කුවණ්ණා ගේ දෙනෙතේ කඳුළු පිරී තිබුණි.
ලක්දිව රණශුර පරම්පරාවකින් පැවත ආ ඈ, කුමරියක වුවද, සිය පෙළපතේ කුමරුන් ඉගෙන ගන්නා සියලු සටන් ශිල්ප හි කෙල පැමිණියක වුවාය. අර්ථ ශාස්ත්‍රය මැනවින් උගෙන තිබිණි. ඇයගේ සොහොයුරන් කා හටවත් නැති මනා බුද්ධියක් සහ වීර්යයක් ඇයට උරුමව ඇති බව ඇය කුඩා කලම හඳුනා ගත ඇගේ පියා, කුල සිරිතට පිට යමින් ඒ සියල්ල සිය දුවනියට ඉගැන් වුයේය. හණ මිටි අදහස් නොදැරූ ඒ පියතුමා, කුවණ්ණා ගෙයි මුල්ලේ සිරවී සිටිය යුතු ළඳ බොළඳියක ලෙස සැලකුවේ නැත.
නමුත් අවාසනාවක මහත! සියලු ශිල්පයේ සොහොයුරන් පැරදවූ නිසා ඈ නිබඳව ඔවුන්ගේ ඊර්ෂ්‍යාවට ලක් වුවාය.
රජ වාසලේ ශිරීෂවස්තු පුර මහා සෙන්පති ධුරය ඇයට හිමි වීම ඇයගේ සොහොයුරන්ගේ පමණක් නොව, කුලයේ සියලු තරුණයන්ගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නාක් වැනි විය. තරුණයන්ගේ කෝපයට තවත් හේතුවක් තිබිණ.
දිගු අක්බමරු වරලසකින්ද, සිහින් පිරිපුන් රන් රුවක් වැනි වූ යොවුන් දේහයෙන්ද යුතු වූ කුවණ්ණා රැහේ සිටි සුරුපිම කුමරිය වුවාය. සියල්ලට ම වඩා දුටු දුටුවන් සිහින ලොවක අතරමන් වන තද කළු වන දිදුලන නෙත් සඟලක් ඇය සතු වුවාය. මේ නිසා බාල වියේ සිටම තරුණ නෙත් ඇය වෙත එල්ල වී තිබීම පුදුමයක්ද?
එහෙත් කුවණ්ණාගේ සිහිනය වී තිබුනේ ඇයගේ මව මෙන්, ඇයගේ මවට පෙර මවගේ මව මෙන්, අඩු වයසින් දීග ගොස් සැමියාගේ අණසකට නතු ව, දරුවන් හා දොළොස් දෙනෙක් වැදීමෙන්ම වැහැරී ගොස් ජීවිතය ම නිවෙස තුල දියවී හැරීම නොවේ.
මේ නිසා කෙතෙක් යෝජනා ආවද රැහේ තරුණයන් දෙස ඇහැක් අර බැලුවේ කුවණ්ණා නොවේ. මිදී තිත්තයි කීවාක් මෙන් රැහේ තරුණයන් ඈ කෙරේ වෛරයෙන් පසු වුයේ මේ නිසා වෙනි.
අප කාටත් විවිධ සිහින ඇත. ගැහැනියක වූ පමණින් කුවණ්ණාගේ සිහිනය අකැප යයි කීම ට අපට හැකිද?
පියතුමා මිය ගිය දින තමා ලොව තනිවූ බව හැගුණු කුවණ්ණා කවර දාවත් නැතිව සියල්ලන් ඉදිරියේ විලාප දෙමින් හඬා වැටුනාය. දුර්වල ගැහැනියක ලෙසින් නොව මනුෂ්‍ය ප්‍රාණියෙක් ලෙසින් ඇයට සැලකූයේ ඔහු පමණි. ඉදින් දැන් ඔහුද නැත.
සෙන්පති කම ලබන්නට වරම් ලැබුවද, ඊට ඉහලට යාම බොරු බව ඇයට තේරුම් ගියේ මහා රජ අග්‍ර සේනාධිපති ධුරය ඇය විසින් දෙතුන් වරක්ම දුනු ශිල්පයේ සහ අශ්වාරෝහනයේ පරදවා තිබු, ඇයට වඩා වසර කිහිපකින්ම සේවයෙන් ලාබාල වසඹ ට ලබා දීමත් සමඟය. වසඹ කලින් කුවණ්ණා විවාහ කර ගැනීමට කැමතිව සිට ඈ වෙතින් ප්‍රතික්ෂේපිත තරුණයෙකි. ඔහු අග සෙන් වූ දා උත්සවයේදී ඔහු ඈ දෙස උපහාසයෙන් බලා පැවසූ වදන් ඇය දත් මිටි කමින් අසා සිටි අන්දම!
දැන් ඇයගේ සොහොයුරන් එක්වී ඇයව අසල ගමක ධනවත් මහල්ලෙක්ට විවාහ කරදීමට යති. සොයුරන් මේ යෝජනාව කූට අන්දමින් මහලු සිටුවරයාට ඉදිරිපත් කලේ කුවණ්ණා ගේ තුරුණු රූ සපුව දුටු වහාම ඔහු ඇයට වහ වැටෙන බව දන ගෙන විය යුතුය. මහරජගේ කුළුපඟ මිතුරෙක් වන මහලු සිටාණන් ගේ ආශාව මුදුන් පත් කර දීමට රජුද සැදී පැහැදී සිටින බව කුවණ්ණාට ඒත්තු ගියේ මංගල්‍යයට සුදානම් වන ලෙස අද උදෑසන ලැබුණු රාජ නියෝගයෙනි. රජ කෙරෙහිද ඇයට ඇතිවුයේ මහත් කෝපයකි. මෙවන් සල්ලාල වැඩවලට සහය දෙනවා විනා ඔහු කිසිත් සුභ සාධනයක් ජනතාවට නොදෙයි. ගම්මාන කිහිපයකම වගා පාලු වී ඇති බව ඇය ඔහුට දැන්වුවත් ඒ ගැන සොයා බැලීමට ඔහුට උවමනාවක් නැත. ඔත්තු ජාලයද කුවණ්ණා ගේ උවමනාවටම ගෙන යනවා විනා, කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නොලබයි.
මේ මර උගුලෙන් බේරෙන්නේ කෙසේද? රජුට අකීකරු වීම සිය කුල සිරිත නොවේ. එහෙත්…
සෙන්පතියෙකු වුව කුවණ්ණා ටද තිබුනේ ගැහැණු හදවතකි. සාම්ප්‍රදායික බිරිඳක් වීමට ඇයට අවැසි නොවුවද, ඇය හා උරෙන් උර ගැටී කල් ගෙවිය හැකි, ඇයගේ සිතැඟි හඳුනා ගත්, තේජවන්ත සිහින කුමරෙක් ඇයගේ සිතේ නොසිටියා යයි කිව නොහැක.
කොපුල දිගේ බේරෙන කඳුල කුවණ්ණා සෙමෙන් පිස දැමු වාය. යමෙක් දොරට තට්ටු කරන හඬක් නැඟේ. තමාගේ යටතේ සිටින ඔත්තු බලන්නෙක් වාර්තා කිරීමට පැමිණි යා යුතුය.
“අවසර කුමරිය. පාන්දරම බාධා කලාට සමා වනු මැනව”
“නැහැ ඒ ගැන කාරී නැහැ. නුඹට ලැබුණු තොරතුරු මොනවාද?”
“කුමරිය, ලාට රටෙන් පිටුවහල් කල කුමරෙක් සත් සියක් පිරිසක් සමඟ මේ දෙසට යාත්‍රා කරනවා. හුලන් පාර අනුව බැලුවාම හෙට වන විට ගොඩ බහින්ට පිළිවන් කියා අපේ මුහුදු ඔත්තුකාරයෝ පවසන්නේ”
“මොනවා හෙට වන විට!” සිය දුක් කරදර මොහොතකට අමතක කළ කුවණ්ණා, මේ පැමිණෙන කුමරා පිලිබඳ සිතන්නට වුවාය.
මේ පිටුවහල් කුමරා කව්ද? ඔහු ලක්දිවට එන්නේ ඇයි? සත් සියක් පිරිස සමඟ එන්නේ රාජ්‍ය අල්ලන්ටද?
තනිවම තඹවන් වෙරළ තීරය දෙසට ඇවිද ගිය කුවණ්ණා ක්ෂිතිජය දෙසට නෙත් යොමු කළාය…
අගෝ. 20, 2011 @ 10:10:26
අමා……අන්න හරි නංගි……ඉතිහාසයට නව අර්ථ කථනයක්…….එහෙම තමයි වෙන්න ඕන…..ලස්සනයි කතාව……ලියන්න දිගටම…..My Congratulations,
අගෝ. 20, 2011 @ 10:12:07
පොඩ්ඩිගේ පෝස්ට් එකට අපූරු පෙරවදනක්. මේක ඇත්තටම වෙන්න ඇති කියා කාට නම් නොකියන්න පුළුවන්ද?
අපූරුයි ..
අගෝ. 20, 2011 @ 11:07:41
ලස්සන අර්ථ කතනයක් අමා…
‘කුවේණි’ ගැන පෝස්ට් එකක් කරන්ට හිතනකොට මේ වගේ ප්‍රතිචාරයක් මම කීයටවත් බලාපොරොත්තු උනේ නෑ. වජිරදේවී එදාම ‘කුවේණී’ ගැන කවි පන්තියක් පල කරලා තිබුනා. ඊලඟට රවි හිතාන ඉන්නවා විජයගේ කතාව ලියන්ට. දැන් ඔයාගේ අර්ථ කතනය.
අසනීප ගතියකින් හිටපු එක සති අන්තයක, මම කියෙව්වා H. Parker ගේ ‘Ancient Ceylon’ කියන පොත. ඒකේ කුවේණී ගැන කියවනකොට තමා ඔලුවට වැටුනේ, අපිත් ආදරවන්තයන්ගෙන් කොච්චර පරිස්සම්වෙන්ට ඕනිද කියන එක. නින්ද, නොනිද අතරේ ඔය ඔක්කොම හැඟීම් පොර බදලා, ඒ චරිතයේ ජීවත් වෙලා, ඔලුවෙන් කතාවේ මුල කොටස ලියලා, තමයි පාන්දරින් නැගිටලා ඒක කොලයකට දා ගත්තේ. මහ රෑ අදහස් පලවෙන වෙලාවේ නම් කුවේණී ගැන කොච්චර කනගාටුවක් ආවද කීවොත් පොඩ්ඩි එයා වෙනුවෙන් කඳුලුත් හැලුවා.
දිග ගමනකට ඔයාට මගේ සුබ පැතුම්!
අගෝ. 21, 2011 @ 12:21:39
ලස්සන කතාව අමා. ඉතිහාස කතා වලටයි, ඒවා ඇසුරින් ගොඩනැගුණු නිර්මාණ වලටයි මම ගොඩක් කැමතියි. කතාවේ ඉතුරු ටිකත් ලියන්න ඔය වාගෙම. ඔබට ජය!
අගෝ. 22, 2011 @ 04:34:27
@Ravi
බොහොම ස්තුති රවී අය්යේ. ඉතිහාස කතා වල තියෙන්නේ සැකිල්ලක් විතරයි. ඒ කතාවල ඉන්න අයගේ ඇතුලාන්තය ගැන, එයාල එහෙම කරන්න ඇත්තේ ඇයි කියල නැහැනේ…
@Priyantha
ඔව් … කුවේණි ඇත්තටම කව්ද, එයා එහෙම කරේ ඇයි, ඇත්තටම උනේ මොකද්ද කියල අපි කාටවත් හරියට කියන්න අමාරුයි. We can only use our imagination
@praveena
ඇත්තටම ඔයාගේ පොස්ට් එක නිසා අපි කොච්චර අමතක වෙලා ගිය, මේ ඉතිහාස කතාව ගැන හිතුවද? බ්ලොග් එකකින් වෙන්න ඕනත් ඒකමයි කියල මම හිතන්නේ…අපි හැමෝම එක එක දෘෂ්ටිකෝණ වලින් බැලුවාම එකම කතාවෙන් ගොඩක් දේවල් එකතු කරගන්ට පුළුවනි. පොඩ්ඩිගේ වලව්වේ ඒකට ඉඩ සලසල තියෙනවා. 🙂
@සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත
ඔව් මාත් ඉතිහාස කතා කියවන්ට, ඉතිහාස කතා ඇසුරින් හැදෙන චිත්‍රපටි බලන්ට හරි ආසයි. ඒවගේ වෙනම රසයක් තියෙනවා නේද?
හැමෝටම:
ඔයාලගේ දිරි ගැන්වීමට ගොඩාක්ම ස්තුතියි! තව පොස්ට් ලියන්න හිතෙන්නේ ඔයාල නිසයි
අගෝ. 22, 2011 @ 08:41:56
අපි අහලා තියෙන කතාවට වැඩිය වෙනස් එකක් ලියන එක ගැන නම් අප්‍රමාණ හැපී…