මුණුපොතේ නැටු බහුරූ කෝලම් නිසා නිදහස ලද්දෙමි!


මම මේ බ්ලොග් එක ලියන්න ගත්තේ කතන්දර විතරක් – සිංහලෙන් කිව්වොත් Fiction විතරක් ලියන්න කියල. පුද්ගලික අත්දැකීම් නොලිය ඉන්නයි හිටියේ…ඒත් අදනම් මට මේක නොලියම බැහැ වගේ. සමාවෙන්න යාලුවනේ, මේක කියවන ඔයාලට මේක බහු බුත නන් දෙඩවිල්ලක් වගේ පෙනෙයි. නමුත් අමාට අද ගොඩක් දුක වගේම තරහත් ගිය දවසක්. මෙහෙම ලියල හරි හිත හෑල්ලු කරගන්නයි හදන්නේ.

දන්නවනේ ඕනෙම කෙල්ලෙක්ට වැඩියෙම දුක හිතෙන වගේම තරහ යන මාතෘකාවත් මොකද්ද කියල…

අපේ ජීවිතේ දී හම්බුවෙන අය – සමහරු ඉක්මනින්ම අමතක වෙනවා. නමුත් සමහරු – කොච්චර උත්සහ කරත් එයාල අමතක වෙන්නේ නැහැ. එයාල අපිට කොච්චර රිද්දුවත් එයාලගේ නරකක් පේන්නෙත් නැහැ. ආදරේ අන්ධයි කිව්වේ ඒක වෙන්නැති.

අද මේක ලියන්න හේතු වුනු පුද්ගලයට මම ආදරේ කරන්න පටන් ගත්තේ අවුරුදු 4 කටත් කලින්. ආදරේට මම එයාට කිව්වේ චොකලට් කියල. එයාගේ කටින් පිටවෙන හැම වචනයක්ම මම අහගෙන හිටියේ ලෝකේ තියෙන පරම සත්‍යය කියනව වගේ. එයාගේ ලස්සන මුණේ මැවෙන එක හිනාවකින් මට මුළු දවසම සතුටින් ඉන්න පුළුවන් වුනා. ඒත් එයාගේ මුණේ තිබුණු ලස්සන හිතේ තිබුනේ නැතුව ඇති. නැත්තම් හදිස්සියේම එයාට පණටත් වඩා ආදරේ කරපු අමාව දාල නැව් නගීද?
එයාගේ වෙනසට හේතුව මට අදටත් හිතාගන්න බැහැ.

ඒත් ඒ කොච්චර නපුරුකම් කරත්, මේ මෝඩ අමාට එයා එක්ක තරහක් ආවේ නැහැ. ගොඩක් දුක හිතුන විතරයි. ඒත් එක්කම, මට එහෙම කරන්න මගෙන් මොකද්ද එයාට උණු වැරැද්ද කියල හැමදාම හිතුව. එයා ගැන කවුරුත් නරකක් කියනවා මට අදටත් ඇහිලා නැහැ. නපුරු උනේ මට විතරක් වෙන්නැති. එහෙම වුනේ මගේ තිබුන අඩු පාඩුවක් වෙන්නැති.

අද… මගේ කියල අයිතිවාසිකම් කියන්න බැරි උනත්, මගේ ආදරේ ට වෙන කෙල්ලෙක් ලොකුවට ලෝකෙටම පේන්න මුණු පොතේ ඇඩ් එකක් දාල…බෝයි ෆ්‍රෙන්ඩ්, ෆියෝන්සේ, ස්වීට් හාට්, ඩාලින් – ඔය වගේ නම් ගොඩක් එක්ක. මට පේන්නත් එක්ක වෙන්නැති.
ආදරේ කරන්නේ මුණු පොතේ හැමෝටම පේන්න බහු බුත ලියලද?
මට රිද්දන්න ඕනේ නම් ඔය ටෙලිෆෝන් තියෙන්නේ, කෙලින්ම කතාකරලා බනින්න නේ තියෙන්නේ.
මාව දාල ගියේ මේ වගේ ඇඩ් දාන කෙල්ලක් යාලු කරගන්නද? අඩු ගානේ ඔයා හොඳ ගැණු ළමයෙක් (ඒ මම නොවුනත්) හොයා ගත්තා කියල හරි මට හිත හදා ගන්න තිබුන. නමුත් ඔයාගේ ටේස්ට් එක මෙච්චර පල්ලෙහා වැටිලා කියල තේරුනේ අදයි.

කොහොම නමුත් චොකලට්, ස්තුතියි.
අද මට ඔයත් එක්ක ගොඩක් තරහ ගියා. ඒ ඔයාගේ සැබෑ මුණ දැක්කේ අද නිසා.
ඉතින් දැන් මම… නිදහස්!