මැදියම පිපුණු කුසුමක් – 9


<<8 කොටස

ගබඩාගාරයෙන්  ඉවතට හිස හරවා සිටි ඔහු මගේ බැල්ම දැනුනාක් මෙන්, එක එල්ලේ මා සිටි දෙස බැලුවේය. විශාල දොරක් පසුපස සිටි වුවද, ඔහුට කිසි සෙත් මා නොපෙනෙන බව දැන උන්නද, මා ගබඩාවේ කෙළවර ටම දිවගොස් බිත්ති මුල්ලක ගුලි ගැසුනේ මන්ද යයි නොදනිමි. ඒ මා ඉහත දුටු දර්ශනය නිසා එරික්ගෙන් හැකි තරම් දුරට ඈත් වීමේ බොළඳ උත්සාහයක් වන්නට ඇත.

දෑස වසාගෙන මා එසේ බොහෝ වෙලාවක් සිටින්නට ඇත. ඒ කාලය තුල අවට සිදුවන දෑ පිලිබඳ මට අවබෝධයක් නොවීය.

‘අමන්දා…’
අපේක්ෂා භංග බිඳුණු ස්වරයෙන් මේ අමතන්නේ එරික්ද?
‘දෙවියන්ගේ නාමෙට ඇස් ඇරලා මා දිහා බලන්න අමන්දා’

සෙමෙන් දෑස් හැර පසු, මා දුටුවේ මා ඉදිරියේ දණ බිම ඇණගෙන මා දෙස බලාගෙන සිටින එරික් ය. ඔහුගේ මුහුණ වෙනදාටත් වඩා සුදුමැලි ව ගොස් තිබිණි. දැඩි වේදනාවකින් පෙළෙන්නෙකුගේ මෙන් දෙනෙත හැකිලී ගොස්ය.

මා යමක් පවසන්නට තැත් කලද, වචන සියල්ල උගුරේ සිරවී සිහින් ඉකියක් පමණක් පිටවිය.
‘අමන්දා!’
එරික් මගේ උරිස ඔහුගේ දෑතින් වැරෙන් අල්ලාගෙන සෙලවුයේය.
‘එරික්…’ මම මහත් ආයාසයෙන් වචන පිට කලෙමි. ‘ඔයා…ඔයා…ලේ…’
එරික්ගේ ග්‍රහණය වඩාත් දැඩි වුයේ මා වේදනාවට පත් කරමිනි.
‘මේ බලන්න සීදේවි…මේක මෙහෙම ඔයාට දැනගන්න ලැබෙන්න වේවි කියල මම හිතුවේ නැහැ. ඒත්… ඒත් අමන්දා කරුණා කරලා ඔය විදියට බලන්න එපා’
‘එරික්… අත අරින්න මාව.’ මම අපහසුවෙන් වචන ගැට ගැසුවෙමි. ‘කරුණා කරලා … මට යන්න දෙන්න’
වහා මා අත හැරියද, ඔහු මා ලඟින් ඉවත් වුයේ නම් නැති. යටි තොල සපාගෙන දුක්මුසු ව මදෙස බලා සිටියා පමණි.
මට එතනින් වහා පළා යාමට අවැසි විය. මෙතෙක් ඉතා ක්‍රමිකව ඉරි ගසා ඇඳ තිබුණු මගේ ලෝකයේ කිසිවෙක් එක වර බලි කුරුටු ඇඳ, උඩු යටි කුරු කලාක් මෙන් මට හැඟුනි. මේ තේරුම් ගැනීමට නොහැකි පැටලිලි ජාලයෙන් මිදී මගේ පැරණි සරල ලෝකයට යලි යාමට මට උවමනා විය.

යලි මා නවාතැන් පලට ගියේ ටැක්සි රථයක් කතා කරගෙනය. මා හැර ලීමට පැමිණීමට එරික් බොහෝ පෙරැත්ත කර නමුදු ඔහුගේ ආයාචනා වලට මම කිසිදු ප්‍රතිචාරයක් නොදක්වුයෙමි. ගෙන්වා ගත් ටැක්සි රථයේ නගින්නට පෙර ඔහු වෙත හැරුණු මම ඔහුව ඇමතුවෙමි.
‘ආයෙත් මාව හම්බු වෙන්න එන්න එපා’

හන්තාන සුන්දරයි තවම…


හානේ ඔයා?
කොච්චර කාලෙකට පස්සෙද?
ඒකනේ අවුට් උනාට පස්සේ දැක්කෙම නැහැ
කොහෙද ඔයා නැව් නැග්ගනේ…

ඉතින්?
හ්ම් ම්ම් කිතුල්!

මතකද ඒ දවස්?
නැතුව… රැග් කරද්දී ඔයා ඇඬුව හැටි මරු හෙහෙ
බොරු බොරු මම ඇඬුවේ නැහැ…එතකොට කොහොමද ඔයා ට දාල තිබ්බ කාඩ් එක? මොකද්ද අර *****
ෂ්ෂ්… කෑගහන්න එපා හලෝ… මේකිගේ කට නම් අඩු වෙලා නෑ හෙහෙ

මතකද?
මොනවාද?
හන්තාන?
අපි දෙන්න?
ඔව් අපි අත් අල්ලන් ගියේ…
ඔයා ඇවිත් මගේ අතේ එල්ලුනානේ බයයි කියල
බොරු බොරු මෙයා බොරු මයි කියන්නේ… ඔයානේ ඇවිත් මගේ අත අල්ලාගත්තේ… හොර කොල්ලා
හැබැයි ඔයා අත ඇරියේ ත් නෑනේ

ඉතින්…?
කිතුල්!
පිස්සු
ඔව් ඒක ඇත්ත
….
කවද්ද යන්නේ?
හෙට
හෙට?
ඔව් යන්න වෙනවා
….
හ්ම්
හ්ම්
එහෙනම්…මම යන්නම්
හොඳයි පරෙස්සමින්… සතුටින් ඉන්න

~සත්‍ය සිදුවීමක් ඇසුරෙනි

PS: ආදර නිල් දෑසක් නිසා අවදිඋනු මතකයකි

PPS: මැදියම පිපුණු කුසුමක් මෙගා එක යන අතරේ ගිය පොඩි ඇඩ් එකක් කියල හිතන්ටකෝ