සිහින කොහි සැඟවුනිද – 1 කොටස

කන්නාඩියෙන් දිස්වෙන රුව දෙස මම බලාසිටිමි. පැත්තෙන් බෙදා පිටුපසට කර බැඳි ඝන කෙස් වැටියක්…කුඩා වටකුරු රන්වන් පැහැ ගත් මුහුණක්…ඒ මුහුණේ දිලිසෙන කළුවන් දිගු නෙත් යුවලක්…ඒ දෙනෙතෙන් කඩා වැටෙන්නට ඔන්න මෙන්න වූ දඩබ්බර කඳුළු කැට දෙකක්…

බොරු පුචානම් නොකියමි – මා සුරුපිනියක බව මම දනිමි. අහිංසක නැති වුවද, දුටුවන් මුලා කරන අහිංසක ලාමක පෙනුමක් මා සතුය. කුඩා කල සිටම කාගේත් සුරතලිය වී කෙළිලොල් ව කාලය ගත කල මා මෙතරම් මුරණ්ඩු වීමට හේතුවද මගේ රුව යයි මට සිතේ. ඕනෑම යටිමඩි වැඩකින් බේරීමට ළමා කාලයේ සිටම මම මගේ සුන්දර සිනහවත්, අවිහිංසක බැල්මත් උපයෝගී කර ගතිමි.

‘කෝ දුව ලෑස්ති වෙලා ඉවරද?’
අම්මාගේ හඬින් මම නැවත පියවි ලොවට පිවිසුනෙමි.

‘ඇයි ළමයෝ ඔය ඇඳුම ඇන්දේ? ඕක මහ මලානික පාටයි . ඔය කරත් පාලුයි. කෝ අර චේන් එක දා ගන්න.’
ඇය අල්මාරිය ඇරගෙන මගේ ඇඳුම් අවුස්සයි.

‘මෙන්න මේක ඇඳ ගන්න. මේ පාටට ඔයා ගොඩක් ලස්සනයි’

ඇය තෝරා මා අත තබන්නේ  දීප්තිමත් කොළ පැහැගත් සාරියකි. අම්මාට කවදත් මට ගැලපෙන ඇඳුම් තෝරන්නට හැකිය. ඇය කී දේ සත්‍යකි. පැහැපත් රුවට මරකත මැණිකේ පැහැය කදිමට යයි. කාලයක් මා මේ පාටට කෙතරම් ප්‍රිය කලාද යත්, ඇන්දේම මේ වර්ණයයි.

‘ඕක හරි නැහැ අම්මා. වෙන එකක් දෙන්න. වෙන පාටක එකක්’
අම්මාට තරහ ගිය බව මට තේරුම් ගත හැකිය. නමුත් ඈ මුවින් නොබැන යලිත් අල්මාරිය අවුස්සයි. මේවා ගැන මා සමඟ වාද කර මා තරහ ගැස්සීමට අකමැති නිසා විය හැකිය.
ඈ මා අත තැබූ සාරිය ඔහේ අතින් පිරිමදින මගේ සිත අතීතයට දිව යයි…

************************************************************************


‘මයේ චුටි මැණිකෙගේ ලස්සන! ඔය ඒරොප්පෙන් ගෙනාපු එකක් වෙන්ටෑ. මයෙ අම්මා ඇස්වහක් කටවහක් නෑ…’ ජේන් අම්මා එවකට විසි එක් හැවිරිදි වියේ සිටි මගේ හිස පිරිමදිමින් පැවසුවාය. අත්තම්මා වසන වලව්වේ දන්නා කල පටන් බැල මෙහෙවර කරමින් ජිවත් වූ ඈ, අත්තම්මා හැරුණු කොට වලව්වේ මා වඩාත් ආදරය කර තැනැත්තියයි. මම සිනා සෙමින් ඇය වටා දෙඅත් යවමින් ඒ වැහැරී ගිය වියපත් මුහුණට හාදුවක් දුන්නෙමි.
‘අනේ අනේ කුමාරිහාමිලා කරන වැඩද මේ හැබෑට…’ඇය ආඩපාලි කිව්වද මගේ කෝලම් ඇය සතුටු කරවන බව මම දැන සිටියෙමි.
‘ජේන් අම්මා ඇත්තටම මම මේ ඇඳුමට ලස්සනද?’ ලන්ඩන්හි නවීන විලාසිතා මන්දිරයකින් මිලදී ගත් සිහින් පටි සහිත දීප්තිමත් කොළ පැහැති ගවුම ඒ මේ අත කරකවමින් මම ඇසුවේ උත්තරයක් අවශ්‍ය නිසාම නොවේ.
‘ආයිත් අහල…චුටි මැණිකේ දැන් අපේ ලොකු කුමාරිහාමි ගැටිස්සි කාලේ වගේමයි…ඇරපු අතක් නෑ. කෝ ඔය කොණ්ඩේ කපා දැම්මේ මක්කයි මයෙ අම්මා?’
කැරලි ගැසුණු කොණ්ඩය කොටට කැපීම ගැන ජේන් අම්මා උරණ වී සිටියාය. මම සිනා සිමි. කොයි දේටත් සිනා සීම එකල මගේ පුරුද්දක් විය.

දිගු කලකින් පසු මා ඒ වලව්වට පැමිණ සිටියේ මගේ මාමගේ ලොකු දුවගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයට සහභාගී වීමටය. කුඩා කල පාසල් නිවාඩුවට මා මෙහි ඇරලීමට අප්පච්චි පුරුදු වී සිටියද, පසු කාලිනව ඉගෙනීමේ කටයුතු නිසාද, උපාධිය සඳහා විදෙස් ගත වුනු නිසාද, මා මෙහි පැමිණියේ වසර හත  අටකට පසුවය.

දිවා කාලයේදී උත්සවයට පැමිණි අමුත්තන්ගෙන් පිරී තිබුණු වලව්ව ඒ වන විට නිහඬ වී හිස්ව ගොස් තිබුණි. කාමරයේ ජනේලයේ කූරු අතරින් රිදී සඳක් වඩිනවා මට පෙනිණි. වලව්වට පා තැබූ මොහොතේ සිට සිතේ කැකෑරෙමින් තිබු ආශාවක් පැන නැගුනේ එවිටය.
දිගු ගවුම පිටින්ම මිදුලට බට මම වලව්වෙන් ඈතට ඇවිද ගෙන ගියෙමි.

මතකය අනුව මෙහි ආ අවසන් වර මට ඔහු මුණගැහුනේ ගෙවත්තෙන් එළවලු වගාව වෙන්වන මේ ලී ගේට්ටුව අසලය. ඒ වන විට ළමා වියෙන් තරුණ වියට පා තබන්නට ඔන්න මෙන්න තිබුණු මගේ සිතේ ඔහු නිසා අපුර්ව චමත්කාරයක් ඇතිවූවා මතකය. මා එකල මෙහි ආ විට සෙල්ලම් කලේ, කතා බස් කලේ ඔහු සමඟය. ලී ගේට්ටුවෙන් එපිට ලෝකය අත්තම්මා මට තහනම් කර තිබුණු නිසා ගේට්ටුවෙන් එහා හමුවෙන මට වඩා වසර තුන හතරකින් වැඩිමල් පෙනුමක් තිබුණු ඔහු ගැන මා කාටවත් කීවේ නැත. හැරත්, මා පවා ඔහුගේ දැන සිටියේ නම පමණි. කාගේ කවුද, කොහි සිට ආවේද, මේ කිසිවක් ඔහු ගැන විස්තර මා නොදැන සිටියෙමි. තේරුම් ඇති වයසට ආ පසු දිනක් මම
‘ඔයාගේ ගෙදර තියෙන්නේ කොහෙද’ යයි ඇසුවෙමි.
‘ඔයාගේ ගෙදර තියෙන තැන තමයි’ මදක් කල්පනා කල ඔහු පැවසුවේය. ‘අමා මගෙන් ඒවා අහන්ට එපා. මම තරහ වෙනවා.’
ඔහුට මට මෙන් ලස්සන ගෙයක් නැති නිසා එසේ පැවසූ බව සිතු කුඩා මා යාලුවා තරහ කර ගන්ට අනවශ්‍ය නිසා ඒ ගැන යලි අසන්නට ගියේ නැත. හැරත්, ඒවා මට එතරම් වැදගත් වුයේද නැත.
අවසන් වරට ඔහු හමුවූ දිනයේ ඔහු මා හමුවට පැමිණියේ කුඩා බට්ටිච්චෙකු අතේ තබාගෙනය. බට්ටිච්චා ගේ සුරතල් දැක මහත් ප්‍රීතියට පත්වූ මා ඔහුගේ කම්මුලට හාදුවක් දුන්නා මතකය.
අද ඔහු කොතැනද? ඔහු සැබවින්ම කවුද? ඔහුට මා මතක ඇත්ද? මෙතෙක් කල් මගේ මතකයේ කොනක ඔහු සිටියා සේ ඔහුගේ මතක පෙට්ටියේ ගැඹුරු තැනක මා තවමත් සිටිනවාද?
දහසක් ප්‍රශ්න මගේ සිතේ පැන නගින අතරේ මම ගේට්ටුවෙන් එහා අප සෙල්ලම් ගෙවල් දැමීමට පුරුදු වී සිටි අඹ ගහ යට බැංකුව මත හිඳ ගතිමි.

අමාගේ පළමු හාදුව හිමි කර ගත් ඔහු කවුද? ඉතිරිය ඊ ළඟ කොටසින්…

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: