මගේ යෙහෙලියන් කඩවසම් තරුණයෙකු හමු වූ විට පෙර නොවූ විරූ ලද බොළඳ කොමලියන් වනු මා බලා සිටියේ පුදුමයෙනි. මිනිත්තුවකට පෙර කොටස් වෙළඳපොල පිලිබඳ ගැඹුරු විශ්ලේෂණයක් කරමින් සිටි එකියක් ඈ සිත්ගත් තරුණයෙකු එතනට පැමිණි විගස රතු වූ කොපුල් තල වලින්ද, අඩක් බිමට යොමා ගත් දෙනුවනින්ද යුතුව මහත් පරිවර්තනයකට ලක්වෙයි.
කුමන හෝ හේතුවක් නිසා කිසිදු තරුණයෙකුට මා තුල එවන් විපරියාසයක් කිරීමට පිළිවන් වුයේ නැත.
හදිසියේ හෝ මාද එවන් එකියක් වුවේ නම් එරික් හමුවේ කුමකින් කුමක් වන්නට තිබුණාදැයි අනුමාන කිරීම පවා දුෂ්කරය.
මක් නිසාද යත් ඔහු මා එදා මෙදා තුර දුටු ඉතාම ආකර්ශනීය පිරිමියා වන බැවිනි. කඩවසම් තරුණයන් මා කොතෙකුත් ආශ්‍රය කොට ඇත. නමුත් ඔවුන් කා හට වත් නොතිබුණු තේජස් ගුණයක් එරික් සතු විය. වයස තිහකට වැඩි පෙනුමක් නොපෙනුණු නමුත් ඔහුගේ දෑසේ ශත වර්ෂ ගණනක කතාවක් ලියවී තිබුණි.
කෙසේ වතුදු මා ඔහු හමුවේ වුවද කෝලම්කාරියක නොවූයෙමි. මා තුල ඔහු ඒ මුල් දිනවල ඇති කළ හැගීම කෙසේ පවසන්නද?ඉතාම අපුරු, එහෙත් තහනම් සෙල්ලම් බඩුවකට වශී වූ ළදරියක් තුල ඇතිවන ත්‍රාසය මුසු චමත්කාරයක් මා තුල වූ බව පැවසීම නිවැරදිය.
අපගේ හමුවීම් වල සිදු වුයේ මොනවාද? අපි කතා කළෙමු. රාත්‍රියන් ගෙවෙන තෙක් කෝපි කෝප්ප සහ වයින් වීදුරු හිස් කරමින් අපි කතා කළෙමු. අප කතා කලේ මොනවා ගැනද?
ඒ ප්‍රශ්නයට වඩා අප කතා නොකළේ මොනවා ගැනදැයි කීම ලෙහෙසි වනු ඇත.
එහෙත් ඔහුගේ පුද්ගලික වත ගොත පිලිබඳ එරික් කතා කලේ ඉතා අල්ප වශයෙනි. රට රටවල් රාශියක සංචාරය කර තිබුණු ඔහු භාෂා රාශියක්ද දන්නා බව පැවසුවේ තෙවන හමුවේදීය. මගේ නම බොහෝ බටහිරයන් පරිදි ‘අමන්ඩා’ යයි නොකියා, වාසගමද සහිතව නිවැරදිව උච්චාරණය කළ අයුරු මතක් වූ මම, එවිට ‘ඔයා සිංහල ත් දන්නවාද?’ යි ඇසුවෙමි.
ඔහුටම ආවේනික සුන්දර, එහෙත් කලාතුරකින් එළි පහලියට බසින් සිනහවෙන් මට සංග්‍රහ කළ එරික් මොහොතක් මා දෙස බලා සිටියේය.
‘නැහැ’ ඔහු ඉංග්‍රීසියෙන්ම පැවසුවේය. ‘ඔයාගේ මව් භාෂාව මම තවම ඉගෙන ගෙන නැහැ’
ඔහු මට සඟවන යමක් ඇතැයි මට පළමු වරට දැනෙන්ට ගත්තේ එදාය.
ජන. 09, 2012 @ 19:04:35
වත්ත වටේ ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට යන්තන් ට්‍රැක් එකට වැටුන. දැන් ඉතින් පීල්ලේම යයි නේද? 😀
ජන. 10, 2012 @ 05:57:12
/ ඔහු මට සඟවන යමක් ඇතැයි මට පළමු වරට දැනෙන්ට ගත්තේ එදාය./
ආ….මේ අර එරික්නෙ…මම දන්නව මිනිහ……බොහීමියන් ටයිප්…ඒත් අමාගෙ කතාව ඇත්ත….එළ කොල්ලා…..ආහ්….ඔයා දන්නවද මන්ද මිනිහට ලංකාව එක්ක බොහොම කිට්ටු සම්බන්දයක් තියනව.
දෙවෙනි ලෝක යුද්ද කාලෙ ලංකාවට ඇවිල්ල තියනව ඕස්ට්‍රේලියන් ආමි එකේ ඒ දවස්වල වැඩකල ලස්සන කොල්ලෙක්……රත්තරන් පාට කෙස්…ලා නිල් පාට ඇස්….පේරාදෙණියෙ මල් වත්තෙ තමයි ඒ දවස් වල ප්‍රධාන යුද කඳවුර….ඔතනයි මිනිහ ඉඳල තියෙන්නෙ…
ඔය කඳවුරේ ප්‍රථමාධාර පුහුණුවකට ආපු සිංහල ගැටිස්සියකගෙ ඇහැ ගැටුන මේ කොළුව…දන්නවනෙ ඉතිං මොකද ඊ ළඟට උනේ කියල…..දෙන්න ප්‍රේමයෙන් බැඳිල කෙල්ලගෙ මව් පියන්ගෙ දැඩි විරුද්ධතාවය මැද හොර රහසෙම විවාහ උනා.ඔන්න යුද්ධෙ ඉවර උනා…..ආපහු හැකි ඉක්මනින් එනවයි කියල පොරොන්දු වෙලා දරුවත් අරගෙන කොල්ලා ගියා. ඒත් ඕස්ට්‍රේලියාවෙදි නොහිතූ විදිහට අනතුරක් වෙලා මිනිහට අවුරුද්දක් විතර එක්තැන් වෙලා ඉන්න සිද්ද උනා. ඒ ඔක්කොම ඉවර වෙලා ආපහු ලංකාවට එනකොට නෑදෑයන්ගෙ අපහාස උපහාස ඉවස ගන්න බැරුව අර ගෑණු ළමය මහවැලි ගඟට පැනල දිවි නසාගෙන
ඉතිං දරුවත් එක්කම ගිහිල්ල කෙල්ලගෙ සොහොන ලඟ රෝස මල් පොකුරක් තියල කොල්ලා බොහොම දුකින් ආපහු ඕස්ට්‍රේලියාවටම ගියා.
ඒ කොල්ල තමයි එරික්ගෙ අත්තා….ඒ දරුව තමයි එරික්ගෙ තාත්ත….ඒ කියන්නෙ එරික්ගෙ අත්තම්ම සිංහල….ඔන්න ඕක තමයි රහස…..
එරික්ගෙ අත්තම්ම අපෙ අම්මගෙ පුංචි අම්ම කෙනෙක්…ඒකයි මම මේ විස්තර දන්නෙ…වෙලාවක මම හිතාගෙන ඉන්නෙ ඒ කතාවත් ලියන්න…..
ජන. 12, 2012 @ 13:16:02
@මුහුදු
හ්ම් කියන්ට බෑ ඉතින්..ආයේ කොයි වෙලේ පීලි පනීද දන්නෑ…මේක ටිකක් පරණ කෝච්චියක් හි හි
@රවී අයිය
අනේ යන්න රවී අයිය යන්න හිකිස්
ඔන්න බලාන ඉන්ටකො එහෙනම් කතාව ඔහොම වෙයිද කියල!