ඒ රාත්‍රිය වූ කලී දරාගැනීමට නොහැකි අධික ශීතලක් හෝ විඩා දෙන සුළු වූ උෂ්ණයක් හෝ නොමැති වූ සිසිල් කාලගුණයකින් යුතු විය. එරික් හා මම දෙදෙනාගේ අත්වල පැටලී, එකිනෙකාගේ දෑස් තුලට එබීගෙන යාරා නදී තීරයේ නිහඬ සක්මනක යෙදුනා යයි ඔබ සිතනවානම්…පාඨකය, ඒ සාවද්‍ය සිතුවිල්ලකි.
සවුත්බෑන්ක් ප්‍රදේශයේ සිට නගරයෙන් ඉවතට නදී තීරය දිගේ ඇවිද යන විට දිස්වෙන මෙල්බන්හි සන්ධිස්ථාන බොහොමයක් නරඹමින් අප ඇවිද්දෙමු. ඒ සෑම ගොඩනැගිල්ලක්, මං සලකුණක් ගැනම කීමට එරික් හට කතාවක් විය. 19 වන ශත වර්ෂයෙහි අග භාගයේදී, ලොව ධනවත්ම නගරය මෙල්බන් වූ කාලයේදී, සිදුවූ සිද්ධි ඔහු පැවසුයේ ඒවා සියැසින් දුටු අයෙකු විලසිනි.
ආපසු එන ගමනේදී ජැටිය මතට යාමට පඩි නගිමින් සිටියෙමු. හදිසියේ පය පැටලී මා වැටෙන්ට ගොස්, වහා ගරාදි වැටෙහි එල්ලෙනු දුටු එරික්, මට කලින් නැග සිටියේ අත දික් කලේ මගේ පහසුවටය. නමුත් දකුණතින් සන් කර ඔහු නැවතු මම, ‘නෑ ස්තුතියි මට පුළුවන්’ යයි පැවසුවෙමි.
මගේ මේ ස්වාධීනත්වය පෙළක් තරුණයින්ට අපහසුතාවයක් ගෙන දෙන්නකි. එය මම දනිමි.
නමුත් ඉහත සිද්ධියේදී එරික් නම් මද සිනාවක් පා මොනවාදෝ ඔහුටම කොඳුරා ගන්නවා පමණකි මා දුටුයේ. පැහැදිලිවම නොඇසුණු නමුත්, ‘පරණ පුරුදු අත ඇරලා නැහැ’ වැනි යමක් ඔහුගේ වදන් වල විය. එහි තේරුම නම් මට ඒ මොහොතේ තේරුනේ නැත.
කෙලවරට සෙමින් ඇවිද ගිය අපි පාද ගඟ දෙසට පහලට සිටින සේ, ජැටිය මත වාඩි වී ගතිමු. සුළු නිහඬතාවයකින් පසු එරික් කටහඬ අවදි කළේය.
‘අමන්දා…මම දැන් ඔයාට කතාවක් කියන්න යි යන්නේ…ඔයා අහන ඉන්න කැමතිද?’
‘කතාවක්?’ මම පුදුමයෙන් ඔහු දෙස බැලුවෙමි. ‘ඔයාගේ ජීවිත කතාවද?’
එරික් සිනාසෙනු මට අඬ අඳුරේ පෙනිණ.
‘මෙහෙම කියමු අමන්දා. මේක ඉතිහාස කතාවක්. ඒ වගේම ගොඩක් දිග කතාවක්. ශතවර්ෂ ගණනාවක කතාවක්…බාගවෙලාවට ඔයාට විශ්වාස කරන්න බැරි වේවි. මොකද මේ කතාවේදී මායාව සහ යතාර්ථය වෙන් වෙන රේඛාව බොඳ වෙන්න පටන් ගන්න නිසා. ඔව් ඇත්තටම ඒ රේඛාවත් මායාවක් කියල ඔයාට දැනෙන්න පටන් ගනීවි.’
එරික් කියාගෙන ගියේය.
මම දෑස් අයාගෙන බලා සිටියෙමි. ඔහු මේ කියන්ට යන්නේ කුමක්ද?
‘අමන්දා…ඔයා අහගෙනද ඉන්නේ?…එහෙනම් මම පටන් ගන්නම්’
ජන. 12, 2012 @ 15:43:49
මේකනම් මාර ලස්සන කතාවක් අමා. ඔයාගෙ ඇත්තම ජීවිත කතාවක්ද, ප්‍රබන්ධයක්ද, ඒ දෙක අතර මැද එකක්ද මම දන්නෙ නෑ, ඒත් කතාවත් ඔයා ඒක ලියන විදිහත් හරිම ලස්සනයි. නව කතාවක් විදිහට දිගට කියවන්න තියෙනවනම් කියලත් හිතුණා. එකම ප්‍රශ්නේ… ඔයා අපිට එක දවසකට කියවන්න දෙන්නේ හරිම චුට්ටයිනේ…. තව දිගට ලියන්නකෝ….
ජන. 13, 2012 @ 03:57:51
බොහොම ස්තුතියි සිත්තමී…ම්ම් මෙහෙම කියන්නම්. කතාවේ එන ප්‍රධාන චරිත හැබෑ චරිත මත පදනම් වෙලයි තියෙන්නේ. 100% නෙවි…
ඉක්මනට ලියන්ට උත්සහ ගන්නම්කො 🙂
ජන. 12, 2012 @ 18:08:24
/ 19 වන ශත වර්ෂයෙහි අග භාගයේදී, ලොව ධනවත්ම නගරය මෙල්බන් වූ කාලයේදී, /
පලයං බං අල්ලෙ පැලවෙන පච නොගහා…..කවද්ද මෙල්බර්න් ලෝකෙ ධනවත්ම නගරය කියල සැලකුනෙ? මම ඔය එහෙම කතාවක් ඇහුවමයි…..ඒ කිට්ටුව ඔය කාලෙ රත්තරන් හම්බ උනා කියල නම් දන්නව….ඒත් ලෝකෙ ධනවත්ම නගරය කියල මෙල්බර්න් සැලකුනයි කියල නම් අමා, පිළිගන්න අමාරුයි.
හරි ඒ මතභේදය එහෙම්ම තිබුණාවෙ…කතාව නම් ගලාගෙන යනව අන්තිම ලස්සනයි…..මේ එරික් කියන ගොබිල මොන ජාතියෙ එකෙක්ද කියලයි මම මේ තාම කල්පනා කරන්නෙ…හෙහ්, හෙහ්,
ජන. 13, 2012 @ 03:59:56
ඔන්න ඕකනේ කියන්නේ රවී අයියා.. මේ අපි වගේ ඩයල් ඇවිත් දැන් ටිකක් චා උනාට මේ මැලිබන් හන්දිය ඉස්සර නියම පොෂ් තැනක්!
ඇත්තටම කියන්නේ ඔය ධනවත්ම නගරේ කතාව බොරුවක් නෙවි. ඔන්න පොඩ්ඩක් ගුගල් දෙය්යන්ගෙන් අහල බලන්ට. මේ කියන්නේ 1880 දී විතර. ඔව් ඔව් රත්තරන් නිසා තමා එහෙම උනේ.
//මේ එරික් කියන ගොබිල මොන ජාතියෙ එකෙක්ද //
ආ එන්ට එපා එයාට ගොබිලයි අරකයි මේකයි කියන්න. එයා පවු උඌ 😛
ජන. 12, 2012 @ 19:57:05
//මායාව සහ යතාර්ථය වෙන් වෙන රේඛාව බොඳ වෙන්න පටන් ගන්න නිසා. ඔව් ඇත්තටම ඒ රේඛාවත් මායාවක් කියල ඔයාට දැනෙන්න පටන් ගනීවි.//
කතා නායිකාව ඇස් ඇරගෙන ම ආයෙත් පැටලිලා වැටෙන්නයි යන්නෙ. මේ සැරේ පය පැටලිලාත් නෙමෙයි, එයා වාඩිවෙලා ඉන්න ජැටියෙන් ද නෙමෙයි!!!
ලියන විලාශය සිත් ගන්නා සුළු බව කියන්න මාත් එකතු වෙනවා.
ජන. 13, 2012 @ 04:00:39
බොහොම ස්තුතියි අරුණි අක්කා.
හි හි ඔව් ඒ වැටිල්ල වැටුනොත් ආයේ ගොඩ එන්ට හරි අමාරු වේවි නේද. බලමුකෝ අතක් පයක් කඩාගෙන වත් බේරෙයිද කියල !
ජන. 15, 2012 @ 13:53:53
//මොකද මේ කතාවේදී මායාව සහ යතාර්ථය වෙන් වෙන රේඛාව බොඳ වෙන්න පටන් ගන්න නිසා.//
හරි හරි. ටාර්සන් එන්ටර් වෙන්න යන්නෙ!
ජන. 16, 2012 @ 01:22:50
හි හි ග්රේස්ටෝක් ආදිපාදවරයාට ත් වඩා සිරා පොරක් අඳුන්වා දෙන්ටයි යන්නේ !