ගොළු හදවත – 2 කොටස


<<< පළමු කොටස මෙතනින් …

සාමාන්‍යයෙන් සිදුවන පරිදිම පෙම්වතියක් ලද පසු චන්නගේ යහළුවන් ආශ්‍රය අඩු විය.
‘දැක්කද චන්නත් කාර් එකක් අරන්’ දිනක් මිතුරියක් මා සමඟ කියා සිටියාය.
‘ඇත්තද … වෙන්නැති එහෙනම්. දැන් යන්න ගමනුත් ඇති නේ’
‘කෝ ඔයා යාළුවගේ විස්තර දන්නවා මදිනේ… නතාෂා වෙන්නැති කාර් එක අරන් දුන්නේ. තාම කැම්පස් අවුට් වෙලත් නැතුව චන්න කොහොමද කාර් ගන්නේ’
‘හ්ම්’
වැඩි සෝබනයක් නොපෙන්නුවත් චන්නගේ දෙමාපියන් ද ධනවත් බව මම මිතුරිය හා කියන්නට ගියේ නැත.

පෙරදී පැය ගණන් ඕපාදුප, රට තොට විත්ති, නවකතා, චිත්‍රපටි ආදිය ගැන දෙඩවූ මගෙත් චන්නගේත් කතාබහ අහම්බෙන් මඟදී හමුවෙන ‘හායි – බායි’ කීමකට සීමා වී ගියේය. අවසන් වසරේ විෂය තෝරා ගැනීමේදී මම ඕනෑ කමින්ම චන්න තෝරා නොගනී යයි සිතු විෂය තෝරා ගත්තෙමි. ඔහුගේ රුචි අරුචි කම් හොඳින් දැන සිටි මට මෙය අපහසු කාර්යයක් වුයේ නැත.

අවසන් විභාග ප්‍රතිපල පැමිණි දින මම  පුවරුවේ ඉදිරිපස සිටගෙන මගේ ප්‍රතිපල කියෙවුයෙමි. මගේ අංකය ට අදාළ ලකුණු බලාගත් පසු ඇස ගියේ චන්නගේ අංකය වෙතය.
මට සිනහ නැගිණි.
මගේ ප්‍රතිපල ලියාගන්නට පෑනක් සොයමින් අනෙක් පස හැරුනෙමි.
‘අහ් චන්න … ඔයාව දැක්කේ දැන්නේ’
‘පෑනක් නේද හෙව්වේ. මෙන්න පෑනක්…’ මම කතා නැතිව ඔහුගෙන් පෑන ගතිමි.
‘සඳමිණි ඉහලින්ම පාස් වෙලා. කන්ග්රැට්ස්!  බැච් ටොප් නේද? ආව් ආව්’
‘ඉතින් ආව් ආව් මම විතරද? කියන කෙනාත් බැච් ටොප් නෙවෙයිද?’ මම සිනා සෙමින් ඇසුවෙමි.

‘ඒක තමයි… බලන්න ඔයාල දෙන්නම එකම ලකුණු! හරි ශෝක් අනේ… මේක සෙලිබ්‍රෙට් කරන්න අද අපි කොහෙන් හරි කමු. ඔයත් එන්න සඳා’ හදිසියේ එතනට ප්‍රතුර්භුත වූ නතාෂා චන්නගේ අතේ එල්ලෙමින් පැවසුයේ තොදොල් වෙමිනි.

ඒ වසරේ සම ලකුණු ගනිමින් පළමු පෙළ සාමාර්ථ හිමි කර ගත් ‘බැච් ටොප්’ ලා දෙදෙනෙකු විය.

සරසවියේ අප හමුවූ අවසාන දින එය විය. සුව වීමට ඔන්න මෙන්න තියෙන තුවාල කෝටුවකින් ඇන නැවත පාරා නොගන්නෙමි යි මම අදිටන් කර ගතිමි.

චන්න හා නතාෂා විවාහ වීමට යන බව මට ආරංචි වුයේ ඉන් වසරකට පසුය. ඒ වන විට මම ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට කටයුතු සුදානම් කොට තිබුණි.

චන්න මට දුරකතනයෙන් අමතා මඟුල් කීවේ මා රට හැර යාමට දින දෙකකට පෙරය.
‘ඔයාට එන්න වෙන්නේ නැති විත්තිය මම දන්නවා. ඒත් මගේ වෙඩින් ඒක ඔයාට නොකිය කොහොමද’ විවාහ උත්සවය යෙදී තිබුනේ මා යන දවසට සති දෙකකටත් පසුවය.
මම ඔහුට සුභ පැතුවේ මුළු හදින්මය. මට අහිමි සතුට වෙනකෙක් හෝ හිමි කර ගැනීම යහපත් දෙයකි. මම ඒ ගැන සිතා සතුටු වුයෙමි.

දුරු රට කම්මැලිකමෙන් සිටි වෙලාවක මුහුණු පොතේ සැරි සරද්දී ඔවුන් දෙදෙනාගේ මංගල ඡායා රූප දුටිමි. කඩවසම් මනමාලයාත් හින්දි නිලියක් සේ දිස්වූ මනමාලියත් දෙස බලා මම සුසුමක් හෙළිමි.

මෙල්බන් හි පදිංචියට විත් දෙවසරකට පසු ශිත ඍතුවේ රාත්‍රියක අතු පතර විසිරි තිබු විශාල ගසක් මුල් ඉදිරි වැටෙනු සිහිනෙන් දැක නොසන්සුන් වී අවදි වුයෙමි. රාත්‍රිය සීතල වුවත් ඒ වන විට දිගට වවා තිබුණු කෙස් කළඹ දහදියෙන් තෙමී තිබිණ.
ගුප්ත විද්‍යා ගැන විශ්වාසයක් නොතිබුණද අනාගතය ගැන අපැහැදිලි සහගත අවිනිශ්චිත හැඟීමක් මා තුල ජනිත කරවීමට මේ සිද්ධිය සමත් වුයේ ඇයි දැයි නොදනිමි…

අවසන් කොටස ඊ ලඟට ….

ගොළු හදවත – 1 කොටස


 

නවකතා හෝ හින්දි චිත්‍රපට වල එන පරිදි මා ඔහු දුටු පළමු දිනයේ මල් වරුසා ඇද හැලුනේ වත් පසුබිමේ පෙම් ගී ගැයුනේ වත් නැත. අප නෙත් හමුවූ පළමු වර මට ආත්ම ගණනාවක පෙමක් මතක් වුයේද නැත. ඇත්ත වශයෙන්ම මට සරසවි බිමේදී ඒ සුදුමැලි හීන්දෑරි රුව දුටු පළමු වර කිසිම විශේෂයක් නොහැඟුණ බව සහතිකය.

පළමු හමුවීම කෙසේ වෙතත් සරසවියේ මුල් මාස කිහිපය තුළම ඔහුත් මාත් සුහද මිතුරන් බවට පත්වුනෙමු. ‘සඳමිණි’ නම දිග වැඩි කියා කවුරු කවුරුත් මට ‘සඳා’ කියා ඇමතුවත් චන්න කෙදිනකවත් මට එසේ නො ඇමතුවේය. කතාවේ දක්ෂයෙකු වූ ඔහු හා පැය ගණන් දුරකතනයෙන් හෝ සරසවි බිමේදී දොඩමලු වූ විටෙක විටෙක විහිළුවක් කියා ‘හා මල්ලී’ හෝ ‘අනේ මචන්’ වැනි වචන ඔහුට වැරදී කියවෙයි. එවිට ‘ආ සොරි මල්ලී නෙවෙයිනේ’ කියා ඔහු සිනාසෙයි. අහිංසක මිනිසුන්ට ‘මඩ’ ගැසීමටත් කොල්ලන් ‘බයිට්’ කිරීමටත් උපන් හපන් කමක් තිබු මාද චන්න ට විහිළු කරමින් පැය ගණන් සිනා සෙමි. අප දෙදෙනාගේ වචන හරඹ දකින බැචාලා සහ බැචිලා ද ‘මුන් දෙන්නටම මාර වචන සෙට් නේ තියෙන්නේ. කොහෙන් කටට එනවද මන්ද මේවා’ යැයි කියමින් සිනාසෙයි. විවේකයක් ලද විටක විශ්ව විද්‍යාල තණ පිටියේ ඇසළ ගස් සෙවනේ හිඳ කාඩ් ක්‍රීඩා කිරීම අප මිතුරු හවුලේ සිරිත විය. හවුල් කරුවෙක් සමඟ කරන ‘ඕමි’, ‘304’ වැනි සෙල්ලම් කරන සම විටම චන්නත් මාත් කෙසේ හෝ එක පිලට වන්නෙමු. මෙය අහම්බෙන් සිදු වුවක්ද නැතහොත් දෙන්නාම කාඩ් ක්‍රීඩාවේ කෙළ පැමිණි බව දන්නා නිසා දිනීමේ අභිප්‍රායෙන් අප එසේ කලාදැයි මට මතකයක් නැත. කෙසේ නමුත් දෙදෙනා එක පිලට වන සැම විටම අපි ජය ලැබූ බව නම් මතකය.

තල එළලු පෙනුමක් සහ සිහින් සිරුරකින් යුතු මා කෙදිනකවත් සුරුපිනියක් නොවූයෙමි. මා ‘ලස්සන’ යැයි කවුරුන් හෝ කීවානම් ඒ මගේ අප්පච්චි පමණය. මගේ අනිත් යෙහෙලියන් මෙන් රූපය ගැන එතරම් උනන්දුවක් හෝ දැනීමක් මට එකල නොවීය. නිතරම අවුල් වන ඝන අක්බමරු කෙස් කළඹ ගැන මට උපන් තරහ නිසා දෙඋර දක්වා කොටට කපා පොඩි ‘පෝනියක්’ බැඳගෙන සිටීම මගේ සිරිත විය. විශ්ව විද්‍යාලයේ අනික් සිසුවියන් පෙම්වතෙක් ගැන උනන්දුවෙන් තරුණයන්ට ඉඟි බිඟි පාද්දී ඒ ගැන කිසිත් උනන්දුවක් හෝ ප්‍රතිචාරයක් මා නොදැක්වුයේ සමහර විට මා තුල කුඩා කල සිටම මුල් බැසගෙන තිබුන මා අවලස්සන එකියෙකයි යන සිතුවිල්ල විය හැකිය. නොඑසේ නම් ලැජ්ජාව නිසා විය හැකිය. ආඩම්බර කම වීමටද පුළුවන. හේතු කෙසේ වෙතත් ප්‍රේමය ගැන කිසිම හැඟීමක් නැති කෙල්ලක ලෙස මා හංවඩු ගැසී තිබුන බව පසු කලෙක මම දැන ගතිමි.

මා විසින් සමච්චලයට හඳුන්වනු ලැබූ ලෙස ‘චන්න ගේ නතාෂා නාඩගම’ ඇරඹුණේ සරසවියේ දෙවන වසර මුල දිය. නතාෂා… ඔව් ඇය නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුරුපිනියකි. ඉතා පැහැපත් පෙනුමැති ඈ ඡවි කල්‍යාණයෙන් පමණක් නොව ඉණ තෙක් දිගු වරලසක්ද ඇත්තියක වුයේ කේශ කල්‍යාණය ද හිමි කාරියකි. ඈ සරසවියට ආවේ අප මෙන් කට්ට අව්වේ බස් පෝලිම්වල හිටගෙන සිට තැලී පොඩිවී තදවී නොවේ; ඇගේම මෝටර් රථයෙනි. වෙනත් වචන වලින් කියනවා නම් ‘පොෂ් කෑල්ලකි’; ‘කිරි කිරි ටොයියෙකි’.

චන්න ඇය ගේ පෙම්වතා වීමට ප්‍රයත්න දැරීමට පටන් ගැනීම මගේ ඉමහත් උපහාසයටත් කෝපයටත් හේතු විය.

ඊටත් වඩා මේ ‘නාඩගම’ මට මහත් වේදනාවක් ගෙන දුන්නේය.

නාඩගම නටන්නට පටන් ගත් දා සිට මම ලද හැම අවස්ථාවකම ඔහුට අපහාස කලෙමි. දේශන වලදී නොතේරෙන දේ ගැන අන්තර්ජාලයෙන් වැඩිදුර සොයාගෙන අනිත් යටත් කියා දීමට ඒ දිනවල චන්න පුරුදු වී සිටියේය. දිනක් අප දෙදෙනා කැන්ටිමේ මේ ලෝක රහක් නැති කොත්තුවක් ගිල දමමින් සිටියෙමු.
‘අප්පේ කෙල්ලෙක් කැමති කරගන්න විඳින දුකක්’ ඔහු එකවර මා දෙස බලා පැවසුවේය. මහත් සේ කේන්ති ගත් මම ‘ඇයි ඉතින් ඔයා ඕකත් ඉන්ටනෙට් එකෙන් හොයා ගත්ත නම් ඉවරයිනේ… කෙලින්ම ගුගල් එකේ ගහල බලන්න නතාෂා ව යාලු කර ගන්නේ කොහොමද කියල’ යයි පැවසුවෙමි.
‘හඃ නතාෂා!’
‘ඔව් නතාෂා තමයි.!’ මම ඔරවමින් පැවසුවෙමි.
‘එතකොට ඔයා කියන්න බලන්න මම ඊ ලඟට මොකද්ද කරන්න ඕනේ කියල. මං කිව්වේ මගේ මේ නාඩගමේ ඊළඟ ජවනිකාව කොහොමද රඟපාන්න ඕනේ? කියන්න බලන්න…’

‘ඊළඟට දහ අට සන්නිය වත් නටල බලන්න’ චන්න දෙස හැකි තරම් උපහාසයෙන් බලා පැවසූ මම එතනින් නැගිට ඉවතට ගියෙමි.

එදා ගෙදර ගිය මම මෝඩ කෙල්ලක මෙන් කොට්ටයක් බදා ගෙන ඉකි ගසමින් හැඬුවෙමි.

ඒ සිද්ධියෙන් පසු අප අතර වැඩි කතා බහක් නොවීය. දින කිහිපයකට පසු මට ඔහුගෙන් ඇමතුමක් ආවේය.
‘ඔයාට මට දෙයක් කියන්න තියනවා. විභාගේ ඉවර වෙනකම් මම හිටියේ මේක කියන්න…’
මගේ හදවත ගැහෙන්නට විය.
‘ඉතින් අහන්නේ නැද්ද මොකද්ද කියල සඳමිණි?’
කුඩා කල සිටම මගේ ඔලුවේ පැත්තක බින්න බැහැගෙන සිටි, මා කන්නාඩියෙන් මුහුණ බලනා හැම විටම ‘උඹ මොනවාද ඔච්චර බලන්නේ.. උපන් කැත මකන්ට බැහැ’ කියමින් මා රිදවන යක්ෂණිය මෙවිට මා වෙනුවට කතා කරන්නට පටන් ගත්තාය.
‘හපොයි ඔයා ඉතින් කිව්වොත් මොකක් හරි නතාෂා ගැන නේ. තාම කිසිම ප්‍රගතියක් නැහැ වගේ… මට ඔයාගේ ඔය වල්පල් අහන්න නම් කිසිම අසාවක් නැහැ. මොකද්ද අනේ ඔයා ඕක එයාගෙන් අහල ඉවරයක් කර ගන්නකො’
ඔහු මොහොතක් නිහඬ විය.
‘ඉතින් ඇයි කෙලින් එයාගෙන් අහන්නේ නැත්තේ? නතාෂා කැමති උනොත් ඔයාට නරක් වෙලා තියෙයි…ඔන්න ඕක අහල දාන්න.’ මම උණ විකාරයෙන් මෙන් කියවන්නට වීමි.
‘අහන ප්‍රශ්නෙට ලැබෙන්නේ ඎණ ප්‍රතිචාරයක් කියල දන්නවනම් ඒ ප්‍රශ්නේ අහල තේරුමක් නෑ’
ඔහු කිවේ එපමණකි. දුරකථනය විසන්ධි විය.
එදින රෑ ද මගේ කඳුලින් කොට්ටය තෙත බරිත විය.

ඊට සති කිහිපයකට පසුව චන්න සහ නතාෂා පෙම්වතුන් වී ඇති බව සරසවිය පුරා පැතිර ගියේය…


ඊ ළඟ කොටසින් කතාවේ ඉතුරු ටික…

දවල් කෑමට ලක්සා … 5 කොටස


මගේ අධ්‍යයන කටයුතු පටන් අරන් මාස කිහිපයක් ගෙවුන. කොහොමින් කොහොම හරි දවල් කෑමට ජින් ව එකතු කර ගන්න එක මගේ දින චරියාවේ අංගයක් බවට පත් වුණා. සිතාරත් සමහර දවස් වලට අපිත් එක්ක කන්න ආවා. ඉගෙනීමේ කටයුතු වලින් හෙම්බත් වෙච්ච ඔළුවට පොඩ්ඩක් හරි විවේකයක් දෙන්න, විහිළුවක් කරලා හිනාවෙන්න ඉඩ ප්‍රස්ථාව ලැබුනේ ඒ වගේ වෙලාවක තමයි. එදත් දවල් කම වෙලාවේ උයාගෙන ආපු බත් එකත් අරන් මම කැන්ටින් එක පැත්තට ගියා.

හ්ම් වෙලාව 1 ත් පහුයි. කෝ මේ ජින්? … සිතාරා නම් එන්නේ නෑ කිව්වනේ.  ජින් එනකම් හොඳ තැනක් බලල වාඩි වෙන්න ඕනේ.

මම ලංකාවේදී උයන්න තියා කුස්සිය පැත්තකට වත් ගියා කෙනෙක් නෙවෙයි. ඔය ඉඳල හිටලා කේක් එකක් දෙකක් හැදුවට අඩු ගානේ පරිප්පු හොද්දක් වත් හදාගන්න මම දැනන් හිටියේ නෑ. හැබැයි ඉතින් මෙල්බර්න් අවට පස්සේ අනේ කියල මමත් තනියම උයන්න පිහන්න පුරුදු උනා… නෑ නෑ පුරුදු උනා නෙවෙයි පුරුදු වෙන්න උනා.

‘අපූ! ඔයා ගොඩක් වෙලාද ඇවිත්? සමාවෙන්න ඕනී. මට තාත්තාගෙන් කෝල් එකක් ආවනේ. ඒකයි පරක්කු උනේ’. ජින් අමුතුම කෑම ජාතියක් අරන් ඇවිත් කියනවා.
‘ඕක සමාව ඉල්ලන්න දෙයක්ද? අපි යාලුවෝ නේ… එක නෙවෙයි මොනාද ඔයා ඔය කන්න අරන් ඇවිත් තියෙන්නේ?’ නිකම් සුප් එකකට නුඩ්ල්ස් දාල වගේ. සුප් එකේ ඉස්සෝ පාවෙන වත් පේනවා.
‘මේවද? මේවට කියන්නේ ලක්සා කියල. මම නම් හරිම ආසයි. ඔයා මේවා කාල නැද්ද ?’