ජේන් එයර්, ලිසී සහ මම


මම කියන්නේ කව්ද කියන එක මට හැමදාම තිබුන ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට ‘මට වෙන්ඩ ඕන කරන මම’ සහ ‘ස්වභාවික මම’ අතර මම දෝලනය උනා කිව්වොත් හරි. තමන්ගේ ස්වභාවයෙන් වෙනස් වෙන්ඩ හදන්නේ ඇයි කියන්න මම දන්නේ නැහැ. ඒ වගේම තමන්ව වෙනස් කරලා පෙන්නන්න හදන්නේ ඇයි කියන එකටත් මට උත්තරයක් නැහැ.
මම දන්නේ මාත් එහෙම වෙනස් පුද්ගලයෙක් වෙන්ඩ හැදුව කියන එක විතරයි.
මෙතැනදී මම කියන්නේ තමන්ගේ දුර්වලතා හඳුනාගෙන, වැරදි හදාගන්න එක නෙවි.
තමන් කව්ද කියන එක හරියට හඳුනා ගන්නේ නැතිව තමන් හිතෙන මවාගත්තු කෙනෙක් වෙන්ට යෑම.


මේ සටහන ලියන්න හිතුනේ ඊයේ බලපු ‘ජේන් එයර්’ චිත්‍රපටය නිසා. ජේන් එයර් කියන්නේ මගේ ප්‍රියතම පොත් වලින් එකක්. ගොඩක් සැරයක් කියවපු නිසා සමහර දෙබස් කට පාඩම්. මට මුලින්ම ජේන් හම්බ උනේ ගොඩක් පොඩි කාලේදී. ඒ කියන්නේ අවුරුදු 9 – 10 වගේ වයසේදී. මම කියෙව්වේ සිංහල පරිවර්තනයක්. මට මතකයි ඒකෙ එක තැනක ජේන්ට ‘මගේ අබ ඇටය’ කියල අමතනවා.


ඒ කාලේ නම් මට හිතුනේ මොන පිස්සු කතාවක්ද මේ කියල. පොඩි වැඩිනේ මම. ඒ වගේ ගැඹුරු ආදර කතා තේරෙන්නේ නැහැ අවුරුදු 10 දී. අවුරුදු 10 කියන්නේ ඉනිඩ් බ්ලයිටන් ගේ පොත් වලට පිස්සු වැටෙන කාලේ. මං පණ්ඩිත කමට බ්‍රොන්ටේ කියවන්ට ගියාට!


ආයෙමත් මට ජේන්ව මුණ ගැහෙන්නේ ඊට අවුරුදු ගානකට පස්සේ. අවුරුදු 16 දී.
හැබැයි ඒ වෙද්දී මට එලිසබෙත්ව මුණ ගැහිලා ඉවරයි. මේ කියන්නේ ප්‍රයිඩ් ඇන්ඩ් ප්රෙජුඩිස් හි එලිසබෙත් බෙනට් ගැනයි.



සා පෙළ විභාගෙට පාඩම් කරන්ඩ ඕන කාලේ මට එයාව හමු වුනේ. එලිසබෙත් ගැන කිව්වොත්, හම්බුන දා ඉඳන්  එයා තමයි මට වෙන්ඩ ඕන උනේ. රූමත් නැණවත් ලිසී! ඔයා වගේ බය නැතිව ඕන සභාවක් ඉදිරියේ මුඛරිව කෙලිලොල්ව ඉන්ට පුළුවන් නම්! කව්රු මොනා කිවත් තමන්ගේ මතයේ අභිමානයෙන් ඉන්ට පුළුවන් නම්! ඒ වගේම කියන්ට ඕන දේ අදාළ කෙනාට නියමෙට වැදෙන්න නියම වෙලාවට කියන්නත් එයාගේ තිබුනේ පුදුම දක්ෂතාවක්.


ආයෙමත් ජේන් ගැන. සා පෙළ කරලා නිකන් ඉන්න කාලේ බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් නිකමට වගේ මං ජේන් එයර් පොත අරන් කියවන්න ගත්තේ. හරි ලොකු පොතක් ඒක.
ලිසීට වගේ ජේන්ට ලස්සන කල එළියක් තිබුනේ නැහැ.
ඒත් පොත ටිකක් දුර යද්දීම ජේන් මාව ඇඬෙව්වා. එක තැනකදී නෙවි, කීප තැනකදීම. සමහර තැන් කියවද්දී මගේ කකුල් දෙක පණ නැති වෙනවා වගේ දැනුනා.



හැබැයි පොත කියවල ඉවර කරාට පස්සේ මම තීරණය කරා මම නම් ජේන් වගේ වෙන්නේ නැහැ කියල. ජේන් එයාගේ ආදරේ දාල යනකොට මම හිතුවේ ජේන් මහා මෝඩියක් කියල. මම නම් කවදාවත් ඔහොම යන්නේ නැහැ කියල මම හිතුව. ජේන්ගේ තීරණේ මට ඒ වෙලාවේ පෙනුනේ තේරුමක් නැති දෙයක් හැටියට. එයාගේ කැප කිරීමේ හැකියාව – ඒ වගේම මොන තරම් වේදනාත්මක උනත් නිවැරදි දේ කිරීම – මට හිතුනේ මෙච්චරම goody two shoes වෙන්ඩෝනෙද කියල.


නමුත් පස්සේ කාලෙකදී – මාත් ජේන්ගේ වයසට ආසන්න වයසකදී වෙච්චි සිදුවීම් පෙළක් නිසා මට තේරුම් ගියා ජේන්ට මම අච්චර ආදරේ කරන්ට හේතුවත්, එයාට මාව අච්චර අඬවන්න පුළුවන් වෙච්චි හේතුවත්.


ඒක තමයි මගේ පලවෙනි ආදරේ. දැනට අවුරුදු දහයකට වගේ කලින්. ගොඩක් ඉස්සර…ඉස්සෙල්ලම මුළු හදවතින්ම දැනෙන්න ආදරේ කරා. එයා මගේ හොඳ යාලුවෙක් (අපි එයාට ඉසුරු කියමු). නමුත්…ඒ වෙනකොටත් මගේ හොඳම යෙහෙළිය සිතාරා එයාට ආදරේ කරන්න අරන්. ඉසුරු ගෙන් සිතාරට හොඳ ප්‍රතිචාරයක් නොලැබුනාට සිතාරා ආදරේ කරේ පිස්සුවෙන් වගේ. ඒක මම වගේම අපි වටේ හිටපු හැමෝම වගේ දැනන් හිටිය. පිස්සු කෙල්ලෙක් කියල සමහරු එයාට හිනා උනා. ඊළඟ අවාසනාවන්ත කාරණේ ඉසුරුගේ හොඳම යාලුවා මට ආදරේ කරපු එක. අවුල් ජාලයක්. සිතාරා මගේ ආදරේ ගැන දැන හිටියේ නැහැ. ඒත් මම දැක්ක ඒ කෙල්ල ඉසුරු නිසා කොච්චර ඇඬුවද කියල. මගේ හිත හොඳටම කැඩුන. මගේ හොඳම යෙහෙළියගේ කඳුළු උඩින් මට හිනාවෙන්න පුළුවන් උනේ නැහැ. ඉසුරුටත් එයාගේ යාලුවාගේ ප්‍රශ්නේ. අපි දෙන්න දවසක් මිනිත්තු ගානක් එකිනෙකා දිහා බලන් හිටිය. මුලින් අහක බලා ගත්තේ මම. අහක බලද්දී මම දැනන් හිටිය ඒ අපේ ඇස් කතා කරන අන්තිම වතාව වේවි කියල.
අපි හතර දෙනා අද හතර දිහාක. අන්තිමට අපි කාටවත් අපිව අයිති උනේ නැහැ. අපි ගත්තු තීරණයන් නිසා – තව කෙනෙකුට දුකක් දෙන්න බැරි වීම නිසා – අපි සතුටෙන්ද කියල මට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් වෙන තීරණයක් ගත්තනම්…ඒත් අපිට සතුටෙන් ඉන්න පුළුවන් වේවිද?


මං කරපු වගේ වැඩක් ලිසී නම් කවදාවත් කරන්නේ නැති විත්තිය මම දැන් දන්නවා.


ඊයේ ජේන් එයර් බලද්දී මට මතක් උනේ මාවම.


කොච්චර උත්සහ කරත් මම ලිසී නෙවෙයි.

ඔබ ආකර්ෂණය වන්නේ කාටද? – Atlas Shrugged



“හරියටම සැක නැතිව කියන්න පුලුවන්ද මම ගෑණු පස්සේ දුවන එක ඇරෙන්න වෙන වැඩක් කරන්නේ නැහැ කියල?”
“ඔහේ කවදාවත් එහෙම නැහැ කියල නැහැනේ”
“හඃ මොකටද මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ. එහෙම පෙන්නන්න මම කොච්චර මහන්සි උනාද!”
“ඒ කියන්නේ ඒ කතාව බොරු කියලද?”
“ඔහෙට මාව පේන්නේ හීනමානයෙන් පෙලෙන සෙල්ලක්කාරයෙක් හැටියෙටද?”
“දෙවියම්පල්ල නැහැ!”
“ඒ වගේ වැදගැම්මකට නැති එකෙක් තමයි ඔහොම වැඩ කරන්නේ”
“ඒ කිව්වේ?”
“මතකද මම ධනය සහ හේතු ඵල ධර්මය ප්‍රතිවර්ත කරන්න හදන මිනිස්සු ගැන කිව්ව දේ? මනස වෙනුවට බලෙන් පැහැරගත් මනසේ නිෂ්පාදන ආදේශ කරන්න හදන මිනිස්සු? … තමන් නීචයෙක් කියල සලකන මිනිහ ආත්ම අභිමානය ඇතිකර ගන්න හදන්නේ මෛථුන වික්‍රමයන් වලින්. නමුත් මේක අසාර්ථක වෙන්නේ ලිංගිකත්වය කියන්නේ ආත්ම අභිමානයේ හේතුව නොවන නිසා. ලිංගිකත්වය මනුෂ්‍යයෙක්ගේ ආත්ම අභිමානයේ ඵලයක් සහ ප්‍රකාශනයක්.”
“ඒක තව පැහැදිලි කරොත් හොඳයි”
“මෙතන එකම දේ තියෙන්නේ. ධනය ලැබෙන්නේ භෞතික සම්පත් වලින් කියල සහ, ධනයට බුද්ධිමය මුලයන් හෝ අර්ථයක් නැහැ කියල හිතන මිනිස්සුම තමයි – ලිංගිකත්වය කියන්නේ මනසෙන් ස්වාධීනව ක්‍රියාත්මක වෙන කායික ශක්‍යතාවක් කියල හිතන්නේ. හේතුව එකයි. ඔවුන් හිතන්නේ, ශරීරය විසින් ආශාවන් හදල තේරීමක් කරනවා කියල. ඒක හරියට යකඩ කුට්ටි ඉබේම රේල් පාරක් වෙනවා වගේ!

ආදරේ අන්ධයි කියලයි ඔවුන් කියන්නේ. අනුරාගය ට කිසිම තාර්කික හෝ දාර්ශනික හෝ පදනමක් නැතිලු. නමුත් ඇත්තටම මිනිහෙක් ගේ ලිංගික ආකර්ෂණය තීරණය කරන්නේ ඔහුගේ මුලික විශ්වාශයන්.

මිනිහෙක් ආකර්ෂණය වෙන දේ කිව්වොත්, මම කියන්නම් ඔහුගේ ජීවිත දර්ශනය! ඔහු නිදිවදින ගැහැණිය පෙන්වුවොත් මම කියන්නම් ඔහු තමන්ව තක්සේරු කරන්නේ කොහොමද කියල. පරාර්ථකාමීත්වය ගැන කොච්චර කෑගැහුවත්, රමණය කියන්නේ හෘදයංගමව ම ආත්මාර්ථකාමී ක්‍රියාවක්. ඒක තමන් ගැන හීනමානයෙන් නොවෙයි, උද්දාමයෙන්, අනිකාට තමන් ගැන ඇති ආශාව ගැන ඇති නිසැක ආත්ම අභිමානයෙන් යෙදෙන ක්‍රියාවක්.
ඔහුට මේ වෙලාවේ කයින් මෙන්ම අධ්‍යාත්මයෙනුත් නිරුවත් වෙලා, තමාගේ සැබෑ ආත්ම ප්‍රතිභිම්බය සමග මුහුණට මුහුණ සිට ගන්න සිදුවෙනවා. ඔහු හැමදාම ආකර්ෂණය වෙන්නේ ඔහුට ඔහු ගැන තිබෙන තක්සේරුවට ප්‍රතිබිම්බිතව දක්වන ගැහැනියකට.
තමා ගේ වටිනාකම ගැන හදවතේ ගැඹුරුම තැනින් නිසැකවම දන්නා කෙනා ආකර්ෂණය වන්නේ ඔහුට සොයාගන්න පුලුවන්න උසස්ම ගැහැණියට – ඔහු උතුම් කොට සලන, ගෞරවයෙන් සලකන, ශක්තිමත්, ඒ වගේම අභිබවනය කිරීමට අපහසුම ගැහැණියට. ඒ මොකද කිව්වොත්, වීරවරියකගේ ස්වාමීත්වය ලැබීමෙන් පමණයි ඔහුට සතුටු වෙන්න පුළුවන් – මොළේ කලඳක් නැති බොළඳ අධම ස්ත්‍රියකගේ ස්වාමියා වීමෙන් ඔහුට පළක් නැහැ”

Atlas Shrugged Pg 489-490

පෙර කොටස් >>

නිකම්ම නිකම් වළල්ල ක්…

සටනේ තවත් කොටසක්

පලි:  පින්තුරේ ගත්තේ මෙතනින්. පින්තුරේ ඉන්නේ මාරි සහ පියරේ කියුරි.

පිස්සුව



මතකද දවසක් අපි දෙන්න හම්බු උනා අහම්බෙන් යාලුවෙක්ගෙ ගෙදරදී?
කොහොමහරි කැරකිලා මං ඔයා ලඟින්ම වාඩි වෙලා තිබුන, සැපට සෝෆා එකේ.
මං වටේ දැවටී දැවටී හිටපු අර චුටි හුරතලී ව බැරිම තැන මං ඔඩොක්කුවට ගත්ත. තාම මතකයි එයාගේ ලස්සන බෝනික්කි අත පය මම ආසාවෙන් තුරුළු කරගත්ත හැටි.
‘අනේ චුටි පැටියෝ ඔයාව කන්න හිතෙනවා’
මං එහෙම කිව්වම ඔයා හිනා වේවි කාටවත් නොපෙනෙන්න මගේ අතක් ඇදල අරන් මිරිකුව. පුදුමෙකට වගේ ඔයාගේ ලොකු ගොරෝසු ඇඟිලි වලින් මගේ ඇඟිලි හිරවෙනකොට රිදුනේ නම් නැහැ.
‘ඔව් මටත්’
ඔයා හීනියට කිව්ව දේ ඇහුනේ මට විතරයි.
හොඳටම ලජ්ජා හිතිලා මම බිම බලාගත්ත.
පිස්සු කොල්ල…



ගුරුකම – 2 කොටස


<<පළමු කොටස

උකස් බදු කඩේ ඉඳන් ගෙදෙට්ට අඩිය තියද්දීම මල්ලි ගෙදර ඇවිදින් කියල මට තේරුණා. ‘මද්දු ආවද’ කියාගෙන හොර පුසා වාගේ ආවේ සල්ලි ගැන අහන්න තමයි. නැත්තන් වෙනදට රෑ දෙක තුන ගෙදරින් පිට ඉන්නේ මං උන්නද මලාද කියාලා වගක් නැතිව.
මං කතාවක් නැතිවම නෝට්ටු මිටිය මෙසේ උඩින් තිබ්බ.
මල්ලිගේ ඇස් දෙක යන්තන් දිලිහුනා.

***

ගුරුකම කරවාගන්න මල්ලිට තනියම යන්න දෙන්න හිත දුන්නේ නැත්තේ ඌ ගැන තිබ්බ අවිස්වාසෙටත් වඩා කට්ටඩියා මගඩියක් කරාවි කියල බය හිතුනු නිසා. එන්ට කියල තිබ්බේ රබර් වත්ත පහු කරාම හම්බෙන පීල්ල ගාවට. ගලා යන දිය පාරක් ඕනි කිව්වේ. දීල තිබ්බ වෙලාව ත් මහා මුසලයි. හවස 6 ට. පොඩි කාලේදී නං අම්ම අපට ඉර බස්සයින් පස්සේ ඔය පැත්තේ යන්ට දෙනවා බොරු.


අපි පීල්ල ගාවට යද්දී ඇවිදලම මට හොඳටම මාන්සියි. ගේන්ටය කියල තිබ්බ අඩුම කුඩුම මල්ල මට දීල මල්ලි වට පිට බැලුව. කෝ මේ
ගුරුන්නාන්සේ?

“උඹල වෙලාවට ආපු එක හොඳා. නැත්තන් රාහු කාලෙට අහුවෙනවා”
එක පාරටම පිටිපස්සේ පඳුරු අස්සෙන් කවුදෝ කියාගෙන මතුවුනු තාලෙට මම නම් ගැස්සුනත් එක්ක.


“කෝ කෝ එහෙනං ආවනං මෙහෙට. සිරිදාස උඹ ඇවිත් කමිසේ ගලෝල මෙන්න මෙතනින් දිගා වෙයන්”
ගුරුන්නාන්සේ පීල්ල ලඟට වෙන්න තිවුණු ගල් පොත්ත පෙන්නල කිව්වේ මං දිහාත් ඇහැ කොනකින් බලන ගමන්.


ඊට පස්සේ නොතේරෙන මන්තර වාගේ මොනවදෝ මහා ගොඩක් මිනිහ එක දිගට ජප කරා. කිසිම ගැලපිල්ලක් නැති තාලයක් නැති ඒ ජප කිරිල්ල ඇහිච්ච මට නම් හිතුනේ මේ මිනිහා බොරුවට නිකම් කටට එන එකක් කියල අපිව රවටනවා කියලයි. ඒත් මල්ලි නම් පුදුම සද්ධාවකින් ඇස් දෙකත් වහගෙන ගල් පොත්තේ දිගෑ වෙලා.
හ්ම්… මේකටත් අපි කියන පන්සලකට තමා යන්න බැරි. කොච්චර නම් මූ මට අසමජ්ජාති කතා කිව්වද මං ගමේ ඈයෝ එක්කල දඹුලු ගිය වෙලේ.


“ඔය මොනවාදැයි ඔය කෝප්පේ බොන්න දෙන්නේ?”
කට්ටඩිය මොනවදෝ වක්කරල මල්ලිට බොන්න දෙනවා දැක්ක මට කට පියාගෙන ඉන්න බැරි උනා. කව්ද දන්නේ මේකා මොනවත් වසක් විසක් දීල පැනල යාවිද කියල?


කට්ටඩිය මා දිහා ඔරවල බැලුව මිසක මුකුත් කීවේ නැහැ.
මල්ලි කෝප්පේ අතින් අරන් බීගෙන බීගෙන ගියේ අමුර්තේ වාගේ.


මොකද්දෝ පිත්තල පතුරක් අරන් කට්ටඩිය මල්ලිගේ බඩ උඩින් තිබ්බ.
“මේක අපේ අප්පුච්චගෙන් මට ලැබුන බොහොම බලගතු යන්තරයක්” කට්ටඩිය කිව්වේ මටද මල්ලිටද කියල මට තේරුනේ නැහැ.
“අප්පුච්චගේ මුත්තා ඉන්දියාවෙන් ආපු හොඳ යන්තර මන්තර දන්නා ගුරුන්නාන්සේ. එහෙව් පරම්පරාවකින් එන සාස්තරයක් මේක. අපේ පවුලේ දොළොස්දෙනෙක් ඉන්දැද්දී අප්පුච්ච මට විතරමයි මේ සාස්තරේ දුන්නේ.”
කට්ටඩිය උන්දැගේ පුරාජේරුව කියෝනව. හුහ්…! යන්තරේ බල බලන්න බැරිය අදින් පස්සේ. බලමුකො මලය අරක්කු කටේ ගෑම නවත්තයිද කියල. හැබැයි පුතෝ… උඹල මාව ගොනාට අන්දන්න හිතන්න එපා…
“කට කට!”
මටත් නොදැනී මම තනියම හිතේ තිව්ව ඒවා කියවන වග තේරුනේ කට්ටඩිය සැර කරාම.


කට්ටඩිය ඉන් පස්සේ අනම් මනම් මහ ගොඩක් ජාති කරා. වැලි ඉස්සා. මැතිරුවා.පරල වෙලා ඇස් උඩ දාගෙන කෑ ගැහුවා. මල්ලි ඔය ඔක්කොම අස්සේ වැඳගෙන ඇස් පියාන හිටිය වෙව්ල වෙව්ල.


කට්ටඩිය ඉන් පස්සේ අනම් මනම් මහ ගොඩක් ජාති කරා. වැලි ඉස්සා. මැතිරුවා.පරල වෙලා ඇස් උඩ දාගෙන කෑ ගැහුවා. මල්ලි ඔය ඔක්කොම අස්සේ වැඳගෙන ඇස් පියාන හිටිය වෙව්ල වෙව්ල.


“ඕං නමෝ නමෝ
ඒස්වාහඃ!”
උඩ පැනල කැගැහුව කට්ටඩිය තුහ් ගාල කෙල ගහල කොන්දට අතත් තියාන හෙමින් සීරුවේ වාඩි උනේ “ඕන් දැන් හරි” කියාගෙන මල්ලිට තට්ටුවකුත් දමාගෙනයි.
මල්ලිට දාඩිය දාල හොඳටෝම. ඇස් ඇරිය හැටියේ ඔක්කාරෙට එනවා කියල වමනේ දාන්න ගත්ත.


“උඹ මොනවාද මූට බොන්න දුන්නේ?”
මල්ලි වමනේ දාන්නේ මොකක් හරි විස වෙලාවත්ද කියල බය උණු මම ඇහුවේ කට්ටඩිය ගෙන්. ඒ මිනිහ ට වගක්වත් නැහැ.
“උඹට තේරෙන්නේ නැහැ මේවා. ඇඟේ තියෙන හුනියම එලියට එන්නේ ඔහොමයි. පණ්ඩිත නොවී හිටහන්…”


හොඳයි ගුරුන්නාන්සේ… බලමුකෝ හුනියම ගියාද කියල…


“ගුරුන්නාන්සේ…උඹ වංචාවක් කරා නම් මගෙන් බේරෙන්න වෙන්නේ නෑ. මේ ගුණවතී කව්ද කියල උඹ දන්නේ නෑ”
“හුහ්… ගුණවතී… සිරිපාලට වඩා ලොකු හුනියමක් උඹට වැදිලා තියෙනවා. උඹේ යකා එලවන්න නම් මේ වගේ දෙ තුන් ගුණයක ගුරුකමක් කරන්න වෙනවා.”
“මොකක් කිව්වා? මේ යසට ඉන්න මට මොකාද වැහිලා ඉන්න යකා? උඹ හදන්නේ මාවත් අන්දන්නද?”
“යසට ඉන්න?”
කට්ටඩිය කට ඇද කරන් හීනියට හිනා උණු තාලේ මට ඇල්ලුවේ නැහැ.


“ගුණවතී, උඹ අද ගෙදර ගිහින් කන්නාඩිය ඉස්සරහට ගිහින් දහයේ ඉඳන් ආ පස්සට ගණන් කරහන්. එක වෙනකන් උඹට ගණන් කරගන්න පුළුවන් උනොත්… උඹට බැරි වෙනවා ඒක. අන්න ඒකටත් මා ගාව තියෙනවා මන්තර…”
“උඹේ ඔය විකාර මට වැඩක් නැහැ. මට ඔය මන්තර ඕනෑන්නේ නැහැ. හැබැයි මලය අදින් පස්සේ ගිනි වතුර කටේ තිබ්බොත් මම උඹට…”
මල්ලි මගේ අතින් ඇදල ගත්තු නිසා ඉතුරු ටික කියාගන්න උනේ නැහැ. මටත් ඕනේ වෙලා තිබ්බේ එතනින් පැන ගන්නයි කොහොමත්.


ආපහු එන ගමනේදී මල්ලියි මායි අතර කතාවක් බහක් උනේ නැහැ.


බලමුකෝ ගුරුකමේ බලේ…ඇඳට වැටිලා චීත්තෙට ගුලිවෙන ගමන් මම හිතුව.

ගුරුකම වැඩ කලාද? ඊළඟ කොටසින්