සිහින කොහි සැඟවුනිද – 3 කොටස


සලාං!
තිගැස්සුණු මම හිස ඔසවා අම්මා දෙස නෙත් යවමි. ඇඳුම් අවුස්සන්නට ගොස් අල්මාරියෙන් බිම වැටුණු ආභරණ පෙට්ටිය ඈ බිම වාඩිවී ඇහිඳියි. කුඩා කලදී අම්මාගේම සුරතලිය වී සිටි මා මෙතරම් ඇයගෙන් දුරස් වුයේ කෙසේද? ඔහුට දුන් හදවතේ වෙන කිසිවෙකුට ඉඩක් නැති වීද?
නැත. කරුණු මෙසේ වීමට ඇයද වගකිව යුතුය.
හිමිහිට වළලු එකින් එක අහුලන ඇයගේ මුහුණ මට පෙනේ. පෙරදී නොතිබුණු ශෝකී බවක් දැන් කාලයක පටන් එහි ඇත. බිමට වැටුණු නිසා කැඩුණු මුතු පටක් ඈ යලි අමුනන්නට තැත් කරයි.
මට ඈ ගැන දුකක් මතුවේ.
‘ඕක තියන්න අම්මා. මං හරිගස්ස ගන්නම්’
එක අතකට අම්මා ට පමණක් දොස් කීම වැරදිය. ඇය උපන් දා පටන් ඇයගේ ඔළුවට දමා තිබුණු පරම්පරාවේ නම්බුවත්, වලව්වත්, කුලයත්, මේ විකාර අදහස් මේවාට මුල නොවේද?
පවුලේ උත්සවයකට යාමට ඈ අදි මදි කරන්නේ මා නිසාය. නෑ පිරිවර විසින් වටවෙන ඇය බාල දුවණිය පිලිබඳ ඔවුන්ගෙන් ගැරහුම් ලබයි.

‘අක්කේ දැන් දුවගේ කල වයසත් ගෙවිලා යනවා නේද…අවුරුදු විසි පහක් කියන්නේ සුළු පටු වයසකද ගැණු දරුවෙක්ට?’
ඔවුන්ට අනුව මා දැන් කාගේ හෝ ඇඟේ ගැසිය යුතුය.

‘ඔය ඉගැන්නුවා වැඩියි. අපේ කුල සිරිත් විදියට හැදුනේ නැති එකේ වැරැද්ද’
ඔවුන්ගේ දරුවන් ඉගෙන නොගත්තාට මා කුමක් කරන්නද? ඇරත් ඔය කියන නැන්දාගේ සුවච කීකරු පුතණ්ඩියාගේ ‘කුල සිරිත’ මම හොඳින් දනිමි.

”අර කලින් තිබුණු සම්බන්දෙ නැතුව ඇති නේද? ඕක කඩා ගත්ත එක හොඳයි. හපොයි අපිට පෑහෙන්න පුළුවන් එවුන්ද? ඕකුන් ඉස්සර අපේ පස්ස දොරින් ගෙට ගන්නේ’
හික්… මෙය නම් මට සිනා ගෙන දෙයි. ඔහුත් ඔහුගේ පවුලත් ‘අපට පෑහෙන’ තරම ගැන මොවුන් දන්නවා නම්!

අද මා මෙසේ අම්මා සමඟ උත්සවයට යාමට කැමති වුයේ මෙය ඇයගේ පැරණි යෙහෙළියකගේ ගෙදරක පැවැත්වෙන එකක් නිසාය. අප්පච්චි කවදත් වැඩි සමාජ ආශ්‍රයක් නැත. අම්මාට උවත් මා නැත්නම් මේ උත්සවයට යාමටද වරම් නොලැබේ.

අල්මාරිය අවුස්සා අම්මා මා ඇත තබන ඇඳුම මා අතට ගන්නේ කිසි හැඟීමකින් නොවේ. පෙරදී නම් අඳින පළඳින සෑම දෙයක් ගැනම මහත් උනන්දුවෙන් කටයුතු කල මට දැන් ඒවා ගැන වැඩි අසාවක් නැත. ඇරත් අද සාදයට එන අම්මාගේ මිතුරියන් මා දැක ඔවුන්ගේ පුතනුවන් වෙනුවෙන් මට යෝජනා ඉදිරිපත් කරන්නට ගන්නා බව මම අත්දැකීමෙන් දනිමි. අම්මා නිසා මේ ගමන ගියත් මේවා ගැන සිතන විට මට දැනෙන්නේ මහා අපුලකි.

‘දුව එහෙනම් අපි පිටත් වෙමුද? වහිනවත් එක්ක…ඔයාට මේ වැස්සේ එලවන්න පුලුවන්ද?’
අම්මා මගේ අනික් පැත්තය. ඇය වැස්සට කැමති නැත.
මා ගැන කියනවානම්…. මගේ ජිවිතයේ රසවත්ම මොහොතද වැස්ස හා බැඳී පවතී…මගේ සිහින ජීවය ලැබුවේ එදා ඇද හැලුණු වැසි බිඳු වලිනි…නමුත් මගේ සිහින අද සොයා ගැනීමට නොමැත. සිහින සැබෑ වන්නේ උත්සාහවන්තයන්ට බව මා අසා ඇත. එසේ නම් මා ද මේවාට වැරදි කාරියක්ද?…


අමාගේ සිහින සැඟවුනේ කොහිද? සිහින සැබෑ නොවුනේ ඇගේ වරදින්ද?  මීළඟ කොටසින්…

සිහින කොහි සැඟවුනිද – 2 කොටස


පිටුපසින් ඇසුණු හඬකින් තිගැස්සී වටපිට බැලූ මා දුටුවේ අඳුරේ සිටගෙන සිටින රුවකි. ගස් කොළන් වල සෙවනැලි නිසා හරියටම නොපෙනුනද කවරෙකු වුවත් හේ ආරෝහ පරිනාහ දේහදාරීයෙකු බව මට පෙණින. කිසි කතා බහක් නැතිව අඳුරේ සැඟවී සිටින මොහු කවුද? මට ඔහු නොපෙනුනත්, මා සිටි අඹ ගස් සෙවන හැර ඒ වටා වෙනත් උස අතු නොමැති නිසා පායා තිබුණු සඳ එළියෙන් ඔහුට මා හොඳින් පෙනෙන බව මට සිතුනි. සියුම් බියක් සිතට නැගෙන්නට විය. නමුත් දිරි වඩා ගත් මම බංකුවෙන් නැගිට, ‘කවුද ඔතන?’ යයි හඬ නගා ඇසුවෙමි.

සැඟවී සිටි රුව සෙවනැලි ග්‍රහණයෙන් මිදී සඳ එළියට ආවේය.

ඡවි වර්ණ සමකින් ද, දික්වූ ඍජු නාසකින්ද, යුතු කඩවසම් තරුණයෙකි. දෙතොලේ පොපියන මද සිනාවකින් යුතුව ඔහු මා දෙස විනිවිද යන බැල්මෙන් බලා සිටී.
‘අමා’ ඔහු කටහඬ අවදි කළේය. ‘මේ මම’.
ගල් ගැසුණු මම විසල් වූ දෙනෙත් අයා නොසෙල්වී සිටියෙමි. ඔව්. මේ ඔහුය. ඔහු මා හඳුනා ගත් ලෙස මමද ඔහු හඳුනා ගතිමි. මුලින් වූ බිය පහව ගියද, වෙනත් රිද්මයකට හදවත ගැහෙන්නට විය. තවමත් මා දෙස එක එල්ලේ බලා සිටින තරුණයා දෙස බලා මමද ඔහුගේ සිනාවට පෙරලා මදහසක් පෑවෙමි. ‘ඔයා? මෙතන?…ඔය කළුවරේ…’
ඔහුට අවැසි වී තිබුනේ ඒ අවසරය පමණක් සේය. අප අතර තිබුණු දුර පියවර කිහිපයකින් දුරු කළේය.
‘අමාට මාව මතකයි එහෙනම්’
පෙරදී නොතිබුණු දැලි රැවුලද, පළල් වූ උරතලයද, ගැඹුරු පිරිමි හඬද, ඔහු වැලිකෙලියේ සිටි කොලු ගැටයා නොව තේජසින් අනුන තරුණයෙක් බව කියා පෑවේය.
ඉන්පසුව ගෙවී ගිය දින කිහිපය සිහිනයක් සේ මගේ මතකයේ පවතී. සිහින උදැසන පිණි මෙන්ය. කෙතරම් පිරිසිඳු වුවත්, සුන්දර වුවත්, යථාර්ථයේ හිරු දුටු විට පරාජිතව වියැකී යයි.

අප දෙදෙනා ගෙන් කවුරු කාට ප්‍රේමය මුලින් ප්‍රකාශ කළාදැයි මට මතක නැත. කෙසේ නමුත් දෙදෙනාම යව්වන වසන්ත සමයේ පෙම් කිරුළින් ඔකඳ වී සිටි වග නම් මම දනිමි.

සෑම උදෑසනම වත්තේ ඇවිදින්නට යන බව කියන මම වහා යන්නේ වෙරළ සිපගන්නට පැමිණෙන රළ මෙන් ඔහු සොයා ය. අනෙක විධ තුරු ලතා වලින් පිරී තරමක වල් වැදී තිබුණු ගෙවත්තේ අපට සුව යහන් බොහොමයක් විය. ලතා මඩුල්ලකට මුවා වී ඔහුගේ බාහු අතර සිරවෙන මම ඔහුගේ දෙතොලින් අමුර්තය උරා බීවෙමි. මගේ දෙතොලින් නොසැහෙන ඔහුගේ අකීකරු දෙතොල් තවත් රස සොයා යයි…දිනෙක අසරණ ජේන් අම්මා මගේ හිස පිරද්දී තැන තැන ලා රත් පැහැ වී තිබුණු මගේ ගෙලත් උරිස්සත් දැක ‘අනේ පව් අප්පා…මයේ චුටි මැණිකේ ව මදුරුවෝ කාලා’ යයි පැවසුවේ මා සිනා ගස්වමිනි…

අප වරදක් කළාදැයි මා නොදනිමි. ආදරය කිරීම වරදක් නම් මා මරණීය දණ්ඩනයට වුව සුදුසු බව පමණක් දනිමි.

ආදරය කිරීමේ වරදට අමාට ලැබුණු දඬුවම කුමක්ද? ඊ ළඟ කොටසින්…

සිහින කොහි සැඟවුනිද – 1 කොටස


කන්නාඩියෙන් දිස්වෙන රුව දෙස මම බලාසිටිමි. පැත්තෙන් බෙදා පිටුපසට කර බැඳි ඝන කෙස් වැටියක්…කුඩා වටකුරු රන්වන් පැහැ ගත් මුහුණක්…ඒ මුහුණේ දිලිසෙන කළුවන් දිගු නෙත් යුවලක්…ඒ දෙනෙතෙන් කඩා වැටෙන්නට ඔන්න මෙන්න වූ දඩබ්බර කඳුළු කැට දෙකක්…

බොරු පුචානම් නොකියමි – මා සුරුපිනියක බව මම දනිමි. අහිංසක නැති වුවද, දුටුවන් මුලා කරන අහිංසක ලාමක පෙනුමක් මා සතුය. කුඩා කල සිටම කාගේත් සුරතලිය වී කෙළිලොල් ව කාලය ගත කල මා මෙතරම් මුරණ්ඩු වීමට හේතුවද මගේ රුව යයි මට සිතේ. ඕනෑම යටිමඩි වැඩකින් බේරීමට ළමා කාලයේ සිටම මම මගේ සුන්දර සිනහවත්, අවිහිංසක බැල්මත් උපයෝගී කර ගතිමි.

‘කෝ දුව ලෑස්ති වෙලා ඉවරද?’
අම්මාගේ හඬින් මම නැවත පියවි ලොවට පිවිසුනෙමි.

‘ඇයි ළමයෝ ඔය ඇඳුම ඇන්දේ? ඕක මහ මලානික පාටයි . ඔය කරත් පාලුයි. කෝ අර චේන් එක දා ගන්න.’
ඇය අල්මාරිය ඇරගෙන මගේ ඇඳුම් අවුස්සයි.

‘මෙන්න මේක ඇඳ ගන්න. මේ පාටට ඔයා ගොඩක් ලස්සනයි’

ඇය තෝරා මා අත තබන්නේ  දීප්තිමත් කොළ පැහැගත් සාරියකි. අම්මාට කවදත් මට ගැලපෙන ඇඳුම් තෝරන්නට හැකිය. ඇය කී දේ සත්‍යකි. පැහැපත් රුවට මරකත මැණිකේ පැහැය කදිමට යයි. කාලයක් මා මේ පාටට කෙතරම් ප්‍රිය කලාද යත්, ඇන්දේම මේ වර්ණයයි.

‘ඕක හරි නැහැ අම්මා. වෙන එකක් දෙන්න. වෙන පාටක එකක්’
අම්මාට තරහ ගිය බව මට තේරුම් ගත හැකිය. නමුත් ඈ මුවින් නොබැන යලිත් අල්මාරිය අවුස්සයි. මේවා ගැන මා සමඟ වාද කර මා තරහ ගැස්සීමට අකමැති නිසා විය හැකිය.
ඈ මා අත තැබූ සාරිය ඔහේ අතින් පිරිමදින මගේ සිත අතීතයට දිව යයි…

************************************************************************


‘මයේ චුටි මැණිකෙගේ ලස්සන! ඔය ඒරොප්පෙන් ගෙනාපු එකක් වෙන්ටෑ. මයෙ අම්මා ඇස්වහක් කටවහක් නෑ…’ ජේන් අම්මා එවකට විසි එක් හැවිරිදි වියේ සිටි මගේ හිස පිරිමදිමින් පැවසුවාය. අත්තම්මා වසන වලව්වේ දන්නා කල පටන් බැල මෙහෙවර කරමින් ජිවත් වූ ඈ, අත්තම්මා හැරුණු කොට වලව්වේ මා වඩාත් ආදරය කර තැනැත්තියයි. මම සිනා සෙමින් ඇය වටා දෙඅත් යවමින් ඒ වැහැරී ගිය වියපත් මුහුණට හාදුවක් දුන්නෙමි.
‘අනේ අනේ කුමාරිහාමිලා කරන වැඩද මේ හැබෑට…’ඇය ආඩපාලි කිව්වද මගේ කෝලම් ඇය සතුටු කරවන බව මම දැන සිටියෙමි.
‘ජේන් අම්මා ඇත්තටම මම මේ ඇඳුමට ලස්සනද?’ ලන්ඩන්හි නවීන විලාසිතා මන්දිරයකින් මිලදී ගත් සිහින් පටි සහිත දීප්තිමත් කොළ පැහැති ගවුම ඒ මේ අත කරකවමින් මම ඇසුවේ උත්තරයක් අවශ්‍ය නිසාම නොවේ.
‘ආයිත් අහල…චුටි මැණිකේ දැන් අපේ ලොකු කුමාරිහාමි ගැටිස්සි කාලේ වගේමයි…ඇරපු අතක් නෑ. කෝ ඔය කොණ්ඩේ කපා දැම්මේ මක්කයි මයෙ අම්මා?’
කැරලි ගැසුණු කොණ්ඩය කොටට කැපීම ගැන ජේන් අම්මා උරණ වී සිටියාය. මම සිනා සිමි. කොයි දේටත් සිනා සීම එකල මගේ පුරුද්දක් විය.

දිගු කලකින් පසු මා ඒ වලව්වට පැමිණ සිටියේ මගේ මාමගේ ලොකු දුවගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයට සහභාගී වීමටය. කුඩා කල පාසල් නිවාඩුවට මා මෙහි ඇරලීමට අප්පච්චි පුරුදු වී සිටියද, පසු කාලිනව ඉගෙනීමේ කටයුතු නිසාද, උපාධිය සඳහා විදෙස් ගත වුනු නිසාද, මා මෙහි පැමිණියේ වසර හත  අටකට පසුවය.

දිවා කාලයේදී උත්සවයට පැමිණි අමුත්තන්ගෙන් පිරී තිබුණු වලව්ව ඒ වන විට නිහඬ වී හිස්ව ගොස් තිබුණි. කාමරයේ ජනේලයේ කූරු අතරින් රිදී සඳක් වඩිනවා මට පෙනිණි. වලව්වට පා තැබූ මොහොතේ සිට සිතේ කැකෑරෙමින් තිබු ආශාවක් පැන නැගුනේ එවිටය.
දිගු ගවුම පිටින්ම මිදුලට බට මම වලව්වෙන් ඈතට ඇවිද ගෙන ගියෙමි.

මතකය අනුව මෙහි ආ අවසන් වර මට ඔහු මුණගැහුනේ ගෙවත්තෙන් එළවලු වගාව වෙන්වන මේ ලී ගේට්ටුව අසලය. ඒ වන විට ළමා වියෙන් තරුණ වියට පා තබන්නට ඔන්න මෙන්න තිබුණු මගේ සිතේ ඔහු නිසා අපුර්ව චමත්කාරයක් ඇතිවූවා මතකය. මා එකල මෙහි ආ විට සෙල්ලම් කලේ, කතා බස් කලේ ඔහු සමඟය. ලී ගේට්ටුවෙන් එපිට ලෝකය අත්තම්මා මට තහනම් කර තිබුණු නිසා ගේට්ටුවෙන් එහා හමුවෙන මට වඩා වසර තුන හතරකින් වැඩිමල් පෙනුමක් තිබුණු ඔහු ගැන මා කාටවත් කීවේ නැත. හැරත්, මා පවා ඔහුගේ දැන සිටියේ නම පමණි. කාගේ කවුද, කොහි සිට ආවේද, මේ කිසිවක් ඔහු ගැන විස්තර මා නොදැන සිටියෙමි. තේරුම් ඇති වයසට ආ පසු දිනක් මම
‘ඔයාගේ ගෙදර තියෙන්නේ කොහෙද’ යයි ඇසුවෙමි.
‘ඔයාගේ ගෙදර තියෙන තැන තමයි’ මදක් කල්පනා කල ඔහු පැවසුවේය. ‘අමා මගෙන් ඒවා අහන්ට එපා. මම තරහ වෙනවා.’
ඔහුට මට මෙන් ලස්සන ගෙයක් නැති නිසා එසේ පැවසූ බව සිතු කුඩා මා යාලුවා තරහ කර ගන්ට අනවශ්‍ය නිසා ඒ ගැන යලි අසන්නට ගියේ නැත. හැරත්, ඒවා මට එතරම් වැදගත් වුයේද නැත.
අවසන් වරට ඔහු හමුවූ දිනයේ ඔහු මා හමුවට පැමිණියේ කුඩා බට්ටිච්චෙකු අතේ තබාගෙනය. බට්ටිච්චා ගේ සුරතල් දැක මහත් ප්‍රීතියට පත්වූ මා ඔහුගේ කම්මුලට හාදුවක් දුන්නා මතකය.
අද ඔහු කොතැනද? ඔහු සැබවින්ම කවුද? ඔහුට මා මතක ඇත්ද? මෙතෙක් කල් මගේ මතකයේ කොනක ඔහු සිටියා සේ ඔහුගේ මතක පෙට්ටියේ ගැඹුරු තැනක මා තවමත් සිටිනවාද?
දහසක් ප්‍රශ්න මගේ සිතේ පැන නගින අතරේ මම ගේට්ටුවෙන් එහා අප සෙල්ලම් ගෙවල් දැමීමට පුරුදු වී සිටි අඹ ගහ යට බැංකුව මත හිඳ ගතිමි.

අමාගේ පළමු හාදුව හිමි කර ගත් ඔහු කවුද? ඉතිරිය ඊ ළඟ කොටසින්…

ගොළු හදවත- 3 කොටස …වෙනත් අවසානයක් alternate ending


<<< දෙවෙනි කොටස මෙතනින්

පිටරට ජිවත්වන විට තමන් ගේ වැඩ තනියම කරගන්ට සිදුවේ. කවදත් තනි තීරණයට වැඩ කල මට මෙය වදයක් වුයේ නැත. තනිවම නිවෙසේ වැඩ කටයුතු කර ගැනීම මෙන්ම ගමන් බිමන් යාමට මෝටර් රියක්ද මා මිලදී ගතිමි. උදෙන් අවදිවී ඇඳ පැළඳ ගෙන කන්නාඩිය ඉදිරිපස වාඩිවී හිස පීරන මා, මා දෙසම  බලා සිනා සීමට පුරුදු වුයෙමි. ඔලුවේ පැත්තක බලෙන් බින්න බැස සිටි යකින්න ගේ ඇනුම් පද මට ඇසුනේ නැත. අද තද ශීතත්, හෙට තද රස්නෙත් ඇතිවන මෙල්බන්හි විකාර දේශගුණය ඔරොත්තු නොදීම නිසා යකින්න පැන යන්නට ඇත!

සති අන්තවලදී මා කලේ රැකියා ස්ථානයේ කාර්ය බහුල රාජකාරි වලින් ඈත්ව ඉවුම් පිහුම් වැඩ කිරීම හෝ මා කවදත් ප්‍රියකළ නවකතා පොත් කියවීමය.
ඒ සෙනසුරාදා සවස් යාමයේද මම ‘කුකරි’ පොතක් පෙරළාගෙන අතුරු පසක් සාදමින් සිටියෙමි.
ජංගම දුරකතනය නාද වන්නට වූයෙන් මම වහා දෙ අත් පිස ලමින් දුරකතනය ගතිමි.

‘ප්‍රයිවට් නම්බර්’
මෙසේ සටහන් වන්නේ සාමාන්‍යයෙන් විදේශ ඇමතුම් වලටය.
‘කව්ද මේ වෙලාවේ … ලංකාවෙන්… ගෙදරින් වත්ද… හලෝ’
‘හලෝ මට සඳමිණි ට කතා කරන්න පුළුවන් ද’ එහා කොනෙන් ඇසුණේ සුපුරුදු හඬකි.
‘හානේ වත්සලා… මේ සඳමිණි තමයි…මොකද මේ හදිස්සියේ…’ වත්සලා මගේ සරසවියේ හොඳම මිතුරියකි.
‘…’
‘ඇයි වත්සලා? ගෙදර අයට මොකක් හරි කරදරයක්ද?’ මගේ මවත් පියාත් හොඳ සනීපයෙන් පසු වුවත් ඔවුන්ට යම් අනතුරක් දැයි මට බියක් දැනුනි.
‘නැහැ නැහැ ඔයාගේ ගෙදර ගැන නෙවෙයි…මේ…අපේ යාලුවෙක් ගැන…අසුභ ආරංචියක් තියෙනවා සඳා…’

ඇය කතා කලේ චන්න ගැන පැවසීමටය.
චන්න… මා සිනා ගැස්වූ, මා හැඬවූ චන්න…
ඔහු මිය ගොසින් සිටියේය. වැඩ ඇරී නිවසට එන විට මාරාවේශයෙන් පැමිණි ලොරියක් මගේ චන්නව තලා පෙලා යටකර ගෙන ගොස්ය. හදවත පැලී යන සෙයක් මට දැනුනි. මා ඔහුට කෙතරම් – ඒ වනවිටත්- ආදරය කරා දැයි මට පසක් වුයේ එවිටය. වෙන කෙනෙකුට හිමි ඔහුට සිතින් ආදරය කිරීම වරදක් වන්නට ඇත. නමුත් ඉරි ඇඳ කොටු ගසා රාමු කර ප්‍රේමය – ඒකපාර්ශ්වික වුවත්- වලක්වන්නට නොහැකිය.

වත්සලා කියූ පරිදි අනතුරෙන් පසුත් පණ ගැහෙමින් තිබුණු ඔහුව රෝහලට ගෙන ගොස් ඇත. දින දෙකක් දැඩි සත්කාර ඒකකයේ සිටි ඔහු තෙවෙනි දිනයේ මිය ගොස් ඇත.
‘පව්… ඇක්සිඩන්ට් වෙලා කියල ආරංචි උනාම මමත් බලන්න ගියා. එයාට ඒවෙන කොටත් අන්තිමයි. සිහිය තිබුන වගේ පෙනුනත් මං හිතන්නේ මාව අඳුන ගත්තේ නෑ. මගේ අත අල්ලන් එක එක දේවල් කිව්ව.’
‘සඳා ඔයා අහගෙනද ඉන්නේ?’ වත්සලා ඇසුවේ මගෙන් ප්‍රතිචාරයක් නැති නිසා විය යුතුය.
දෙකොපුල් සිඹිමින් පහලට වැටෙන කඳුළු අතරින් මම ‘හ්ම්’ යයි පැවසුවෙමි. ඉන් සැහීමකට පත්විමෙන්දෝ ඇය දිගටම කතාව කරගෙන ගියාය. වත්සලා ඊ ලඟට කියූ දෙයින් මගේ මුළු සිරුරම ගැහෙන්නට ගත්තේය.
‘ඔයාගේ නමත් කිව්ව. අහන ප්‍රශ්නෙට ලැබෙන්නේ ඎණ ප්‍රතිචාරයක් කියල දන්න නිසා සඳා ව ප්‍රශ්න කරලා වැඩක් නෑ කිව්ව. ඔන්න ඔය වගේ තේරුමක් නැති දේවල් කිව්වේ. ඒ දවස් වල අපි කැම්පස් ඉන්නකොට කරපු මොකක් හරි විහිළු වක් හරි මඩක් හරි එයාට ඒ වෙලාවේ මතක් වෙන්න ඇති..’
අහන ප්‍රශ්නෙට ලැබෙන්නේ ඎණ ප්‍රතිචාරයක් කියල දන්න නිසා…වත්සලාට එය තේරුමක් නැති දෙයක් ලෙස දැනුනත් මට එසේ නොවිය. මගේ ලෝකයම කඩා වැටෙන සෙයක් දැනෙන්නට විය. සරසවියේදී සිදුවූ සිද්ධි දාමය මා සිතේ ඇදී ගියේය. සිදුවූ සමහර සිද්ධි, කියූ සමහර දේ, මේවාට මා දී ගත් අර්ථ කතන වැරදිද?

වත්සලා තවත් මොන මොනවදෝ කීවත් මට ඒවා ඇසුණේ නැත. පණිවුඩය දුන්නාට ස්තුති කල මා දුරකතනය විසන්ධි කලෙමි.

ඊට වසර ගණනාවකට පසු මම කෙටි නිවාඩුවකට ලංකාවට ගොස් සිටියෙමි. ඒ වනවිට මහලු වියේ සිටි දෙමාපියන් සමඟ නුවර මාලිගාවට යන අතර මග හිටි හැටියේ අවුරුදු හයක හතක පමණ කුඩා දරුවෙක් දිව ඇවිත් මගේ සායේ එල්ලුනේ සිනා වෙමිනි. සුරතල් දරුවාගේ අතින් අල්ලාගත් මට ඔහුගේ මුහුණ දුටු විට අතීත මතක පොතේ සටහන් වී තිබුණු රුවක් සිහියට නැගෙන්නට විය.
මේ මා හා සිනාසෙන්නේ චන්නයි. මේ වල ගැසුණු කම්මුලත්, මේ දිගු නහය, ඇහි බැම… දරු පැටියාගේ මුහුණෙන් චන්නවම මැවි පෙනේ…
‘පුතා කෝ අම්ම? කොහේ ඉදන්ද මේ දුවන් ආවේ?’ මම පහත් වී අසන විටම ඉදිරියෙන් කලබලයෙන් දිව එන කාන්තා රුවක් නෙත ගැටිණි. ඒ මා දැක හඳුනන රුවකි.
‘නතාෂා…! මේ බබාද?’ මම සිනා සෙන්නට තැත් කරමින් ඇසුවෙමි. එසේ නම් මේ චන්නගේ පුතා විය යුතුය. ඔහුට දරුවෙක් සිටි බවක් මා දැන සිටියේ නැත.
‘හා මේ සඳමිණි නේද…කෝ පුතේ එන්න මෙහාට…මේ පාරේ දුවන්න හොඳ නැහැ’ පෙරදී තිබුණු ලඳ බොළඳ ගතිය දැන් ඇගෙන් නොපෙනේ.
‘අනේ නතාෂා මට ආරංචි උනා සිද්ද වෙච්ච කරදරේ… මට ඉතින් එන්න බැහැනේ…’
‘අනේ ඔව් සඳමිණි…එකට මොකද ආවේ නැතුවට…ඔයාට එන්න පුළුවන එහෙම…’ඇය සුසුමක් හෙලයි. ‘ඉතින් කොහොමද ඔයාට…අපි මේ නුවර ආව මල්ලිලා එක්ක…ඔයා නම්…එතකොට කෝ …’ ඇය අසන දෙය මම වටහා ගතිමි.
ඇගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට මෙන් මල් පොකුරක් එක අතින් ගත් කෙනෙක් ඇවිත් අනෙක් අතින් මගේ අත අල්ලා ගත්තේය.
‘මෙන්න අදුනගන්න මගේ කැම්පස් යාලුවෙක් – නතාෂා කියල…නතාෂා මේ මගේ මහත්තය’
මද වෙලාවක් කතා බස් කල අප වෙන්වුයෙමු.

අතීතය කෙතරම් වල දැම්මත් සමහර වෙලාවට පන ගැහී නැගිට විත් අපව රිදවයි. බොහෝ කලකට පෙර පිපුණු මලක මතක සුවඳ හද වේදනා දෙමින් හමා එයි.
‘මොනවාද කල්පනා කරන්නේ සඳා? ඒ අර ඔයාගේ නැතිවෙච්ච යාළුවගේ නෝනයි බබයි නේද…පව්…’ සැමියා මගේ අත පිරිමදිමින් පවසයි.
මලේ සුවඳ දැනුනත් එය පරව ගොස්ද බොහෝ කල් බව මම මටම පවසා ගත්තෙමි.
‘ඔයාගේ යාළුවා ගැන හරිම කණගාටුයි සඳා… නැතිවෙලා තියෙන්නේ  දරුවෙක් ලැබෙන්න ඉන්න බව දැනගන්නත් කලින් නේද…බලන්න ඉතින් ඊට වඩා මම වාසනාවන්තයි… තව සති කීපෙකින් මට අපේ පැටියාගේ මුණ බලන්නත් පුළුවන් නේ…’ ඔහු පොඩි දරුවෙකු මෙන් කියවයි.
මම සෙනෙහසින් ඔහුගේ මුහුණ දෙස බලා සිනාසුනෙමි. මතක මලේ පෙති ගිලිහී රේණු පොඩි සමඟ උඩු සුළගේ දැවටී ඈත ට පාව යන දෙස මම බලා සිටියෙමි.

 

කවුරුත් එන්නැති කව්රුත් දන්නැති
මල් පෙති ඉහිරුනු මල් පාරේ
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැලපෙමු අපි ආයේ

…සඳකැන් බොඳවුනු වළා කැදැල්ලේ
තරුකැට අහුරක සිනා මොඳුකර
කඳුලෙන් ඉපදුන ඉන්ද්‍රචාපයේ
උදානොවුන සිහිනයක් දකින්නට
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැලපෙමු අපි ආයේ

සියොලඟ මීදුම් සළු අතුරාලා
මන්දාකිණියේ ඔබ හිනැහෙද්දී
උදා ළහිරැ සේ මීහිඳුම් සඟවා
නොකී රහස් දෙනයනට කියන්නට
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැලපෙමු අපි ආයේ