ඇතු පිට රැඳවූ දෝලාවේ කව්ළුවෙන් අත එළියට යවා පසු කරගෙන යන ගසකින් කුමරිය වෙරළු ගෙඩියක් කඩා ගත්තේ කුසගිනි නිසා නම් නොවේ. සිය ඇතු අසලම ඊට මදක් ඉදිරියෙන් අසු පිට යන හේවායා දෙස ඇගේ නෙතු රැඳී තිබිණ.
ග්‍රීස්ම ඍතුවේ දාහය නිසා ද, එකදිගට රෑ නිදි මැරීම නිසාද, තෙහෙට්ටුවට පත්ව සිටියද හේවායාට අසු පිටින් බැසීමට සිත් දුන්නේ නැත. සිය තැනට වෙනකෙක් යොදා ඕනෑ නම් පසු පසින් එන කරත්තයක සුවපහසුව දිග ඇඳී එන්නට තිබුනද කුමරියගේ ආරක්ෂක හේවායා වීම ගැන ඔහු සිටියේ සියුම් ආඩම්බරයකිනි. එක වරම යමක් කම්මුලේ වැදුන නිසා ඉදිරියට යොමුකරගෙන උන් දෑස මදකට ඔහු ඉවතට ගත්තේය. කුඩා වටකුරු හැඩති යමක් සිය කඩුවේ කොපුවත්, බඳ පටියත් අතර සිරවී තිබෙනු දුටු ඔහු කුතුහලයෙන් එය අතට ගෙන බැලීය. ඒ අමු වෙරළු ගෙඩියකි.
***
ජනේලයෙන් පෙනෙන මිථිලා පුරයේ රෑ පහන් එළි දෙස ඔහු මදක් බලා සිටියේය. කුමරියගේ දිගු දීප්තිමත් දෙනයන ඔහුට සිහිවෙයි. එදා ඔහු වීණාව වයන සැටි ඇය බලා සිටියේ පුදුමයෙනි. අසිපත ලෙළ දුන් දෑතෙන් එවන් සුකෝමල සුමිහිරි සංගීතයක් මැවෙනු ඇතැයි ඇය කිසිවිටෙක නොසිතන්නට ඇත. එසේම සිය උපන් බිමෙන් ගව් ගණනක් ඈත දී නන්නාදුනන කුමරියක් මෙසේ සිය හද වෙණ තත් කම්පනය කරාවී යයි ඔහුද කිසිදා නොසිතුවේය.
“අවසර අය්යන්ඩි…අපට ආයෙත් යන්නත් කල් නේද? අපි ආපු වැඩේ අහවරයි…” බැරෑරුම් බැල්මකින් පවසන සිය සොහොයුරා දෙස ඔහු නිරුත්තරව බලා සිටියේය. සාමාන්‍ය හෙවායෙකුගේ වේශයෙන් මෙහි සිටියද ඔහුද ඔටුනු පලන් නර පතියෙක් බව මෙහි කිසිවෙක් නොදනී. ඒ දැනගැනීම සිය රාජධානියම අනතුරේ දැමීමකි. නැව් නැගීමට සොහොයුරා බල කරන්නේ එහෙයිනි. එසේ නැත්නම් කුමරියත් තමාත් අතර ඇසුර ඔහුට ආරංචි වීද?
***
“සීතා! දුවේ… මුරණ්ඩු වෙන්නේ ඇයි?” අග රැජින අසරණ හඬින් අසද්දී කුමරියගේ හැඩීම තවත් වැඩි වුවා පමණකි. පිය රජු වියරුවෙන් ඔහු සොයන බව ඇය දනී. මිථිලාවේ වීදි පීරා මේ වන විටත් චර පුරුෂයෝ පිට දේශක්කාර හේවායා ලුහුබඳිනවා ඇත.
“දුවේ…උඹේ ස්වයන්වරය ඉවරයි. උඹ කුමාරයෙක් තෝර ගත්ත. දැන් නුඹට එයාට පිටු පාන්න බැහැ” මව් රැජින තව දුරටත් පවසයි.
හඃ ස්වයන්වරය! පෙර කිසි දිනෙක නොදුටු අයෝධ්‍යාවේ කුමරා තෝරා ගත්තේ තමාද? ඔහු තෝරා ගන්නා ලෙසට තමාට උපදෙස් දුන්නේ පිය රජුත් මව් රැජිනත්ය. ඔහුගෙන් ඇයට ලැබුනේ විනීත බැල්මක් පමණි. ඇයගේ හද ගැහෙනා රාවය ඒ නාඳුනන කුමරා නොදනී. එය හැඳින්නේ…ඔහු ය.
රට, ජාතිය, කුල සිරිත වෙනුවෙන් සියල්ල කැප කළ රජ පරම්පරාවේ කුමරිය ඇය… කුල සිරිත වෙනුවෙන් පෙම්බරයා ට පිටුපානවාද? ඔහු ළඟ නැති හෙට දිනක ඇය මළ කඳක් සේ ජීවත් විය යුතුද?
***
කෙමෙන් ඈත්වන ගොඩබිම් තීරය දෙස ඔහු නිසලව බලා සිටියේය. අවසානයේ පෙම්බරියගේ තීරණයට හිස නමන්නට ඔහු සිත එකඟ කර ගත්තද, දැනටමත් පසුතැවිල්ලේ භූතාත්ම හද ගැබ හොල්මන් කරන්නට පටන් ගෙන තිබිණි.
ඔහුගේ සැබෑ තොරතුරු ඇයට හෙළි නොකර සිටියා නම්! මුළුමහත් රාජධානියක වගකීම ඔහුගේ කර මත නොවුවා නම්! ඇය හා ගොස් සිය මව් රටේ නිල්වන් කඳු වළල්ලක සැඟවෙන්නට තිබුනා නම්!
***
මංගල යහන මත හිඳගත් සූ සැට බරණින් සැරසුණු සීතා කුමරිය බිමට යොමු දෑසින් නිසලව බලා සිටියේ කිසිදු හැඟීමකින් තොරවය. ඇය අතිනත් ගත් කුමරාට එය පෙනුනේ ඇයගේ ලජ්ජා භය සහිත කුලවත් භාවය ලෙසය.
අයෝධ්‍යාවේ රාම කුමරු සෙමෙන් සිය මනාලිය සීතාගේ කම්මුලක් සිප ගත්තේය.
කීරි ගැහෙන සිතට තරවටු කරමින් දෙනෙත් පියාගත් සීතා ගේ මනසේ ඇඳුනේ එක් රුවකි.
ඒ ලංකාපුරයේ රාවණාගේ රුවයි.
~ නිමි ~
පලි: පින්තුර මගධීරා චිත්‍රපටියෙන්
අගෝ. 01, 2011 @ 07:41:05
නියමයිනේ… ඔයාට බැයිද චිත්‍රපටියක තිර රචනයක් ලියන්න…
අගෝ. 01, 2011 @ 09:05:59
හික්ස් තෑන්ක් යු කිව්වා ඔන්න…
චිහ් මං හිතන් හිටියේ චිත්‍රපටියක රඟපාන්න කියල…බැරිනම් පිටපත වත් ලියමු 😛
අගෝ. 04, 2011 @ 20:14:20
මේ බ්ලොග් අවකාශයෙ තියෙන කතා එකකට එකක් දෙවෙනි වන්නේ නෑ. මෙම ඔබගේ ප්‍රබන්ධයද එවැන්නකි. ඉතා රසවත්. තව ලියන්න ඔබට ධෛර්යය මගෙන්.
අගෝ. 05, 2011 @ 02:44:47
බොහොම ස්තුතියි නිහාල් අයියා. ඔයාලගේ දිරි ගැන්වීම් නිසා තමයි ලියන්න හිතෙන්නේ …
අගෝ. 07, 2011 @ 11:31:45
රාවණ සීතා කතාව ගැන මගෙත් තියෙනව මගේම අර්ථ කථනයක්…..අමා……ඔයාගෙ මේ කථාව නිසා මටත් හිතුන වෙලාවක ඒ කතාව ලියන්න………..
අගෝ. 07, 2011 @ 12:45:02
ඔව් රවී අය්යේ මම හිතන්නේ මේ වගේ පුරා වෘත වල කතා ගොඩක් තියෙනවා. එක එක්කෙනාට ඒ කතා පේන්නේ එක එක විදියට. මට හැමදාම හිතිච්ච දෙයක් තමයි, රාවණා ඔච්චර කට්ටක් කාලා සීතා ව පැහැර ගත්තේ ඇයි කියලා. මොකද එයා සීතාව පැහැර ගත්තට කිසිම බලහත්කාරකමක් කරෙත් නැහැ. අනික රාමා සීතාව අරන් ආපහු ගියාට පස්සේ පති වත ඔප්පු කරලා පෙන්නන්න කිව්වනේ. හැබෑ ආදරයක් තියේ නම් එහෙම කරයිද…
ඉතින් ඔයාගේ කතාවත් ලියන්න…සචිනිගේ කතාවත් මම ආසාවෙන් කියවනවා.
අප්‍රේල් 04, 2012 @ 04:11:14
ෂා.. ලස්සනට ලියල තියෙනව… 🙂