඟවිලා තිබුණු ඒ ලස්සන මාවතේ කොච්චර නම් ලස්සන මතක සටහන් වැළලිලා ඇත්ද?
නමුත් ඒ ලස්සන මතක කෙළවර උනේ අන්තිමට කොච්චර අවලස්සන විදියටද? ඒ පෑරුණු හිත හදාගන්න අන්තිමට මම ඒ ගෙන්දගම් නගරය විතරක් නෙවේ මගේ පුංචි දිවයිනත් දාලා දුර රටකට ආව. ඒ උනාට ඒ කහ මලින් සැරසුණු මාවතේ මතක පෙරහැරත් මාත් එක්කම මුහුදු තරනය  කරන් ඇවිත් වගේ…

‘අපූ! ඔයා මුණ ගැහුණු එක කොච්චර එකක්ද!’ එක පාරටම ඇහුනු සුපුරුදු කටහඬකින් මම ගැස්සිලා බැලුව. මටත් නොදැනීම මම කැන්ටින් එක ළඟටම ඇවිත්. පිටි පස්සේ ඉඳන් කෑ ගහල තියෙන්නේ ජින්.

‘හායි ජින්! අද මම ඉව්වේ නෑනේ. කැන්ටින් එකට ආවේ කන්න කියල.’

‘අඃ හොඳයි හොඳයි, අද ඔයා මාත් එක්ක ලන්ච් ගන්න ඕනේ. මමත් මේ කම්මැලි කමේ හිටියේ තනියම කන්න.’

‘එහෙනම් ඔන්න ඔයා අද මගේ ගයිඩ් වෙන්න හොඳේ… මම කැන්ටින් එකට අලුත්. තාම එක පාරයි කාල තියෙන්නේ. රස කෑම මොනවාද කියල ඔයා කියන්න ඕනේ.’