පිටරට ජිවත්වන විට තමන් ගේ වැඩ තනියම කරගන්ට සිදුවේ. කවදත් තනි තීරණයට වැඩ කල මට මෙය වදයක් වුයේ නැත. තනිවම නිවෙසේ වැඩ කටයුතු කර ගැනීම මෙන්ම ගමන් බිමන් යාමට මෝටර් රියක්ද මා මිලදී ගතිමි. උදෙන් අවදිවී ඇඳ පැළඳ ගෙන කන්නාඩිය ඉදිරිපස වාඩිවී හිස පීරන මා, මා දෙසම බලා සිනා සීමට පුරුදු වුයෙමි. ඔලුවේ පැත්තක බලෙන් බින්න බැස සිටි යකින්න ගේ ඇනුම් පද මට ඇසුනේ නැත. අද තද ශීතත්, හෙට තද රස්නෙත් ඇතිවන මෙල්බන්හි විකාර දේශගුණය ඔරොත්තු නොදීම නිසා යකින්න පැන යන්නට ඇත!
සති අන්තවලදී මා කලේ රැකියා ස්ථානයේ කාර්ය බහුල රාජකාරි වලින් ඈත්ව ඉවුම් පිහුම් වැඩ කිරීම හෝ මා කවදත් ප්‍රියකළ නවකතා පොත් කියවීමය.
ඒ සෙනසුරාදා සවස් යාමයේද මම ‘කුකරි’ පොතක් පෙරළාගෙන අතුරු පසක් සාදමින් සිටියෙමි.
ජංගම දුරකතනය නාද වන්නට වූයෙන් මම වහා දෙ අත් පිස ලමින් දුරකතනය ගතිමි.
‘ප්‍රයිවට් නම්බර්’
මෙසේ සටහන් වන්නේ සාමාන්‍යයෙන් විදේශ ඇමතුම් වලටය.
‘කව්ද මේ වෙලාවේ … ලංකාවෙන්… ගෙදරින් වත්ද… හලෝ’
‘හලෝ මට සඳමිණි ට කතා කරන්න පුළුවන් ද’ එහා කොනෙන් ඇසුණේ සුපුරුදු හඬකි.
‘හානේ වත්සලා… මේ සඳමිණි තමයි…මොකද මේ හදිස්සියේ…’ වත්සලා මගේ සරසවියේ හොඳම මිතුරියකි.
‘…’
‘ඇයි වත්සලා? ගෙදර අයට මොකක් හරි කරදරයක්ද?’ මගේ මවත් පියාත් හොඳ සනීපයෙන් පසු වුවත් ඔවුන්ට යම් අනතුරක් දැයි මට බියක් දැනුනි.
‘නැහැ නැහැ ඔයාගේ ගෙදර ගැන නෙවෙයි…මේ…අපේ යාලුවෙක් ගැන…අසුභ ආරංචියක් තියෙනවා සඳා…’
ඇය කතා කලේ චන්න ගැන පැවසීමටය.
චන්න… මා සිනා ගැස්වූ, මා හැඬවූ චන්න…
ඔහු මිය ගොසින් සිටියේය. වැඩ ඇරී නිවසට එන විට මාරාවේශයෙන් පැමිණි ලොරියක් මගේ චන්නව තලා පෙලා යටකර ගෙන ගොස්ය. හදවත පැලී යන සෙයක් මට දැනුනි. මා ඔහුට කෙතරම් – ඒ වනවිටත්- ආදරය කරා දැයි මට පසක් වුයේ එවිටය. වෙන කෙනෙකුට හිමි ඔහුට සිතින් ආදරය කිරීම වරදක් වන්නට ඇත. නමුත් ඉරි ඇඳ කොටු ගසා රාමු කර ප්‍රේමය – ඒකපාර්ශ්වික වුවත්- වලක්වන්නට නොහැකිය.
වත්සලා කියූ පරිදි අනතුරෙන් පසුත් පණ ගැහෙමින් තිබුණු ඔහුව රෝහලට ගෙන ගොස් ඇත. දින දෙකක් දැඩි සත්කාර ඒකකයේ සිටි ඔහු තෙවෙනි දිනයේ මිය ගොස් ඇත.
‘පව්… ඇක්සිඩන්ට් වෙලා කියල ආරංචි උනාම මමත් බලන්න ගියා. එයාට ඒවෙන කොටත් අන්තිමයි. සිහිය තිබුන වගේ පෙනුනත් මං හිතන්නේ මාව අඳුන ගත්තේ නෑ. මගේ අත අල්ලන් එක එක දේවල් කිව්ව.’
‘සඳා ඔයා අහගෙනද ඉන්නේ?’ වත්සලා ඇසුවේ මගෙන් ප්‍රතිචාරයක් නැති නිසා විය යුතුය.
දෙකොපුල් සිඹිමින් පහලට වැටෙන කඳුළු අතරින් මම ‘හ්ම්’ යයි පැවසුවෙමි. ඉන් සැහීමකට පත්විමෙන්දෝ ඇය දිගටම කතාව කරගෙන ගියාය. වත්සලා ඊ ලඟට කියූ දෙයින් මගේ මුළු සිරුරම ගැහෙන්නට ගත්තේය.
‘ඔයාගේ නමත් කිව්ව. අහන ප්‍රශ්නෙට ලැබෙන්නේ ඎණ ප්‍රතිචාරයක් කියල දන්න නිසා සඳා ව ප්‍රශ්න කරලා වැඩක් නෑ කිව්ව. ඔන්න ඔය වගේ තේරුමක් නැති දේවල් කිව්වේ. ඒ දවස් වල අපි කැම්පස් ඉන්නකොට කරපු මොකක් හරි විහිළු වක් හරි මඩක් හරි එයාට ඒ වෙලාවේ මතක් වෙන්න ඇති..’
අහන ප්‍රශ්නෙට ලැබෙන්නේ ඎණ ප්‍රතිචාරයක් කියල දන්න නිසා…වත්සලාට එය තේරුමක් නැති දෙයක් ලෙස දැනුනත් මට එසේ නොවිය. මගේ ලෝකයම කඩා වැටෙන සෙයක් දැනෙන්නට විය. සරසවියේදී සිදුවූ සිද්ධි දාමය මා සිතේ ඇදී ගියේය. සිදුවූ සමහර සිද්ධි, කියූ සමහර දේ, මේවාට මා දී ගත් අර්ථ කතන වැරදිද?
වත්සලා තවත් මොන මොනවදෝ කීවත් මට ඒවා ඇසුණේ නැත. පණිවුඩය දුන්නාට ස්තුති කල මා දුරකතනය විසන්ධි කලෙමි.
ඊට වසර ගණනාවකට පසු මම කෙටි නිවාඩුවකට ලංකාවට ගොස් සිටියෙමි. ඒ වනවිට මහලු වියේ සිටි දෙමාපියන් සමඟ නුවර මාලිගාවට යන අතර මග හිටි හැටියේ අවුරුදු හයක හතක පමණ කුඩා දරුවෙක් දිව ඇවිත් මගේ සායේ එල්ලුනේ සිනා වෙමිනි. සුරතල් දරුවාගේ අතින් අල්ලාගත් මට ඔහුගේ මුහුණ දුටු විට අතීත මතක පොතේ සටහන් වී තිබුණු රුවක් සිහියට නැගෙන්නට විය.
මේ මා හා සිනාසෙන්නේ චන්නයි. මේ වල ගැසුණු කම්මුලත්, මේ දිගු නහය, ඇහි බැම… දරු පැටියාගේ මුහුණෙන් චන්නවම මැවි පෙනේ…
‘පුතා කෝ අම්ම? කොහේ ඉදන්ද මේ දුවන් ආවේ?’ මම පහත් වී අසන විටම ඉදිරියෙන් කලබලයෙන් දිව එන කාන්තා රුවක් නෙත ගැටිණි. ඒ මා දැක හඳුනන රුවකි.
‘නතාෂා…! මේ බබාද?’ මම සිනා සෙන්නට තැත් කරමින් ඇසුවෙමි. එසේ නම් මේ චන්නගේ පුතා විය යුතුය. ඔහුට දරුවෙක් සිටි බවක් මා දැන සිටියේ නැත.
‘හා මේ සඳමිණි නේද…කෝ පුතේ එන්න මෙහාට…මේ පාරේ දුවන්න හොඳ නැහැ’ පෙරදී තිබුණු ලඳ බොළඳ ගතිය දැන් ඇගෙන් නොපෙනේ.
‘අනේ නතාෂා මට ආරංචි උනා සිද්ද වෙච්ච කරදරේ… මට ඉතින් එන්න බැහැනේ…’
‘අනේ ඔව් සඳමිණි…එකට මොකද ආවේ නැතුවට…ඔයාට එන්න පුළුවන එහෙම…’ඇය සුසුමක් හෙලයි. ‘ඉතින් කොහොමද ඔයාට…අපි මේ නුවර ආව මල්ලිලා එක්ක…ඔයා නම්…එතකොට කෝ …’ ඇය අසන දෙය මම වටහා ගතිමි.
ඇගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට මෙන් මල් පොකුරක් එක අතින් ගත් කෙනෙක් ඇවිත් අනෙක් අතින් මගේ අත අල්ලා ගත්තේය.
‘මෙන්න අදුනගන්න මගේ කැම්පස් යාලුවෙක් – නතාෂා කියල…නතාෂා මේ මගේ මහත්තය’
මද වෙලාවක් කතා බස් කල අප වෙන්වුයෙමු.
අතීතය කෙතරම් වල දැම්මත් සමහර වෙලාවට පන ගැහී නැගිට විත් අපව රිදවයි. බොහෝ කලකට පෙර පිපුණු මලක මතක සුවඳ හද වේදනා දෙමින් හමා එයි.
‘මොනවාද කල්පනා කරන්නේ සඳා? ඒ අර ඔයාගේ නැතිවෙච්ච යාළුවගේ නෝනයි බබයි නේද…පව්…’ සැමියා මගේ අත පිරිමදිමින් පවසයි.
මලේ සුවඳ දැනුනත් එය පරව ගොස්ද බොහෝ කල් බව මම මටම පවසා ගත්තෙමි.
‘ඔයාගේ යාළුවා ගැන හරිම කණගාටුයි සඳා… නැතිවෙලා තියෙන්නේ දරුවෙක් ලැබෙන්න ඉන්න බව දැනගන්නත් කලින් නේද…බලන්න ඉතින් ඊට වඩා මම වාසනාවන්තයි… තව සති කීපෙකින් මට අපේ පැටියාගේ මුණ බලන්නත් පුළුවන් නේ…’ ඔහු පොඩි දරුවෙකු මෙන් කියවයි.
මම සෙනෙහසින් ඔහුගේ මුහුණ දෙස බලා සිනාසුනෙමි. මතක මලේ පෙති ගිලිහී රේණු පොඩි සමඟ උඩු සුළගේ දැවටී ඈත ට පාව යන දෙස මම බලා සිටියෙමි.
කවුරුත් එන්නැති කව්රුත් දන්නැති
මල් පෙති ඉහිරුනු මල් පාරේ
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැලපෙමු අපි ආයේ
…සඳකැන් බොඳවුනු වළා කැදැල්ලේ
තරුකැට අහුරක සිනා මොඳුකර
කඳුලෙන් ඉපදුන ඉන්ද්‍රචාපයේ
උදානොවුන සිහිනයක් දකින්නට
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැලපෙමු අපි ආයේ
සියොලඟ මීදුම් සළු අතුරාලා
මන්දාකිණියේ ඔබ හිනැහෙද්දී
උදා ළහිරැ සේ මීහිඳුම් සඟවා
නොකී රහස් දෙනයනට කියන්නට
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැලපෙමු අපි ආයේ
තරුකැට අහුරක සිනා මොඳුකර
කඳුලෙන් ඉපදුන ඉන්ද්‍රචාපයේ
උදානොවුන සිහිනයක් දකින්නට
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැලපෙමු අපි ආයේ
මන්දාකිණියේ ඔබ හිනැහෙද්දී
උදා ළහිරැ සේ මීහිඳුම් සඟවා
නොකී රහස් දෙනයනට කියන්නට
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැලපෙමු අපි ආයේ
නොවැ. 30, 2011 @ 06:41:58
මම නම් ආස මේ අවසානෙට, අනිත් එක ටිකක් බොළදයි වගේ :).ඔයා හරිම දක්ෂ ලේඛිකාවක්නෙ. බොහොම ස්තුතියි කතාවට
දෙසැ. 07, 2011 @ 07:43:27
ඇත්තටම මාත් කැමති මේ අවසානෙට. කලින් අවසානේ නිකම්…අනේ මන්ද ඒක මට නිකම් හදිස්සියේ නුල් ඉවර වෙච්චි නිසා අග හරිය අරහෙන් මෙහෙන් හොරාට නුල් ඇද්ද මැහුමක් වාගේ… යථාර්ථයේ කවදාවත් happily ever afters නැහැ. නමුත් ජීවිතය විඳින්න happily ever afters ම උවමනාත් නැහැ.