ගුරුකම – 1 කොටස


“පාලොස්දාහක් බං”
මස් දියවෙලා ගිය මල්ලිගේ මුණ දිහා බලා ඉන්න බැරි තැන මං දුම් දාන කේතලේ පැත්තට හැරුන.
දර ලිපේ උයන්නේ ගෑස් ලිපක් නැතුවට නෙවෙයි.
දැලි වැදිලා වැදිලා කේතලේ කට්ට කලුයි. මට හිතුන මං වාගේ ද කියලත්.

“උඹට විසි කරන්න පාලොස්දාහවල් දෙන්න මයේ ගාව නෑ. කිව්වනේ ඊයෙත්” මම සීරුවට කහට එකක් වක් කරන ගමන් කිව්වා.
“විසි කරන්න නෙවෙයිනේ මද්දු… එත් උඹ එහෙම කිව්වට පව් නෑ මං ඒක දන්නවා. මට … මට මේ ජරා පුරුද්දෙන් ගැලවෙන්න ඕන මද්දු අක්කේ. ගුරුන්නාන්සේ කිව්වා ගුරුකමක් කරොත් ටක්කෙටම සනීප ය කියල”
“යකෝ කසිප්පු බොන ඒවා ගංජා ගහන ඒවා නවත්තන්න ගුරුකම් ඕනේ නෑ. තමුන්ගේ හිත හයිය විතරයි ඕන. උඹේ ඔය ගුරුන්නාන්සේ සල්ලි කඩාගන්න හොරෙක් වෙන්ටෑ”

පවුලේ බාලය වෙච්චි මල්ලි පොඩි එකා කාලේ හිටන්ම හිතුවක්කාරකමට හැදුන එකා. තාත්ත නැති උනාට පස්සේ උගේ රස්තියාදු ගැහිල්ලයි දහ ජරාව බොන එකටයි කිසිම සීමාවක් නැතිවුනා. ගෙදරට සතයක් නුදුන්නත්, මං ජුකී මැෂින් එක්ක හෙට්ටු වෙලා හම්බු කරන තුට්ටු දෙකටත්, ඩුබායි හිටන් ලොකූ අම්මගේ බේත් වලට එවන සල්ලි වලටත්, විදලා ඒවායින් ගිනි වතුර බොන තමා උගේ රාජකාරිය.

“මද්දු… මට මිනිහෙක් වෙන්න ඕන. මට මේ කාලකන්නි ජීවිතේ ඇතිවෙලා බං. මං උඹට පොරොන්දු වෙනවා පාලොස්දහ නෙවි, මං මිනිහෙක් උන දාට උඹව බලාගන්නවා…” මල්ලි මේක අතාරින පාටක් නෑ. දෙයියනේ කුලී වැඩක් නමුත් කරගෙන මනුස්සයෙක් වගේ ඉන්නවනම් මං අකමැතිද? බල්ලෙක් වගේ කානු ගානේ බීල වැටිලා ඉන්නැතිව.
ඒත්…පාලොස්දාහක්?

“මට ඔය ගුරුන්නාන්සේ විස්වාස නෑ. අපේ ගම පළාතේ එකෙක් නෙවි නේද? සල්ලි ටිකත් කඩාගෙන ඒකා අන්තරස්දාන වෙයි”

සිංහල අවුරුද්දටවත් මට නොවදින එකා මගේ කකුල් දෙක අල්ලන් අඬන්න ගත්ත ඒ පාර.
“මට උදවු කරහන් බුදු මද්දු…උන්නාන්සේ පිටගම්කාරය උනාට හොර බොරු නෑ… මං බීල හිටන් උඹට තඩි බාල ඇති යක්සයෙක් වාගේ. උඹේ සල්ලි හොරකම් කරලා ඇති. මං නිසා උඹට අවනම්බු වුනා…පාරේ බැහැල යන්න බැරි උනා…මට සමාවෙයන් මද්දු අක්කේ!…”

ඔව් ඌ ඒ කියපු හැම දෙයක්ම එහෙමයි. සමාව දෙන්න අමාරුයි ලේසියෙන්.

ඒත්…ඒත්…

අල්මාරියේ රෙදි පොට්ටනියක් අස්සේ හංගල තිබ්බ මයේ රත්තරන් වළලු දෙක දිලිහි දිලිහි අත වනනවා.

මේකා මගේ සල්ලි අරන් කුඩු ගහවිද?
කට්ටඩිය සල්ලි අරන් පැනල යයිද?
*
*
*

මං තීරණයක් ගත්ත.
ඉතිරි කොටස මී ළඟ කොටසින්.

සටනේ තවත් කොටසක් – Atlas Shrugged


ඇය සිය කාමරයේ දොර දෙසට හැරුනේ නැත. ඔහු නොසෙල්වී සිටියේය. ඔවුන්ගේ සමීපයේ වූ සඳලු තලයේ සිහින් අත්වැලෙන් ඔබ්බට හිස් අවකාශය පැතිරී තිබුණි. තෙල් ළිං වල ලකුණු හඟවන වානේ දඬු වලින් පහත ප්‍රපාතාකාර බෑවුම හැඩ වී ඇති සෙයකි. ඈතින් ටැගාට් දුම්රියේ විදුලි බුබුළු දැල්වෙනු පෙනුනි. ඊටත් එහා ඇසට පෙනෙන නොපෙනෙන මායිමේ කුඩා හතරැස් කොටුවක් සේ දිස්වුයේ පාලමයි.
හඬක් හෝ චලනයකින් තොර රිද්මයක් වැයෙනු ඇයට දැනිණි. ඇගේ ටැගාට් දුම්රිය, නව දුම්රිය මාර්ගයේ තවමත් වේගයෙන් දුවනු ලෙසිනි. නිහඬ අණකට විරුද්ධව පිළිතුරක් දෙන ලෙසින් ඇය සෙමින් හැරී ඔහු දෙස බැලුවාය.

ඔහුගේ මුහුණේ රැඳි බැල්ම දුටු විට, ගමනාන්තය හමුවුණු බවද, එය එසේම වන බව ඇය දැනගෙන සිටි බවද, පළමු වරට ඇය වටහා ගත්තාය. වෙනත් පිරිමි මුහුණක ඒ බැල්ම ලියවෙන ආකාරයට වෙනස්ව ඔහුගේ මුහුණ ඇඳී තිබුණි. අමනෝඥ සහගින්නක් පිළිබිඹු වන ආකාරයට මුහුණේ  මස් පිඬු ලිහිල් ව, දෙතොල් ඇරී තිබුනේ නැත. ඒ වෙනුවට එහි වුයේ සුනම්‍ය බැල්මකි. මේ නිසා අමුතු නිර්මලත්වයක් සහ තාරුණ්‍යයක් ඔහුට ආරෝපණය වූ සේය. උවනේ රේඛා තදින් බැඳ ඇති සෙයකි. දෙතොල් තදින් පියවී තිබුණි. තීව්‍ර දෑස පමණක් බොඳවී ගොස්ය.

මුලින් දැනුනු තිගැස්ම ක්‍රමයෙන් හිරි වැටීමකට පරිවර්තනය වන බවක්ද  අශ්වාස ප්‍රශ්වාසය ද නැවතුනු සේද ඇයට දැනෙන්නට විය.

වචනයෙන් නොකීවත් සත්‍ය වශයෙන්ම ඇයට දැනුනේ මෙයයි : ‘ඔව් හෑන්ක් – ඔව් – දැන් –  මේ අපේ සටනේ තවත් කොටසක්, මට කියන්න තේරෙන්නේ නැති විදියකට… මොකද මේ අපේ පැවැත්ම, ඔවුන්ට එරෙහිව… අපේ ධාරිතාව –  කොතෙකුත් ඔවුන්ගෙන් අප හිංසාවට ලක්වන හේතුව වන අපේ සතුටු වීමට හැකි ධාරිතාව…මේ මොහොත, මේ විදියට, බොළඳ වචනවත් බොරු ප්‍රශ්න වත් නැතුව…අපට ඕන නිසා…’

~ Atlas Shrugged, Ayn Rand (pg 250 – 252)

පොතේ මීට කලින් පරිච්චේදයක කොටස මෙතනින්… හෑන්ක් සොයාගත් ලෝහයේ අගය තේරුම් ගත් ඩැග්නි

නිකම්ම නිකම් වළල්ල ක්… Atlas Shrugged


ඇය සෙමින් සාදයෙන් පිටත්ව යාමට පටන් ගත්තාය. නමුත් ලිලියන්ගේ වදන් ඇසුණු ඈ නැවතුනාය. එදා සැන්දෑවේදී බොහෝ දෙනෙක් ඇසු එකම ප්‍රශ්නයට ලිලියන් එම පිළිතුර බොහෝ වාරයක් දී තිබුණි. නමුත් ඩැග්නිට එය ඇසුණු ප්‍රථම වතාව එය විය.

“අහ් මේකද?” ලෝහමය වළල්ලෙන් සැරසුණු අත දික් කර, මනාව සැරසී ගත් කාන්තාවන් දෙදෙනෙකු ට පෙන්වමින් ලිලියන් පැවසුවාය. “අපෝ මේක නිකම් සාමාන්‍ය කඩේකින් වත් ගත්ත එකක් නෙවේ. මගේ ස්වාමියාගෙන් ලැබුණු විශේෂ තෑග්ගක්. අඃ ඇත්තෙන්ම ඒකෙ කිසිම ලස්සනක් නැහැ. නිකම්ම නිකම් වළල්ල ක්… නමුත් ඔයාලට තේරෙන්නේ නැද්ද, ඒක මිල කරන්න බැහැ කියලනේ කියන්නේ. ඇත්තම කියනවා නම්, මම ඕන වෙලාවක මේක ඕනෑම දියමන්ති වළල්ලකට මාරු කරන්න සුදානම්. හඃ ඒ වුනාට කවුරුත් ඒකට සුදානම් නැහැනේ… මේක ගොඩක් වටිනා වුනත්…ඇයි මේක වටින්නේ ඇහුව? මේකනේ අනේ ‘රියර්ඩන් ලෝහ’ යෙන් හැදුව පලවෙනිම වස්තුව! ඒකයි!”

ඩැග්නි ශාලාවේ කිසිවක් නුදුටුවාය. ඇයට සංගීත නාදය නොඇසුණි. දැඩි නිශ්චලත්වයේ පීඩනය පමණක් ඇයට දැනෙමින් පැවතුනි. ගතවුණු මොහොත හෝ මීළඟ මොහොත ගැන ඇයට අවබෝධයක් නොතිබුණි. කාලය නැවතුනාක් මෙන් විය. ඇය මීළඟට කළ දේ ගැන හෝ, ඇය ගැනවත්, ලිලියන් හෝ හෑන්ක් රියර්ඩන් පිලිබඳ වත්, ඇයගේ ක්‍රියාවේ තේරුම වත් ඇය සිතුවේ නැත. එය තනි මොහොතකදී කිසිදු සන්දර්භය කට අයත් නොවන ප්‍රතිචාරයක් විය.
ඇයට ලිලියන් පැවසූ දෙය ඇසී තිබිණ. නිල් – කොළ පැහැති ලෝහ වළල්ල දෙස ඇය බලා සිටියාය.

යමක් ඇයගේ මැණික් කටුවෙන් ඇද ගලවනවා ඇයට දැනුනි. ඉතාම ශාන්ත, නිවුණු කටහඬකින්, ලිලියන් අමතන්නේ ඇයම බව ඩැග්නිට තේරුම් ගියේ මොහොතක ප්‍රමාදයෙනි.
“මම හිතන තරමට ඔයා බයගුල්ලියක් නොවෙයි නම්, මම කැමතියි ඔය වළල්ල මාරු ක‍රන්න”.
ඇයගේ දියමන්ති වළල්ල සිය අත්ල මත තබා එය ලිලියන් වෙතට දික් කරගෙන සිටියාය.

“ටැගාට් මෙනෙවිය! විහිළු කරනවද!” කව්දෝ ගැහැණු හඬක් අසනු ලැබිණ. ඒ ලිලියන් නොවේ. ලිලියන් කෙලින්ම ඇය දෙස බලා සිටියාය. ඩැග්නි කරන්නේ විහිළුවක් නොවන බව ලිලියන් දැන සිටියාය.

“මට ඔය වළල්ල දෙන්න,” බැබලෙන දියමන්ති වළල්ල සිය අත්ල මත තබාගත් ඇය පවසා සිටියාය.

~ From Atlas Shrugged (155-156) –  Ayn Rand

ප ලි : අයින් රෑන්ඩ් කියවන්න ගත්තේ අරුණි අක්කා නිසයි. Atlas Shrugged මම තාම කියවනවා. පිටු 1168 තියෙන ලොකු පොතක් නේ …එක නිසා ඉවර කරන්න ටිකක් කල් යාවි. කොහොම නමුත් මම මෙතෙක් කියවල තියෙන අපූරුම පොතක්. ජීවිතයට යමක් ගන්න පුළුවන් පොතක්. පොතේ කතා නායිකාව ඩැග්නි ටැගාට් දැනටමත් මගේ ප්‍රියතම චරිතයක් වෙලා ඉවරයි.
ඉතින් අයින් රෑන්ඩ් හඳුන්වල දුන්නට අරුණි අක්කට ගොඩක් ස්තුතියි !

හඳ විතරයි මගේ තනියට


ලොකු ලොකු දේවල් සිදුවෙන
රටේ ලෝකේ බයත් හිතෙන
පොඩි කෙල්ලෙක් නෙවෙයිනෙ මං
ලොකු ළමයෙක් ඇත්ත තමයි
ඉතින් ඕක ලොකු දෙයක්ද
මාව දාල නුඹ ගියාට

ඒ උනාට
හිතෙනවා මට
පාළු දැනෙයි හරි සැරේට
හඳ විතරයි මගේ තනියට

සරත් කාලේ ළඟ ළඟ එන
කොළ කහ වී වැටෙන හැටී
ටික ටික සීතල වෙනවා
මගේ හදවත වගෙ හරියට

වැහි බිඳු එක දෙක වැටෙන්නෙ
කඳුළු මගේ වැටෙන ලෙසට
සිද්ද උනේ මොකද කියල
අනේ කියා දෙනවද මට

නුඹේ තුරුලේ සැතපීලා
උණුහුම දැනුනත් රස්නෙට
දෑස් හැරුණු විට තේරේ
සිහිනෙකි ඒ නුඹ නැත ළඟ…

Big Big World ගීතයේ පරිවර්තනයකි ~

මුරණ්ඩු තොල්


වැස්ස වැටෙනවා පේනවා ජනේලෙන් එහා.

ඉස්සර දවසක, මේ වගේම ඉල් මහේ හැන්දෑවක වැස්සේ දිව්වා ඔයත් එක්ක. මගේ තෙත කොණ්ඩේ දිගේ බේරීගෙන ඇවිත් මල් වැටුණු ගවුමත් තෙම තෙම වැහි බිංදු දඟ කරද්දී, ඒ වැහි බිඳු පස්සෙන් පන්නපු මුරණ්ඩු තොල් දෙක කාගේද කියල ඔයාට නම් අමතක ඇති.

ඔයා ගියාට පස්සේ මම වැස්සේ තෙමෙන එක නැවැත්තුවා.

හිතන්නෙපා වහින වෙලාවට මම අඬන්නේ කව්රුත් නැති පාලුවට කියල. ගොඩක් කාලෙකට කලින් අර මුරණ්ඩු තොල් දෙක දීපු හාදු එකින් එක කඳුළු වතුරේ දිය කරලා මකවන්න ඕන නිසා මිසක්…