මැදියම පිපුණු කුසුමක් – 8


<< 7 කොටස

තම සිත් ගත් කඩවසම් තරුණයකු ලව්වා වඩවා ගෙන, ඔහු ගේ ගෙල වට දෑත පළන්දා, ඔහු ගේ උණුසුමට තුරුල් වී, තරු යට ඇවිදින අයුරු බොහෝ තරුණියෝ එක වරක් හෝ සිහින මවති.

කරුණු මෙසේ තිබියදී, එරික්ගේ බාහු මතින්, ඔහුගේ ලයට සිරවී, ගිම්හානයේ මුහුදු සුළඟ සිහිගන්වන ඔහුටම විශේෂ වූ සුවඳකට ඉව අල්ලමින් සිටි මට, මේ අවස්ථාවේදී කිසිදු ශෘංගාරාත්මක හැඟීමක් පහල නොවීම හාස්‍යජනකය.

තේරුම් ගත නොහැකි සිද්ධි දාමය නිසා මම සිටියේ මහත් අපහසුතාවයකිනි. එරික් කෙරෙහි සියුම් කෝපයක්ද මතු වෙමින් පැවතිනි. නවතින්නයි කියුවද ඔහු ගණනකට නොගනී. මා අසන ප්‍රශ්න වලට පසුව උත්තර දෙන්නම් යයි පමණක් කියයි. ඊටත් එක දිගට මෙසේ ඔහු දුවන්නේ කෙසේද? විඩාවක් නොදැනේද?

එරික් දිව යන්නේ අප ආ මග නොවන බව මට ඒ වන විට පසක් වී තිබණි. මද වෙලාවකින් අතහැර දමන ලද ගබඩාගාරයක් ඈතින් දිස්වන්නට වූ විට, ඔහු වඩාත් වේගයෙන් ඒ දෙසට යන්නට වූයේය. නිවැරදිව කාලය මැනීමේ මානසිකත්වයක් මට ඒ වන විට නොතිබුණු බව සැබෑය. ගබඩාගාරයේ වහල යන්තම් පෙනුණු මොහොතේ සිට, එරික්ට එහි දොරටුව වෙත වූ මයිලක පමණ දුර නිමා කිරීමට, මිනිත්තු දෙකක් වත් නොගියා සේ මට දැනුනේ එබැවින්දැයි නොදනිමි.

වසා දමා තිබු දොරටුව අසල නැවතුනු එරික් ‘සීදේවි මම දැන් කරන්න යන දේට සමා වෙන්න..ඒත් ඔයා වෙනුවෙන් මට මේක කරන්න වෙනවා’ යයි පැවසුවේ මා බිම තබමිනි. බිම තැබුවද, එක අතක් මගේ ඉණ වටේ යවා තදින් අල්ලා සිටි ඔහු, අනෙක් අතින් අඩක් වසා තිබූ ගබඩා දොර විවෘත කළේය.

මට සිහි එළවාගැනීමටවත් වෙලාවක් නොවීය. මා ගබඩාව තුලට තල්ලු වෙනුද, එසැනින් දොර අගුලු ලමින් වැසේනුද තත්පර ගණනකින් සිදු විය.

කට්ට කළුවර ගබඩාගාරයේ මා සිරකාරියක් බව පසක් වූ සඳ සිතට නැගි භය එරික් කෙරෙහි දරුණු කෝපයක් බවට පරිවර්තනය වීමට ගියේ ක්ෂණයකි. මා මෙසේ හසුරුවන්නට ඔහු මා කව්රු කියාද සිතන්නේ?
‘එරික්!’ හැකි වැර යොදා කෑ ගැසූ මම වැසුනු දොරට මිට මොලවා ගත් දෑතින් පහර දෙන්නට වීමි. ඔහු පිටතින් දොර පලු දෙක අතරට යමක් තබා නොඇරෙන සේ අගුලු දමා තිබිණ. මිටින් ගසා පලක් නැති බව වැටහුණු හෙයින් වේගයෙන් මදක් දුව විත් උරහිසේ බර යොදා දොර හැරීමට තැත් කලෙමි.
උරිස දැඩි ලෙස වේදනා දෙන්නට වීම සහ දෑතේ සම තුවාල වී ලේ ගලන්නට පටන් හැරෙන්නට අත්වූ ප්‍රතිපලයක් නම් නැති.

සිතේ ඇති වූ කෝපය නිසා එරික්ගේ නම හඬ ගසමින්, දොර අරින්නට තැත් කරනු විනා දොරින් පිට සිදුවන දේ පිලිබඳ මට එතෙක් අවධානයක් නොවීය.
එහෙත් දොර ඇරීමේ ප්‍රයත්නය ව්‍යර්ථ වීම නිසා ද, ශාරීරික වේදනාව නිසාද, දොර අසල නැවතී නිසොල්මන් ව, යටි තොල සපාගෙන සිටි ඒ මොහොතේ, මම පිටතින් ඇසෙන්නට ගත් ශබ්ද ගැන සැලකිලිමත් වීමට පටන් ගතිමි.

කුඩා කල කියවූ රුසියන් සුරංගනා කතාවක එන, භීමරූපී රාක්ෂයන් පිරිසක් අතර සටනක් යයි සිතෙන තරමේ, බියකරු අද්භූතජනක හඬවල් අගුලු දැමු දොරේ පිටතින් ඇසෙමින් පැවතිණ.

මෙතෙක් වෙලා දොර අරින්නට තැත් දැරූ මා හට, ඒ දොර ඇතුලට වී අඳුරු ගබඩාගාරය තුලට වී සිටීම වඩා ආරක්‍ෂිත යයි හැඟෙන්නට වුයේ එවිටය.

නමුත් එරික්ට කුමක් වන්ට ඇත්ද?

පිටතින් ඇසෙන අමනුෂ්‍ය ශබ්ද නිසා නැගි කුතුහලයෙන්ද, එරික්ගේ සුරක්ෂිතභාවය පිලිබඳ ඇති වූ බියෙන්ද මඩනා ලද සිත් ඇත්තේ, මම වහාම යන්තම් හෝ පිටත බැලිය හැකි සිදුරක් දොරේ ඇත්දැයි සොයන්නට වීමි.  එලිමහනෙන් ගලා ආ දුබල සඳ එලිය කාන්දුවන තැනක් බලා සොයාගත් සිහින් සිදුරට ඇස තබා දුටු දෙයින් මම තුෂ්නිම්භූත වීමි.

තැනින් තැන ඉරී ගිය ඇඳුමින්, වේගයෙන් උස් පහත යන ලයෙන් යුතුව, එරික් එළිමහනේ සිටගෙන සිටියේය. වෙන කිසිවෙක් පෙනෙන්ට නොසිටි අතර කලින් ඇසුණු බියකරු ශබ්ද සියල්ලමද මේ වන විට නැවතී තිබිණි.

එරික්ගේ මුව දෙපසින් – ඔව්.. ඔහුගේ මුව දෙපසින්… රතු පැහැති රුධිරය ගලා යමින් පැවතිණ.

මැදියම පිපුණු කුසුමක් – 7


<< 6 කොටස

කෙනෙක් තවෙකෙක් හා ප්‍රේමයෙන් බැඳෙන්නේ මන්ද?
මේ පිළිතුරු දිය නොහැකි ප්‍රශ්නයකි.
සුවිශේෂී බැල්මක්, ලබැඳි සිනහවක්, අනපේක්ෂිත ස්පර්ශයක්, හෝ සිත්ගත් වදනක්… මේ කුමක් හෝ නිමිති කරගෙන, තාර්කික ඥානයට හසු නොවෙන අපැහැදිලි හේතුවක් නිසා අපි ප්‍රේමයෙන් බැඳෙමු. සමහර විට, මොලයෙන් නිකුත් කරන අනතුරු ඇඟවීම්, තහනම් නියෝග කිසිත් නොතකා හදවත ප්‍රේමයෙන් බැඳෙයි.
ඉදින් ඒ පරදේශක්කාර තරුණ හේවායා සහ රජ කුමරිය ගේ නෙතු හමු වූ මොහොතේ පටන්, ප්‍රථම වරට ඔහු ඇයගේ දෙතොල් රස උරා බිව් මොහොත දක්වා සිදුවූ දේ වචනයක් පාසා එරික් මා හා පැවසූ නමුදු, ඒ සියල්ල පවසා ඔබව උදාසීන කිරීමට නොයමි. ඔවුන් දෙදෙනා ද සුවහසක් ප්‍රේමවන්තයන් සේ එකිනෙකා කෙරෙහි ප්‍රේමයෙන් මුසපත් වූ බව පමණක් පවසමි.

නමුත් මෙවන් ප්‍රේමයකට පැවැත්මක් ඇත්ද?
කුමරිය යන්තම් සොළොස් වන වියෙහි වුවද, ඒ වන විටත් අසල්වැසි රටෙක, කිසිදා දැක නැති කුමරෙකු හා විවාහ වන්නට සුදානම් කොට තිබිණි. වීදුරු බෝලයක සිර කල රන් මාලුවෙක් අතකින් අතකට යන්නා ලෙස, බලයත් ධනයත් විසින් එලෙස ඇයගෙන් කිසිවක් නොඅසාම, ඇයගේ ජීවිතය තීරණය කර තිබිණි.
කරුණු මෙසේ තිබියදී, නොදන්නා රටක තනිවූ අපගේ හේවායා කුමක් කරන්ටද? ඔහුට ඉතිරි වුයේ එකම විසඳුමකි.

                                                       * * *

සමාවන්න, මෙහිදී මේ අතීත කතාව මදකට නවත්වා, ඔබව මදකට එරික් හා මාගේ වර්තමානයට නැවත කැඳවා එන්නට සිදුවෙයි. එරික් කතාවේ මේ කොටස කියද්දී සිදුවූ යමක් ඔබට දැන් කිව යුතුය.

‘කියන්න එරික්’ යාරා නදිය මත්තෙන් බැබලෙන සඳ දෙස බලාගෙන, කතාන්දරය ට සමවැදී උන් මම, නොඉවසිල්ලෙන් පැවසුවේ එරික් හදිසියේ කතාව නවතා නිහඬ වූ බැවිනි. ඔහුගෙන් පිළිතුරක් නොලද හෙයින් හිස හරවා ඔහු දෙස බැලුවෙමි.
එරික් ඉතාම නිශ්චල ලෙස යමකට ඇහුම්කන් දීගෙන සිටියේය. මගේ අවධානය හිමි වූ බව දුටු ඔහු මටද නිහඬ වන්නැයි සන් කළේය. කිසිත් නොතේරුණු නමුත්, ඔහුගේ මුහුණෙන් වූ බරපතළ පෙනුම නිසා මාද ප්‍රශ්න නො අසා නිසොල්මන් වීමි.
විනාඩි කිහිපයක් ගෙවී ගියේය. එරික් නම් සෙලවෙනවා තබා හුස්ම ගන්නවා වත් නොපෙනුණි. යටි තොල සපාගෙන, ව්‍යාකූල සිතින් ‘තවත් නම් මෙය ඉවසන්නට බැරියයි’ සිතමින් මා නම් සිටියේ ඉතාම නොසන්සුන්තාවෙනි.
හදිසියේම එරික් නැගිට්ටේය. අනතුරුව මටද ඔහු පසුපස එන්නයි සන් කර ජැටිය දිගේ කඩිනමින් ආපසු යන්නට විය. අඩි හයක්ද ඉක්මවූ ආරෝහ පරිණාහ දේහ දාරියකු වූ එරික් කිසිත් හඬක් නො නංවා ලී ජැටිය මත කඩිනමින් දිව යද්දී, ඔහුට වඩා දේහ ප්‍රමාණයෙන් බොහෝ කුඩා වූ, මා ගේ ගොලුබෙලි ගමන දඩි බිඩි හඬින් මහා කාලගෝට්ටියක් නැං වීම මගේ මහත් ලැජ්ජාවට හේතු විය.

ඔහු තරම් වේගයෙන් හෝ සුක්ෂම ලෙස හෝ ගමන් කරන්නට මගේ ඇති අති අසාර්ථක භාවය තේරුම් ගත එරික්, වහා ආපසු හැරී විත් මගේ විරෝධය නොතකාම කුරුළු පිහාටුවක් අතින් ගන්නා සේ සැහැල්ලුවෙන් මා ඔසවා ගත්තේ, මට සිතා ගත නොහැකි තරම් වේගයෙන් දිව යන්නට විය.

ඒ වෙලේ මැදියම් රාත්‍රිය ද පසුවී තිබුණු අතර අප සිටි ප්‍රදේශය ඒ වන විට ජන ශුන්‍යව පැවතිණ.
අප මේ දිව යන්නේ මන්ද? කාගෙන් බේරීම සඳහාද?

නොවැටී සිටීම පිණිස, දෙඅත එරික්ගේ ගෙල වට යවා තදින් අල්ලාගෙන, ඔහුගේ පුළුල් උර තලය ට හේත්තු වී සිටි, මගේ සිතට පැන නැගුනු ප්‍රශ්න මෙහි සඳහන් කරන්ට නොයමි.

‘එරික්…මේ මොනවාද වෙන්නේ’ යයි සිහින් සරයෙන් විමසු කල මට ඔහුගෙන් ලැබුනේ ‘ෂ්ෂ්.. බය වෙන්න එපා. සේරම පස්සේ කියන්නම්’ යන කෙටි පිළිතුර පමණි.

මැදියම පිපුණු කුසුමක් – 6


<< 5 කොටස

හිතවත් පාඨකයාණෙනි, එරික් කී කතාව ඔහුගේ වචනවලින්ම මෙහි සඳහන් කරන්නට නොයමි. ඒ කතාවේ විචිත්‍රත්වය ඔහු තරම් දක්ෂව සිතුවම් කරන්නට මට නොහැකි බැව් දන්නා බැවිනි. නමුත් දැන් මා කියා දක්වන්නට යන ඒ කතාන්තරයේ සංක්ෂිප්ත අනුවාදයෙන් ඔහුට යම් තරමකට හෝ සාධාරණයක් වේ යයි සිතමි.

එසේ නම් පාඨකය, මවා ගන්න අදින් බොහෝ කලකට පෙර, ඉතිහාසය හිරි මල් යොවුන් වියේ පසුවෙද්දී,  හිමෙන් වැසී ගිය උතුරු දිග දේශයක උපන් තරුණ හේවායෙක්. ඔහුගේ නම…නැත නව වන ශත වර්ෂයේ නාඳුනනා භාෂාවක ට අයත්, ඔහුගේ සැබෑ නම ඔබටත් මටත් දෙදෙනාටම උච්චාරණය කිරීමට නොහැකි වනු ඇත. උරහිස තෙක් වැවුණු රන්වන් කෙස් වැටියකින් ද,අතෙකින් බරැති කඩුවක්ද, අනෙකින් ඔහුගේ වර්ගයා අතර ප්‍රචලිත යුධ පොරවක්ද ගෙන, තීක්ෂණ දෑසින් බලා හිඳිනා ඔහුට අපි ‘හේවායා’ යයි අමතමු…


ඉදින් කවරෙක් දෙසද ඔහු මේ තරම් සීරුවෙන් බලා හිඳින්නේ?  ඔහු උපන් ගම මායිම් වූ උතුරු මුහුදේ මෙන්ම නිල්වන් වූ දෑසින් ඔහු බලා සිටින්නේ, සටන් කවයට ඔබ්බෙන්, හුදී ජනයාගෙන් වෙන්ව උස් කර තනන ලද වේදිකාවෙහි, සිය පරිවාර ස්ත්‍රීන් සමඟ වාඩිවී, සටන් නරඹන කුමරිය දෙසය.

සිය උපන් බිමෙන් බොහෝ ඈත, හිරු එළියෙන් නැහැවුණු, හරිත වර්ණයෙන් දිදුලන මේ දේශයේ ඔටුනු පලන් කුමරිය දෙස හේවායා මෙතරම් බලා සිටිනවා කිසිවකු නොදැකීම ඔහුගේ වාසනාවකි. මන්ද යත්, අතිශය රණකාමී සහ එඩිතර වුවද ඔහු රාජකීය රුධිරය බිඳුවක් වත් නොගෑවුණු නිකම්ම නිකම් හේවායකු පමණක් වූ නිසාය.

අනපේක්ෂිත සිද්ධි දාමයක් නිසා සිය කණ්ඩායමෙන් වෙන්ව පෙරදිග බලා යන වෙළඳ නෞකාවක නැඟ මෙහි පැමිණි ඔහු, අද සටන් කවයට පිවිසියේ සිය දස්කම් මෙරටේ රජු ඇතුළු පිරිසට පෙන්වා, රජුගෙන් කහවනු දිනා ගැනීමටය. නමුත් සිය උපන් දේශයේ දැක පුරුදු ගැහැනුන්ට හාත්පසින්ම වෙනස් වූ, තද කාල වර්ණ වරලසින්ද, එවැනිම වර්ණයන් වූ දිගු දෙනයනකින්ද යුතු වූ, කුමරිය දුටු වෙලේ පටන් හේවායාට කහවනුද අමතක වූ සේය.

මැදියම පිපුණු කුසුමක් – 5


<< 4  කොටස

ඒ රාත්‍රිය වූ කලී දරාගැනීමට නොහැකි අධික ශීතලක් හෝ විඩා දෙන සුළු වූ උෂ්ණයක් හෝ නොමැති වූ සිසිල් කාලගුණයකින් යුතු විය. එරික් හා මම දෙදෙනාගේ අත්වල පැටලී, එකිනෙකාගේ දෑස් තුලට එබීගෙන යාරා නදී තීරයේ නිහඬ සක්මනක යෙදුනා යයි ඔබ සිතනවානම්…පාඨකය, ඒ සාවද්‍ය සිතුවිල්ලකි.

සවුත්බෑන්ක් ප්‍රදේශයේ සිට නගරයෙන් ඉවතට නදී තීරය දිගේ ඇවිද යන විට දිස්වෙන මෙල්බන්හි සන්ධිස්ථාන බොහොමයක් නරඹමින් අප ඇවිද්දෙමු. ඒ සෑම ගොඩනැගිල්ලක්, මං සලකුණක් ගැනම කීමට එරික් හට කතාවක් විය. 19 වන ශත වර්ෂයෙහි අග භාගයේදී, ලොව ධනවත්ම නගරය මෙල්බන් වූ කාලයේදී, සිදුවූ සිද්ධි ඔහු පැවසුයේ ඒවා සියැසින් දුටු අයෙකු විලසිනි.

ආපසු එන ගමනේදී ජැටිය මතට යාමට පඩි නගිමින් සිටියෙමු. හදිසියේ පය පැටලී මා වැටෙන්ට ගොස්, වහා ගරාදි වැටෙහි එල්ලෙනු දුටු එරික්, මට කලින් නැග සිටියේ අත දික් කලේ මගේ පහසුවටය. නමුත් දකුණතින් සන් කර ඔහු නැවතු මම, ‘නෑ ස්තුතියි මට පුළුවන්’ යයි පැවසුවෙමි.

මගේ මේ ස්වාධීනත්වය පෙළක් තරුණයින්ට අපහසුතාවයක් ගෙන දෙන්නකි. එය මම දනිමි.
නමුත් ඉහත සිද්ධියේදී එරික් නම් මද සිනාවක් පා මොනවාදෝ ඔහුටම කොඳුරා ගන්නවා පමණකි මා දුටුයේ. පැහැදිලිවම නොඇසුණු නමුත්, ‘පරණ පුරුදු අත ඇරලා නැහැ’ වැනි යමක් ඔහුගේ වදන් වල විය. එහි තේරුම නම් මට ඒ මොහොතේ තේරුනේ නැත.

කෙලවරට සෙමින් ඇවිද ගිය අපි පාද ගඟ දෙසට පහලට සිටින සේ, ජැටිය මත වාඩි වී ගතිමු. සුළු නිහඬතාවයකින් පසු එරික් කටහඬ අවදි කළේය.
‘අමන්දා…මම දැන් ඔයාට කතාවක් කියන්න යි යන්නේ…ඔයා අහන ඉන්න කැමතිද?’
‘කතාවක්?’ මම පුදුමයෙන් ඔහු දෙස බැලුවෙමි. ‘ඔයාගේ ජීවිත කතාවද?’
එරික් සිනාසෙනු මට අඬ අඳුරේ පෙනිණ.
‘මෙහෙම කියමු අමන්දා. මේක ඉතිහාස කතාවක්. ඒ වගේම ගොඩක් දිග කතාවක්. ශතවර්ෂ ගණනාවක කතාවක්…බාගවෙලාවට  ඔයාට විශ්වාස කරන්න බැරි වේවි. මොකද මේ කතාවේදී මායාව සහ යතාර්ථය වෙන් වෙන රේඛාව බොඳ වෙන්න පටන් ගන්න නිසා. ඔව් ඇත්තටම ඒ රේඛාවත් මායාවක් කියල ඔයාට දැනෙන්න පටන් ගනීවි.’
එරික් කියාගෙන ගියේය.
මම දෑස් අයාගෙන බලා සිටියෙමි. ඔහු මේ කියන්ට යන්නේ කුමක්ද?

‘අමන්දා…ඔයා අහගෙනද ඉන්නේ?…එහෙනම් මම පටන් ගන්නම්’

මැදියම පිපුණු කුසුමක් – 4


ඒ එරික් හා මා හමුවී එළඹුණු පළමු සති අන්තයයි.
ළඟ ළඟ එන වසන්තයේ පණිවුඩය දැනුම් දීමට මෙන්, ලා හිරු රැසින් ඔපවත් සෞම්‍ය කාලගුණ යෙන් යුතු වූ, ඒ සැප්තැම්බර් උදෑසන කි.
පෙර දින වලදී සෑම දිනම අප දොඩමලු වුයේ රාත්‍රී කාලයේය. ඉදින් උදෑසන සොඳුරු බව දුටු මට හදිසියේම යාරා නදී තීරයේ එරික් හා ඇවිදීමට යාමට සිත්වීම පුදුමයක්ද? මා ඔහුගේ ජංගම දුරකථනය පළමු වරට එදා ඇමතුවේ ඒ බව ඇසීමටය.

දුරකථන වරක් දෙවරක් තෙවරක් නාද විය.
‘මේ ඔබ අමතා ඇත්තේ එරික් ගේ දුරකතනයටයි. මට දැන් ඔබව ඇමතීමට නොහැක. කරුණාකර සවස 6 න් පසුව අමතන්න. ස්තුතියි’

මම පැයකට අධික කාලයක් තුලදී කිහිප විටක් එරික් ඇමතීමට උත්සාහ කල නමුත් සෑම විටම එහා කොනෙන් ඉහත ස්වයංක්‍රීය පණිවුඩය ම පමණක් වාදනය විය.

ඉවසීම පුරුදු කර නැති මම කෝපයට පත්ව දුරකථනය අහකට විසි කළෙමි. මුරණ්ඩු ළදරියක ලෙසින් සවස් කාලය එළඹෙත්ම මගේ කෝපය තව තවත් වැඩි වුවා මිස අඩු වුයේ නම් නැති.
එහෙයින් ඒ රාත්‍රියේද එරික් සුපුරුදු පරිදි භෝජනාගාරයේදී මා හමුවට පැමිණි විට ඔහුට මගෙන් ලැබුනේ පුළුටු කරගත් මුහුණින් රකුසු බැල්මක් පමණි. ඔහු හිස මදක් ඇලකොට මදක් මා දෙස බලා සිටියේය.

‘කැමතිද අද රෑට යාරා ගං ඉවුර දිගේ රස්තියාදුවක් යන්න?’ ඔහු ඇසුවේ කිසිත් ගණනකට නැතිවය. මම බුම්මා ගතිමි.
‘අද උදේ යන්නනේ කතා කලේ. කොහෙද හවස 6 න් පස්සේ කතා කරන්ට කියල කියන්න ගත්තනේ…මගේ පණිවුඩය ට අඩුම ගන්නේ උත්තරයක් වත් නැහැ’
‘උදේ?’ ඔහු ශබ්ද නගා සිනාසුනේය. ‘අමන්දා ඔයා නොදන්නවා උනාට මම නිශාචර සත්වයෙක්. ඇරත් ඔය ෆෝන් කියන ජාතිය ට මගේ වැඩි මනාපයක් නැහැ…ඇත්තටම මම ඔයාගේ පණිවුඩය දැක්කේ නැහැ…හොඳයි ඉතින් මොකද කියන්නේ? යමු’
ඔහු මගෙන් ප්‍රශ්නයක් ඇසුවද මා පිළිතුරු දෙන තෙක් නොසිටීම මගේ අමනාපයට හේතු විය.

කෙසේ වතුදු විදුලි බුබුළු වලින් දැල්වුණු සුන්දර යාරා තීරයේ රාත්‍රී සංචාරයකට පයින් ගැසීමට තරම් මා මෝඩියක නොවේ.

මැදියම පිපුණු කුසුමක් – 3


<< 2 කොටස

මගේ යෙහෙලියන් කඩවසම් තරුණයෙකු හමු වූ විට පෙර නොවූ විරූ ලද බොළඳ කොමලියන් වනු මා බලා සිටියේ පුදුමයෙනි. මිනිත්තුවකට පෙර කොටස් වෙළඳපොල පිලිබඳ ගැඹුරු විශ්ලේෂණයක් කරමින් සිටි එකියක් ඈ සිත්ගත් තරුණයෙකු එතනට පැමිණි විගස රතු වූ කොපුල් තල වලින්ද, අඩක් බිමට යොමා ගත් දෙනුවනින්ද යුතුව මහත් පරිවර්තනයකට ලක්වෙයි.

කුමන හෝ හේතුවක් නිසා කිසිදු තරුණයෙකුට මා තුල එවන් විපරියාසයක් කිරීමට පිළිවන් වුයේ නැත.
හදිසියේ හෝ මාද එවන් එකියක් වුවේ නම් එරික් හමුවේ කුමකින් කුමක් වන්නට තිබුණාදැයි අනුමාන කිරීම පවා දුෂ්කරය.

මක් නිසාද යත් ඔහු මා එදා මෙදා තුර දුටු ඉතාම ආකර්ශනීය පිරිමියා වන බැවිනි. කඩවසම් තරුණයන් මා කොතෙකුත් ආශ්‍රය කොට ඇත. නමුත් ඔවුන් කා හට වත් නොතිබුණු තේජස් ගුණයක් එරික් සතු විය. වයස තිහකට වැඩි පෙනුමක් නොපෙනුණු නමුත් ඔහුගේ දෑසේ ශත වර්ෂ ගණනක කතාවක් ලියවී තිබුණි.

කෙසේ වතුදු මා ඔහු හමුවේ වුවද කෝලම්කාරියක නොවූයෙමි. මා තුල ඔහු ඒ මුල් දිනවල ඇති කළ හැගීම කෙසේ පවසන්නද?ඉතාම අපුරු, එහෙත් තහනම් සෙල්ලම් බඩුවකට වශී වූ ළදරියක් තුල ඇතිවන ත්‍රාසය මුසු චමත්කාරයක් මා තුල වූ බව පැවසීම නිවැරදිය.

අපගේ හමුවීම් වල සිදු වුයේ මොනවාද? අපි කතා කළෙමු. රාත්‍රියන් ගෙවෙන තෙක් කෝපි කෝප්ප සහ වයින් වීදුරු හිස් කරමින් අපි කතා කළෙමු. අප කතා කලේ මොනවා ගැනද?
ඒ ප්‍රශ්නයට වඩා අප කතා නොකළේ මොනවා ගැනදැයි කීම ලෙහෙසි වනු ඇත.

එහෙත් ඔහුගේ පුද්ගලික වත ගොත පිලිබඳ එරික් කතා කලේ ඉතා අල්ප වශයෙනි. රට රටවල් රාශියක සංචාරය කර තිබුණු ඔහු භාෂා රාශියක්ද දන්නා බව පැවසුවේ තෙවන හමුවේදීය. මගේ නම බොහෝ බටහිරයන් පරිදි ‘අමන්ඩා’ යයි නොකියා, වාසගමද සහිතව නිවැරදිව උච්චාරණය කළ අයුරු මතක් වූ මම, එවිට ‘ඔයා සිංහල ත් දන්නවාද?’ යි ඇසුවෙමි.
ඔහුටම ආවේනික සුන්දර, එහෙත් කලාතුරකින් එළි පහලියට බසින් සිනහවෙන් මට සංග්‍රහ කළ එරික් මොහොතක් මා දෙස බලා සිටියේය.
‘නැහැ’ ඔහු ඉංග්‍රීසියෙන්ම පැවසුවේය. ‘ඔයාගේ මව් භාෂාව මම තවම ඉගෙන ගෙන නැහැ’
ඔහු මට සඟවන යමක් ඇතැයි මට පළමු වරට දැනෙන්ට ගත්තේ එදාය.

මැදියම පිපුණු කුසුමක් – 2


<<පලමු කොටස<<

එරික්…එරික් දුටු මුල් තත්පර කිහිපයේදී මා දශක දෙකක් ආපස්සට ගියේ කුඩා කල දකුණු අප්‍රිකාවේ කල  සෆාරියක් සිහි ගන්වමිනි.

මා ප්‍රථම වරට නිදැල්ලේ වනයේ සරණ සිංහයෙකු ගේ ඇස් එල්ලේ බැලුවේ එදිනය. කැමරා අටවාගෙන ජීප් රියේ එල්ලී සිටි සංචාරක රොත්ත දෙස සිංහයා හෙළුවේ, රණශුරයෙක් ඔහුගේ පාවහන් මදින්නෙක් දෙසට හෙලන බැල්මකි. ඌ ගොරවා උගේ මරණීය උල් දත් විලිස්සන්ට ගියේ නැත. නමුත් සෑම නිහඬ ඉරියව්වකම නිසැක ප්‍රතිහානය ක් ගැබ්ව තිබිණ. වරක් සිංහයා එකවරම වාඩිවී ජීප් රිය දෙස එක එල්ලේ බැලුවේය. ඊළඟ මොහොතේ ඌ අප වෙත පනීද, නැතහොත් සෙමෙන් ඈනුමක් හරීද කියා නොදත් අපි ගල් ගැසී ත්‍රාසයෙන් බලාසිටියෙමු. ඒ දෙකෙන් කුමක් නමුත් සිදුවන්නට ඉඩ තිබුණි.

ඒ සිංහයා මිනිස් වෙස් ගත්තේ නම්, ගිම්හානයේ හිරුගෙන් සොරාගත් රන්වන් තඹ පැහැගත් හිසකෙසින් ද, නිරිතදිග වෙරළේ සුලබ දීප්තිමත් මුහුදු නිල් පැහැ දෙනෙතින්ද යුතු එරික්ට බොහෝ සමාන වේ යයි මට එවෙලේ සිතුනි.

මගේ අවධානය හිමි වූ බව දුටු ක්ෂණයෙන් සිය වයින් වීදුරුවත් රැගෙන මගේ මේසය වෙත පැමිණි ඔහු ‘හලෝ මම එරික්’ යයි ඉතාම ශාන්ත ලෙස තමන්ව හඳුන්වාදුන්නේය.
මද සිනාවකින් ඔහුට සංග්‍රහ කල මම ‘මගේ නම අමන්දා ලෙව්කෙබණ්ඩාර’ යයි කීවේ හිතාමතා ඔහු අමාරුවේ දැමීම පිණිසය.
‘අමන්දා ලෙව්කෙබණ්ඩාර’ මා නිරුත්තර කරමින් මගේ දිව උලුක් වන දිගු නම ඉතා පැහැදිලි ව සහ හොඳින් උච්චාරණය කරමින් ඔහු දකුණත දිගු කළේය.

* * *

ඒ අපගේ පළමු හමුවීමයි.
මා හට එසේ වුවද එරික්ට අනුව එසේ නොවන බව දැන ගත්තේ පසුවය.

මැදියම පිපුණු කුසුමක් – 1


මා මේ කියන්නට යන සිද්ධි දාමය අගක් මුලක් නැති  හිතලුවක් ලෙසින් කෙනෙක්ට සිතෙන්ට පිළිවන. කම් නැත මගේ ආදරණීය පාඨකයාණෙනි, අවසාන තීන්දුව ඔබ අතේ තබා පියවි සිහියෙන් මා දුටු සිහිනය පවසන්නම්…
එරික්…ඔහුගේ නම ඒ බව මුලින් දැන සිටියේ නැත. ඔහු මා මුලින්ම දුටුවේ…නැත, ඊට කලින් මා මෙල්බන් පැමිණීමට හේතු වූ කරුණු සහ මා ගැන යමක් කිව යුතුය.
* විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරන ඒ කාලයේ මගේ පර්යේෂණ කටයුතු වලට මාස කිහිපයකටය මෙල්බන් නගරයට පැමිණ සිටියේ. ආචාර්ය උපාධිය යයි කියූ පමණින් තරුණ විය ඉක්මවූ තලත්තානි ගැහැනියක් ඔබ මවාගත්තාද? එසේ නම් ඒ මනෝ චිත්‍රය ඉරා දමා, ඒ වෙනුවට  වයස විසි පහක් නොඉක්මවූ, නළලට වැටුණු කොණ්ඩයෙන් සහ බෝතල් අඩි උපැස් යුවලක් පිටිපස සැඟවී සිටින්ට උත්සාහයක යෙදුනු සිහින් කුලෑටි ගැහැණු ළමයෙක් මවා ගන්නා ලෙසට අයදිමි.
නගරයට ආසන්න කුඩා නවාතන්පලක දෙවෙනි මහලේ කුලියට ගත් කාමරයක මා නැවතී සිටියෙමි. කොහොමත් වැඩි සමාජ ආශ්‍රයක් නැති, පොත් ගුල්ලියක ලෙසින් ප්‍රචලිතව සිටි මා හට, මෙල්බන් වල යහළුවන් නෑදෑයන් නොසිටීම ප්‍රශ්නයක් වුවේ නැත. දිවා කාලයේ අධ්‍යන වැඩ වල නිරතවන මම රාත්‍රියේ නවාතැන්පලට පැමිණ මුහුණ කට දොවා භෝජනාගාරය වෙත ගොස් කිසිවක් ගිල දමමි. එහිදී හමුවන ඇස ගැටෙන මුහුණු හා මම ‘හායි බායි’ වලින් එහාට අල්ලාප සල්ලාපයේ නොයෙදිමි. ඒ ඇත්තටම මට ඒ ගැන උනන්දුවක් නොතිබූ නිසාය.

හිතවත් පාඨකය, මානයෙන් ඉදිමුණු අහංකාර සමාජ විරෝධී කෙල්ලක ලෙසින් දැන් ඔබ මට දුන් නඩු තීන්දුව මොහොතකට පසෙකට ලන්න.
ඔව් ධනවත් පවුලක එකම දරුවා වීමත්, මගේ කුලෑටි ගතිගුනත් නිසා බොහෝ අය මට එම ලේබලය ගසන බව දනිමි. නමුත් මට ඒ ගැන කියන්ට ඇත්තේ, කිසිදාක මට දැනෙන දේකට පිටින් ගොස් බොරු රඟපෑම් කරන්ට ඇති අකමැත්ත විනා මගේ ඇති අහංකාර කමක් නැති බවයි.

ඔබ කියන්නේ, ඔබ ආශ්‍රය කරන හැම දෙනා ගැනම අවංකව ඔබට උනන්දුවක් ඇත කියාද? ඔවුන් ගේ දු දරුවන් ගැන, ඔවුන්ගේ කොණ්ඩා මෝස්තරය ගැන, රැකියා ප්‍රශ්න ගැන ඔබ සත්‍ය වශයෙන්ම කරදර වනවාද? ඉදින් මට නම්, අන්‍යන්ගේ ජීවිත විස්තර ඇසීම තරම් විඩාව ගෙන දෙන්නක් තවත් නැත. ඒ කාලයේදී පොතක් කියවීම හෝ ගිටාරය වාදන ය කිරීම මට ඊට වඩා බොහෝ සතුටක් ගෙන දෙන්නකි. සමාජ මතය ගැන මගේ කවදත් සැලකිල්ලක් නොතිබුණි. එබැවින් මා ආශ්‍රය කලේ සැබවින්ම මා ආදරය කල හෝ අඩු තරමේ මා සිත්ගත් අය ම පමණකි.
සීතල ජුලි මාසයේ රැයක් වූ එදිනද මම සුපුරුදු ලෙස භෝජනාගාරයට ගියේ ඉක්මනින් රාත්‍රී ආහාරය ගෙන මගේ කාමරයට වැද ගන්නටය. එහෙත් පළමු කෑම කට මුව තුලට ගද්දිම අමුත්තක් දැනුනු හෙයින් මම හිස හරවා පිටුපස බැලීමි.

ඒ මා පළමු වරට එරික් දුටු මොහොතයි.