මැදියම පිපුණු කුසුමක් – 12


<< 11 කොටස

ඝන තුරු වදුලෙන් ගැවසී ගත් නිවර්තන වන බිමක, ඇද හැලෙන දිය ඇල්ලක් අසබඩ වන ගල් තලාවක ඈඳී ගත් ආරෝහ පරිනාහ දේහ දාරියෙකි. සදාත වර්ණ හමින් ද, දික් වූ රන්වන් කෙස් වැටියකින් ද යුතු වු හෙතෙම මෙසේ හුදෙකලාව ඈඳී  ගෙන සිටින්නේ හුදෙක්ම ස්වානුභූතිය තකා නොවේ. ඔහු මේ සිටින්නේ දහසකුත් එකක් බාධක මැද ඔහු හමුවීමට එන යමෙක් හමු වීමටය. එතකුදු වුවත්, සිය මව් රටේ නොලැබෙන මෙවන් රන් හිරු රැස් සිත් සේ විඳීමට ඇති අවස්තාවක් පැහැර හැරීමට තරම් හේ මෝඩයකුද නොවේ…

ඉදින් තවත් අටුවා ටීපා අනවශ්‍යය. මේ කියනුයේ කතාන්තරයේ හේවායා පිලිබඳ බව දැන් ඔබ තේරුම්ගෙන ඇති බව දනිමි පාඨකයාණෙනි.

එතෙක් වේලා පියා ගත් දෑසින් සැතපී හුන් හේවායා ගේ මුහුණේ හදිසියේම සනිටුහන් වුයේ පරීක්ෂාකාරී බැල්මකි. විවෘත වූ නිල්වන් දෑසෙන් හාත්පස සිසාරා යවමින්, වනයේ ඇසෙන ශබ්ද වෙත සවන් යොමාගෙන,  මද වෙලාවක් අනවරත ඉරියව්වෙන් ම  හේ සිටියේ අනතුරක් ඉව වැටුණාක් මෙනි. එහෙත් මොහොතකින් ඔහුගේ සුපරික්ෂාකාරී ඉරියව්ව වෙනස් විය. සියුම් මන්දස්මිතයක් ඔහුගේ කඩවසම් මුහුණ හරහා ඇඳී ගියේය. අනතුරුව කිසිවක් සිදු නුනාක් මෙන් හේවායා යලිත් අලස ස්වභාවයෙන් ගල් තලාව මත ඇඳි ගෙන දෑස පියාගත්තේය.

මේ අතරේ දී, යම් කිසිවෙක් හේවායාගේ අවධානයට ලක් නොවනු පිණිස සියුම් අඩි තබමින් ගල් තලාව මතට එමින් පැවතිණ. ඔහුට සිය ආගමනය නොදැනෙනු පිණිස සිය ආශ්වාස ප්‍රශ්වාසයද වෑයමෙන් පාලනය කිරීමට යත්න දරමින් කෙමෙන් හේවායා වෙතට ලංවන මේ අමුත්තා කවරෙක්ද?

නිසොල්මන්ව නිදන හේවායා අසලටම විත් නැවතී දර්ශාස්වාදක ලීලාවෙන් ඔහු දෙස මදක් බලාසිටි මේ අමුත්තා හට එවර සිදුවුයේ නොසිතු විරූ ඇබැද්දියකි.

ඒ වහා ක්‍රියාත්මක වූ හේවායාගේ දකුණතින්, මේ අමුත්තාගේ වමත දැඩිව ග්‍රහණයට ගත් හෙයිනි.
බලාපොරොත්තු නොවූ සිද්ධිය නිසා අමුත්තා හට හඬ නගා කෑ ගැසෙන්නට ගියද එය ව්‍යර්ථ වුයේ, හේවායා අතින් ඇද තමා වෙත ලං කරවා ගෙන, අමුත්තා ගේ මුව ට මුව තබා අතිශය ලාලසී හාදුවක් ඇයට දීමට ගත් නිසාය. ඒ මොහොතේ අමුත්තාද විසල් කරගත් දෑසින්, ත්‍රාසයෙන් කැළඹී සිටිය බවක් පෙනුනද, සුළු මොහොතකින් ඇයද හේවායා සමඟ හරි හරියට චුම්බන හුවමාරු තරඟය කර ගෙන යන අයුරු දක්නට ලැබුණි.

සුවඳ දුම් කවා, තදින් බැඳ තිබුණු ඇයගේ වරලසේ ඒ සියලු බැඳුම් ලෙහා දමා, විසිරෙන කෙහෙරැලි අතරින් සිය ඇඟිලි යැවීමට හේවායාට තිබුණු හදිසිය ගැන ඇයගේ සේවිකාවන් කලින් දැන හුන්නානම්, එතරම් වේලා ගෙන මල් ගවසා විසිතුරු ලෙස සිය ස්වාමි දුවගේ කෙහෙ වැටිය සැරසීමට මහන්සි නොවනු ඇත.

පෙම්බරිය ගේ සුමුදු රන්වන් ගෙලත්, සිය නොඉවසිලිමත් දෙතොලත් අතරට බාධා කිරීම නිසා ඈ ගෙල පැළඳ සිටි මුතුහරද ගලවා ඉවතට දැමීමට හේවායා යුහුසුළු විය.

කෙසේ වුවත්, මෙසේ මද වෙලාවක් හේවායාට සිත් සේ ඇයව ලාලනය කිරීමට ඉඩ දුන්නද, ඔහුගේ සෙල්ලම නවත්වන ලෙස මුදු මොලොක් අණක් ලැබුනේ, අසරණ හේවායා මහත් සේ කම්පාවට පත් කරමින්ය.