පොරොන්දුව – 1 කොටස


 

‘ඔය වාගේ ප්‍රාර්ථනා භයානකයි දරුවා’
යතිවරයාගේ ඒ අනතුරු ඇඟවීම ඔවුන්ගේ විමතියට කරුණු වුවද ප්‍රේමයෙන් ඔකඳ වී සිටි සෙන්පතිට සහ ඇයට එය අමතක වීමට වැඩි වෙලාවක් ගියේ නැත.
එය යළිත් ඇයගේ සිහියට ආවේ ඒ සුන්දර දිනයෙන් බොහෝ කලකට පසුය. ඒ යටගිය දින මෙන්ම වසන්තයේ මලින් වන හිස සැරසුණු උදෑසන හිරු රැසින් ලොවම නැහැවී ගිය දිනකි. එදා මෙන්ම වසන්තය තවමත් තුරුණුය. එහෙත් ඇයගේ අත අල්ලාගෙන අසීරුවෙන් හුස්ම ඉහළට පහළට හෙලන සෙන්පති දැන් මහලුය.ඔහුගේ යහනේ කෙලවරෙක හිඳ තෙත් වූ දෑසෙන් ඔහු දෙසම බලා සිටින ඇය වෙතින්ද තාරුණ්‍යය පළා ගොසින් බොහෝ කල්ය.

එකවරම ඔහුගේ ග්‍රහණය දැඩි විය. වසා සිටි ඇස් ඇරුණි. අවසානය ලංවී යයි වැටහී ගිය ඇය හද පැලීයන ශෝකයෙන් ඔහු වෙත නැඹුරු වුවාය.
‘ම මතක නේද…අපි දෙන්න… ප්‍රාර්ථනා කළා… පොරොන්දුව රකිනවා නේද’ ඔහු ඇගේ දෑස දෙස බලා විමසුවේ මහත් වෑයමෙනි.

පෙරලා පිළිතුරු දෙන්නට ගත් ක්ෂණයෙන්ම යතිවරයාගේ අනතුරු ඇඟවීම ඇගේ සිතට නැගුණි. එහෙත් එදා සිට මැණිකක් සේ ඇය රැක බලා ගත්, කිසිත් සංවේගයක් ඇයට නොවෙන්නට වග බලා ගත් ඔහුගේ ඉල්ලීම ඉවත දමන්නේ කෙසේද? මහනෙල් මල් ගොතා සැරසු ඇයගේ දිගු වරලේ අතැඟිලි පටලා ගෙන සුමුදු ලයේ හිස හොවා ආදර බස් මුමුණා රන්වන් නිතඹ සිප සනසා ඇය උමතු කල ඔහුට පිටු පාන්නේ කෙසේද? එතරම් වූ ආලයේ සිහිවටන සේ සුරතල් දු පුතුන් ඇයට තිළිණ කළ ඔහුගේ බසට කෙසේ නම් එරෙහි වන්ටද?

‘ඔව් මගේ දෙය්යෝ…ජාති ජාතිත්…මං පොරොන්දුව රකිනව’

ඇයගේ ශපථ කිරීම ඔහු ගේ සවනත වැටුණු අවසන් හඬ විය.

ගොළු හදවත – 3 කොටස


<<< දෙවෙනි කොටස මෙතනින්

පිටරට ජිවත්වන විට තමන් ගේ වැඩ තනියම කරගන්ට සිදුවේ. කවදත් තනි තීරණයට වැඩ කල මට මෙය වදයක් වුයේ නැත. තනිවම නිවෙසේ වැඩ කටයුතු කර ගැනීම මෙන්ම ගමන් බිමන් යාමට මෝටර් රියක්ද මා මිලදී ගතිමි. උදෙන් අවදිවී ඇඳ පැළඳ ගෙන කන්නාඩිය ඉදිරිපස වාඩිවී හිස පීරන මා, මා දෙසම  බලා සිනා සීමට පුරුදු වුයෙමි. ඔලුවේ පැත්තක බලෙන් බින්න බැස සිටි යකින්න ගේ ඇනුම් පද මට ඇසුනේ නැත. අද තද ශීතත්, හෙට තද රස්නෙත් ඇතිවන මෙල්බන්හි විකාර දේශගුණය ඔරොත්තු නොදීම නිසා යකින්න පැන යන්නට ඇත!

මා හට රැකියා ස්ථානයෙන් ලැබුණු සතියක නිවාඩුවට ඈත කඳුකර ගම්බද පෙදෙසකට යාමට මට සිත්විය. ‘ලස්සන ගෑනු ළමයි ඔයවගේ ලස්සන පළාත් වලට තනියම යන එක හරි අපරාදයක්’ මා නිවාඩු ගන්නා විට කාර්යාල සගයකු වූ සුදු ජාතිකයෙක් පැවසුවේය. හඬ නගා සිනා වීම හැර මා ඊට පිළිතුරු බඳින්නට ගියේ නැත.

නගරයේ ඝෝෂාකාරී පරිසරයෙන් ඈත්ව කඳුකරයට ගිය විට මහත් නිදහසක් අස්වැසිල්ලක් සිතට දැනුනි. මා නැවතුනේ ගොවිපලක් සහ චෙරි වත්තක් අල්ලා තනා තිබුණු කුඩා තානායමකය. මේ නිසා උදෑසනම දෙවූ නැවුම් කිරි සමඟ ප්‍රනීත චීස් බටර් ආදියද, එවෙලේ කැඩූ චෙරි වලින්ද එහි අඩුවක් නොවීය. සිත් වශී කරවන ස්වභාව සුන්දරත්වය උපරිමයට විඳීමට ඉටා ගත මම සැන්දෑ වරුවේ ඇවිදීමට ගියේ තනිවමය. තානායමෙන් ඉල්ලා ගත් සිතියමක් අනුව අවට කඳු වටේ කරක් ගැසීම මගේ ප්‍රධාන රාජකාරිය වී තිබිණ. ලංකාවේ මෙන් නොව ඉතා අඩු ජන ඝනත්වයක් ඇති ඕස්ට්‍රේලියාවේ එවැනි ගම්බද පෙදෙස් වල මිනිසුන් නැති ගානටය. ජන ශුන්‍ය සේ පෙනුණු පාලු පාරවල් ඔස්සේ පාර දෙපස ගව හා බැටළු පට්ටි නරඹමින් මීදුම අතරින් මම ඔහේ ඇවිද ගියෙමි.


ඒ සවස් යාමයේද සුපුරුදු ලෙසට කඳු තරණය කිරීමේ රාජකාරියේ නිරත වෙමින් සිටියෙමි. සීතල ඉඳිකටු වලින් අනින්නා සේ වැහි බින්දු වැටෙන්ට වුයේ එක වරය. සීතලට අඳින කබායේ හිස් වැස්ම පැළඳගත් නමුත් ඇට මිඳුළු හිරි වට්ටමින් හමන්නට වූ සුළඟින් බේරීමට හැකි වුයේ නැත. පාවහන් තෙමීම නිසා අයිස් වූ දෙපා වලින් ඇවිදින විට රිදුම් දෙයි. අත් වැසුම් අතරින්ද වැහි වතුර උපක්‍රම ශීලි ලෙස කාන්දු වී ගොස් අතැඟිලි සොයා ගෙන තිබුණි. තෙමුණු ඇඳුම් වල  සුළඟ වදින විට ගල් වෙන්නට තරම් සීතලය.
‘තානායමට කෝල් කරලා බලමු’
මම ගැහෙමින් ජංගම දුරකථනය එලියට ගත්තේ තව දුරටත් ඇවිදීම දෙතිස් වධයෙන් එකක් ලෙස දැනුනු නිසා වාහනයක් වත් ගෙන්වා ගැනීමේ අරමුණිනි.
‘නෝ රිසෙප්ෂන්’
දුරකථනයටත්, අදාළ සේවා දායකයාටත්, ග්‍රැහැම් බෙල්ටත් සාප කරමින් මම නැවතත් අත් බැඳගෙන ගමන් ආරම්භ කලෙමි. ඒ වන විට තානායමට පැය එකහමාරක පමණ දුරක් තිබුණි. වැස්සේ එතරම් දුරක් පයින් යාම කෙතරම් අසීරුද? ඒ මදිවාට සීතල! ඇත්තෙන්ම මා වැටී සිටියේ බලවත් අකරතැබ්බයකය. එහෙත් ඉදිරියට යාම හැර කුමක් කරන්නද?
කෙතරම් දුරක් කෙතරම් වෙලාවක් මා එසේ ගමන් කලාදැයි මට වගක් නැත. අධික ශීතල නිසා මා එතරම් පීඩාවට පත් වී තිබුණි.

මා ඉදිරිපසින් පැමිණි වාහනයේ නලා හඬවත්, එය මා පසු කර නවත්වනු වත් මට මතක නැත. කවරෙක් හෝ ‘සඳා’ යයි අමතනු ඇසුණා පමණක් මතකය.

මේ රටේ මට එසේ අමතන්නේ කව්ද?

මම විපිළිසර වී පිටුපස හැරුනෙමි. මේ මා අභියස සිටගෙන ඉන්නේ ඔහුමද?
‘සඳමිණි’
‘…. ඔ-ඔයා?  ච-චන්න…’ දැඩි සීතල නිසා මගේ දත කටද පූට්ටු වී ඇත.
‘කාරෙකට නගින්න සඳමිණි. ඔයා ගැහෙනවා.’
මේ මොනවා වත් මට සිතා ගත නොහැක. චන්න මෙහෙට පහළ වුනේ කෙසේද? මම කාරය තුලට එබිකම් කළෙමි. නතාෂා පෙනෙන්නට නොමැත.
මම මෝඩියක් සේ දෙඇස් විදහා ඔහේ හිට ගෙන සිටියෙමි.
‘ඉතින් සීතලේ මැරෙන්නද හදන්නේ? එනකම් බලා ඉඳල බැරිම තැන මං තානයමෙන් පාර අහගෙන හොයන්න ආවේ’
මගේ මොළය අවුල් වෙයි.
‘හොයන්න ආවා? මාව?’
එකවර කිසිත් දැනුම් දීමකින් තොරව නෝක්කාඩුවක් කියමින් වේගයෙන් හැමූ සුළං පහරෙන් එවර මා ගසා ගෙන නොගියේ යන්තමිනි. වැසි බිඳු කොණ්ඩය දිගේ රූටා ගොස් දෙකොපොල සිඹිමින් කබාය ඇතුලට ඇදෙයි. ශීතල තවත් දරුණු වූ සේය.
‘නගින්න නගින්න ඔය ආයිත් ඔයා වෙව්ලනවා…’ එවර ඔහු බලෙන්ම වගේ මා මෝටර් රථය තුලට නංවා ගැනීමට සමත් විය. රිය තුළ උණුසුම් උවත් මගේ තෙත බරිත කබාය මා තව දුරටත් සීතලෙන් කීරී ගස්සවයි. කබාය ඉවත් කරන්නට උත්සාහ කරත් ඒ වනවිට හිරි වැටී තිබුණු අතැඟිලි නිසා මා අසරණ වී ඇත.
චන්න කතා වකින් තොරවම කබායත් තෙත් වූ අත්වැසුමුත් ගැලවීමට උදව් වෙනවිට ප්‍රශ්න දහසක් මුවඟට නැගුනත් මා නිහඬව ඔහු දෙස බලා සිටියෙමි. මගේ කබාය රියේ පිටුපසට දැමු චන්න ඔහුගේ කබාය ගෙන මට පෙරවුයේ ‘හා ඔන්න දැන් හරි’ යයි කියමිනි. එහෙත් දැන් හරි නැත. කිසිදා හරි නොයන දේ සිදුවී හමාර බව ඔහුට නොතේරෙන්නේ ඇයි?
මටත් හොරෙන් මෝදුවූ කඳුළු කැටයක් සීතල කම්මුල් උණුසුම් කරමින් ඇදෙන්නට පටන් ගත්තේය.
‘සඳා අඬන්න එපා’
සඳා. සරසවියේ වසර හතරක් තිස්සේ වත් සඳා නොවී සඳමිණි ම වූ  මා අද සඳා වී ඇත. මට මෙසේ අමතන්නට ඔහු මෙතුවක් කල් බලා සිටියේ ඇයි? මා කෝප ගන්වමින් ඔහු මගේ කඳුළු පිසින්නට තැත් කළේය. හදවත කෙතරම් ඉල්ලා සිටියත් ඒ දෑතේ පහස මට අයිති නැත. එය දැන දැන ඔහු මා පෙළන්නේ ඇයි?

මම කෝපයෙන් ඔහුගේ අත ඉවතට ගසා දැමුවෙමි.
‘මට ඕන නම් මං අඬනවා. ඔයාට මොකද? මට ඕන නම් මං හිනාවෙනවා. ඕව කියන්න ඔයා මගේ හස්බන්ඩ් නෙවෙයි. ඔයා ඕව ගිහින් කියන්න නතාෂට.’
‘නතාෂා ට මගේ කතා අහල ඇති වෙලා හුඟක් කල්’ ඔහු මගේ දෙ අත් දෑතින්ම ගෙන පිරිමදින්නට වුයේ මගේ වෙව්ලීම නතර කිරීමට විය යුතුය. සීතල වී තිබුණු අතැඟිලි ඔහුගේ ස්පර්ශයෙන් සෙමෙන් උණුසුම් වන්නට විය.
‘මං හිතුව කෙනෙක් නැති හිස්තැන වෙන කෙනෙක් ගෙන් පුරවන්න පුළුවන් කියල. ඒත් සමහර හිස්තැන් එහෙම ඕන ඕන අයගෙන් පුරවන්න බෑ. මටත් නතාෂටත් දෙන්නටම බොරු වෙන් ජීවත් වෙන්න උවමනාවක් තිබුනේ නෑ’
‘එතකොට ඔයා… නතාෂා? කසාදෙ..?’
‘අපි වෙන්වුනා සඳමිණි.’ චන්න කතාව මදකට නතර කලේ රථයේ කොණක තිබූ උණු වතුර බෝතලයක් ගෙන රස්නය ඇති කෝපි කෝප්පයක් වත් කරන්නටය.
‘මාත් එක්ක තරහ උනාට කමක් නෑ මේක බොන්න… ඔයාට පොඩ්ඩ ඇත්නම් සෙම හැදෙනවනේ ඒ දවස්වල ඉඳන්’

‘මට ඔයාගේ කතාව අගක් මුලක් තේරෙන්නේ නෑ චන්න’
එවර ඔහු දුක්මුසු සිනාවක් නැගුවේය.
‘ඔව්. ඔයාට තේරෙන්නේ නැතුව ඇති. කොහොමත් අපි දෙන්නට අපි දෙන්න තේරුම් ගන්න බැරි උනානේ. කැම්පස් එකේ දී මං හිතේ තිබුණ දේ ඔයාට කියා ගන්න බැරුව හිටිය. ඔයා ලේසියෙන් කොල්ලෙක්ට කැමති වෙන කෙල්ලක් නෙවි කියල මට යාලුවෝ කිව්වේ’
‘එතකොට … නතාෂා ?’
‘ඒ නාඩගම පටන් ගත්තේ ඔයා ට ඉරිසියද කියල බලන්නයි…පස්සේ අන්තිමට… මං දන්නවා මං මහා මෝඩයෙක්’  ඔහු ශෝකය රැඳී දෙනෙතෙන් මදෙස බලා සිටි. එසේ නම් ඔහු මේ පැමිණ ඇත්තේ මා සොයා ගෙනද? සරසවියේදී සිදුවූ සිද්ධි දාමය මා සිතේ ඇදී ගියේය. සිදුවූ සමහර සිද්ධි, කියූ සමහර දේ, මේවාට මා දී ගත් අර්ථ කතන වැරදිද?
‘මං දන්නවා. ඔයාට ප්‍රශ්න ගොඩක් ඇති. ඒ හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න මං ලෑස්තියි. හැබැයි මේ මෝඩයාගේ කතාව අහගෙන ඉන්න ඔයා කැමති නම් විතරයි’ ලංව පවසන ඔහුගේ හුස්ම වැටෙන්නේ මගේ කෙස් රැළි වලට හාදු දෙමිනි.
මම ඔහුගේ දෙනයන ට එබුනෙමි. ඒවායේ ලියවී තිබුනේ ආදරය පමණි.
‘මෝඩයන්ගේ කතා අහන ඉන්නේ මෝඩියෝ’
ඔහුගේ මුහුණ මැලවී ගියේය.

‘ඔයා ඉස්සරහ ඉන්න ලෝකේ ලොකුම මෝඩි ඒ කතාව අහන්න ජිවිත කාලෙම උනත් බලන් ඉඳියි…’

ඔහුගේ දෙතොලේ සිනාවක් ඇඳී ගියේය.

මා තව දේවල් කියන්ට ගියත් ලබන්නට කල්පයක් පෙරුම් පිරූ ප්‍රේමනීය හාදුවක් ඔහුගෙන් ලැබෙන්නට වුයෙන් කතාව නැවතිණි…

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන . .
අනන්ත බාධක දුක් පීඩා විඳ . .
භවෙන් භවය යන මං සළකුනු දැක . .
ඔබව සොයා ආවා . . ඔබව සොයා ආවා . . .

සත් සමුදුරු තරනය කර ආවා . .
සත්කුලු පව් අතරින් දිව ආවා . .
තරු එලියෙන් පියවර මැන ආවා . .
ඔබව සොයා ආවා . . ඔබව සොයා ආවා . . .

නොනිමෙන ගමනක ආශා පොදි බැඳ . .
මිරිඟුව පසුපස දිව යන ඉකිබිඳ . .
දිවි දෙන වැයුමට ඔබ පසෙකින් හිඳ . . .
ඔබව සොයා ආවා . . ඔබව සොයා ආවා . . .

 

*************************************

මේ අවසානයට කැමති නැද්ද? Alternate ending මෙතනින්