තෑග්ග

එලාම් ඔරලෝසුවේ කන්කරච්චලය නිසා අලුයම අවදිවූ මම තවමත් නිදන බිරිඳ අවදි නොකර ඇඳෙන් නැගිට මුළු තැන්ගෙට පිය නැගුවෙමි. බිරිඳටත් මටත් කිරි තේ සාදා ඇයගේ කොටස උණු වතුර බෝතලයට දැමු මගේ නෙත් බිත්තියේ එල්ලෙන දින දර්ශනය දෙස යොමු වුයේ අහම්බෙනි.
මැයි 12.
අද නංගිගේ උපන් දින බව මට අමතකව තිබුණි. නංගීට දුරකතනයෙන් වත් කතා කොට සුභ පැතිය යුතුය. දින කිහිපයකට පෙර රාජකාරි කටයුත්තකට විදෙස් ගතව පෙරලා පැමිණි මට දින වකවානු පැටලී තිබිණ.
අද මැයි 12. හෙට මැයි 13.
මැයි 13 ඇගේ උපන්දිනයයි!  මට එයද අමතක වී තිබුනා නොවේද?
ඇය මගේ නැගණියගේ හොඳම යෙහෙළියයි. වසර කිහිපයකට පෙර ඇය දුටු පළමු දින මට මතක් වෙයි…
”තෑන්ක්ස් අයියා! මම අර ඉල්ලුව එක නේද?” නැගණිය මා දුන් උපන් දින තෑග්ග දිග හරින අතරේ ඇය පසෙක සිට ගෙන හුන් යුවතිය කෙරෙහි මගේ නෙත් ඇදී ගියේය. කළුත් නැති සුදුත් නැති ඈ නංගී තරම් උස නැත. දිගට වවා තිබුණු යන්තම් කැරලි ගැසුණු කොණ්ඩය ඇඳ සිටි ගවුමේ පාටට ගැලපෙන්නට කුඩා මලකින් සරසා තිබුණි. නමුත් මගේ සිත නතර වුවේ ඇයගේ දිගු නිල්වන් නෙත් සඟල අසලය. සැබවින්ම කෙනෙක් වශී කරවන කාන්තියක් ඒ දෙනෙතේ විය.
“අය්යේ ඔන්න මෙයාටත් තෑග්ගක් දෙන්න වෙනවා” මගේ නෙත ගිය තැන දුටුවාක් මෙන් නංගී පැවසුවාය.
“ඇයි? මෙයාගෙත් අද උපන් දිනේද?”
“නෑ අයියේ… මගේ උපන් දිනේ හෙට” ඇය මගේ මුහුණ නොබලා ලජ්ජාවෙන් පැවසූ සැටි මට දැනුදු මැවී පෙනෙයි…

මා ඇයට තෑග්ගක් මිලදී ගත යුතුය. එය කුමක් විය යුතුද? ඇයට පළමු වරට තෑග්ගක් ගැනීමට මා යහළුවන්ගෙන් උපදෙස් ගත්තෙමි.
“පොඩි කෙල්ලෝ අමාරුවේ දාන්නේ නැතිව හිටපන්” උපදෙස් දෙනු වෙනුවට මට සමහරු අවවාද කළහ.

නැගණියක් සිටියද ගැහැනුන්ට තෑගි ගැනීම මට පුරුදු නැත. මගේ හැටි දන්නා නංගී නම් එකල උපන් දිනය ළඟාවත්ම ඇයට ඕනෑ තෑග්ග මට පවසයි. නැතහොත් මම ලියුම් කවරයක දා මුදල් දෙමි.

නමුත් ඇයට මුදල් දෙනු නොහැක. ඇය මා ගැන කුමක් සිතාවිද? නංගී මෙන් නොව ඇය කවදාවත් කිසිත් නොඉල්ලයි. මේ ගැන නංගිගෙන් උපදෙසක් ගැනීමට ගියොත් ඇගෙන් බැනුම් ඇසීමට සිදුවන බව මම දනිමි.
මා පරිගණකය ක්‍රියාත්මක කලේ  අන්තර්ජාලය වෙතින්වත් සුදුසු තෑග්ගක් පිළිබඳ හෝඩුවාවක් සෙවීමේ අදහසිනි.

“අනේ අනේ උදේ පාන්දරින්ම කොටන්න ගත්ත නේද”
අවදි වූ බිරිඳ මා දෙසට එනු දුටු හෙයින් මම වහා පරිගණක තිරය ඇයට නොපෙනෙන සේ සිට ගතිමි.

“ඔයාගේ තේ එක හදල ෆ්ලාස්ක් එකේ…මේ…අද නංගිගේ උපන් දිනේ නේ…”
ඇය මා දෙස අමුතු බැල්මක් හෙලයි.

“අද?”
“ඔව් ඔයාට මතක නැද්ද?” මම විමතියෙන් අසමි.

හිටි වනම මහ හඬින් සිනා සීමට ගත් ඇය අතින් තේ කෝප්පයද බිම නොවැටී බේරුනේ අනූ නමයෙනි. මේ මොන කෝලමක්දයි මට සිතෙයි.
“පිස්සා…කාංචි ගේ උපන් දිනේ ඊයේ…ඔයා පෙරේද එයා පෝර්ට් එකේ ඉඳන් ඇවිත් ඊයේ දවසම නිදා ගත්ත නිසා මම මතක් කලේ නෑ. මහන්සි ඇති කියල…ඔය කැලැන්ඩරේ දැකලද වැරදුනේ? මට ඊයේ රෑ කොලේ කඩන්න අමතක උනා”

ඇයගේ සිනා සීම මා තුල ඇති කරන්නේ කෝපයකි. ඊටත් වඩා එසේනම් ඇයගේ උපන් දිනය අද නොවේද? දෙවියනි!…

“හා මට හිතා ගත්තැකි…එහෙනම් මට උපන් දින තෑග්ගක් නෑ නේද”
ඇය තොදොල් වෙමින් සෙමින් මගේ නැහැය මිරිකයි. මට මා ගැනම කෝපයක් දැනේ.
“අනේ සොරි බබා…යමු…ඔයාට ඕනෑ දෙයක් අරන් දෙන්නම්”
ඇය සිනා සෙයි. මගේ අත ගෙන එය ඇගේ කුස මතින් තබයි.
“මේ දීල තියෙන තෑග්ග හොඳටම ඇති”

* * *

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: