‘ඔය වාගේ ප්‍රාර්ථනා භයානකයි දරුවා’
යතිවරයාගේ ඒ අනතුරු ඇඟවීම ඔවුන්ගේ විමතියට කරුණු වුවද ප්‍රේමයෙන් ඔකඳ වී සිටි සෙන්පතිට සහ ඇයට එය අමතක වීමට වැඩි වෙලාවක් ගියේ නැත.
එය යළිත් ඇයගේ සිහියට ආවේ ඒ සුන්දර දිනයෙන් බොහෝ කලකට පසුය. ඒ යටගිය දින මෙන්ම වසන්තයේ මලින් වන හිස සැරසුණු උදෑසන හිරු රැසින් ලොවම නැහැවී ගිය දිනකි. එදා මෙන්ම වසන්තය තවමත් තුරුණුය. එහෙත් ඇයගේ අත අල්ලාගෙන අසීරුවෙන් හුස්ම ඉහළට පහළට හෙලන සෙන්පති දැන් මහලුය.ඔහුගේ යහනේ කෙලවරෙක හිඳ තෙත් වූ දෑසෙන් ඔහු දෙසම බලා සිටින ඇය වෙතින්ද තාරුණ්‍යය පළා ගොසින් බොහෝ කල්ය.
එකවරම ඔහුගේ ග්‍රහණය දැඩි විය. වසා සිටි ඇස් ඇරුණි. අවසානය ලංවී යයි වැටහී ගිය ඇය හද පැලීයන ශෝකයෙන් ඔහු වෙත නැඹුරු වුවාය.
‘ම මතක නේද…අපි දෙන්න… ප්‍රාර්ථනා කළා… පොරොන්දුව රකිනවා නේද’ ඔහු ඇගේ දෑස දෙස බලා විමසුවේ මහත් වෑයමෙනි.
පෙරලා පිළිතුරු දෙන්නට ගත් ක්ෂණයෙන්ම යතිවරයාගේ අනතුරු ඇඟවීම ඇගේ සිතට නැගුණි. එහෙත් එදා සිට මැණිකක් සේ ඇය රැක බලා ගත්, කිසිත් සංවේගයක් ඇයට නොවෙන්නට වග බලා ගත් ඔහුගේ ඉල්ලීම ඉවත දමන්නේ කෙසේද? මහනෙල් මල් ගොතා සැරසු ඇයගේ දිගු වරලේ අතැඟිලි පටලා ගෙන සුමුදු ලයේ හිස හොවා ආදර බස් මුමුණා රන්වන් නිතඹ සිප සනසා ඇය උමතු කල ඔහුට පිටු පාන්නේ කෙසේද? එතරම් වූ ආලයේ සිහිවටන සේ සුරතල් දු පුතුන් ඇයට තිළිණ කළ ඔහුගේ බසට කෙසේ නම් එරෙහි වන්ටද?
‘ඔව් මගේ දෙය්යෝ…ජාති ජාතිත්…මං පොරොන්දුව රකිනව’
ඇයගේ ශපථ කිරීම ඔහු ගේ සවනත වැටුණු අවසන් හඬ විය.