<<මැදියම පිපුණු කුසුමක් – 1
මැදියම එළඹෙන්නට හෝරාවක් දෙකක් පමණ තිබු හෙයින් මාළිගයේ පැවතියේ නිහඬ සන්සුන් බවකි. විදුලිය නොමැති ඒ දුරාතීතයේ හිරු සමඟම නින්දට යන්නට මිනිසුන් පුරුදු වී සිටි හෙයිනි. තම පෙම්බරයා සමඟ අතිනත ගෙන, මව් පිය නෑ සියන් හැරදා පතිකුලයට යන ඕනෑම දැරියකට සේම කුමරියගේ හදවතද ශෝකයෙන් බර වී තිබිණි. වෙනසකට වුයේ ඈ යන්නේ නැවත නොඑන්නටම වී මය.
* * *
ඔවුන් දෙදෙනා මාළිගයේ රැකවල්ලන්ගේ ඇස් වසා මාතොටට ආ අන්දම විස්තර සහ සිතියම් සහිතව සටහන් වී තිබුනද ඒ ඔබ වෙත කීමට නොයන්නේ මේ වෘතාන්තය අනවශ්‍ය ලෙස සංකීර්ණ නොකරනු වස් ය. ගමනෙන් හරි අඩක්ම අසු පිටින් ගෙවා, ඉන් ඉක්බිති ප්‍රධාන මාර්ග මග හැරීමේ අවශ්‍යතාවයත්, අවධානයට ලක් නොවීම පිණිසත්, පයින්ම වන මන් පෙත් ඔස්සේ දින ගණනක වෙහෙසකර ගමනකින් පසුව කුමරියත් හේවායාත් මාතොට හෙවත් අනුරාධපුර රාජධානි සමයේ ලක්දිව කාර්යබහුලම වෙළඳ වරාය ට ලංවූ බව පමණක් පවසමි.
උකුසු ඇස් වලින් වසන් වනු වස්, හේවායා සහ ඔහුගේ ආදරවන්තිය මාතොටට ලඟා වුයේ දිගු ගන ලෝගු පොරවා ගත් පර්සියානු වෙළෙන්දකු සහ ඔහුගේ බාල සොහොයුරා ලෙස සැරසී ගෙන ය. මදටිය සහ ගඩොල් වර්ණ කල හෙයින් හේවායාගේ රන්වන් හිස තද දුඹුරු පැහැයෙන් දිස්විය. යන්තමින් පහන් දැලි තැවරූ මුහුණ පමණක් පෙනෙන ලෙස හැඳ සිටි කුමරිය වයස සොලොස්විය නොඉක්මවූ කොලුවෙකු ගේ වෙස් ගත්තාය. දෙරටක රාජ උදහසින් බේරීමට මෙන්ම, විෂම කයිරාටිකයන් සහ සල්ලාලයන් ගහණ වෙළෙඳ තොටෙහි දී කුමරියගේ ආරක්ෂාව පතාද මේ වෙස් ගැන්වීම සිදු විය.
‘සීදේවි ඉතින් ඔය පෙනෙන්නේ අපේ නැව තමයි…අද ඉර බහින්ට මත්තෙන් යාත්‍රා කරන්ට යෙදී තියෙන්නේ’
මාතොට වරායේ ගල් බැම්ම මත සිටගෙන, පහත වෙරළේ නැංගුරම් ලා වූ නෞකා තිහ හතළිහක් මැද්දේ එකක් පෙන්වමින් හේවායා පැවසුවේය. සිය පෙම්බරයා සමඟ මව් රටින් තමා ඈතට ගෙන යාමට නියමිත ඒ ඉරණම යාත්‍රාව දෙස කුමරිය බැලුවේ විසල් කර ගත් දෙනෙතිනි. මෙතරම් මහා ජනකායක්, ඒද අනෙක වර්ණ සමින් සහ අරුම පුදුම බස් තෙපලන, නා නා විධ රෙදි පිලි හැඳගත් ජනකායක්! ඊටත් වඩා මේ පෙණ නගිමින් හෝ හඬ ගසමින් වෙරළ සමඟ දබර කරන තෙරක් නොපෙනෙන මහා ජල කඳක්!
‘මේ පෙනෙන්නේ මාතොට…අපට මුලින් අරාබි මුහුද දිගේ පර්සියානු බොක්කත් පහු කරන් යන්ට ඕනා කරනවා…’ හේවායා ගල් බැම්ම මත දිග හැරගත් නාවික සිතියමක් ඔස්සේ ඇඟිල්ලක් ගෙන යමින් පවසයි. ‘මේ පෙනෙනවාද සීදේවි මේ තමයි අපට යා ගන්ට ඕනා තැන! ඇලෙක්සැන්ඩ්රියාව! මගේ රට තියෙන්නේ අන්න ඒ නැව් තොට ටත් එහායින්…’
කුමරිය මේ සියල්ල අසා සිටියේ කිසිදා දැක නොමැති, රස බලා නැති අපුරු රස කැවිලි විශේෂයක් පිලිබඳ විස්තරයක ට සවන් දෙන කුඩා ළදරියක විලසිනි. අරාබි මුහුද, පර්සියානු බොක්ක, ඇලෙක්සැන්ඩ්රියාව…හද පතුලෙන් පෙණ දමමින් නැගෙන අමුතු ආහ්ලාදයක් මේ නුපුරුදු නම් ගම් ඇය තුල ජනිත කළේය.
‘එහෙනම් එන්ට මගේ කුමාරි… පමා වුවොත් නැවේ අපේ තැන් නැති වෙන්ට පුළුවනි. මොකද කිව්වොත් ඔය නැවියා, ඉබන් වසියා මහ කපටියා. කහවනු කීපෙකට මිනිහගේ අම්ම තාත්ත උනත් විකුණන්ට පුළුවන්…දැන්ම ගියොත් අපට ටිකක් සුව පහසුවක් ඇති නැව් කුටිය ක් තොර ගන්ට බැරි වෙන එකක් නැහැ…’ පොට්ටනි කිහිපය නැවත ඔසවා ගත් හේවායා පැවසුවේ වරාය දෙසට ගමන් අරඹමිනි.
ඔහු ඔස්සේ යාමට පටන් ගත්තද, වහා යමක් මතක් වූවාක් මෙන් කුමරිය මදකට නැවතුනාය.
ඈ පොලොවට පහත් වුයේ රැගෙන යාමට මව් බිමේ සුවඳ ඇති පස් මිටක් ගැනීමට වුවත්, හදිසියේ වේල්ලක් පුපුරා ආ ජල පහරක් මෙන් කුමරියගේ හදවතෙන් නැගී ආවේ හද කකියවන සන්තාපය කි. අතට ගත් පස් මිට දැඩිව ගුලිකර ගත් ඈ දණ බිම ඔබාගෙන ඉකි ගසමින් හඬන්නට වුවාය.
හේවායා ඈ අසල සිටගෙන සිටියත් කිසිත් කියන්නට ගියේ නැති. ඈ කෙතෙක් වෙලා එසේ හැඬුවා දැයි ඇයට අවබෝධයක් නොවීය. හදෙහි නැගුනු දුක් ප්‍රවාහය ගලා අවසාන වන තෙක් ඇයට බාධා නොකළ සිටි බව අවබෝධ කර ගත් හේවායා, ඇගේ හැඩුම සිහින් ඉකියක් වන තෙක් සිට, ඉනික්බිති ඈ ලඟින්ම ඇන තියාගෙන, මෘදු ලෙස ඇගේ දෙකොපොල් පිස දැම්මේය.
ඔහු කිසිත් කීවේ නැත. කිසිවක් කීම අවශ්‍ය වුයේ ද නැත.
මොහොතක් නිසලව සිටි කුමරිය සිය කඳුලැලි පිසින හේවායා ගේ සුරත දෑතින් තරව අල්ලා සිප ගත්තාය. අනතුරුව නිහඬ එකඟතාවයකින් මෙන් එකවර හේවායා සමගම නැගිට ගත් කුමරිය, වරාය දෙසට පහලට ඔහු අනුව ගමන් කරන්නට වුවාය.
ඇය නැවතත් හැරී බැලුවේ නැත.
PS : මාතොට යනු වර්තමාන මන්නාරම වේ