මැදියම පිපුණු කුසුමක් – 14

<< 13 කොටස

දෙරටක් යා කරවන මහා මංගලෝත්සවය දිනෙන් දින ලං වෙමින් පැවතිණ. දේශපාලන ගිවිසුම් ලියැවෙමින් පැවතිණ. ලංකාපුරයෙන් නැව් නගිනා රජ කුමරිය සමඟ යැවෙන ඇගේ අතවැසි සේවිකාවන් තෝරාගැනීමේ කටයුතුද, නව මනාලියට මදුරා පුර සිරිත් විරිත් ඉගැන්වීමේ කටයුතුද, ඈ රැගෙන යන රන් රිදී මුතු මැණික් දායාද සුදානම් කිරීමේ කටයුතුද ඇතුළු තවත් නොකී බොහෝ රාජකාරි නිසා රජ මාලිගය එකම කාලගෝට්ටියකි.
එසේ වුවද ඒ මහෝත්සවයේ මනාලිය ට ඒ කලබගෑනි ගැන වැඩි උනන්දුවක් නැත. මව් බිසව් විසින් ඇයට උවමනා සළු පිලි සහ ආභරණ තෝරා ගන්ට කැඳවන අවස්ථාවන්හිදී කුමරියගෙන් ලැබුනේ උදාසීන ප්‍රතිචාරයකි. රාජකීය වෛද්‍යවරයා විසින් රුව වඩවන ආහාර, ආලේපන ඇතුළු නිර්දේශිත වට්ටෝරුව පිලිබඳ ද ඇය වැඩි අවධානයක් යොමු නොකලාය.
සත්තකින්ම ඇය තැවෙමින් සිටියේ ළඟ ළඟ එන ඇයගේ මංගල දිනය ගැන නොවේ.
සති කිහිපයකින් මුණ නොගැසුණු ඇයගේ පෙම්බරයා පිලිබඳවය.
ඔහු අවසන් වරට ඈ හමුවට පැමිණි දින වෙන්ව ගියේ, මංගල්‍යයට පළමු ඇය හා පළා යාමට විධි විධාන සකස් කරනු වස් කිහිප දිනකට ඔහුට දුර බැහැර යන්ට වන බවත්, ඒ නමුත් හැකි ඉක්මනින් ඒ වැඩ කටයුතු නිමා කරගෙන ඇය හමුවට එන බව ඇයට ශපථ කර ය.
නමුත් දැන් ඔහු ගොස් සති කිහිපයක් ගතවී ඇත.
ඔහු ගෙන් තවමත් ආරංචියක් නැත්තේ ඇයි? අඩු ගණනේ ඔහු යහතින් බවට පණිවුඩයක් වත් එවන්නට තිබිණ. ඔහු ට යම් අනතුරක් වත්ද? එහෙත් ඔහු හා සම්බන්ධය තම මා පියන් දන්නා බවක් කුමරියට නොසිතෙයි. එසේ නම් ඔහුට කුමක් වීද?
ඊටත් වඩා දැන් දැන් මේ සරණ මංගල්‍යයේ කටයුතු නිසා වෙනදා ඔහු හමුවීමට ගිය මාර්ගද එකින් එක ඇහිරී ගොස් ය. ඔහු සිය කටයුතු නිම කල පැමිණ සිටියත් ඔහු ඇය හමුවන්නට එන්නේ කෙසේද?
කුමරිය මේ සියලු ප්‍රශ්න ගැන තැවෙමින්, සිය පරිවාර ස්ත්‍රීන් දෙදෙනකු සමඟ සුපුරුදු පරිදි රාජකීය යහන් ගැබ වෙත පිවිසියේ රාත්‍රී නින්දට යාමට සළු පිලි අබරණ අවහර කරනු වස්ය.
එසේ වුවද එහි සිටි අමුත්තන් දෙදෙනා දුටු කුමරිය වික්ෂිප්තව සිය පරිවාර ස්ත්‍රීන් දෙස බැලුවේ ‘මේ කවරෙක් දැයි’ අසන්නටය.

සිරි යහන් ගැබ මුල සිටගෙන සිටියේ කුමරිය ගේ පිරිවර ලඳක් වූ මාලා සහ යෝනක කාන්තාවක් ලෙස සිතිය හැකි හිසේ සිට දෙපතුල තෙක් ආවරණය කරගත් ලඳකි.
“අවසර කුමරියනි, මේ යෝනක පුරේ සිට පැමිණි කුල කාන්තාවක්. විවාහ මංගල්‍යයට ඔබ තුමිය ලැහැස්ති කරන්ට, රුව වඩවන බෙහෙත් ආලේපන රැගෙන මැය පැමිණ සිටින්නේ…වෙදැදුරු තුමන්ගේ අණ පරිදි”
කුමරියගේ විපිලසර බැල්ම දුටු පිරිවර ලඳුන් අනපේක්ෂිත අමුත්තිය පිලිබඳ තොතු පහදන්නට වුහ.
හැඩි දැඩි ස්වරුපයක් ගත් යෝනක ස්ත්‍රිය දෙස කුමරිය හෙළුවේ නොපහන් බැල්මකි.
“මේ රෑ යාමයේ මගෙන් නොවිමසා මැය එවීමෙන් වෙදැදුරු කර ඇත්තේ නොපනත් කමක්! මට දැන් ඉතාම විඩා වයි. ඊටත් ඕනෑ තරම් රූප ලාවන්‍ය ඖෂධ දැනටත් ඔහු මට එවා යි තිබෙන්නේ. නුඹේ ඔය ආලේපන වෙදැදුරු තුමන් අතම නොඑවා නුඹ ට මෙහි එන්ට කාරණය කිමද?”
යෝනක ස්ත්‍රිය මෙහිදී පිළිතුරු දෙනු වෙනුවට මාලා දෙස බලා යමක් සන් කලාය.
“අවසර කුමරියනි” මාලා සෙමෙන් හඬ අවදි කලේ කුමරිය කෝප වී ඇති බව දැනුනු බැවිනි.
“මැය ගොළු ස්ත්‍රියක්. ඇය මා වෙත භාර කලේ වෙදැදුරු තුමාගේ නිලධාරියෙක්. ඔහු කියූ පරිදි මැය දන්නා බෙහෙත් ආලේපන ඇඟ ගැල්විය යුතු වන්නේ විශේෂ ක්‍රම වේද වලට. ඒ සඳහා අප පුහුණු වී නැති නිසා මැයම ඒ කටයුතු කල යුතු බවයි වෙදැදුරු තුමා කියා ඇත්තේ…මැය හෙට දින නැවත යෝනක පුරය බලා නැව් නගින නිසා අද රාත්‍රියේම ඇය එවා තිබෙනවා. ඒ බව තහවුරු කරන්ට වෙදැදුරු තුමා ගේ මුද්‍රාව සහිත අණ මා සතුයි…” අතේ වූ අණ පතක් කුමරිය වෙත යොමු කරමින් පරිවාර ස්ත්‍රිය පැවසුවාය.

කුමරිය යටි තොල සපාගෙන මුහුණ පුළුටු කර ගත්තාය. සියල්ල සිදු වන්නේ අන් අයට අවශ්‍ය පරිදි ය. අඩු තරමේ නිදහසේ නින්දට පෙර සිත් සේ ගත දොවා ගැනීමට වත් නැත. මාලාගෙන් අණ පත උදුරා ගත් කුමරිය එය වැරෙන් ඉවතට විසි කර දැමුවාය.
“වහාම නුඹලා ඉවත් වන්න! හැම දෙනාම!”
සටන් කරන්නට නොහැකි සතුරන් නිසා දොම්නසට පත්වන අප, ඉතාම කුඩා දේ වලින් කෝප වී සිතේ පවතින පීඩනය සැහැල්ලු කරන්නේ සමහර විට අප තලා පෙලා දමන්නන්ගෙන් බැහැර අන්‍යන්ගෙනි. කුමරියටද මෙවෙලේ සිදු වුයේ එය මිස අනෙකක් නොවේ. කෙසේ වෙතත්, මෙහිදී අපි මේ සියල්ල දෙස සීරුවෙන් බලා සිටි අද්භූත යෝනක ස්ත්‍රිය වෙත අවධානය යොමු කරමු.
වෙදැදුරු අණ කුමක් වුවත්, සිය පරිවාර ස්ත්‍රීන් සහ තමාට වහාම යහන් ගැබෙන් ඉවත් වන්නට සිදු වන බව ඇයට තේරුම් ගිය මෙනි. ළඟ සිටි මාලා අතින් ඇද, ඇයට වේගයෙන් යමක් හස්ත මුද්‍රාවෙන් යමක් පැවසුවාය. යෝනක ස්ත්‍රියගේ පණිවුඩය කුමක් වුවත්, එයින් මාලාගේ මුහුණ සුදුමැලි වෙනු පෙනුනි.
දෙනෙත් රතු කරගෙන, දෙඅත හිණ මත තබාගෙන, අනෙක් පරිවාර ස්ත්‍රීන් දෙදෙනා හා වාද කරමින් සිටි කුමරිය ට හෝ, වෙදැදුරු අණට පිටුපෑමේ ආදීනව පිලිබඳ කුමරියට ඒත්තු ගන්වන්නට තනන එම ස්ත්‍රීන්ට හෝ මෙය නොපෙනුණි.

කුමරිය විශ්මයට පත් කරමින් ඒ වර යෝනක ස්ත්‍රිය කුමරියගේ අතින් සෙමෙන් ඇද්දේ ඇයගේ අවධානය ගනු පිණිස ය. ඇයගේ අරමුණ කුමක් වුවත්, හුදී ජනයාට රාජකීයයන් ගතට අත තබනු, ඔවුන්ගේ අවසරයෙන් විනා අකැප ය. එහෙයින්, ස්ත්‍රියගේ මේ වාරිත්‍ර ක්‍රියාවෙන් කුමරිය පමණක් නොව පරිවාර ස්ත්‍රීන් ද තිගැස්සුනේ, මොහොතක නිශ්ශබ්ධයක් ඇතිවිණි.
මාලා ඒ අවසරයෙන් ප්‍රයෝජන ගත්තාය.
“කුමරී…මේ ස්ත්‍රිය…ඔබ හට ත්‍යාගයක් රැගෙනයි පැමිණ සිටින්නේ…මේ….”
මාලා සිය අත්ල මත තබා ගෙන සිටි ‘ත්‍යාගය’ දුටු කුමරිය ගේ හදවත මොහොතකට නතර වූවාක් මෙන් විය.
ඇය අතෙහි වුයේ කුඩා කිනිස්සකි. දැවයෙන් නිම කල තිබුණු එහි මිටෙහි වුයේ උතුරු මුහුදෙන් ජීවය ලද පුරාවුර්තයන් හී ප්‍රචලිත මුහුදු මකරුන් දෙදෙනෙකුගේ කැටයමකි.
ඒ කුමරියගේ හේවායාගේ කිනිස්සයි.

Advertisements

ප්‍රතිචාර 13 (+add yours?)

  1. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත
    මැයි 30, 2012 @ 10:07:53

    හා, මං දැනගත්තා ඒ ආවේ හේවායා තමයි කියලා. ඉතිං දැං ඔය හේවායට පැනලා යන ප්ලෑන් එක කුමාරි එක්ක කතා කරන්න අනෙත් අය එළියට යනකල් තව කොච්චර දවස් විතර බලං ඉන්න වෙයිද? අක්කගෙ මේ කතාව මාර ඇක්ටිව් අනේ, ඊලඟට වෙන්නෙ මොකද්ද කියලා කුතුහලය පිරිච්ච කතාවක්. ඒ නිසා දවසකට කියවන්න ලැබෙන ප්‍රමාණේ බොහොම අඩුයි වගේ දැනෙන්නේ.

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • අමා
      මැයි 31, 2012 @ 23:29:08

      ඔන්න ඉතින් නගා ලගේ ඉල්ලීම නිසාම මම එක දවසේ කොටස් දෙකක්ම දැම්ම …
      ඊළඟට වෙන දේ මාත් තාම දන්නා නැහැ අනේ… හි හි ඒ වෙලාවට හිතෙන එක ලියනවා හැබැයි දල අදහසක් නම් තියෙනවා..

      ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Shanthi Chandrasekera
    මැයි 30, 2012 @ 10:41:05

    ow ane math asawen inne ithiri tika kiyawanna,

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Trackback: මැදියම පිපුණු කුසුමක් – 15 « ස්නේහයේ නගරය
  4. praveena
    මැයි 30, 2012 @ 20:00:18

    මොකද වෙන්නේ කියලා දැන් නම් දැනෙන්ට පටන් ගන්නවා. ඇවිත් තියෙන්නේ හේවායාද? 🙂

    //රාජකීය වෛද්‍යවරයා විසින් රුව වඩවන ආහාර, ආලේපන ඇතුළු නිර්දේශිත වට්ටෝරුව පිලිබඳ // මේවායින් මොනවා හරි අමා ලඟ තියාගෙන පාවිච්චි කරනවද හී හී…

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. අමා
    මැයි 31, 2012 @ 23:33:44

    ෂ්ෂ්ෂ් ඒවා රහස්..(ඔන්න උදේට මුනේ ගාන ෆේස් පැක් එක ඔයාට විතරක් කියන්නම් ලියාගන්ට එහෙනම්. මී කිරි හට්ටියයි, රට ලුණු ගෙඩි 2 යි, ලුණු තේ හැන්ද යි, කැරට් අල 2 යි, පිපිඥ්ඥ 1 යි. ගම්මිරිස් කුඩු තේ හැඳි 1 යි)

    ප්‍රති-පිළිතුරු සැපයීම

  6. ravi
    ජුනි 02, 2012 @ 09:29:18

    මොනවද බං මේ උඹේ තුට්ටු දෙකේ පෙරේම කතා?

    උඹ දැනගනිං බොල නියම සත්තිය පෙරේමයෙං වෙලිල හද පුදසුනේ පෙම් පහන් දල්වාගෙන නිති එකිනෙකාගේ හද මැදුරෙහි වෙසෙන සාදාකාලික පෙරේමවන්තයන්ට සිව් සිය ගව්වක් දුර හිටියත් තමංගෙ පෙරේමවංතය/වංතිය ගෙ හද ගැහෙනා රිද්මය දැනෙනව නිතර දෙවේලෙ.

    එහෙව් එකේ මේ අතිං ඇදලත් මේ උඩැක්කියට මේ ඉන්නෙ හේවායයි කියල නොතේරුනෙ අනිවාර්යයෙං උන්දැගෙ හිතේ නෑ පරම පිවිතුරු සුගන්ධාලේපිත,නෙත්කළු ප්‍රේමයක්…ඔන්න අමෝ, මගේ කියවීම මේ සිද්ධිය ගැන….

    ප්‍රති-පිළිතුරු සැපයීම

  7. Trackback: මැදියම පිපුණු කුසුමක් – 16 « ස්නේහයේ නගරය
  8. Trackback: මැදියම පිපුණු කුසුමක් – 17 « ස්නේහයේ නගරය
  9. Trackback: මැදියම පිපුණු කුසුමක් – 18 « ස්නේහයේ නගරය
  10. Trackback: මැදියම පිපුණු කුසුමක් – 19 « ස්නේහයේ නගරය
  11. Trackback: මැදියම පිපුණු කුසුමක් – 20 « ස්නේහයේ නගරය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: