බැසගිය සඳ – 3 (අවසාන)කොටස

‘මේ අර එදා බැලුව එක නම් හොඳටම ගැලපෙනවා කියල ඉස්කෝලේ අක්ක කිව්වේ’
අම්ම තාත්තට කියනවා ඇහුනු මට තේරුණා මගුලක් කඩන් පාත්වෙන්නයි යන්නේ කියල. ඉස්කෝලේ නැන්දට කේන්දර බලන්න පුළුවන් නිසා අම්මගේ වැඩේ උදේ හවස එයත් එක්ක මට පොරොන්දම් ගලපන එකයි. මගේ කෙන්දරේ ඔන්න ඔය මොනවාද ග්‍රහයෝ ඉන්න විදිහ නිසා ගලපන්න අමාරුම එකක් කියල තමයි නැන්දා කිව්වේ.
කේන්දරේ ගැලපීම තමයි අම්මගේ පළමු පියවර. දැන් ඒක සාර්ථක වුනු නිසා ඊළඟට මට ඕක කියල විස්තර කියන්නේ ඊළඟ අදියර හැටියට. මං ඉතින් සාමාන්‍යයෙන් කරන්නේ එවල තියෙන ෆොටෝ බලල ඇදයක් හොයන එක තමයි. හැබැයි හිමාලි කියපු දේ මතක් උන නිසා කාලගෝල පෙනුමක් නැති පාරේ එක්කන් යන්න පුළුවන් කොල්ලෙක් නම් පොඩ්ඩක් හිතල බලන්න ඕනේ කියල මම හිතුව.
‘දුවේ… අර ළමයාගේ ෆොටෝ වගයක් එවල තියෙන්නේ එහෙන්. හරි සීදේවි පාටයි…පිට රට ඉගෙන ගෙන දැන් ලංකාවට ඇවිත්ලු ඉන්නේ…’
‘හපෝ එහෙනම් එහෙ සුද්දියොත් ඉන්නවද දන්නේ නෑ’
අම්මගේ මුණ ඇඹුල් උනා මගේ කට කැඩිච්ච කතාවට. ඉතින් මම කිව්වේ ඇත්තනේ.
‘අපි එහෙම එකෙක්ට ඔයාව දෙනවද? කව්ද නිකම්ම බැඳලා දෙන්නේ? ඇයි අපිට හෙන ගහලද එහෙම හොයන්නේ බලන්නේ නැතිව මේවා කරන්න?’
‘හරි හරි ඉතින් අම්මල කොහොමද ඔය රට රටවල් වල ඉන්න කොල්ලෝ ගැන හොයන්නේ?’
‘මේ ළමය ගැන තාත්ත එහෙ ඉන්න තාත්තගේ යාලුවෝ කිපදෙනෙක්ගෙන්ම අහල තියෙනවා ළමයෝ. හරි හොඳ දරුවෙක් කියල තමයි කිව්වේ.’
ශං! අම්ම නිකම් සර්ච් එන්ජින් එකක් වගේනේ… ෆුල් සර්ච් පාරක් දාල වගේ.
‘තාත්තගේ යාලුවොන්ගෙන් චරිත සහතික ගන්න නම් ඉතින් සිරිමත් මගේ සකි වගේ කොල්ලෙක් වෙන්න ඇති නේද අම්මේ. මහා කම්මැලි පොත් ගුල්ලෙක් ද දන්නෑ’
‘අනේ ඇත්තට මේ කෙල්ල නම් පුදුමයි. මුලින් සුද්දියෝ ඇතිලු. දැන් කියනවා පොත් ගුල්ලෙක් වෙන්න ඇතිලු.’
අප්පා අම්මට තරහ ගිහින්.
‘ඔන්න ෆොටෝ එක. ඕනනම් බලන එකයි. සමයං. මං යනවා බණ අහන්න. ඔයා ඕනැ එකක් කරගන්න.’
චික් පිට රට කිව්වට මොන රටේද කියල අහගන්න බැරිඋනානේ. ඔස්ට්‍රේලියාවේද දන්නේ නෑ.
නෑ නෑ ඔස්ට්‍රේලියාව ඕනෙම නෑ. මොන රටක්ද එක. කව්ද එහෙ යන්නේ.
කෝ බලන්න ෆොටෝ එක…
අම්ම දාල ගිය කවරේ ඇතුලේ තිබ්බ ෆොටෝ එක දැක්ක මම තුෂ්නිම්භූත උනා.
මේ..මේ..ඉන්නේ … දනුක!
මම දෙතුන් පාරක් ඇස් පොඩි කරලා අයෙත් බැලුවේ ඇත්තටම දනුක ෆොටෝ එකේ ඉන්නවද නැද්ද කියල හිතාගන්න බැරිව.
ඇත්තටම…දනුක තමයි. එතකොට…
මට අම්මගෙන් අහන්න ප්‍රශ්න ගොඩක් තිබ්බ. ලොකුම ප්‍රශ්නේ උනේ මගේ ෆොටෝ එක දනුකලගේ දිහාට යවලද කියල.
‘නැතුව ළමයෝ. ඒ පැත්තෙන් දුව බලන්න මෙහෙ එන්නත් කැමතියි කියල තියෙන්නේ. ඔයාගේ වචනේ එනකන් මට මෙහෙට එන්න කියන්න බෑනේ’
එතකොට දනුක මාව අඳුනගෙන නැද්ද? මාව අඳුන ගත්තනම් ඇයි මේ විදියට…? පුදුම අවුල් ජාලයක්.
අන්තිමට මම හිමාලිට කතා කරා.
‘හිමාලි මට දනුකගේ නම්බර් එක හොයල දෙන්නකෝ’
‘මොකක්? දනුකගේ නම්බර් එක? මොන කෙන්ගෙඩියකටද ඒ ?’
මං සිද්දිය කෙල්ලට කිව්වට පස්සේ ඔන්න ටක් ගාල නම්බර් එක හම්බුනා.

හප්පා…දැන් නේ අමාරුම වැඩේ. දැන් මේ නම්බර් එකට කතා කරලා මොනවාද කියන්නේ?
හෙලෝ දනුක ප්ලීස්
නෑ නෑ පොෂ් වැඩියි. ගෙදර මිනිස්සුත් බය වෙයි.
මේ දනුක ඉන්නවද
චාටර්. ගොඩේ කෙල්ලෙක් වගේ.

අන්තිමට ඕනැ එකක් වෙද්දෙන් කියල මම ඩයල් කරා.
එහා කෙළවරෙන් ෆෝන් එක වැඩි වැඩි තිබුණු තප්පර දහය මගේ ජිවිතේ දිගම තප්පර දහය වෙන්නැති.
‘හෙලෝ’
දනුක ද මේ? කොහෙද මං කලින් එයත් එක්ක ෆෝන් එකේ කතා කරලා තියෙන එකක් යැ.
‘දනුකට කතා කරන්න පුලුවන්ද?’
‘ආ ඔව්. දනුකට කතා කරන්න පුලුවන්’
‘ම්හ්…මේ කෝ ඉතින්’
‘මොකද්ද?’
‘දනුක නැද්ද?’
‘ඉන්නවා’
මොන මගුලක්ද මේ.
‘දනුකට ෆෝන් එක දෙනවද’
‘හඃ හඃ මේ කතා කරන්නේ දනුක තමයි’
‘…’
‘කෝ කාටද දැන් දනුක එක්ක කතා කරන්න ඕනේ?’
‘මම.. මේ..’
‘නිම්මි බබාට නමත් අමතක වෙලානේ’
‘!’
‘ඔයා කොහොමද මාව අඳුන ගත්තේ?’
‘මෙහෙමයි. අපේ ගෙදර ෆෝන් එකට කොලර් අයි ඩී තියෙනවා. හරිම සරලයි’
මට තරහ වැඩි කමට ද කොහෙද ඇඬෙන්න ආව. මෙයාට මේක සෙල්ලමක්.
‘ඔයාට නම් මම විහිළුවක් නේද’
‘අනේ නිම්මි…නැහැ. ඔයා අඬනවද? අනේ සොරි නිම්මි…මම විහිලුවට කිව්වේ…’
‘ඔයා…ඔයා දන්නවා ද මම කතා කරේ ඇයි කියල?’
‘අපේ අම්ම මට ඔයාගේ ෆොටෝ එක පෙන්නුවා දවසේ ම මම හිතුව ඔයාගෙන් කෝල් එකක් එයි කියල…ඇත්තටම ඒවිද නැද්ද කියල බයෙන් හිටියේ’
‘මොනවා…එතකොට ඔයා මාව අඳුන ගත්තද?’
එහා පැත්තෙන් ටික වෙලාවක් සද්දයක් නැති නිසා මම ආයෙත් හලෝ කිව්වා.
‘පිස්සු කෙල්ල…ඔයාව අඳුන ගන්න මට බැරි වෙන්නේ කොහොමද’
‘එතකොට මේ නොම්මරේ දන්නේ කොහොමද? මම කතා කරන්නේ මගේ සෙල් එකෙන්නේ…’
‘…ඔයාගේ නම්බර් එක මම හොයාගත්තේ අවුරුදු දෙකකට කලින්…’

~ නිමි ~

වලාකුල් වියන් තනාලා …… ඉරේ රැස් නිවා දමා
වසන්තේ අරන් ඇවිල්ලා ….. සිහිල් සේලයෙන් වෙලා

අනේ මං බලාන උන්නා …. යළිත් ඔබ එතැයි කියා
සිනා රන් කැළුම් සලාලා …. මගේ සඳ උදාවෙලා

පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තය සිසාරා රහසේමා
පියාඹන්න ආසයි ඔබ හා මා

දසන්තේ පියා සලාලා … ස‍ඳේ රැස් හෙමින් උනා …
සොයන්නේ ඔබේ රුවයි මා … කොහේ හැංගුණේ කියා …
රැයේ සීතලෙන් මිදිලා … තුෂාරෙන් මුවා වෙලා
හිඳින්නේ ඔබේ ළඟයි මා … සුසුම් උණුසුමක් පතා …

පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තේ සිසාරා රහසේමා
පියාඹන්න ආසයි ඔබ හා මා

Advertisements

ප්‍රතිචාර 7 (+add yours?)

  1. මදුශාන්
    මැයි 13, 2011 @ 12:39:24

    මතකද මම පලවෙනි කොටස බලලා කියපු එක??….

    කොහොම උනත් හොද අවසානයක්….ටිකක් විතර සාම්ප්‍රදායිකයි වගේ….(අම්මපා මට ඔහොම වෙන්නෙ නෑ නෙ 😛 😛 😛 😛 :D)

    ලස්සනයි

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. අමා
    මැයි 14, 2011 @ 01:42:46

    @මදුශාන් : ඔව් අනේ ටිකක් දිග වුනා නේද…පිලිගන්නවා සාම්ප්‍රදායික අවසානයක් කියල. ඊළඟ කතාවලට අලුත් විදියක් බලමු. ඔයාගේ අදහස් වලට වගේම ඇවිත් ගියාටත් ස්තුතියි!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. මදුශාන්
    මැයි 14, 2011 @ 02:01:24

    ඔයාගෙ පෝස්ට් වලට ඊ-මේල් සබ්ස්ක්‍රිප්ශන් එක ගත්තා…ඉස්සරහ කතාත් බලනවා!! 😀

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. බුද්දික
    මැයි 25, 2011 @ 03:08:24

    අන්තිමට නම් හින්දි ෆිල්ම් එකක් වගේ. නමුත් සිරා කතාව. දිගටම ලියන්න.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. අමා
    මැයි 25, 2011 @ 10:49:15

    @මදුශාන් එලම කිරි කිව්වලු!
    @බුද්දික හිකිස්! හරි හරි හින්දි ෆිල්ම් නෙවෙයි සිංහල ෆිල්ම් එකක් වගේ කතාවක් ඊළඟට දෙන්නම්කො…බොහොම ස්තුතියි!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  6. mier
    නොවැ. 29, 2011 @ 18:49:27

    හරිම ලස්සනයි කතාව, මොනා උනත් අන්තිම වෙනකන් මට නම් හිතා ගන්න බැරි උනා මොනවා වේවිද කියලා. අද තමා ඉස්සෙල්ලම ඔයාගෙ බ්ලොග් එකට ආවේ, ලස්සන බ්ලොග් එකක් හොයා ගත්තට සතුටුයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: