කුවණ්ණා – ඉතිහාසයට පෙර වදනක්


කුවණ්ණා ගේ දෙනෙතේ කඳුළු පිරී තිබුණි.

ලක්දිව රණශුර පරම්පරාවකින් පැවත ආ ඈ, කුමරියක වුවද, සිය පෙළපතේ කුමරුන් ඉගෙන ගන්නා සියලු සටන් ශිල්ප හි කෙල පැමිණියක වුවාය. අර්ථ ශාස්ත්‍රය මැනවින් උගෙන තිබිණි. ඇයගේ සොහොයුරන් කා හටවත් නැති මනා බුද්ධියක් සහ වීර්යයක් ඇයට උරුමව ඇති බව ඇය කුඩා කලම හඳුනා ගත ඇගේ පියා, කුල සිරිතට පිට යමින් ඒ සියල්ල සිය දුවනියට ඉගැන් වුයේය. හණ මිටි අදහස් නොදැරූ ඒ පියතුමා, කුවණ්ණා ගෙයි මුල්ලේ සිරවී සිටිය යුතු ළඳ බොළඳියක  ලෙස සැලකුවේ නැත.
නමුත් අවාසනාවක මහත! සියලු ශිල්පයේ සොහොයුරන් පැරදවූ නිසා ඈ නිබඳව ඔවුන්ගේ ඊර්ෂ්‍යාවට ලක් වුවාය.
රජ වාසලේ ශිරීෂවස්තු පුර මහා සෙන්පති ධුරය ඇයට හිමි වීම ඇයගේ සොහොයුරන්ගේ පමණක් නොව, කුලයේ සියලු තරුණයන්ගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නාක් වැනි විය. තරුණයන්ගේ කෝපයට තවත් හේතුවක් තිබිණ.

දිගු අක්බමරු වරලසකින්ද, සිහින් පිරිපුන් රන් රුවක් වැනි වූ යොවුන් දේහයෙන්ද යුතු වූ කුවණ්ණා රැහේ සිටි සුරුපිම කුමරිය වුවාය. සියල්ලට ම වඩා දුටු දුටුවන් සිහින ලොවක අතරමන් වන තද කළු වන දිදුලන නෙත් සඟලක් ඇය සතු වුවාය. මේ නිසා බාල වියේ සිටම තරුණ නෙත් ඇය වෙත එල්ල වී තිබීම පුදුමයක්ද?
එහෙත් කුවණ්ණාගේ සිහිනය වී තිබුනේ ඇයගේ මව මෙන්, ඇයගේ මවට පෙර මවගේ මව මෙන්, අඩු වයසින් දීග ගොස් සැමියාගේ අණසකට නතු ව, දරුවන් හා දොළොස් දෙනෙක් වැදීමෙන්ම වැහැරී ගොස් ජීවිතය ම නිවෙස තුල දියවී හැරීම නොවේ.

මේ නිසා කෙතෙක් යෝජනා ආවද රැහේ තරුණයන් දෙස ඇහැක් අර බැලුවේ කුවණ්ණා නොවේ. මිදී තිත්තයි කීවාක් මෙන් රැහේ තරුණයන් ඈ කෙරේ වෛරයෙන් පසු වුයේ මේ නිසා වෙනි.

අප කාටත් විවිධ සිහින ඇත. ගැහැනියක වූ පමණින් කුවණ්ණාගේ සිහිනය අකැප යයි කීම ට අපට හැකිද?

පියතුමා මිය ගිය දින තමා ලොව තනිවූ බව හැගුණු කුවණ්ණා කවර දාවත් නැතිව සියල්ලන් ඉදිරියේ විලාප දෙමින් හඬා වැටුනාය. දුර්වල ගැහැනියක ලෙසින් නොව මනුෂ්‍ය ප්‍රාණියෙක් ලෙසින් ඇයට සැලකූයේ ඔහු පමණි. ඉදින් දැන් ඔහුද නැත.

සෙන්පති කම ලබන්නට වරම් ලැබුවද, ඊට ඉහලට යාම බොරු බව ඇයට තේරුම් ගියේ මහා රජ අග්‍ර සේනාධිපති ධුරය ඇය විසින් දෙතුන් වරක්ම දුනු ශිල්පයේ සහ අශ්වාරෝහනයේ පරදවා තිබු, ඇයට වඩා වසර කිහිපකින්ම සේවයෙන් ලාබාල වසඹ ට ලබා දීමත් සමඟය. වසඹ කලින් කුවණ්ණා විවාහ කර ගැනීමට කැමතිව සිට ඈ වෙතින් ප්‍රතික්ෂේපිත තරුණයෙකි. ඔහු අග සෙන් වූ දා උත්සවයේදී ඔහු ඈ දෙස උපහාසයෙන් බලා පැවසූ වදන් ඇය දත් මිටි කමින් අසා සිටි අන්දම!

දැන් ඇයගේ සොහොයුරන් එක්වී ඇයව අසල ගමක ධනවත් මහල්ලෙක්ට විවාහ කරදීමට යති. සොයුරන් මේ යෝජනාව කූට අන්දමින් මහලු සිටුවරයාට ඉදිරිපත් කලේ කුවණ්ණා ගේ තුරුණු රූ සපුව දුටු වහාම ඔහු ඇයට වහ වැටෙන බව දන ගෙන විය යුතුය. මහරජගේ කුළුපඟ මිතුරෙක් වන මහලු සිටාණන් ගේ ආශාව මුදුන් පත් කර දීමට රජුද සැදී පැහැදී සිටින බව කුවණ්ණාට ඒත්තු ගියේ මංගල්‍යයට සුදානම් වන ලෙස අද උදෑසන ලැබුණු රාජ නියෝගයෙනි. රජ කෙරෙහිද ඇයට ඇතිවුයේ මහත් කෝපයකි. මෙවන් සල්ලාල වැඩවලට සහය දෙනවා විනා ඔහු කිසිත් සුභ සාධනයක් ජනතාවට නොදෙයි. ගම්මාන කිහිපයකම වගා පාලු වී ඇති බව ඇය ඔහුට දැන්වුවත් ඒ ගැන සොයා බැලීමට ඔහුට උවමනාවක් නැත. ඔත්තු ජාලයද කුවණ්ණා ගේ උවමනාවටම ගෙන යනවා විනා, කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නොලබයි.

මේ මර උගුලෙන් බේරෙන්නේ කෙසේද? රජුට අකීකරු වීම සිය කුල සිරිත නොවේ. එහෙත්…

සෙන්පතියෙකු වුව කුවණ්ණා ටද තිබුනේ ගැහැණු හදවතකි. සාම්ප්‍රදායික බිරිඳක් වීමට ඇයට අවැසි නොවුවද, ඇය හා උරෙන් උර ගැටී කල් ගෙවිය හැකි, ඇයගේ සිතැඟි හඳුනා ගත්, තේජවන්ත සිහින කුමරෙක් ඇයගේ සිතේ නොසිටියා යයි කිව නොහැක.

කොපුල දිගේ බේරෙන කඳුල කුවණ්ණා සෙමෙන් පිස දැමු වාය. යමෙක් දොරට තට්ටු කරන හඬක් නැඟේ. තමාගේ යටතේ සිටින ඔත්තු බලන්නෙක් වාර්තා කිරීමට පැමිණි යා යුතුය.

“අවසර කුමරිය. පාන්දරම බාධා කලාට සමා වනු මැනව”
“නැහැ ඒ ගැන කාරී නැහැ. නුඹට ලැබුණු තොරතුරු මොනවාද?”
“කුමරිය, ලාට රටෙන් පිටුවහල් කල කුමරෙක් සත් සියක් පිරිසක් සමඟ මේ දෙසට යාත්‍රා කරනවා. හුලන් පාර අනුව බැලුවාම හෙට වන විට ගොඩ බහින්ට පිළිවන් කියා අපේ මුහුදු ඔත්තුකාරයෝ පවසන්නේ”
“මොනවා හෙට වන විට!” සිය දුක් කරදර මොහොතකට අමතක කළ කුවණ්ණා, මේ පැමිණෙන කුමරා පිලිබඳ සිතන්නට වුවාය.

මේ පිටුවහල් කුමරා කව්ද? ඔහු ලක්දිවට එන්නේ ඇයි? සත් සියක් පිරිස සමඟ එන්නේ රාජ්‍ය අල්ලන්ටද?

තනිවම  තඹවන් වෙරළ තීරය  දෙසට ඇවිද ගිය කුවණ්ණා ක්ෂිතිජය දෙසට නෙත් යොමු කළාය…

සිහින හිම දියවෙන දිවි ගිම්හානයේ රැයක…



රෑ අහස තරු කැට වලින් පිරිලා. උපන් බිමේ නොදැකපු අමුතු තරු රටා. මම උඩ බලාගෙනම පාර දිගේ ඇවිද්දා. මම හෙව්වේ අරුන්දතී තරුව. සප්තර්ශි තාරකා මණ්ඩලය අරුන්දතී ව සඟවාගෙන. ඈ වාගේ සර්ව සම්පුර්ණ නිර්මල භාර්යාවක් වෙන්න පෙරුම් පුරන සිය දහස් ගණන් පෙම්වතියන් ගේ ඇස් වලින් ඈ විඩාවට පත් වෙලාද?

අරුන්දතී මම නම් නුඹේ නමින් ප්‍රතිඥා දෙන්නේ නෑ. මට පේන්න එන්න එකපාරක්.

ඒත් ඈට මාව විශ්වාස නැතුව වගේ. මට අරුන්දතී හොයා ගන්න බැරි උනා.

තරු තරු තරු… අහස් ගඟේ පෙණ නංවමින් දිලිසෙනවා. පොඩි කාලේ මාත් එක්ක එක්ක කතා ගොතපු දඩයක්කාරයා මෙන්න ඔලුවෙන් හිටගෙන! ඒ ඇයි කියල මං එයාගෙන් අහන්න ගියේ නෑ. එයා මගෙන් මොනවා අහයිද කව්ද දන්නේ.

තරුවක් කඩන් වැටෙනවා දැක්ක නිසා මම අත දික් කරා ඒක අල්ලගන්න.

යමක් ගන්නකොට අත් දෙකෙන්ම ගන්න ඕනැ. එහෙමයි හැදිච්ච ළමයි.

ඉස්කෝලේ මිස් කෙනෙක්ගේ අවවාදේ මතක් උනා. ඒත් අනිත් අතේ අරලිය මලක්. අමාරුවෙන් හොයා ගත්ත මල විසි කරනවට මල කැමති උනේ නැහැ.

විසි කරන්නද ඔයා මාව කඩා ගත්තේ? මාව වෙන කෙනෙක්ට කඩා ගන්න දුන්නෙත් නැහැ. ඇරත් මේ නොදන්නා රටේ විසි කරාම මම ආයිත් ලංකාවට යන්න පාර හොයාගන්නේ කොහොමද?

මම හැම තැනම දිව්වා අරලිය ගහක් හොයන්න. අන්තිමට පතොක් ගහක අරලිය මල රැඳෙව්වා තරුව අල්ලගන්නකම්. බෙල්ල රිදෙන කම් උඩ බල බලා මම කඩා වැටෙන තරුව හෙව්වා.

ඒක නොපෙනී ගිහින් ඒ වෙනකොටත්. පොඩි කාලේදී නම් මං රෑට ගෙදර අය නිදාගත්තම හොරෙන් වත්තට ගිහින් ඔඩොක්කුව පිරෙන්න තරු ඇහිඳලා තියෙනවා. ඒ තරු වලට මම මොකද කරේ කියල මතක නැහැ.
මං හිස් අතින් ආයෙත් මගේ මල හෙව්වා.

කටු දික් කරගෙන පතොක් ගහ මට එරෙව්වා.
ගහ වටේටම හෙව්වත් මට හම්බුනේ ඉරිලා ගිය එකම එක සුදු පාට පෙත්තක් විතරයි.

ඇඞෙන්න ආවත් මම ඇඬුවේ නැහැ…
පතොක් කටුවක රැඳිලා තිබුන අරලිය පෙත්ත පරිස්සමට තුරුළු කරන් ගෙදර ගියා.

I’d like to make myself believe
That planet earth turns slowly
It’s hard to say that I’d rather stay
Awake when I’m asleep
Because my dreams are bursting at the seams

එය මෙසේ සිදු විය


ඇතු පිට රැඳවූ දෝලාවේ කව්ළුවෙන් අත එළියට යවා පසු කරගෙන යන ගසකින්  කුමරිය වෙරළු ගෙඩියක් කඩා ගත්තේ කුසගිනි නිසා නම් නොවේ. සිය ඇතු අසලම ඊට මදක් ඉදිරියෙන් අසු පිට යන හේවායා දෙස ඇගේ නෙතු රැඳී තිබිණ.

ග්‍රීස්ම ඍතුවේ දාහය නිසා ද, එකදිගට රෑ නිදි මැරීම නිසාද, තෙහෙට්ටුවට පත්ව සිටියද හේවායාට අසු පිටින් බැසීමට සිත් දුන්නේ නැත. සිය තැනට වෙනකෙක් යොදා ඕනෑ නම් පසු පසින් එන කරත්තයක සුවපහසුව දිග ඇඳී එන්නට තිබුනද කුමරියගේ ආරක්ෂක හේවායා වීම ගැන ඔහු සිටියේ සියුම් ආඩම්බරයකිනි. එක වරම යමක් කම්මුලේ වැදුන නිසා ඉදිරියට යොමුකරගෙන උන් දෑස මදකට ඔහු ඉවතට ගත්තේය. කුඩා වටකුරු හැඩති යමක් සිය කඩුවේ කොපුවත්, බඳ පටියත් අතර සිරවී තිබෙනු දුටු ඔහු කුතුහලයෙන් එය අතට ගෙන බැලීය. ඒ අමු වෙරළු ගෙඩියකි.

***

ජනේලයෙන් පෙනෙන මිථිලා පුරයේ රෑ පහන් එළි දෙස ඔහු මදක් බලා සිටියේය. කුමරියගේ දිගු දීප්තිමත් දෙනයන ඔහුට සිහිවෙයි. එදා ඔහු වීණාව වයන සැටි ඇය බලා සිටියේ පුදුමයෙනි. අසිපත ලෙළ දුන් දෑතෙන් එවන් සුකෝමල සුමිහිරි සංගීතයක් මැවෙනු ඇතැයි ඇය කිසිවිටෙක නොසිතන්නට ඇත. එසේම සිය උපන් බිමෙන් ගව් ගණනක් ඈත දී නන්නාදුනන කුමරියක් මෙසේ සිය හද වෙණ තත් කම්පනය කරාවී යයි ඔහුද කිසිදා නොසිතුවේය.

“අවසර අය්යන්ඩි…අපට ආයෙත් යන්නත් කල් නේද? අපි ආපු වැඩේ අහවරයි…” බැරෑරුම් බැල්මකින් පවසන සිය සොහොයුරා දෙස ඔහු නිරුත්තරව බලා සිටියේය. සාමාන්‍ය හෙවායෙකුගේ වේශයෙන් මෙහි සිටියද ඔහුද ඔටුනු පලන් නර පතියෙක් බව මෙහි කිසිවෙක් නොදනී. ඒ දැනගැනීම සිය රාජධානියම අනතුරේ දැමීමකි. නැව් නැගීමට සොහොයුරා බල කරන්නේ එහෙයිනි. එසේ නැත්නම් කුමරියත් තමාත් අතර ඇසුර ඔහුට ආරංචි වීද?

***

“සීතා! දුවේ… මුරණ්ඩු වෙන්නේ ඇයි?” අග රැජින අසරණ හඬින් අසද්දී කුමරියගේ හැඩීම තවත් වැඩි වුවා පමණකි. පිය රජු වියරුවෙන් ඔහු සොයන බව ඇය දනී. මිථිලාවේ වීදි පීරා මේ වන විටත් චර පුරුෂයෝ පිට දේශක්කාර හේවායා ලුහුබඳිනවා ඇත.

“දුවේ…උඹේ ස්වයන්වරය ඉවරයි. උඹ කුමාරයෙක් තෝර ගත්ත. දැන් නුඹට එයාට පිටු පාන්න බැහැ” මව් රැජින තව දුරටත් පවසයි.

හඃ ස්වයන්වරය! පෙර කිසි දිනෙක නොදුටු අයෝධ්‍යාවේ කුමරා තෝරා ගත්තේ තමාද? ඔහු තෝරා ගන්නා ලෙසට තමාට උපදෙස් දුන්නේ පිය රජුත් මව් රැජිනත්ය. ඔහුගෙන් ඇයට ලැබුනේ විනීත බැල්මක් පමණි. ඇයගේ හද ගැහෙනා රාවය ඒ නාඳුනන කුමරා නොදනී. එය හැඳින්නේ…ඔහු ය.

රට, ජාතිය, කුල සිරිත වෙනුවෙන් සියල්ල කැප කළ රජ පරම්පරාවේ කුමරිය ඇය… කුල සිරිත වෙනුවෙන් පෙම්බරයා ට පිටුපානවාද? ඔහු ළඟ නැති හෙට දිනක ඇය මළ කඳක් සේ ජීවත් විය යුතුද?

***

කෙමෙන් ඈත්වන ගොඩබිම් තීරය දෙස ඔහු නිසලව බලා සිටියේය. අවසානයේ පෙම්බරියගේ තීරණයට හිස නමන්නට ඔහු සිත එකඟ කර ගත්තද, දැනටමත් පසුතැවිල්ලේ භූතාත්ම හද ගැබ හොල්මන් කරන්නට පටන් ගෙන තිබිණි.
ඔහුගේ සැබෑ තොරතුරු ඇයට හෙළි නොකර සිටියා නම්! මුළුමහත් රාජධානියක වගකීම ඔහුගේ කර මත නොවුවා නම්! ඇය හා ගොස් සිය මව් රටේ නිල්වන් කඳු වළල්ලක සැඟවෙන්නට තිබුනා නම්!

***

මංගල යහන මත හිඳගත් සූ සැට බරණින් සැරසුණු සීතා කුමරිය බිමට යොමු දෑසින් නිසලව බලා සිටියේ කිසිදු හැඟීමකින් තොරවය. ඇය අතිනත් ගත් කුමරාට එය පෙනුනේ ඇයගේ ලජ්ජා භය සහිත කුලවත් භාවය ලෙසය.

අයෝධ්‍යාවේ රාම කුමරු සෙමෙන් සිය මනාලිය සීතාගේ කම්මුලක් සිප ගත්තේය.
කීරි ගැහෙන සිතට තරවටු කරමින් දෙනෙත් පියාගත් සීතා ගේ මනසේ ඇඳුනේ එක් රුවකි.
ඒ ලංකාපුරයේ රාවණාගේ රුවයි.

~ නිමි ~

පලි: පින්තුර මගධීරා චිත්‍රපටියෙන්