ජේන් එයර්, ලිසී සහ මම

මම කියන්නේ කව්ද කියන එක මට හැමදාම තිබුන ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට ‘මට වෙන්ඩ ඕන කරන මම’ සහ ‘ස්වභාවික මම’ අතර මම දෝලනය උනා කිව්වොත් හරි. තමන්ගේ ස්වභාවයෙන් වෙනස් වෙන්ඩ හදන්නේ ඇයි කියන්න මම දන්නේ නැහැ. ඒ වගේම තමන්ව වෙනස් කරලා පෙන්නන්න හදන්නේ ඇයි කියන එකටත් මට උත්තරයක් නැහැ.
මම දන්නේ මාත් එහෙම වෙනස් පුද්ගලයෙක් වෙන්ඩ හැදුව කියන එක විතරයි.
මෙතැනදී මම කියන්නේ තමන්ගේ දුර්වලතා හඳුනාගෙන, වැරදි හදාගන්න එක නෙවි.
තමන් කව්ද කියන එක හරියට හඳුනා ගන්නේ නැතිව තමන් හිතෙන මවාගත්තු කෙනෙක් වෙන්ට යෑම.


මේ සටහන ලියන්න හිතුනේ ඊයේ බලපු ‘ජේන් එයර්’ චිත්‍රපටය නිසා. ජේන් එයර් කියන්නේ මගේ ප්‍රියතම පොත් වලින් එකක්. ගොඩක් සැරයක් කියවපු නිසා සමහර දෙබස් කට පාඩම්. මට මුලින්ම ජේන් හම්බ උනේ ගොඩක් පොඩි කාලේදී. ඒ කියන්නේ අවුරුදු 9 – 10 වගේ වයසේදී. මම කියෙව්වේ සිංහල පරිවර්තනයක්. මට මතකයි ඒකෙ එක තැනක ජේන්ට ‘මගේ අබ ඇටය’ කියල අමතනවා.


ඒ කාලේ නම් මට හිතුනේ මොන පිස්සු කතාවක්ද මේ කියල. පොඩි වැඩිනේ මම. ඒ වගේ ගැඹුරු ආදර කතා තේරෙන්නේ නැහැ අවුරුදු 10 දී. අවුරුදු 10 කියන්නේ ඉනිඩ් බ්ලයිටන් ගේ පොත් වලට පිස්සු වැටෙන කාලේ. මං පණ්ඩිත කමට බ්‍රොන්ටේ කියවන්ට ගියාට!


ආයෙමත් මට ජේන්ව මුණ ගැහෙන්නේ ඊට අවුරුදු ගානකට පස්සේ. අවුරුදු 16 දී.
හැබැයි ඒ වෙද්දී මට එලිසබෙත්ව මුණ ගැහිලා ඉවරයි. මේ කියන්නේ ප්‍රයිඩ් ඇන්ඩ් ප්රෙජුඩිස් හි එලිසබෙත් බෙනට් ගැනයි.



සා පෙළ විභාගෙට පාඩම් කරන්ඩ ඕන කාලේ මට එයාව හමු වුනේ. එලිසබෙත් ගැන කිව්වොත්, හම්බුන දා ඉඳන්  එයා තමයි මට වෙන්ඩ ඕන උනේ. රූමත් නැණවත් ලිසී! ඔයා වගේ බය නැතිව ඕන සභාවක් ඉදිරියේ මුඛරිව කෙලිලොල්ව ඉන්ට පුළුවන් නම්! කව්රු මොනා කිවත් තමන්ගේ මතයේ අභිමානයෙන් ඉන්ට පුළුවන් නම්! ඒ වගේම කියන්ට ඕන දේ අදාළ කෙනාට නියමෙට වැදෙන්න නියම වෙලාවට කියන්නත් එයාගේ තිබුනේ පුදුම දක්ෂතාවක්.


ආයෙමත් ජේන් ගැන. සා පෙළ කරලා නිකන් ඉන්න කාලේ බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් නිකමට වගේ මං ජේන් එයර් පොත අරන් කියවන්න ගත්තේ. හරි ලොකු පොතක් ඒක.
ලිසීට වගේ ජේන්ට ලස්සන කල එළියක් තිබුනේ නැහැ.
ඒත් පොත ටිකක් දුර යද්දීම ජේන් මාව ඇඬෙව්වා. එක තැනකදී නෙවි, කීප තැනකදීම. සමහර තැන් කියවද්දී මගේ කකුල් දෙක පණ නැති වෙනවා වගේ දැනුනා.



හැබැයි පොත කියවල ඉවර කරාට පස්සේ මම තීරණය කරා මම නම් ජේන් වගේ වෙන්නේ නැහැ කියල. ජේන් එයාගේ ආදරේ දාල යනකොට මම හිතුවේ ජේන් මහා මෝඩියක් කියල. මම නම් කවදාවත් ඔහොම යන්නේ නැහැ කියල මම හිතුව. ජේන්ගේ තීරණේ මට ඒ වෙලාවේ පෙනුනේ තේරුමක් නැති දෙයක් හැටියට. එයාගේ කැප කිරීමේ හැකියාව – ඒ වගේම මොන තරම් වේදනාත්මක උනත් නිවැරදි දේ කිරීම – මට හිතුනේ මෙච්චරම goody two shoes වෙන්ඩෝනෙද කියල.


නමුත් පස්සේ කාලෙකදී – මාත් ජේන්ගේ වයසට ආසන්න වයසකදී වෙච්චි සිදුවීම් පෙළක් නිසා මට තේරුම් ගියා ජේන්ට මම අච්චර ආදරේ කරන්ට හේතුවත්, එයාට මාව අච්චර අඬවන්න පුළුවන් වෙච්චි හේතුවත්.


ඒක තමයි මගේ පලවෙනි ආදරේ. දැනට අවුරුදු දහයකට වගේ කලින්. ගොඩක් ඉස්සර…ඉස්සෙල්ලම මුළු හදවතින්ම දැනෙන්න ආදරේ කරා. එයා මගේ හොඳ යාලුවෙක් (අපි එයාට ඉසුරු කියමු). නමුත්…ඒ වෙනකොටත් මගේ හොඳම යෙහෙළිය සිතාරා එයාට ආදරේ කරන්න අරන්. ඉසුරු ගෙන් සිතාරට හොඳ ප්‍රතිචාරයක් නොලැබුනාට සිතාරා ආදරේ කරේ පිස්සුවෙන් වගේ. ඒක මම වගේම අපි වටේ හිටපු හැමෝම වගේ දැනන් හිටිය. පිස්සු කෙල්ලෙක් කියල සමහරු එයාට හිනා උනා. ඊළඟ අවාසනාවන්ත කාරණේ ඉසුරුගේ හොඳම යාලුවා මට ආදරේ කරපු එක. අවුල් ජාලයක්. සිතාරා මගේ ආදරේ ගැන දැන හිටියේ නැහැ. ඒත් මම දැක්ක ඒ කෙල්ල ඉසුරු නිසා කොච්චර ඇඬුවද කියල. මගේ හිත හොඳටම කැඩුන. මගේ හොඳම යෙහෙළියගේ කඳුළු උඩින් මට හිනාවෙන්න පුළුවන් උනේ නැහැ. ඉසුරුටත් එයාගේ යාලුවාගේ ප්‍රශ්නේ. අපි දෙන්න දවසක් මිනිත්තු ගානක් එකිනෙකා දිහා බලන් හිටිය. මුලින් අහක බලා ගත්තේ මම. අහක බලද්දී මම දැනන් හිටිය ඒ අපේ ඇස් කතා කරන අන්තිම වතාව වේවි කියල.
අපි හතර දෙනා අද හතර දිහාක. අන්තිමට අපි කාටවත් අපිව අයිති උනේ නැහැ. අපි ගත්තු තීරණයන් නිසා – තව කෙනෙකුට දුකක් දෙන්න බැරි වීම නිසා – අපි සතුටෙන්ද කියල මට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් වෙන තීරණයක් ගත්තනම්…ඒත් අපිට සතුටෙන් ඉන්න පුළුවන් වේවිද?


මං කරපු වගේ වැඩක් ලිසී නම් කවදාවත් කරන්නේ නැති විත්තිය මම දැන් දන්නවා.


ඊයේ ජේන් එයර් බලද්දී මට මතක් උනේ මාවම.


කොච්චර උත්සහ කරත් මම ලිසී නෙවෙයි.

Advertisements

ප්‍රතිචාර 10 (+add yours?)

  1. Ravi
    නොවැ. 16, 2011 @ 06:54:57

    හෙහ්, හෙහ්, අමා…..ඔයා මාව මගේ අතීතයට යැව්ව එක මොහොතකින්…..

    මටත් තිබුන වයස 10,12 කාලෙ අනික් සම වයස් යාලුවො නොකරන දේවල් කරන්න ඕන කියල හිතෙන පිස්සුවක්…..ගොළු හදවත කියවද්දි මට මතක විදිහට ඒකෙ තිබ්බ ජේන් අයර් ගැන.සුගත්ගෙ ප්‍රියතම කතාවද කොහෙද….ඕක කියවල මට හැදුන ජේන් අයර් කියවන්ට පිස්සුවක්….පුස්තකාලෙන් පොත අත්සන් කරල ගද්දි මට අද වගේ මතකයි පුස්තකාලෙ බාර සර් කට කොණකින් හිනාවෙලා මා දිහා බැලුවෙ ” උඹට පිස්සුද කොලුවො? ” කියන්න වගෙ….

    මට මතක විදිහට හැබැයි ඒ මුල් වාරෙම මම ජේන් එක්ක පෙමින් බැඳුන….වයස දහයෙදිම…..හෙහ්, හෙහ්,

    ඔයාගෙ ජීවිත අත්දැකීම නම් හරිම සංවේදියි……ඔහොමම නොවුනත් ඔයිට බොහෝ සමාන අත්දැකීමකට මමත් මුහුණ දුන්නු නිසා මට තේරුම් ගන්න පුලුවන් බොහෝදුරට……

    අමා….දෙයක් වෙන්න නියම වෙලා තියනව නම් ඒක වළක්වන්න බෑ කියන කතාව ධනාත්මක චින්තනයට එතනින් ගිහාම ඉලක්ක සැපිරීමට වගෙ සංකල්ප වලට නම් ඉඳුරාම විරුද්ධයි…ඒත් මම හිතන්නෙ හිත සමහන් කරන්න අපට ඒ වගෙ සිතුවිල්ලකුත් උදව් කරගන්න වෙනව.

    Some thing like…….Its destiny or it was written in the stars……..at least it will help you to accept what happened, come to terms with it & get on with your life…….

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • අමා
      නොවැ. 16, 2011 @ 11:24:40

      අයියේ ඔයා නම් මාරයි…අනේ අනේ කටේ කිරි සුවඳ යන්නත් කලින් ගොළු හදවත කියෙව්වද? හිකිස්!
      ඔව් ඔව් ඔය පුස්තකාල වල ඉන්න ඈයෝ මටත් ඔහොම නෝන්ඩි හිනා දාල තියෙනවා. එතකොට මම කොහොම හරි අමාරුවෙන් හරි කාගෙන පොත කියවලම තමයි පස්ස බලන්නේ. හැබැයි ඇත්තටම ඒ වගේ ලොකු පොත් කියවන්න ගිහින් චාටර් වෙලත් තියෙනව. පණ්ඩිතය වගේ ලොලිටා කියවන්න ගිහින් එක පාරක් ඇන ගත්ත අප්පා! සා පෙ කරලත් නැහැද කොහෙද එතකොට (හැබැයි මාත් ඉතින් අත ඇරියේ නැහැ. කියවලාම තමා නැවැත්තුවේ. සෑහෙන අධ්‍යාපනික වටිනාකමක් තියෙන පොතක්නෙ! හී !)

      ඔව් අයියේ… මම මේ සිද්ධිය ගැන අද පසුතැවිලි වෙන්නේ නැහැ. එයා මගේ ප්‍රථම ප්‍රේමය උනත් අවසාන එක නෙවි 🙂
      නමුත් මම පෙරේද ජේන් එයර් බලද්දී මට මේ සිද්ධි දාමය මතක් උනා.

      අද මම අර සිදුවීමේ අනිත් තුන් දෙනා එක්ක ඉස්සර වගේම යාලුයි. ‘ප්‍රේමය’ අපේ හදවත් වලට ඇතුළු වෙලා හැමදේම අවුල් කරන්න කලින් අපි 4 දෙනා ගොඩක්ම ෆිට් එකේ හිටියේ. දැන් ආයෙත් ඒ ෆිට් එක තියෙනවා.
      ඒ දවස් වල නම් මම හරියට විඳෙව්වා. නමුත් ඉතින් කාලය හැම දෙයක්ම විසඳලා දුන්න.

      ප්‍රති-පිළිතුරු සැපයීම

      • Ravi
        නොවැ. 16, 2011 @ 13:36:34

        කියෙව්ව කිව්වට ඒ දවස්වල කලේ නිකම්ම කියෙව්ව එක විතරයි….ආසාවට…හරියට ගොනා පිටේ හකුරු පටවන්නැහෙ…..හෙහ්, හෙහ්,….ඒ දවස්වල මම ඔය පණ්ඩිත වැඩ කරන්න හරි කැමතියි….දැං කියලත් ඉතිං වැඩි වෙනසක් නෑ….ඇත්තම කිව්වොත්…..

        / අද මම අර සිදුවීමේ අනිත් තුන් දෙනා එක්ක ඉස්සර වගේම යාලුයි. ‘ප්‍රේමය’ අපේ හදවත් වලට ඇතුළු වෙලා හැමදේම අවුල් කරන්න කලින් අපි 4 දෙනා ගොඩක්ම ෆිට් එකේ හිටියේ. දැන් ආයෙත් ඒ ෆිට් එක තියෙනවා /

        අන්න හරි නංගි, අපිට බැරිත් ඕකනෙ….ප්‍රේමයක් යම් හේතුවක් නිසා බිඳවැටුනම කිට්ටුවෙන් ආශ්‍රය කරන්න බැරිකමක් නම් තියෙන්න පුලුවන්…ඒත් හිතවත් කම පවත්වාගෙන යන්න අපිට හැකියාවක් අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ.

        Glad that you got over it….Time is the best healer of course…..

  2. praveena
    නොවැ. 18, 2011 @ 23:19:16

    මම ආසම පොත් දෙකක් ගැන තමා ඔයා කියලා තියෙන්නේ. මටත් ජේන් හම්බ උනේ චූටි කාලේ. රෑ එලිවෙනකල් එයා එක්ක ඉඳලා උදේ නැගිටගන්ට බැරුව අම්මාගෙන් බැනුම් අහනවා තාම මතකයි. මේ තරම් ලස්සනට කවුරු හරි ලියන්නේ කොහොමද කියන එක මට එදා ලොකුම, ලොකු ප්‍රශ්නයක් උනා. මට නම් මාව පේන්නේ ‘ලිසී’ කෙනෙක් වගේ. මෝඩයි නම් තමයි. ඒත් ඉතින් මොනා කරන්ටද?

    ආදර කතාව ඇහැව්වම දුක හිතුනා. ආදරේ ඉතින් කොහොමත් දුකම තමා අමා. 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • අමා
      නොවැ. 20, 2011 @ 03:12:27

      ඒක කොහොමද මෝඩ වෙන්නේ පොඩ්ඩි! ලිසී වෙන්ට පුළුවන් නම් කොච්චර හොඳද?
      හ්ම් හ්ම් එහෙනම් ළඟදීම ඩාර්සි කෙනෙක් ඇවිත් කැන්දන් යාවි! ලිසී ල කෙසේ වෙතත් ඩාර්සි වගේ සිරා කොල්ලෙක් නම් හැබෑ ජීවිතේ හම්බුවෙලා නෑනේ 😦

      ආදරේ ගැන නම් කතා කරලා වැඩක් නෑ. මේ දවස්වල ආදරේ ට මේ පැත්ත පළාතේ එන්ට එපා කියල තියෙන්නේ.

      ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Nish
    නොවැ. 22, 2011 @ 10:03:46

    අමා ගේ බ්ලොග් එක අදනෙ දැක්කේ…………….

    මගේ ප්‍රථම ආදරේ අදටත් මගෙ හොඳම යාලුවා.

    බලන් ගියහම මේ ඔක්කොම පහේ පන්තියෙ ඉඳන් ලොකු ලොකු පොත් කියව්පු උන්දැල නේ.:D

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. අමා
    නොවැ. 23, 2011 @ 06:32:14

    හොඳයි හොඳයි අද හරි දැක්ක එක!
    5 පන්තියේ ඉඳන්ම ලොකු පොත් කියෙව්වා නෙවි කියවන්න ට්‍රයි කරා කිව්වොත් වඩාත් හරි 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. warsha
    දෙසැ. 15, 2011 @ 07:40:40

    akkio..mata pothatath vada denune film eka.. math echchara loku ekkenek nevei.labana avurudde O/L.. oya lassanata liyala thiyenava.

    mata mathaka hetiyata man ooka kiyevve 4 vasaredi.golu hadavatha nam giya avuruddeda koheda.. eeth man nam narak vune nehe onna.

    ada idan ennam oyage blog ekata..

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • අමා
      දෙසැ. 15, 2011 @ 10:14:38

      ස්තුතියි නංගා. ඔයාගේ ඉගෙනීමේ වැඩ පාඩු නොකර නිකන් ඉන්න වෙලාවට මේ පැත්තේ ඇවිත් යන්ට එන්නකෝ..
      ජේන් එයර් ඉංග්‍රීසි එකද නංගෝ කියෙව්වේ? සිංහල පරිවර්තනේ නම් මටත් එච්චර වැදුනේ නැහැ. ජේන් ඔස්ටන් හෙමත් කියවල බලන්ටකෝ. නැත්නම් එයාගේ පොත් වලින් හදපු චිත්‍රපටිත් ගොඩක් තියෙනවා. පොතේ නමින්ම යන Pride & Prejudice, Emma වගේ ඒවා වගේම, පොත් ආශ්‍රයෙන් හැදුව Bridget jones diary (ම්ම් මේකට නම් ඔයා පොඩි වැඩි වගේ තාම), Clueless එහෙමත්…

      ප්‍රති-පිළිතුරු සැපයීම

  6. සුදු හංසි
    මාර්තු 06, 2012 @ 16:43:26

    මටත් මතක් උනේ මාව… 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: