ගොළු හදවත – 1 කොටස

 

නවකතා හෝ හින්දි චිත්‍රපට වල එන පරිදි මා ඔහු දුටු පළමු දිනයේ මල් වරුසා ඇද හැලුනේ වත් පසුබිමේ පෙම් ගී ගැයුනේ වත් නැත. අප නෙත් හමුවූ පළමු වර මට ආත්ම ගණනාවක පෙමක් මතක් වුයේද නැත. ඇත්ත වශයෙන්ම මට සරසවි බිමේදී ඒ සුදුමැලි හීන්දෑරි රුව දුටු පළමු වර කිසිම විශේෂයක් නොහැඟුණ බව සහතිකය.

පළමු හමුවීම කෙසේ වෙතත් සරසවියේ මුල් මාස කිහිපය තුළම ඔහුත් මාත් සුහද මිතුරන් බවට පත්වුනෙමු. ‘සඳමිණි’ නම දිග වැඩි කියා කවුරු කවුරුත් මට ‘සඳා’ කියා ඇමතුවත් චන්න කෙදිනකවත් මට එසේ නො ඇමතුවේය. කතාවේ දක්ෂයෙකු වූ ඔහු හා පැය ගණන් දුරකතනයෙන් හෝ සරසවි බිමේදී දොඩමලු වූ විටෙක විටෙක විහිළුවක් කියා ‘හා මල්ලී’ හෝ ‘අනේ මචන්’ වැනි වචන ඔහුට වැරදී කියවෙයි. එවිට ‘ආ සොරි මල්ලී නෙවෙයිනේ’ කියා ඔහු සිනාසෙයි. අහිංසක මිනිසුන්ට ‘මඩ’ ගැසීමටත් කොල්ලන් ‘බයිට්’ කිරීමටත් උපන් හපන් කමක් තිබු මාද චන්න ට විහිළු කරමින් පැය ගණන් සිනා සෙමි. අප දෙදෙනාගේ වචන හරඹ දකින බැචාලා සහ බැචිලා ද ‘මුන් දෙන්නටම මාර වචන සෙට් නේ තියෙන්නේ. කොහෙන් කටට එනවද මන්ද මේවා’ යැයි කියමින් සිනාසෙයි. විවේකයක් ලද විටක විශ්ව විද්‍යාල තණ පිටියේ ඇසළ ගස් සෙවනේ හිඳ කාඩ් ක්‍රීඩා කිරීම අප මිතුරු හවුලේ සිරිත විය. හවුල් කරුවෙක් සමඟ කරන ‘ඕමි’, ‘304’ වැනි සෙල්ලම් කරන සම විටම චන්නත් මාත් කෙසේ හෝ එක පිලට වන්නෙමු. මෙය අහම්බෙන් සිදු වුවක්ද නැතහොත් දෙන්නාම කාඩ් ක්‍රීඩාවේ කෙළ පැමිණි බව දන්නා නිසා දිනීමේ අභිප්‍රායෙන් අප එසේ කලාදැයි මට මතකයක් නැත. කෙසේ නමුත් දෙදෙනා එක පිලට වන සැම විටම අපි ජය ලැබූ බව නම් මතකය.

තල එළලු පෙනුමක් සහ සිහින් සිරුරකින් යුතු මා කෙදිනකවත් සුරුපිනියක් නොවූයෙමි. මා ‘ලස්සන’ යැයි කවුරුන් හෝ කීවානම් ඒ මගේ අප්පච්චි පමණය. මගේ අනිත් යෙහෙලියන් මෙන් රූපය ගැන එතරම් උනන්දුවක් හෝ දැනීමක් මට එකල නොවීය. නිතරම අවුල් වන ඝන අක්බමරු කෙස් කළඹ ගැන මට උපන් තරහ නිසා දෙඋර දක්වා කොටට කපා පොඩි ‘පෝනියක්’ බැඳගෙන සිටීම මගේ සිරිත විය. විශ්ව විද්‍යාලයේ අනික් සිසුවියන් පෙම්වතෙක් ගැන උනන්දුවෙන් තරුණයන්ට ඉඟි බිඟි පාද්දී ඒ ගැන කිසිත් උනන්දුවක් හෝ ප්‍රතිචාරයක් මා නොදැක්වුයේ සමහර විට මා තුල කුඩා කල සිටම මුල් බැසගෙන තිබුන මා අවලස්සන එකියෙකයි යන සිතුවිල්ල විය හැකිය. නොඑසේ නම් ලැජ්ජාව නිසා විය හැකිය. ආඩම්බර කම වීමටද පුළුවන. හේතු කෙසේ වෙතත් ප්‍රේමය ගැන කිසිම හැඟීමක් නැති කෙල්ලක ලෙස මා හංවඩු ගැසී තිබුන බව පසු කලෙක මම දැන ගතිමි.

මා විසින් සමච්චලයට හඳුන්වනු ලැබූ ලෙස ‘චන්න ගේ නතාෂා නාඩගම’ ඇරඹුණේ සරසවියේ දෙවන වසර මුල දිය. නතාෂා… ඔව් ඇය නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුරුපිනියකි. ඉතා පැහැපත් පෙනුමැති ඈ ඡවි කල්‍යාණයෙන් පමණක් නොව ඉණ තෙක් දිගු වරලසක්ද ඇත්තියක වුයේ කේශ කල්‍යාණය ද හිමි කාරියකි. ඈ සරසවියට ආවේ අප මෙන් කට්ට අව්වේ බස් පෝලිම්වල හිටගෙන සිට තැලී පොඩිවී තදවී නොවේ; ඇගේම මෝටර් රථයෙනි. වෙනත් වචන වලින් කියනවා නම් ‘පොෂ් කෑල්ලකි’; ‘කිරි කිරි ටොයියෙකි’.

චන්න ඇය ගේ පෙම්වතා වීමට ප්‍රයත්න දැරීමට පටන් ගැනීම මගේ ඉමහත් උපහාසයටත් කෝපයටත් හේතු විය.

ඊටත් වඩා මේ ‘නාඩගම’ මට මහත් වේදනාවක් ගෙන දුන්නේය.

නාඩගම නටන්නට පටන් ගත් දා සිට මම ලද හැම අවස්ථාවකම ඔහුට අපහාස කලෙමි. දේශන වලදී නොතේරෙන දේ ගැන අන්තර්ජාලයෙන් වැඩිදුර සොයාගෙන අනිත් යටත් කියා දීමට ඒ දිනවල චන්න පුරුදු වී සිටියේය. දිනක් අප දෙදෙනා කැන්ටිමේ මේ ලෝක රහක් නැති කොත්තුවක් ගිල දමමින් සිටියෙමු.
‘අප්පේ කෙල්ලෙක් කැමති කරගන්න විඳින දුකක්’ ඔහු එකවර මා දෙස බලා පැවසුවේය. මහත් සේ කේන්ති ගත් මම ‘ඇයි ඉතින් ඔයා ඕකත් ඉන්ටනෙට් එකෙන් හොයා ගත්ත නම් ඉවරයිනේ… කෙලින්ම ගුගල් එකේ ගහල බලන්න නතාෂා ව යාලු කර ගන්නේ කොහොමද කියල’ යයි පැවසුවෙමි.
‘හඃ නතාෂා!’
‘ඔව් නතාෂා තමයි.!’ මම ඔරවමින් පැවසුවෙමි.
‘එතකොට ඔයා කියන්න බලන්න මම ඊ ලඟට මොකද්ද කරන්න ඕනේ කියල. මං කිව්වේ මගේ මේ නාඩගමේ ඊළඟ ජවනිකාව කොහොමද රඟපාන්න ඕනේ? කියන්න බලන්න…’

‘ඊළඟට දහ අට සන්නිය වත් නටල බලන්න’ චන්න දෙස හැකි තරම් උපහාසයෙන් බලා පැවසූ මම එතනින් නැගිට ඉවතට ගියෙමි.

එදා ගෙදර ගිය මම මෝඩ කෙල්ලක මෙන් කොට්ටයක් බදා ගෙන ඉකි ගසමින් හැඬුවෙමි.

ඒ සිද්ධියෙන් පසු අප අතර වැඩි කතා බහක් නොවීය. දින කිහිපයකට පසු මට ඔහුගෙන් ඇමතුමක් ආවේය.
‘ඔයාට මට දෙයක් කියන්න තියනවා. විභාගේ ඉවර වෙනකම් මම හිටියේ මේක කියන්න…’
මගේ හදවත ගැහෙන්නට විය.
‘ඉතින් අහන්නේ නැද්ද මොකද්ද කියල සඳමිණි?’
කුඩා කල සිටම මගේ ඔලුවේ පැත්තක බින්න බැහැගෙන සිටි, මා කන්නාඩියෙන් මුහුණ බලනා හැම විටම ‘උඹ මොනවාද ඔච්චර බලන්නේ.. උපන් කැත මකන්ට බැහැ’ කියමින් මා රිදවන යක්ෂණිය මෙවිට මා වෙනුවට කතා කරන්නට පටන් ගත්තාය.
‘හපොයි ඔයා ඉතින් කිව්වොත් මොකක් හරි නතාෂා ගැන නේ. තාම කිසිම ප්‍රගතියක් නැහැ වගේ… මට ඔයාගේ ඔය වල්පල් අහන්න නම් කිසිම අසාවක් නැහැ. මොකද්ද අනේ ඔයා ඕක එයාගෙන් අහල ඉවරයක් කර ගන්නකො’
ඔහු මොහොතක් නිහඬ විය.
‘ඉතින් ඇයි කෙලින් එයාගෙන් අහන්නේ නැත්තේ? නතාෂා කැමති උනොත් ඔයාට නරක් වෙලා තියෙයි…ඔන්න ඕක අහල දාන්න.’ මම උණ විකාරයෙන් මෙන් කියවන්නට වීමි.
‘අහන ප්‍රශ්නෙට ලැබෙන්නේ ඎණ ප්‍රතිචාරයක් කියල දන්නවනම් ඒ ප්‍රශ්නේ අහල තේරුමක් නෑ’
ඔහු කිවේ එපමණකි. දුරකථනය විසන්ධි විය.
එදින රෑ ද මගේ කඳුලින් කොට්ටය තෙත බරිත විය.

ඊට සති කිහිපයකට පසුව චන්න සහ නතාෂා පෙම්වතුන් වී ඇති බව සරසවිය පුරා පැතිර ගියේය…


ඊ ළඟ කොටසින් කතාවේ ඉතුරු ටික…

Advertisements

ප්‍රතිචාර 5 (+add yours?)

  1. SiriBiris
    ජන. 30, 2011 @ 18:34:54

    ෂා. හරිම ලස්සනයි, Ugly Duckling . ඉක්මනට දානවද 2 කොටස?

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. SiriBiris
    ජන. 30, 2011 @ 18:40:37

    මම පණ දාහෙන හෙව්වා, කෝ ඔයාගෙ ප්‍රොෆයිල් එකක් නෑනෙ. බනින්න එපා, අපිත් ආසයි ලියන අය ගැන දැන ගන්න ( ඒකද, සහජයෙන්ම එන, අනුන්ගෙ සීනි කිරන්න තියෙන ආසාවද මන්දා?)..හෙහ්..හෙහ්”

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. අමා
    ජන. 31, 2011 @ 05:03:17

    @SiriBiris
    ස්තුතියි!
    ඇයි අනේ ‘අමා’ කියල ප්‍රොෆයිල් එක පෙන්නේ නැද්ද? තරහ ගත්තේ නෑ ඔන්න. මන් හිතන් හිටියේ ඒක පේනවා කියල… සෙටින්ග්ස් වල බලන්නම්

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. SiriBiris
    ජන. 31, 2011 @ 05:32:41

    මොකද නොපෙනෙන්නෙ? පේනවා, පේනවා. පොඩි පරහකට තියෙන්නෙ, ඒකට කෙ‍ටුවාම, ආයෙත් ලස්සනට හිටපු තැනටම ගෙනත් දාන එකයි. තරහවට එහෙම නෙවෙයි, හැබැයි මං නං යුතුකමක් වශයෙන් පිං අනුමෝදන් කලා නං තමා, කිඹුහුන් එහෙම ගියෙ නැතෙයි?

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. Trackback: ගොළු හදවත – 2 කොටස « ස්නේහයේ නගරය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: