<< 14කොටස
විදුලි සැරයක් වැදුණු කලෙක මෙන් තිගැස්සුණු කුමරිය වහා සියොලඟම වසා සිටින ස්ත්‍රී රුව දෙස බැලුවාය.
ඇයට සියල්ල අවබෝධ වන්නට ගතවුයේ ක්ෂණයකි. දැන් වහා මේ පරිවාර ස්ත්‍රීන් පලවා හැරිය යුතුය.
ඒ කාර්යයේදී ඇයගේ පිහිටට පැමිණියේ ද මාලා ය.
“වෙදැදුරු තුමන්ගේ අණට අනුව, මේ බෙහෙත් ආලේප කරන වෙලාවේදී අපට යහන ගැබෙන් පිටව යන්ට ඕනා”
නොදන්නා යෝනක ස්ත්‍රියක් සමඟ සිය රජ කුමරිය තනි කර යාමේ මේ අමුතු අණ පිලිබඳ අනෙක් ස්ත්‍රීන් දෙදෙනා ගේ ප්‍රසාදයක් නොවන බව ඔවුන්ගේ මුහුණෙන් පෙනින.
“අප තිදෙනාම නැතිව මේ ගොළු ස්ත්‍රිය සමඟ රජ කුමරිය තනි කරන්නට නොහැකියි මාලා. ඇරත් මෑ සමඟ ගොළු භාෂාවෙන් කතා කරන්ට දන්නේ නුඹයි. එසේ නම් නුඹ මෙහි සිටිද්දී අප දෙදෙනා යහන ගැබෙන් පිට රැඳෙන්නම්”
අවසන මාලා රැඳී සිටියදී අනෙක් දෙදෙනා පිටව ගියහ.
එතෙක් කුමරිය සිටියේ දැඩි නොඉවසිල්ලෙනි.
එතෙක් නිසලව සිටි යෝනක ස්ත්‍රිය, දොර වැසුනු විගස මාලාට යහන් ගැබේ කෙළවර වූ සඳලු තලය වෙතට යන ලෙසට සන් කලාය. මාලා සිය දර්ශන පථයෙන් වසන් වූ වහාම, මෙතෙක් වෙලා සැරසී සිටි දිගු ලෝගුව ගලවා ඉවතට විසි කල හේවායා, ඒ වනවිටත් කඳුළු වගුරවමින් සිටි සිය ආදරිය වැළඳ ගති.
“මගේ රන්!…මම…මට…”
“ෂ් ෂ්…දැන් නාඩා ඉන්න සීදේවි”
“මට මෙහෙම ඉන්ට බැහැ මගේ දෙයියෝ…මාව මෙහෙන් අරන් යන්ට!”
සිය පෙම්බරිය මෙසේ සිය බාහු වලට මැදිවී, සිය උරහිසෙහි ඇගේ හිස ඔබා ගෙන, ඇය රැගෙන යන්න යයි කියද්දී සසල නොවෙන ලෙයින් මසින් සැදුනු පෙම්වතෙක් සිටීද?
එහෙත් හේවායා සිය සිතෙහි ඇතිවුණු කම්පනය ඇයට පෙන්වුය නැති.
“මගේ සීදේවි…මේ අහගන්න. දැන් මේ කියන දේ හොඳින් අහගන්න…මගේ කුමාරි…ඔය කඳුළු පිහාගෙන මා දිහා බලන්ට…කුමාරි…මේ තීරණේ වෙනස් කරන්න තියෙන අන්තිම අවස්ථාව. මා දිහා බලල කියන්න මේ රජ සම්පත් සියල්ල අත හැරලා, නිකම්ම නිකම් පර දේශක්කාර හේවායෙක් එක්කල යන්ට එනවද?”
කුමරිය තුෂ්නිම්භූතව ඔහු දෙස බලා සිටියාය. ඔහු තමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වන බැව් පෙනුනි.
“නැහැ” කුමරිය සෙමින් පැවසුවාය.
මේ හේවායා අනපේක්ෂිත පිළිතුර බව ඔහු තිගැස්සුණු අයුරින් පෙනුනි. එහෙත් කුමරිය තවත් කතා කරයි.
“නැහැ…මම යන්නේ නිකම්ම නිකම් හේවායෙක් එක්ක ල නොවෙයි. කියන දේ කරන, කරන දේ කියන, එඩිතර රණ ශුරයෙක් සමඟයි”
“දැන ගන්න කුමාරි…මේ හේවායට දැසි දස්සන්, මිල මුදල් නැහැ. රජ සැප දෙන්න බැහැ. ඒත් හේවාය එක්ක යනවද?”
“කුමාරිගේ රාජ සම්පත්තිය ඇත්තේ හේවාය ලඟයි”
“කුමාරි ආදරේ කරන මේ හෙළ දීපේ දාල යන්ට වේවි. සීතල රටකට නැව් නගින්ට වේවි”
“කොහොමත් කුමාරිට හෙළ දීපෙන් යන්ට වෙනවා. සීතල රටේදී හේවාය ළඟ ඉන්නා තුරා කුමාරිට සීතල නැති වේවි”
මෙතෙක් වෙලා දැඩි ස්වරයෙන් කතා කල හෙවයාගේ මුහුණට මන්දස්මිතයක් පහල වන්නේ මෙවිට ය.
“එහෙනම් මගේ සීදේවි. එන්න. අපි යමු”
“මේ දැන්?”
“….ඔව්!”