සිහින කොහි සැඟවුනිද – 5 (අවසාන)කොටස

වහා කොළඹ එන්නයි අප්පච්චි ගෙන් නියෝග එන්නට පටන් ගත්තේ මේ කාලයේය.
‘අපේ නම්බුව කෑව! අපි ගමේ ඉන්නේ කොහොමද?’
මගේ දඩබ්බරකම් පාලනය කිරීමට අසමත් වූ ලොකු මාමා මට බැණ වැදුනේය.
ඒ වනවිට තත්වය කෙතරම් දරුණු විද යත් අත්තම්මා මා සමඟ කතා කිරීම තබා මුහුණ බැලීම ද අත හැර සිටියාය.
‘මේකේ ඉන්න එවුන් අපිට හිනා වෙනවා. අපියි මේ ගමේ ඉන්න ඕනැ. තමුසෙලා නෙවෙයි. දෝනියන්ද වහාම ගෙදර එක්ක ගියේ නැත්තම් මං නරක මිනිහ කියන්න එපා’ ලොකු මාමා දුරකතනයෙන් අම්මාට කෑ ගසනු ඇසී මම ඔහු වෙත දිව ගියෙමි.
‘අපි බඳිමු’
මා සිතුවේ චිත්‍රපට වල මෙන් ඔහු හැරෙන තැපෑලෙන් මා කැන්දන් යනු ඇති කියාය. නමුත් එබස් ඇසු ඔහුගේ මුහුණ සුදුමැලි විය.
‘බඳින්න…? දැන්? ඔයා ට පිස්සුද?’
තමන්ගේ පෙම්වතා ගෙන් එබස් අසන ඕනෑම පෙම්වතියක මෙන්ම මටද කෝපය පාලනය කර ගත නොහැකි විය.
‘පිස්සු? ඔව් මට පිස්සු තමයි…ඔයාව මෙච්චර විශ්වාස කලාට’
‘මේ බලන්න අමා…ටිකක් හිතන්න…මම තාම කැම්පස් තුන්වෙනි අවුරුද්දේ…මට රස්සාවක් හොයාගන්න තව අවුරුදු දෙකක් වත් යයි…එතකන් අපි ඉමු’
ඔහු ගේ කියුම් අසන්නට මට එවෙලේ ඕනෑකමක් නොවිය. ලෙඩවී ඇඳට වැටී සිටින ඔහුගේ මව, ගරා වැටෙන්නට ඔන්න මෙන්න වූ ඔවුන්ගේ නිවෙස…මට ඒවා ගැන කිසිත් නිනව්වක් නොවීය.
‘අමා… මම ගොඩක් අමාරුවෙන් කැම්පස් ගියේ. මට උගන්නන්න අම්මා ගොඩක් දුක් වින්ද. ඔයා කියන්නේ මේවා ඔක්කොටම පයින් ගහල කසාදයක් කර ගන්න කියලද?’
‘කව්ද ඔයාට කැම්පස් නොයා ඉන්න කිව්වේ?’
‘ඔයාව බැඳලා මම කොහොමද ඔයාව ගමේ තියල කැම්පස් යන්නේ? හිතනවද ඔයාගේ මාමල ඔයාටයි අම්මටයි ගමේ ඉන්න දෙයි කියල? ඇරත් මම අම්මට සල්ලි එවන්නෙත් මහපොලෙන් හම්බෙන සල්ලියි , ළමයින්ට ටියුෂන් දීල හම්බෙන සොච්චමෙනුයි  ටික ටික ඉතුරු කරන්. ඔයාට කන්න අඳින්න දෙන්නේ කොහොමද මම?’
දෙලොවක් අතර කිසිත් සැනසීමක් නොලද මම නිරුත්තර වීමි…

එදා රෑ කවුදෝ වලව්වට ගල් ගසනුත් හූ කියනුත් ඇසුනි. පහන් දල්වා ආලින්දයට දිව ගිය මා දුටුවේ ගේට්ටුවේ ගසා තිබූ කැළෑ පත්තරය ගලවාගෙන සෙමින් වලව්වට පිය නඟන අත්තම්මාය. මාත් ඔහුත් සම්බන්ධ කර එහි ලියා තිබූ කුනුහරුපය කියවන ඇයගේ වියපත් දෙතොල් ගැහෙන සැටි දුටු මම මහත් කම්පනයට පත් වීමි.

‘අත්තම්මා…’
ඇය මා දෙස නොබලා ඇගේ කාමරයට ගියාය.

පසුදින උදෑසන වනවිට හෘදයාබාධ යකින් ඈ මිය ගොස් සිටියාය.
ඈට දරාගැනීමට නොහැකි වුයේ තමන්ගේ අශීලාචාර මිනිබිරියගේත්, තමන්ගේම සල්ලාල පුතුගේ ලෙයින් උපන් අවජාතකයාගේත් සම්බන්දයද, නැතහොත් එතෙක් කල් ඈ හට යටහත් පහත්ව ගරු බුහුමන් කල ගම්මුන්ගේ උපහාසයට භාජනය වීම දැයි මම නොදනිමි.

අම්මාත් අප්පච්චිත් මා රැගෙන යන්ට ගමට පැමිණියේද එදිනය. නමුත් ඒ වන විට සියල්ල සිදුවී හමාරය.

නෑයන් සියලු දෙනා මා වැරදි කාරිය කොට සිර අඩස්සියට දමා තිබුණි. ඔවුන් මාරාවේශයෙන් ඔහු සොයන බව දැනගත් මම ගමෙන් පිට වන්නැයි කියාත් ඔහු හමුවෙන සැටියක් කියා එවන්ට කියාත් ජේන් අම්මා අත පණිවිඩ යැවීමි.
ඔහු ගෙන් මට පෙරලා පිළිතුරු නොලැබුණි.

…. ඒ මිට වසර තුන හතරකට පෙරය. කොළඹ විත් මා ඔහු සොයන්ට ගත් සියලු උත්සාහයන් අප්පච්චිගේ තර්ජන මැද ව්‍යර්ථ විය. නිවසට කොටුවූ මට දුරකථන තහනම් විය. යහළුවන් ආශ්‍රයටද නැවතීමේ තිත වැටුණි. රැකියාවකට යාම ගැන සිතන්නටවත් ඉඩක් නොවීය.
අත්තම්මාගේ මරණය නිසා දැඩි මානසික පීඩාවට පත්ව සිටි මා දමනය කිරීම එතරම් අපහසු නොවීය.
‘මේ කෙල්ලව මෙහෙම තියාගෙන ඉඳල හරියනවද?’
බලා ගත් අත බලාගෙන සිටිමින් කඳුළු බොමින් සිටි මට මඟුල් හොයන්නට අම්මා පටන් ගත්තාය. සියල්ල මා පිළිකුලින් ප්‍රතික්ෂේප කලෙමි. ඔහු පිලිබඳ ප්‍රේමය අත්නොහරියද ඔහු ගැන බලාපොරොත්තු අත හැරීමි. මා සොයා එන්නට ඔහුට මේ ඕනෑතරම් කල් ඇති නොවේද?

‘අහ් අමා …’
ඒ නිවෙස් හිමි නෝන්ජල් පුත්‍රයාය.
‘ආ මයි කන්ග්‍රඩ්ස්… ඔයා හොඳට පාස් නේද…සොරි මට කලින් විශ් කරන්න බැරි උනා. ඇයි මේ වෙලාවේ මෙතන?’
මට අවශ්‍ය වුයේ ඔහුව එතනින් යවා ගැනීමටය. තනිවම වැස්ස දෙස බලා සිටීමට මට ඕනෑ විය.
‘තෑන්ක් යු අමා…මම මේ මගේ යාළුවෙක් එනවා කිව්වා…මේ තාම නෑ එකයි බැලුවේ…’
‘ආ යාලුවෙක්? එහෙනම් ගෑනු ළමයෙක් වෙන්නැති’
‘න් නැහැ …’ අසරණයාගේ මුණ රතු වෙයි. නමුත් එතනින් ඉවත් වුයේ ඔහු නොවේ.
‘මට …මට ගොඩක් උදව් කල යාලුවෙක්…මගේ උපාධියට ගොඩක්… වැඩ ඉගැන්නුවා මට…මේ ලංකාවේ කැම්පස් එකකින් ශිෂ්‍යත්වෙකින් ආපු ළමයෙක්…එයා මාස්ටස් වලට ඇවිත් හිටියේ…’
ඔහුගේ කතා මා විඩාවට පත් කරයි. ඔහු නොයනවානම් මාවත් මෙතනින් යා යුතුය.
‘පොඩ්ඩක් ඉන්න අමා…’ මා යන්නට හැරෙනු දැක ඔහු පැවසුවේ මා විමතියට පත් කරමිනි.
‘ඇයි?’
‘ඉන්න එයා එනකම්…දැන් එයි …ඔයාට අඳුන්වල දෙන්නම්’
ඔහුගේ යාලුවා මුණ ගැසීමට මට කිසිත් ආසාවක් නැති බව කීමට සුදානම් වන විටම නිවෙස දෙසට මෝටර් රථයක් හැරවිණි.
‘ආ මේ ආවේ…’
මෝටර් රිය තුල සිටින රුව දුටු මම මොහොතකට වික්ෂිප්ත වීමි. මේ සිටින්නේ…

‘අමර! …’
අකුණු ගසමින් වැස්ස ඇද හැලෙයි.
ඒ වගක් නැතිව ඔහු මිදුලේ සිටගෙන මා දෙස බලා සිටියි. බොහෝ කලකට පෙර, අතහැර දැමු උයනක සඳ එළියෙන් බලා සිටි සේම ඔහු මා වෙත දෙනෙත් යොමා සිටියි.
මම ඔහුගේ දෙනෙත කියවන්නට උත්සාහ කලෙමි. බලාපොරොත්තුව, ආදරය, බිය, වේදනාව…
වැසි මැද මම ඔහු වෙත ගියෙමි.
‘මම හිතුව ඔයා කොළ පාට අඳියි කියල’
ඔහු මා වැළඳ ගන්නට පෙර පැවසුවේය.
~ නිමි!~

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: