අමන්දාගේ ක්‍රියාව ඔහු තිගැස්සීමට ලක් කලේ හෝ නොකළේ කෙසේ වෙතත්, ඔහු එය සම්පුර්ණයෙන්ම තේරුම් ගත්තේය. ක්‍රියාවට පෙරලා ප්‍රතික්‍රියාවද ඔහුගෙන් ලැබුණි. අමන්දා ඇඳ කෙලවර වාඩිවී දනිස් මතට බරදී පෙම්බරයාගේ දෙතොලේ රස උරා බොන අතරේ ඔහුගේ ගෙල පිටුපසට අත යවා හිසකෙසින් ග්‍රහණය කර ගෙන සිටියාය. සාලියගේ අතද ඇයගේ වරලසේ පැටලුනු ලෙසකි. මෙසේ දෙදෙනාම එකිනෙකාට ආධාරක ලෙස ගනිමින් අපූරුවට සමබරතාවය රැක්කෙන් නොවැටී සිටීමට හැකිවිය.
එදා විවාහ ගිවිසගත් දා ඇය වැළඳ ගත්තද, ඇය ඇඳ උන් බරැති සාරියත්, ගනකම නොනැමෙන සුළු රෙද්දෙන් මසා තිබුණු සාරි හැට්ටයත්, තවත් නොකී ඇඳුම් ආයිත්තම් රැසක් නිසාත්, ඔහුගේ වැළඳ ගැනීම් වලට බාධා රැසක් විණි. එහෙයින්, එදා ඔහුගේ සෙවීම ඵල විරහිතම නොවුවද, වැඩි දීමනාවක් නොලද එකක් විය.
නමුත් මෙදා ඇයගේ නිදන ගවුම ඒ කිසිදු බාධාවක් ඔහුට එල්ල කලේ නැත. එහෙයින් ගවුමේ සැටින් රෙද්ද මතින් සුරත ගෙනයාමෙන් ඔහු ලත් සුවය ඉක්මවුයේ නම්, ඒ ඔහුගේ කාර්යක්ෂම දෙඅත නිසා ඇය ලත් සුවය පමණි. මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලය වුයේ ඔවුන්ගේ පොරය උන්මාදනීය ඇවිස්සීමක් බවට පත් වීමය.
ඇඳුමෙන් මේ වර අවහිරය තිබුනේ ඔහුගෙනි. මක් නිසාද යත් ඔහු තවමත් දිගු අත් සහ කොලරය සමඟ ටයි පටියද සහිත කමිසය හැඳ සිටි බැවිනි. ටයි පටිය අමන්දාට ඔහුගේ සිරුරේ පහස විඳින්නට හරහට නොසිටි මුත්, කමිසය ප්‍රශ්නයකි. සාලියගේ දෑත එවෙලේ එතරම් කාර්ය බහුලව නොතිබුනා නම්, ඔහු සිය ප්‍රියාවට එතරම් කරදරයක් ව තිබූ කමිසය ගලවා විසි කරනවා නිසැකය. අවසන ඒ කාර්ය කිරීම අමන්දාගේම භාරයට ගත්තේ, අනුකම්පා විරහිත ලෙස කමිස බොත්තම්ද නොතකා හරිමිනි. මේ කරදරකාරී කමිසය ඈ ඔහුගෙන් ඉවත් කල විගස, සමබරතාවය ගිලිහී ගියෙන් දෙදෙනාම ඇඳ මතට වැටුණි. ආශා ලොවක දෙදෙනාම තනි වී සිටි ඒ වෙලේ ඇයගේ තුරුණු දේහය ඔහු සිය යහන කර ගත්තේ ඇයගේ දිගු ගවුමේ වාටිය සොයන අතර තුරය. වාටිය හමුවූ පසු තවත් වටිනා වස්තු ඔහු භාරයට විය. සුමුදු සිහින් දෙපා, වටකුරු දනිස්, පිරුණු කළවා – මේ සියල්ල ඉතා මෘදුව සෙමින් ලාලනය කෙරිණ…
මේ සියලු කලබගෑනි සහ වැඩ රාජකාරි අතරේ පිටස්තර ලොවේ සිදුවන දෑ ගැන හරි දැනීමක් නොතිබීම සාධාරණය. කෙසේ නමුත් යමෙක් කාමරේ දොරට තට්ටු කරන හඬ පළමුව ඇසුණේ ඔහුට නොව ඇයටය.
“අමා…නංගී? ඔයා නිදිද?”
අක්කාගේ කටහඬ හැඳින ගත් අමන්දා ගල් ගැසුණාය. ප්‍රේමාලින්ගනයෙන් ඇය ඉවත්වූ බව දැනුනු ඔහුද නිසල විය.
අක්කා නොනැවතී තට්ටු කරයි.
“නංගී…”
අමන්දාත් සාලියත් හති ලමින් එකිනෙකා දෙස බලා සිටියහ.
“මම කතා නොකර හිටියොත් අක්ක බයවෙලා ගෙදර කට්ටිය කුද්දගෙන එයි” ඇය රහසින් මිමුණුවාය. ඔහු ඉච්ඡාභංගයෙන් ඇයගේ උරිස මත හිස මොහොතකට රන්දවීය. “අමන්දා මට ඔයාගේ ඇඳ යට හැංගෙන්න නම් බැහැ”.
“ඇඳ යට හැංගෙන මිනිහෙක් මම බඳින්නෙත් නැහැ” ඇය ඍජු ව ඔහුගේ දෑසට එබීගෙන පැවසූ වදනින් තුටු වූ සාලිය ස්නේහයෙන් ඇගේ නළලත සිප ගත්තේ ඇඳෙන් නැගිටමිනි.
“අමන්දා මට…විනාඩියක් දෙනවද…?” හැර ලු කමිසය හැඳ ගෙන, අවුල් වූ හිසකෙස් සකසා ගන්නා තෙක්, ඇය අක්කාට දොර නොහැර සිටියාය.
“මේ එනවා අක්කා” යයි උස් හැඳින් පැවසූ අමන්දා සෙමින් දොර වෙතට පිය නැග්ගේ පොඩිවුණු නිදන ඇඳුම අතින් හරි හස්සන්නට තැත් කරමිනි. ඇය නිර්භීතව දොර අරින විට ඔහු කමිසය යට කර ගත්තා පමණි.
සිය නැගණියට අසනීපයක් වත් දෝයි සැකයෙන් ඇය දොර අරින තෙක් බියෙන් සිටි සමන්තීගේ මුහුණ, අමන්දාට පිටුපසින් සිටගෙන සිටි සාලිය දුටු විට විශ්මයෙන් පිරී ගියේය. නුදුරු දිනක සිය නෑනා වන්නට සිටින සමන්තී අක්කාට හිස මදක් නවා අචාර කළ සාලිය “සුභ රාත්‍රියක්” යයි පවසා, මෙවන් අවස්ථාවක කෙනෙක්ට උපදවාගත හැකි උපරිම ධෛර්‍යය සහ ගරුත්වය වඩවාගෙන කාමරයෙන් පිටව ගියේය.
පිටව යන සාලියගේ අවසන් චායාවද නොපෙනී යන තෙක් හිස මදක් ඇල කරගෙන බලා සිටි සමන්තී (ඔහු සැබවින්ම ඔහුගේ කාමරයට ගියාදැයි සැක හැර දැන ගන්ට මෙන්), තමා අභියස අවුල් වූ කෙස් වැටියෙන්ද, ලා රතු වූ මුහුනෙන්ද යුතුව සිටින නැගණිය දෙසට හැරුණි.
“මම බයේ හිටියේ හවස ඔය දෙන්න රණ්ඩු කරගෙන කියල. දැන් දෙන්නගේ රණ්ඩුව හරි නේද?” සමන්තී ඇසුවේ අමන්දාගේ මුවඟට මද සිනාවක් නංවමිනි.
ඔව් ඇත්තටම…