පිපුණු මල් පරවෙලා
වැටී වැටී යද්දී
ඔයා ඒවි කියල
කොච්චර කල් බලන් හිටියද
මම!
තෑග්ග
24 මැයි 2011 ප්‍රතිචාරයක් ලබාදෙන්න
in කෙටි කතා
එලාම් ඔරලෝසුවේ කන්කරච්චලය නිසා අලුයම අවදිවූ මම තවමත් නිදන බිරිඳ අවදි නොකර ඇඳෙන් නැගිට මුළු තැන්ගෙට පිය නැගුවෙමි. බිරිඳටත් මටත් කිරි තේ සාදා ඇයගේ කොටස උණු වතුර බෝතලයට දැමු මගේ නෙත් බිත්තියේ එල්ලෙන දින දර්ශනය දෙස යොමු වුයේ අහම්බෙනි.
මැයි 12.
අද නංගිගේ උපන් දින බව මට අමතකව තිබුණි. නංගීට දුරකතනයෙන් වත් කතා කොට සුභ පැතිය යුතුය. දින කිහිපයකට පෙර රාජකාරි කටයුත්තකට විදෙස් ගතව පෙරලා පැමිණි මට දින වකවානු පැටලී තිබිණ.
අද මැයි 12. හෙට මැයි 13.
මැයි 13 ඇගේ උපන්දිනයයි! මට එයද අමතක වී තිබුනා නොවේද?
ඇය මගේ නැගණියගේ හොඳම යෙහෙළියයි. වසර කිහිපයකට පෙර ඇය දුටු පළමු දින මට මතක් වෙයි…
”තෑන්ක්ස් අයියා! මම අර ඉල්ලුව එක නේද?” නැගණිය මා දුන් උපන් දින තෑග්ග දිග හරින අතරේ ඇය පසෙක සිට ගෙන හුන් යුවතිය කෙරෙහි මගේ නෙත් ඇදී ගියේය. කළුත් නැති සුදුත් නැති ඈ නංගී තරම් උස නැත. දිගට වවා තිබුණු යන්තම් කැරලි ගැසුණු කොණ්ඩය ඇඳ සිටි ගවුමේ පාටට ගැලපෙන්නට කුඩා මලකින් සරසා තිබුණි. නමුත් මගේ සිත නතර වුවේ ඇයගේ දිගු නිල්වන් නෙත් සඟල අසලය. සැබවින්ම කෙනෙක් වශී කරවන කාන්තියක් ඒ දෙනෙතේ විය.
“අය්යේ ඔන්න මෙයාටත් තෑග්ගක් දෙන්න වෙනවා” මගේ නෙත ගිය තැන දුටුවාක් මෙන් නංගී පැවසුවාය.
“ඇයි? මෙයාගෙත් අද උපන් දිනේද?”
“නෑ අයියේ… මගේ උපන් දිනේ හෙට” ඇය මගේ මුහුණ නොබලා ලජ්ජාවෙන් පැවසූ සැටි මට දැනුදු මැවී පෙනෙයි…
මා ඇයට තෑග්ගක් මිලදී ගත යුතුය. එය කුමක් විය යුතුද? ඇයට පළමු වරට තෑග්ගක් ගැනීමට මා යහළුවන්ගෙන් උපදෙස් ගත්තෙමි.
“පොඩි කෙල්ලෝ අමාරුවේ දාන්නේ නැතිව හිටපන්” උපදෙස් දෙනු වෙනුවට මට සමහරු අවවාද කළහ.
නැගණියක් සිටියද ගැහැනුන්ට තෑගි ගැනීම මට පුරුදු නැත. මගේ හැටි දන්නා නංගී නම් එකල උපන් දිනය ළඟාවත්ම ඇයට ඕනෑ තෑග්ග මට පවසයි. නැතහොත් මම ලියුම් කවරයක දා මුදල් දෙමි.
නමුත් ඇයට මුදල් දෙනු නොහැක. ඇය මා ගැන කුමක් සිතාවිද? නංගී මෙන් නොව ඇය කවදාවත් කිසිත් නොඉල්ලයි. මේ ගැන නංගිගෙන් උපදෙසක් ගැනීමට ගියොත් ඇගෙන් බැනුම් ඇසීමට සිදුවන බව මම දනිමි.
මා පරිගණකය ක්‍රියාත්මක කලේ අන්තර්ජාලය වෙතින්වත් සුදුසු තෑග්ගක් පිළිබඳ හෝඩුවාවක් සෙවීමේ අදහසිනි.
“අනේ අනේ උදේ පාන්දරින්ම කොටන්න ගත්ත නේද”
අවදි වූ බිරිඳ මා දෙසට එනු දුටු හෙයින් මම වහා පරිගණක තිරය ඇයට නොපෙනෙන සේ සිට ගතිමි.
“ඔයාගේ තේ එක හදල ෆ්ලාස්ක් එකේ…මේ…අද නංගිගේ උපන් දිනේ නේ…”
ඇය මා දෙස අමුතු බැල්මක් හෙලයි.
“අද?”
“ඔව් ඔයාට මතක නැද්ද?” මම විමතියෙන් අසමි.
හිටි වනම මහ හඬින් සිනා සීමට ගත් ඇය අතින් තේ කෝප්පයද බිම නොවැටී බේරුනේ අනූ නමයෙනි. මේ මොන කෝලමක්දයි මට සිතෙයි.
“පිස්සා…කාංචි ගේ උපන් දිනේ ඊයේ…ඔයා පෙරේද එයා පෝර්ට් එකේ ඉඳන් ඇවිත් ඊයේ දවසම නිදා ගත්ත නිසා මම මතක් කලේ නෑ. මහන්සි ඇති කියල…ඔය කැලැන්ඩරේ දැකලද වැරදුනේ? මට ඊයේ රෑ කොලේ කඩන්න අමතක උනා”
ඇයගේ සිනා සීම මා තුල ඇති කරන්නේ කෝපයකි. ඊටත් වඩා එසේනම් ඇයගේ උපන් දිනය අද නොවේද? දෙවියනි!…
“හා මට හිතා ගත්තැකි…එහෙනම් මට උපන් දින තෑග්ගක් නෑ නේද”
ඇය තොදොල් වෙමින් සෙමින් මගේ නැහැය මිරිකයි. මට මා ගැනම කෝපයක් දැනේ.
“අනේ සොරි බබා…යමු…ඔයාට ඕනෑ දෙයක් අරන් දෙන්නම්”
ඇය සිනා සෙයි. මගේ අත ගෙන එය ඇගේ කුස මතින් තබයි.
“මේ දීල තියෙන තෑග්ග හොඳටම ඇති”
* * *
බැසගිය සඳ – 3 (අවසාන)කොටස
13 මැයි 2011 ප්‍රතිචාර 7
in කෙටි කතා
‘මේ අර එදා බැලුව එක නම් හොඳටම ගැලපෙනවා කියල ඉස්කෝලේ අක්ක කිව්වේ’
අම්ම තාත්තට කියනවා ඇහුනු මට තේරුණා මගුලක් කඩන් පාත්වෙන්නයි යන්නේ කියල. ඉස්කෝලේ නැන්දට කේන්දර බලන්න පුළුවන් නිසා අම්මගේ වැඩේ උදේ හවස එයත් එක්ක මට පොරොන්දම් ගලපන එකයි. මගේ කෙන්දරේ ඔන්න ඔය මොනවාද ග්‍රහයෝ ඉන්න විදිහ නිසා ගලපන්න අමාරුම එකක් කියල තමයි නැන්දා කිව්වේ.
කේන්දරේ ගැලපීම තමයි අම්මගේ පළමු පියවර. දැන් ඒක සාර්ථක වුනු නිසා ඊළඟට මට ඕක කියල විස්තර කියන්නේ ඊළඟ අදියර හැටියට. මං ඉතින් සාමාන්‍යයෙන් කරන්නේ එවල තියෙන ෆොටෝ බලල ඇදයක් හොයන එක තමයි. හැබැයි හිමාලි කියපු දේ මතක් උන නිසා කාලගෝල පෙනුමක් නැති පාරේ එක්කන් යන්න පුළුවන් කොල්ලෙක් නම් පොඩ්ඩක් හිතල බලන්න ඕනේ කියල මම හිතුව.
‘දුවේ… අර ළමයාගේ ෆොටෝ වගයක් එවල තියෙන්නේ එහෙන්. හරි සීදේවි පාටයි…පිට රට ඉගෙන ගෙන දැන් ලංකාවට ඇවිත්ලු ඉන්නේ…’
‘හපෝ එහෙනම් එහෙ සුද්දියොත් ඉන්නවද දන්නේ නෑ’
අම්මගේ මුණ ඇඹුල් උනා මගේ කට කැඩිච්ච කතාවට. ඉතින් මම කිව්වේ ඇත්තනේ.
‘අපි එහෙම එකෙක්ට ඔයාව දෙනවද? කව්ද නිකම්ම බැඳලා දෙන්නේ? ඇයි අපිට හෙන ගහලද එහෙම හොයන්නේ බලන්නේ නැතිව මේවා කරන්න?’
‘හරි හරි ඉතින් අම්මල කොහොමද ඔය රට රටවල් වල ඉන්න කොල්ලෝ ගැන හොයන්නේ?’
‘මේ ළමය ගැන තාත්ත එහෙ ඉන්න තාත්තගේ යාලුවෝ කිපදෙනෙක්ගෙන්ම අහල තියෙනවා ළමයෝ. හරි හොඳ දරුවෙක් කියල තමයි කිව්වේ.’
ශං! අම්ම නිකම් සර්ච් එන්ජින් එකක් වගේනේ… ෆුල් සර්ච් පාරක් දාල වගේ.
‘තාත්තගේ යාලුවොන්ගෙන් චරිත සහතික ගන්න නම් ඉතින් සිරිමත් මගේ සකි වගේ කොල්ලෙක් වෙන්න ඇති නේද අම්මේ. මහා කම්මැලි පොත් ගුල්ලෙක් ද දන්නෑ’
‘අනේ ඇත්තට මේ කෙල්ල නම් පුදුමයි. මුලින් සුද්දියෝ ඇතිලු. දැන් කියනවා පොත් ගුල්ලෙක් වෙන්න ඇතිලු.’
අප්පා අම්මට තරහ ගිහින්.
‘ඔන්න ෆොටෝ එක. ඕනනම් බලන එකයි. සමයං. මං යනවා බණ අහන්න. ඔයා ඕනැ එකක් කරගන්න.’
චික් පිට රට කිව්වට මොන රටේද කියල අහගන්න බැරිඋනානේ. ඔස්ට්‍රේලියාවේද දන්නේ නෑ.
නෑ නෑ ඔස්ට්‍රේලියාව ඕනෙම නෑ. මොන රටක්ද එක. කව්ද එහෙ යන්නේ.
කෝ බලන්න ෆොටෝ එක…
අම්ම දාල ගිය කවරේ ඇතුලේ තිබ්බ ෆොටෝ එක දැක්ක මම තුෂ්නිම්භූත උනා.
මේ..මේ..ඉන්නේ … දනුක!
මම දෙතුන් පාරක් ඇස් පොඩි කරලා අයෙත් බැලුවේ ඇත්තටම දනුක ෆොටෝ එකේ ඉන්නවද නැද්ද කියල හිතාගන්න බැරිව.
ඇත්තටම…දනුක තමයි. එතකොට…
මට අම්මගෙන් අහන්න ප්‍රශ්න ගොඩක් තිබ්බ. ලොකුම ප්‍රශ්නේ උනේ මගේ ෆොටෝ එක දනුකලගේ දිහාට යවලද කියල.
‘නැතුව ළමයෝ. ඒ පැත්තෙන් දුව බලන්න මෙහෙ එන්නත් කැමතියි කියල තියෙන්නේ. ඔයාගේ වචනේ එනකන් මට මෙහෙට එන්න කියන්න බෑනේ’
එතකොට දනුක මාව අඳුනගෙන නැද්ද? මාව අඳුන ගත්තනම් ඇයි මේ විදියට…? පුදුම අවුල් ජාලයක්.
අන්තිමට මම හිමාලිට කතා කරා.
‘හිමාලි මට දනුකගේ නම්බර් එක හොයල දෙන්නකෝ’
‘මොකක්? දනුකගේ නම්බර් එක? මොන කෙන්ගෙඩියකටද ඒ ?’
මං සිද්දිය කෙල්ලට කිව්වට පස්සේ ඔන්න ටක් ගාල නම්බර් එක හම්බුනා.
හප්පා…දැන් නේ අමාරුම වැඩේ. දැන් මේ නම්බර් එකට කතා කරලා මොනවාද කියන්නේ?
හෙලෝ දනුක ප්ලීස්
නෑ නෑ පොෂ් වැඩියි. ගෙදර මිනිස්සුත් බය වෙයි.
මේ දනුක ඉන්නවද
චාටර්. ගොඩේ කෙල්ලෙක් වගේ.
අන්තිමට ඕනැ එකක් වෙද්දෙන් කියල මම ඩයල් කරා.
එහා කෙළවරෙන් ෆෝන් එක වැඩි වැඩි තිබුණු තප්පර දහය මගේ ජිවිතේ දිගම තප්පර දහය වෙන්නැති.
‘හෙලෝ’
දනුක ද මේ? කොහෙද මං කලින් එයත් එක්ක ෆෝන් එකේ කතා කරලා තියෙන එකක් යැ.
‘දනුකට කතා කරන්න පුලුවන්ද?’
‘ආ ඔව්. දනුකට කතා කරන්න පුලුවන්’
‘ම්හ්…මේ කෝ ඉතින්’
‘මොකද්ද?’
‘දනුක නැද්ද?’
‘ඉන්නවා’
මොන මගුලක්ද මේ.
‘දනුකට ෆෝන් එක දෙනවද’
‘හඃ හඃ මේ කතා කරන්නේ දනුක තමයි’
‘…’
‘කෝ කාටද දැන් දනුක එක්ක කතා කරන්න ඕනේ?’
‘මම.. මේ..’
‘නිම්මි බබාට නමත් අමතක වෙලානේ’
‘!’
‘ඔයා කොහොමද මාව අඳුන ගත්තේ?’
‘මෙහෙමයි. අපේ ගෙදර ෆෝන් එකට කොලර් අයි ඩී තියෙනවා. හරිම සරලයි’
මට තරහ වැඩි කමට ද කොහෙද ඇඬෙන්න ආව. මෙයාට මේක සෙල්ලමක්.
‘ඔයාට නම් මම විහිළුවක් නේද’
‘අනේ නිම්මි…නැහැ. ඔයා අඬනවද? අනේ සොරි නිම්මි…මම විහිලුවට කිව්වේ…’
‘ඔයා…ඔයා දන්නවා ද මම කතා කරේ ඇයි කියල?’
‘අපේ අම්ම මට ඔයාගේ ෆොටෝ එක පෙන්නුවා දවසේ ම මම හිතුව ඔයාගෙන් කෝල් එකක් එයි කියල…ඇත්තටම ඒවිද නැද්ද කියල බයෙන් හිටියේ’
‘මොනවා…එතකොට ඔයා මාව අඳුන ගත්තද?’
එහා පැත්තෙන් ටික වෙලාවක් සද්දයක් නැති නිසා මම ආයෙත් හලෝ කිව්වා.
‘පිස්සු කෙල්ල…ඔයාව අඳුන ගන්න මට බැරි වෙන්නේ කොහොමද’
‘එතකොට මේ නොම්මරේ දන්නේ කොහොමද? මම කතා කරන්නේ මගේ සෙල් එකෙන්නේ…’
‘…ඔයාගේ නම්බර් එක මම හොයාගත්තේ අවුරුදු දෙකකට කලින්…’
~ නිමි ~
වලාකුල් වියන් තනාලා …… ඉරේ රැස් නිවා දමා
වසන්තේ අරන් ඇවිල්ලා ….. සිහිල් සේලයෙන් වෙලා
අනේ මං බලාන උන්නා …. යළිත් ඔබ එතැයි කියා
සිනා රන් කැළුම් සලාලා …. මගේ සඳ උදාවෙලා
පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තය සිසාරා රහසේමා
පියාඹන්න ආසයි ඔබ හා මා
දසන්තේ පියා සලාලා … සඳේ රැස් හෙමින් උනා …
සොයන්නේ ඔබේ රුවයි මා … කොහේ හැංගුණේ කියා …
රැයේ සීතලෙන් මිදිලා … තුෂාරෙන් මුවා වෙලා
හිඳින්නේ ඔබේ ළඟයි මා … සුසුම් උණුසුමක් පතා …
පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තේ සිසාරා රහසේමා
පියාඹන්න ආසයි ඔබ හා මා
බැසගිය සඳ – 2 කොටස
12 මැයි 2011 ප්‍රතිචාරයක් ලබාදෙන්න
in කෙටි කතා
දනුක රට ගිය මුල් දවස් වල මට ඔෆිස් යද්දී තිබුනේ කාන්තාරෙකට යනවා වගේ හැඟීමක්. බොසා නම් කිව්වේ මම වෙනදට වැඩිය හොඳට වැඩ කරනවා කියල. මට හිතෙන විදියට නම් මම වැඩ කරන්න පටන් ගත්තේ ඒ දවස් වලයි.
ඒ උනාට ජිවිතේ මෙලෝ රහක් දැනුනේ නෑ. මට දැනුනේ පායලා තිබුන හඳ එක පාරටම බැහැල ගියා කියල. අන්තිමට ඔෆිස් ආපු දවසේ දනුක යනකොට දොර ගාව ඉඳන් ආපහු හැරිලා හැමෝටම අත වනපු හැටි නිතරම මතක් උනා.
සාමාන්‍ය දැනීම කඳුලක් නැති මැටි කෙල්ලෙක් හැටියට ඕස්ට්‍රේලියාවේ වෙලාව කීයද, එහෙට සීත කාලේ වෙන්නේ කවද්ද ඕව කිසි දෙයක් මම දැනන් හිටියේ නෑ. දනුක ගිය රට ගැන හොයන එක තමයි මම වැඩ නැති වෙලාවට කරේ.
‘අප්පට උඩු නිම්මි බබා ඕස්ට්‍රේලියාවේ ඎතු භේදේ ගැන හොයනවා. මොකෝ කෙල්ල නැව් නගින්නද හදන්නේ?’ ඕපදුප සම්පත් දවසක් මගේ කොම්පියුටරේට එබිලා ඇහුව වෙලේ මට පොලව පලා ගෙන යන්න හිතුනා. එදා කෑම කනකොට නම් හිමාලිගෙන් මම නොසෑහෙන්න බැනුම් ඇහුව, හීන පස්සේ දුවනවා කියල.
මං ඉතින් කවදත් හීන පස්සේ දුවපු කෙල්ලෙක් තමයි. පොඩි කාලේ අම්ම කාමරේ ජනේලේ වහල ගියාම මං ආයි හිමීට ඒක අරිනවා සුරංගනාවියෝ ආවොත් කියල. දවසක සුරංගනාවියෝ නෙවෙයි හොරු පැනල ඔක්කොම සුද්ද කරන් යයි කියල අම්ම මට දවසක් බැන්නා. ඒ අනතුරු ඇඟවීම මේ විදියට හැබෑ වෙයි කියල කව්ද හිතුවේ?
ඔහොම ටික කලක් ගත උනා. ඔෆිස් එකට අලුත් මුණු ආව. පරණ මුණු එකින් එක අයින් උනා. හිමාලිත් බැඳලා නුවර පදිංචියට ගිය නිසා මට ඔෆිස් එකේ හිටපු හොඳම යාලුවා නැති උනා. මහ ලොකු රූප රාජිනියක් නොවුනට දෙපාරක් හැරිලා බලන තරමේ පොඩි ලස්සනක් මට තිබුන තමයි. අතරින් පතර කොල්ලෝ තුන් හතර දෙනෙක් මගෙන් ඇහුවත් තමයි…
ඒ උනාට ඒ හැම කොල්ලම මනින ටේප් එක උනේ දනුක.
මෙයා දනුක තරම් සුදු නෑ, මෙයා දනුකට වඩා සුදුයි, කොටයි, උසයි, ආඩම්බරයි, කටකාරයි… ඔය වගේ බොරු බොරු හේතු මට තිබුන. මම මටම වල කපාගන්නවා කියල තේරුනත්, හිතට විරුද්ධව වැඩ කරන්න බැහැනේ.
දනුක මතක් කර කර හැමදාම ඇඩුව කිව්වොත් ඒ බොරු. ඉඳල හිටලා මොනව කනවා බොනවා ඇද්ද, මොනව කරනවා ඇද්ද කියල හිතුව. ඔෆිස් පාටි වලදී ගත්ත පරණ ෆොටෝ බල බල හීල්ලුව. රෑට එළියට බැහැල හඳ දිහා බලාගෙන දනුකත් මේ හඳ යටම ඇති කියල හිතුව. සමහර දවස් වල නම් රෑට අනේ හීනෙන් වත් පේන්න කියල චුට්ටක් විතර ඇඩුවා…
මගේ යාලුවෝ එක්කෙනා දෙන්න මගුල් ගෙවල් ගන්නකොට, අම්මයි තාත්තයි මගෙන් අහන්න ගත්ත යෝජනාවක් හොයන්නද දුවේ කියල. ඒ උනාට ඒකට කැමති වෙන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ. දනුක මගේ හිත ගිය පළවෙනි කොල්ල නෙවෙයි. ඒ උනාට අනිත් එක්කෙනෙක්ට වත් වඩා එයාගේ අමුතුම ආකර්ශනයක් තිබුන. හරියට අර සමහර පැල්ලම් තියෙන්නේ කොච්චර හේදුවත් යන්නේ නැති. ඒ වගේ. සමහර විට එයා මගේ යටි හිතේ හිටපු සර්ව සම්පුර්ණ පිරිමියා වෙන්න ඇති. හැම ගෑනු ළමයෙක්ගේම හිතේ එහෙම කෙනෙක් ඉන්නවා කියල මං අහල තියෙනවා. දනුක කියන්නේ හීනයක් කියල මගේ මොළේ කොච්චර කිව්වත් හිත ඒක පිළිගත්තේ නැත්තේ ඒක වෙන්නැති.
මගේ හඳ බැහැල ගිහින් අවුරුදු දෙකක් විතර ගියා. දවසක් අහම්බෙන් මට හිමාලිව මුණ ගැහුනා. කෙල්ල මහත් වෙලා. හැබැයි සතුටින් ඉන්න බවක් පෙනුන. හිමාලි එදා මාව අල්ලගෙන පැය ගානක් කතා කරා.
‘හිමාලි, දනුක ගැන නැද්ද ආරංචියක්…’ මට අහන්නේ ලැබුනේ එච්චරයි.
‘උඹ තාම දනුක ගැන හිතනවද? ඔච්චර එයා මත්තේ නැහෙන්නේ එයා උඹට අහවල් දෙයක් කරාටද? ඊට වඩා අර අහිංසක දෙමව්පියෝ ගැනවත් හිතපන් හරකි…’ හිමාලි මට නම්බු නාම එක්කම දෙසා බෑවා.
‘උඹ ඇහුව නිසා කියන්නම්. දනුකගේ අම්ම මට ළඟදී හම්බ උනා. එයාලගේ ඉඩමක් විකුනන්න දාලය කිව්වා. දනුකට හොඳ තැනකින් හොයල බලල කටයුත්තක් කරලා දෙන්න ඕනය, මේ දවස් වල හොයනවය කියලත් කිව්වා. ආන්ටි විතරනේ ඉන්නේ… දනුකගේ තාත්ත නැහැ කියල උඹ දන්නවනේ…ඉතින් මැටි අලේ මම මේක උඹට කිව්වේ, දනුක යෝජනාවකින් බඳින්න කැමති වෙලා ඉන්නේ. ආන්ටි හොයන්නේ ඒකනේ. උඹ මෙතන හූල්ල හූල්ල ඉඳල වැඩක් නෑ. ගෙදරින් ගෙන යෝජනා ගැන හිතල බලපන්. අම්ම තාත්ත නරකක් කරන්නේ නෑනේ.’
හිමාලි කියපු දේවලින් මගේ හිත හොඳටම රිදුනත් එදා ගෙදර ගිහින් මම සෑහෙන්න ඒ කියපු දේ ගැන හිතුව. මම හිතන්න ඕනේ දනුක ගැනද? අම්ම තාත්තගේ සතුට ගැනද? එතකොට මගේ සතුට ගැන කව්ද හොයන්නේ කියල මම මගෙන්ම ඇහුව. සතුට කියන දේ තියෙන්නේ හිතේ කියල මම මටම කියා ගත්ත. හිත හදාගත්තොත් සතුටත් එතන කියල මම මගේ රිදිච්ච හිතට කිව්වා.
මට හිත හදා ගන්න පුළුවන් උනාද කියල ඊළඟට අන්තිම කොටසින් බලන්න…
… කුරුල්ලෝ නුඹේ තාලෙන් පියාඹන්න ආසයි
පියාපත් කොහේ කොතැනින්
කොයින්දෝ ගෙනෙන්නේ
කියාපන් කුරුල්ලෝ
නෙළුම් මල් නෙලාලා ගෙලේ මං පළන්දා
කිණ්ණරාවි රූපෙන් බලන් ඉන්නවා දැං
හීන් බණ්ඩි ගොයමේ ගිරා නිල්රටාවී
ඉහල ගම් දිහාවේ ඇඹූල් පේර මාදං
පොකුරු බරවෙලා දැං බලන් ඉන්නවාලු
සිංදු ගීත වන්නම් ඔහේ කිය කියා යං
කුරුල්ලෝ නුඹේ තාලෙන් පියාඹන්න ආසයි
පියාපත් කොහේ කොතැනින්
කොයින්දෝ ගෙනෙන්නේ
කියාපන් කුරුල්ලෝ….
බැසගිය සඳ – 1 කොටස
05 මැයි 2011 ප්‍රතිචාර 3
in කෙටි කතා
‘මොකෝ මුණ එල්ලගෙන? තාම නෑ නේද?’
මගේ ඉස්සහින් ඉන්න හිමාලිගෙන් චැට් පණිවිඩයක්.
‘වැඩක් නෑ අනේ. අද එන්නැද්ද කොහෙද. චික්. චාටර් දවසක්’
උදේ 10 ත් පහුයි. ‘එයා’ තාම නෑ. මම ඔෆිස් එකේ ඉඳගෙන ඉන්න තැනට දොරින් ඇතුලට එන යන අයව හොඳට පේනවා. ‘එයා’ ගේ මේසේ තිබුනේ මං ගාවින්මයි. මගේ වැඩේ ඉතින් උදේ රැයින් ඇවිල්ල ‘එයා’ එනකම් දොර දිහා අනිමිස ලෝචනේ කර කර අයිස් ගහන එක.
‘ඔහොම ඉඳල හරියන්නෑ නිම්මි බබෝ…මොකක් හරි කරන්න වෙයි’
හඃ මේකී ඒපාර පවුල් සංවිධායක ද කවුද ද වගේ ලව් ඇඩ්වයිස් දෙන්න අරන්.
අහ් මෙන්න කියන කොටම එනවා. මොනා කර කර හිටියද මෙච්චර වෙලා. හානේ වැස්සට අහුවෙන්න ඇති. පව් තෙමෙන්නත් ඇති. බයික් එකේනේ එන්නේ.
‘ආවා ආවා’
හිමාලි චැට් එකෙන්මයි වැඩ.
මළ මගුලයි. කොල්ල හිමාලි ගේ මේසේ ගාව නැවතිලා කොම්පියුටරේට එබෙනවා නේද. මගේ කාඩුත් කුඩු වෙයිද?!
‘ආවා ආවා? කවුද හිමාලි? ගජමෑන් ද?’
දෙයියනේ මේ මෝඩි චැට් එක වහ ගන්නේ නැද්ද ඔක්කොම කියවන්න කලින්!
‘අනේ මේ දනුක, පරක්කු වුනා මදිවට අනුන්ගේ චැට් වලට හොට දාන්නත් ආවද? මේ ලංකාව තුන් වෙනි ලෝකේ රටක් වෙන එක අහන්න දෙයක්ද ඔයාල වගේ කට්ටිය දහයත් පහු වෙලා වැඩට එනකොට?’
‘අම්මෝ හිමාලිගේ සැර. හරි හරි මැඩම්, ආර්ථික විද්‍යාව පාඩම පස්සේ අහගන්නම්. එහෙනම් අපි ගියා’
මම බොහොම අමාරුවෙන් එදා නම් හිනාව නවත්ත ගත්තේ.
දනුකට ආදරේ කරේ ඇයි කියල හේතු කාරණා කියන්න මට අදත් තේරෙන්නේ නෑ. දනුක හොඳ කොල්ලෙක් තමයි. ඒ උනාට මට එයා ගැන පිස්සුවක් ඇති උනේ එයා දැකපු දවසේමයි. ඒ කිව්වේ එයා නළුවෙක් වගේ ලස්සනයි කියන එක නෙවෙයි. ලස්සන නැතත් නැහැ. උසයි. සුදුයි. පීරන්න අමතක වෙච්ච කොන්ඩේ. හැමතිස්සෙම මූණේ හිනාව. නිකම් බාගෙට පිස්සු පෙනුමක් තිබුන කොල්ලෙක්. අනේ මන්ද මං හිතන්නේ මටත් සම්පුර්ණයෙන්ම පිස්සුද කොහෙද…
හොරෙන් හොරෙන් එයා දිහා බල බල ඉන්නවා මිසක් මගේ කැමැත්ත එයාට පෙන්වන්න මට දහිරියක් තිබුනේ නෑ. අඩුම තරමේ යාලුවෙක්ට වත් කිව්වේ නෑ – හිමාලි ඇරෙන්න. ඔය ඉඳල හිටලා හායි බායි කියනවා ඇරෙන්න ලොකු කතා බහක් අපි අතර තිබුනේ නැහැ. හිමාලි නම් කිව්වේ මම මහා මෝඩියක් කියල. දනුක ට කැමති උන නිසා නෙවෙයි – එයාට ඒක පෙන්නුවේ නැති නිසා. ඒ උනාට මගේ තියරි එක උනේ එයාට මං ගැන අදහසක් තියෙනවා නම් එයා අහන්න ඕනේ කියලයි. ඒක අහල හිමාලි ඔලුවේ අත ගහගත්තා.
‘ඔයා හිතන්නේ තමන්ට අකමැති වෙයි කියල හිතන කෙල්ලෙක් ගෙන් කොල්ලෙක් අහයි කියලද? ගොන් වහන්සේ! මේකී කවද හැදෙය්ද මන්ද’ ඔන්න එයාගේ උත්තරේ.
‘නිම්මි, මේ අහන්න, දනුකගේ හිතෙත් ඔයාට කැමැත්තක් තියෙනවා කියල මට හිතෙන්නේ…එදා මතක නැද්ද අපි හැමෝම කෙල්ලෝ ඉන්දැද්දී ඔයාට විතරක් අයිස් ක්‍රීම් එකක් දුන්නේ?’
‘මන්ද අනේ මගේ මොළෙත් නිකම් අවුල් වෙලා’
ඒ දවස් වල මගේ කාලයෙන් වැඩි කොටසක් ගියේ එයා මට කැමතිද නැද්ද, එදා ලිෆ්ට් එකේදී හිනා වුනේ මාත් එක්කද, ඔෆිස් එකේදී කුටු කුටු ගාල යාලුවෝ එක්ක කතා කරන්නේ මං ගැනද…ඔන්න ඔය වගේ බොළඳ විකාර වලට. කොහොමින් කොහොම හරි මට එයාට මගේ ආදරේ පෙන්නගන්න පුළුවන් වුනේ නැහැ. මාස දෙක තුනක්ම යන්තම් හිනා වේවි, හොරෙන් බල බල, හිමාලිගෙන් බැනුම් අහ අහ හිටිය ඇරෙන්න. ඔෆිස් එකේ පාටි එකේදී මම නමවත් දන්නේ නැති කවුද කොල්ලෙක් එක්ක ඩාන්ස් කරේ එයාට රිදවන්නමයි. ඒ උනාට මට අන්තිමට පාටි එකත් එපා උනා.
නමුත් එයා එච්චර ඉක්මනට මාව දාල යයි කියල නම් මම හීනෙකින්වත් හිතුවේ නෑ. දවසක් උදෙන් සම්පත් ඇවිත් ‘දන්නවද දනුක රට යන්න හදන්නේ නේද’ කියද්දී මගේ පපුව නැවතුනා වගේ දැනුනේ ඒකයි.
‘ආ මේ ඔෆිස් වැඩකටද සම්පත්?’ හිමාලි ඇහුවේ හොරෙන් මා දිහා බල බල. එතකොට මාත් බලාගෙන හිටියේ සම්පත් ‘ඔව් මාස දෙක තුනකට’ කියල කියයි කියල. දවසක් නොදක ඉන්න බැරි කොට මාස ගානක් නොදක ඉන්නේ කොහොමද කියල මට එවෙලේ හිතුන. ඒ උනාට සම්පත්ගෙන් ලැබුන උත්තරෙන් මගේ ඒ බලාපොරොත්තුවත් නැති වෙලා ගියා.
‘පිස්සුද. ඌ යන්නේ මෙහෙන් අස්වෙලා. එම් එස් සී එක කරන්න යන්නේ ඔස්ට්‍රේලියාවට. ඕකා ඉතින් ආයි මෙහෙ එන එකක් නෑ…සුද්දියෙක් සෙට් කරගෙන එහෙම පදිංචි වෙයි. හැක් හැක්’
සම්පත් හැකර කටෙන් තව මොන මොනවාද කීවත් මට ඒවා එකක් වත් ඇහෙනේ නෑ. ඇඬෙන්න ආව නිසා මම දුවල වොෂ් රූම් එකට ගියා.
මගේ බොළඳ උනත් අහිංසක ආදරේට මොකද උනේ කියල දැනගන්න ඊළඟ කොටස බලන්න…
ඔබට මා ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්……
වළාකුලින් ඔබ වැසීගියා බොල් අහසේ
…සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළගේ …….
ඉරත් මැරී පුන් සඳත් මැරී ලොව අඳුරේ
කෙසේද ඉන්නේ පාළු පැලේ නිදි පැදුරේ…….
සිහින කොහි සැඟවුනිද – 5 (අවසාන)කොටස
04 මැයි 2011 ප්‍රතිචාරයක් ලබාදෙන්න
in කෙටි කතා
වහා කොළඹ එන්නයි අප්පච්චි ගෙන් නියෝග එන්නට පටන් ගත්තේ මේ කාලයේය.
‘අපේ නම්බුව කෑව! අපි ගමේ ඉන්නේ කොහොමද?’
මගේ දඩබ්බරකම් පාලනය කිරීමට අසමත් වූ ලොකු මාමා මට බැණ වැදුනේය.
ඒ වනවිට තත්වය කෙතරම් දරුණු විද යත් අත්තම්මා මා සමඟ කතා කිරීම තබා මුහුණ බැලීම ද අත හැර සිටියාය.
‘මේකේ ඉන්න එවුන් අපිට හිනා වෙනවා. අපියි මේ ගමේ ඉන්න ඕනැ. තමුසෙලා නෙවෙයි. දෝනියන්ද වහාම ගෙදර එක්ක ගියේ නැත්තම් මං නරක මිනිහ කියන්න එපා’ ලොකු මාමා දුරකතනයෙන් අම්මාට කෑ ගසනු ඇසී මම ඔහු වෙත දිව ගියෙමි.
‘අපි බඳිමු’
මා සිතුවේ චිත්‍රපට වල මෙන් ඔහු හැරෙන තැපෑලෙන් මා කැන්දන් යනු ඇති කියාය. නමුත් එබස් ඇසු ඔහුගේ මුහුණ සුදුමැලි විය.
‘බඳින්න…? දැන්? ඔයා ට පිස්සුද?’
තමන්ගේ පෙම්වතා ගෙන් එබස් අසන ඕනෑම පෙම්වතියක මෙන්ම මටද කෝපය පාලනය කර ගත නොහැකි විය.
‘පිස්සු? ඔව් මට පිස්සු තමයි…ඔයාව මෙච්චර විශ්වාස කලාට’
‘මේ බලන්න අමා…ටිකක් හිතන්න…මම තාම කැම්පස් තුන්වෙනි අවුරුද්දේ…මට රස්සාවක් හොයාගන්න තව අවුරුදු දෙකක් වත් යයි…එතකන් අපි ඉමු’
ඔහු ගේ කියුම් අසන්නට මට එවෙලේ ඕනෑකමක් නොවිය. ලෙඩවී ඇඳට වැටී සිටින ඔහුගේ මව, ගරා වැටෙන්නට ඔන්න මෙන්න වූ ඔවුන්ගේ නිවෙස…මට ඒවා ගැන කිසිත් නිනව්වක් නොවීය.
‘අමා… මම ගොඩක් අමාරුවෙන් කැම්පස් ගියේ. මට උගන්නන්න අම්මා ගොඩක් දුක් වින්ද. ඔයා කියන්නේ මේවා ඔක්කොටම පයින් ගහල කසාදයක් කර ගන්න කියලද?’
‘කව්ද ඔයාට කැම්පස් නොයා ඉන්න කිව්වේ?’
‘ඔයාව බැඳලා මම කොහොමද ඔයාව ගමේ තියල කැම්පස් යන්නේ? හිතනවද ඔයාගේ මාමල ඔයාටයි අම්මටයි ගමේ ඉන්න දෙයි කියල? ඇරත් මම අම්මට සල්ලි එවන්නෙත් මහපොලෙන් හම්බෙන සල්ලියි , ළමයින්ට ටියුෂන් දීල හම්බෙන සොච්චමෙනුයි ටික ටික ඉතුරු කරන්. ඔයාට කන්න අඳින්න දෙන්නේ කොහොමද මම?’
දෙලොවක් අතර කිසිත් සැනසීමක් නොලද මම නිරුත්තර වීමි…
එදා රෑ කවුදෝ වලව්වට ගල් ගසනුත් හූ කියනුත් ඇසුනි. පහන් දල්වා ආලින්දයට දිව ගිය මා දුටුවේ ගේට්ටුවේ ගසා තිබූ කැළෑ පත්තරය ගලවාගෙන සෙමින් වලව්වට පිය නඟන අත්තම්මාය. මාත් ඔහුත් සම්බන්ධ කර එහි ලියා තිබූ කුනුහරුපය කියවන ඇයගේ වියපත් දෙතොල් ගැහෙන සැටි දුටු මම මහත් කම්පනයට පත් වීමි.
‘අත්තම්මා…’
ඇය මා දෙස නොබලා ඇගේ කාමරයට ගියාය.
පසුදින උදෑසන වනවිට හෘදයාබාධ යකින් ඈ මිය ගොස් සිටියාය.
ඈට දරාගැනීමට නොහැකි වුයේ තමන්ගේ අශීලාචාර මිනිබිරියගේත්, තමන්ගේම සල්ලාල පුතුගේ ලෙයින් උපන් අවජාතකයාගේත් සම්බන්දයද, නැතහොත් එතෙක් කල් ඈ හට යටහත් පහත්ව ගරු බුහුමන් කල ගම්මුන්ගේ උපහාසයට භාජනය වීම දැයි මම නොදනිමි.
අම්මාත් අප්පච්චිත් මා රැගෙන යන්ට ගමට පැමිණියේද එදිනය. නමුත් ඒ වන විට සියල්ල සිදුවී හමාරය.
නෑයන් සියලු දෙනා මා වැරදි කාරිය කොට සිර අඩස්සියට දමා තිබුණි. ඔවුන් මාරාවේශයෙන් ඔහු සොයන බව දැනගත් මම ගමෙන් පිට වන්නැයි කියාත් ඔහු හමුවෙන සැටියක් කියා එවන්ට කියාත් ජේන් අම්මා අත පණිවිඩ යැවීමි.
ඔහු ගෙන් මට පෙරලා පිළිතුරු නොලැබුණි.
…. ඒ මිට වසර තුන හතරකට පෙරය. කොළඹ විත් මා ඔහු සොයන්ට ගත් සියලු උත්සාහයන් අප්පච්චිගේ තර්ජන මැද ව්‍යර්ථ විය. නිවසට කොටුවූ මට දුරකථන තහනම් විය. යහළුවන් ආශ්‍රයටද නැවතීමේ තිත වැටුණි. රැකියාවකට යාම ගැන සිතන්නටවත් ඉඩක් නොවීය.
අත්තම්මාගේ මරණය නිසා දැඩි මානසික පීඩාවට පත්ව සිටි මා දමනය කිරීම එතරම් අපහසු නොවීය.
‘මේ කෙල්ලව මෙහෙම තියාගෙන ඉඳල හරියනවද?’
බලා ගත් අත බලාගෙන සිටිමින් කඳුළු බොමින් සිටි මට මඟුල් හොයන්නට අම්මා පටන් ගත්තාය. සියල්ල මා පිළිකුලින් ප්‍රතික්ෂේප කලෙමි. ඔහු පිලිබඳ ප්‍රේමය අත්නොහරියද ඔහු ගැන බලාපොරොත්තු අත හැරීමි. මා සොයා එන්නට ඔහුට මේ ඕනෑතරම් කල් ඇති නොවේද?
‘අහ් අමා …’
ඒ නිවෙස් හිමි නෝන්ජල් පුත්‍රයාය.
‘ආ මයි කන්ග්‍රඩ්ස්… ඔයා හොඳට පාස් නේද…සොරි මට කලින් විශ් කරන්න බැරි උනා. ඇයි මේ වෙලාවේ මෙතන?’
මට අවශ්‍ය වුයේ ඔහුව එතනින් යවා ගැනීමටය. තනිවම වැස්ස දෙස බලා සිටීමට මට ඕනෑ විය.
‘තෑන්ක් යු අමා…මම මේ මගේ යාළුවෙක් එනවා කිව්වා…මේ තාම නෑ එකයි බැලුවේ…’
‘ආ යාලුවෙක්? එහෙනම් ගෑනු ළමයෙක් වෙන්නැති’
‘න් නැහැ …’ අසරණයාගේ මුණ රතු වෙයි. නමුත් එතනින් ඉවත් වුයේ ඔහු නොවේ.
‘මට …මට ගොඩක් උදව් කල යාලුවෙක්…මගේ උපාධියට ගොඩක්… වැඩ ඉගැන්නුවා මට…මේ ලංකාවේ කැම්පස් එකකින් ශිෂ්‍යත්වෙකින් ආපු ළමයෙක්…එයා මාස්ටස් වලට ඇවිත් හිටියේ…’
ඔහුගේ කතා මා විඩාවට පත් කරයි. ඔහු නොයනවානම් මාවත් මෙතනින් යා යුතුය.
‘පොඩ්ඩක් ඉන්න අමා…’ මා යන්නට හැරෙනු දැක ඔහු පැවසුවේ මා විමතියට පත් කරමිනි.
‘ඇයි?’
‘ඉන්න එයා එනකම්…දැන් එයි …ඔයාට අඳුන්වල දෙන්නම්’
ඔහුගේ යාලුවා මුණ ගැසීමට මට කිසිත් ආසාවක් නැති බව කීමට සුදානම් වන විටම නිවෙස දෙසට මෝටර් රථයක් හැරවිණි.
‘ආ මේ ආවේ…’
මෝටර් රිය තුල සිටින රුව දුටු මම මොහොතකට වික්ෂිප්ත වීමි. මේ සිටින්නේ…
‘අමර! …’
අකුණු ගසමින් වැස්ස ඇද හැලෙයි.
ඒ වගක් නැතිව ඔහු මිදුලේ සිටගෙන මා දෙස බලා සිටියි. බොහෝ කලකට පෙර, අතහැර දැමු උයනක සඳ එළියෙන් බලා සිටි සේම ඔහු මා වෙත දෙනෙත් යොමා සිටියි.
මම ඔහුගේ දෙනෙත කියවන්නට උත්සාහ කලෙමි. බලාපොරොත්තුව, ආදරය, බිය, වේදනාව…
වැසි මැද මම ඔහු වෙත ගියෙමි.
‘මම හිතුව ඔයා කොළ පාට අඳියි කියල’
ඔහු මා වැළඳ ගන්නට පෙර පැවසුවේය.
~ නිමි!~
සිහින කොහි සැඟවුනිද – 4 කොටස
04 මැයි 2011 ප්‍රතිචාරයක් ලබාදෙන්න
in කෙටි කතා
සාදයට ගොස් ටික වේලාවකින්ම මට එය එපා විය. එක තැනක මැදි වියත් ඉක්මවූ ගැහැණු වෙසක් කුඩු මෙන් පාට පාට මුහුණේ ගා ගෙන තම තමන්ගේ පුරාජේරු කතා කරති. තව තැනක ලොකු බඩගෙඩි ඔසවා ගත් තට්ටය පැදුණු ඔවුන්ගේ සැමියෝ රහමෙරෙන් මත්වී විකාර දොඩවති. මේවා මැද කම්මැලිකම උසුලා ගත නොහැකි වූ මම නිවසේ ඒ මේ අත ඇවිදින්නට වීමි.
එදා ඒ සාදය පැවැත්වුයේ අම්මාගේ මිතුරියගේ පුත්‍රයා පිටරට ඉගෙනීම අවසන් කර පැමිණීම හේතුවෙනි. කුඩා කල සිට දැන සිටි ඔහු නෝන්ජල් එහෙත් අහිංසක තරුණයෙකු විය. සිය රදළ ධනවත් දෙමාපියන්ගේ පුස් පාට් කිසිත් නොපෑ ඔහු ඉගෙනීමේ දක්ෂයෙකු නොවිය. ඔහු වන්නෙකු කෙසේ මෙවන් උපාධියක් ගත්තාදැයි සිතමින් මම නිවසේ අමුත්තන්ගෙන් හිස්වූ ඉස්තෝප්පුවට ගියෙමි. ඇද හැලෙන වැස්ස නිසා සියල්ලන්ම නිවෙස තුලට ගොස්ය. නමුත් ඉස්තෝප්පුවට වැටෙන හිරිකඩ මට සැපකි. කුඩා වැහි බින්දු එකින් එක අතරින් පතර මගේ ගත වැකෙන විට මට අපුලක් නොදැනේ…
…මෙවන් වූ වැසි දිනයක මම වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම ඔහුට හිමි වීමි. එදා මා ඔහු සොයා දිව ගියේ සතුටින් නොවේ. පොද වැහි වැටෙද්දීත් ඉකි බිඳිමින් මා ඔහු වෙත ගියේ අප දෙදෙනාට එරෙහි පළමු වෙඩිල්ල පත්තු වී ඇති බව පැවසීමටය…
‘අපි ගැන ලොකු මාම දැනගෙන’
‘ඔයාගේ ලොකු මාම?…’
‘ඔව්… ඔයාගේ අම්ම අතරමන් කරපු… ඔයාගේ තාත්ත!…මගේ මාම…’
සත්‍ය වශයෙන්ම ඔහු නෑකමින් මගේ මස්සිනා වුවත් මගේ සල්ලාල මාමා ගේ වැරදි නිසා ‘අවජාතක’ යයි සමාජයෙන් ලේබල් වැද, ‘රොඩියා’ යයි මගේ වංශවත් නැයින්ගෙන්ද නම්බු නාම ලත්තේය.
‘මට ඔයා ඇර වෙන කාගෙන්වත් වැඩක් නැහැ’
වලව්වේ පුහු මානය වෙත බැඳගත් වෛරයෙන් ද ඔහු වෙත බැඳුනු ස්නේහයෙන්ද දැවෙමින් මම පැවෙසුවෙමි. වැහි වැටුනේ මගේ කඳුළු දිය කර හරිමිනි. සීතල වැස්සේ උණුසුමක් සොයන්නට මෙන් ඔහුගේ තෙත බරිත වුනු කමිසයේ බොත්තම් මායිම් නොකර සොයා ගත් සුව යහනේ හිස හෙවු මම ඔහුගේ හදවත ගැහෙන රාවයෙන් මත් වීමි. පොපියන දෙතොල ඒ රාවය අසා කෙසේ නිසලව ඉන්නද? මගේ දෙතොල ඔහුගේ මුවේ අමා පැන් සොයා යද්දී ඔහුගේ දෑත දුන් සොඳුරු විධාන වලට කෙසේ අවනත නොවී සිටින්නද? …
මරණ තුනක් ඇති මිනිසා පැණි කෑවා සේ අප වටා නැගුනු ගිනි දැල් නොතකා එදා සුළු මොහොතකට අපි අපේ ලොවක තනි වීමු. නමුත්… අපේ ලොව බිඳ දමන්නට ඔවුන්ට ගියේ සුළු කාලයකි…