හෙලන් දීගෙක ගිය හැටි!


SRjnr_Wed035730919_8163037.4582844_std හැබෑ ජීවිතේ ප්‍රේමය, සුරංගනා කතාවල එන විදිහේ සුරූපී රාජ කුමාරි සහ එයාව බේරාගන්න කඩවසම් රාජ කුමාරයා ගේ ප්‍රේම කතන්දරේට වඩා ගොඩක් වෙනස් වගේම අනපේක්ෂිතයි.

හෙලන්, එයැයිට වඩා අවුරුදු දහනවයක් වැඩිමල්, දියෙස් මහත්මයා ව  කසාද බඳින්ට මනාප වෙන්නේ ප්‍රේමයක් නිසා ද? මල් පිපෙන දඟකාර වසන්ත ඍතුව එක්කල සීතල දරදඬු හේමන්ත ඍතුව පෑහෙනවද?

හෙලන් අම්මම්මා ලංසි බාගයක් කියල කලින් කීවනේ…උන්දැගේ අම්ම ලංසි. තාත්ත සිංහල. ජාති ආගම් පෑහෙන්නේ නැති කසාදයක් කරගත් හන්දා පැති දෙකෙන්ම අයින් කරලා. ඒ හන්දා අම්මම්මට පොඩි සංදියේ වැඩි නෑදෑ ආස්සරයක් තිවිල නෑ. මයේ මී ආච්චි – ඒ කීවේ හෙලන්ගේ අම්මා- හෙලන් පොඩි දැරිවි කාලෙම නැතිවෙලා. මී ආතා නොහොත් හෙලන්ගේ තාත්තා තමා ආයම්ම කෙනෙක් තියාන හෙලන් දූ පොඩ්ඩ ලොකු මහත් කරලා තීන්නේ. හෙලන්ගේ තාත්තා රස්සාව කරලා තීන්නේ තේ වත්තක වෙච්චි, ලොකුවට මහා ධනස්කන්දයක් නැතිවට යහමින් කාල ඇඳලා ඉන්ට පුළුවන් කම තිවිල.

ඒ උනාට පහු පහු වෙන කොට මී අත්තා සැරේට වියදම් කරන්ට අරන්. ඉතුරුවක් නෑ වාගේම තියෙන දේඔලුත් විකුණන්ට යි උකස් කරන්ට යි අරන්. උන්දැ ගේ ඒ කල්ක්‍රියාව ට හේතු අම්මම්මා කවදාවත් කීවේ නැතුවා. කෝම නමුත් අන්තිමට අම්මම්මා ට අවුරුදු දාසය වෙද්දී, ණය බේරන්ට තිවුණු එකම දේපල වෙච්චි ගෙදරත් උකස් කරන්ට ඔන්න මෙන්න තිවිල තියෙන්නේ…

ඕන් ඔය සංදියේ තමා අම්මම්මාව අපේ සීයා නොහොත් දියෙස් මුදලාලි ට මුලිච්චි වෙන්නේ.

අඟ හිඟ කම් තිවුනට උපන් රූපේ මකන්ට බෑ නෙව. රූපේ ඉතරක්ය, ඒ ලපටි කාලෙත් අම්මම්මා ගේ ගමන බිමන බැල්ම ඔක්කොමත් නිකං මහා රාණි වාගේ ලු!

අමා ඉපදෙද්දී ඒ සීයා නැතිවෙලා. මගුල් ෆොටෝ වල දැක්කේ උස, පොඩ්ඩක් තට්ටය පෑදෙන්ට ගිය තලතුනා පිරිමි කෙනෙක්. දවසක් මට අවුරුදු දහතුනක් විතර කාලේ, අම්මම්ම එක්ක කදේ දාගෙන ඉන්න ගමං, මං ඇහුව ඇයි අම්මම්මා එච්චර ලස්සන පෙනුමක් නැති සීයට කැමැති උනේ කියල.

“අනේ දුවා පිරිමින්ගේ මොන ලස්සනද! ලස්සන නෙවි බලන්න සීය ඉන්න හැටි… ගවනර් වාගේ ස්මාර්ට් නේද”
උන්දැ එහෙම කියල හිනා උනා.

කොහොම හරි අර බක්කි කරත්තෙන් වඩින හෙලන් ව දැකල හිත ගිය දියෙස් මුදලාලි හෙලන්ගේ තාත්තාගෙන් දූ ඉල්ලලා කපුවෙක් එවල තීන්නේ දෑවැදි මුකුත්ම එපා කියලයි.

වයස ඉතරක් නෙවි, කුල ගෝත්තර, වත් පොහොසත් කම් අතින් උනත් දෙන්නා අහසට පොළව වාගේ.

සීය ගේ දෙමව්පියෝ ඒ වෙද්දී නැති වෙලා හන්දාත්, උන්දැගේ නංගිලා මල්ලිලා සේරෝම ගේ බර කරට අරං පවුල බලාගත්තු ‘ලොකු අයියා’ උනු හන්දාත්, උන්දැගේ තීරණ ඔලට මොකෙක්වත් උඩින් ගිහිං නැතුවා. ඒ හන්දා මේ කසාදෙටත් විරුද්ධ වෙන්ට කවුරුත් ඉඳල නැහැ.

ඕන් ඔහොමයි හෙලන්, දියෙස් මුදලාලි ගේ ගෙදරට ආවෙ!

 

හෙලන් ගේ ලව් කේක් !


පහුවුණු සති අන්තයේ හාදයා ට ලව් කේක් කන්ට දොළ දුක් පහල වෙලා අමා හදල දුන්නා. ලව් කේක් කියන්නේ අටෝරාසියක් ජාති දාල හදන කේක් එකක්. ඒකෙ ඇතුල තෙතට උඩ හයියට තියෙන්ට ඕනැ.
ලව් කේක් හදන්ට අමාට කියා දුන්නේ අම්මම්මා.
අමාට අම්මම්මා ව මැවෙනවා… අමා දකිද්දී උන්දැගේ කොන්ඩේ ඔක්කොම සුදු වෙලා. කොණ්ඩය කොටට කපා හිටියේ ඒ වෙද්දී සෑහෙන්න කොන්ඩේ ගිහිං තිබිච්චි හන්දා. ඈ සුදුයි, හීන්දෑරියි, ටිකක් විතර උස යි. උල්වුනු නිකටක් එක්ක ලස්සන දිග බෙල්ලක් තිබුණා.

අම්මම්මගේ දූ හෙවත් අමාගේ මෑණියන්දැ සුකුරුත්තම් ඉවුම් පිහුම් ගැන වැඩි උනන්දුවක් නැති නිසා  උන්දැ ගේ රෙසිපි සේරෝම සින්නක්කරේ ලියල දුන්නේ අමා මිණිබිරි පොඩ්ඩ ට.

අම්මේ ඒ දවස්වල අම්මම්මා යි අමායි ඔයි රෙසිපි පොත් පෙරළන් නටපු ජවුසන්!

අම්මම්මා ගාලු ඉන්න කොට ඉස්කෝල නිවාඩුවට අමා එහෙ නතර වෙනව. ආයේ මොනාද තින්..පේස්ට්‍රි ද කට්ලට් ද මොස් ජෙලිද කේක් ද ඔයි එකේක ජාති!
සේරෝම හදන හැටි ලියල තීන්නේ උන්දැ ගේ සුප්‍රසිද්ධ රෙසිපි පොතේ.

හවසට අපි දෙන්නා උණු උණු තේ බොන්නේ බීරළු කැටයම් වැරන්ඩාවේ වේවැල් පුටුවල ඉඳගෙන.

තේ බොන ගමන් අම්මම්මා මට පරණ කතා කියනවා. එයා පොඩි සංදියේ, තරුණ සන්දියේ වෙචිචි දේවල්…

ඔය පරණ කතා මගේ මනසේ ඇඳෙන්නේ කළු සුදු නැත්නම් සේපියා වර්ණ වලින්.

පොඩි සංදියේ මං හිතාන උන්නේ ඉස්සර ලෝකේ කළු සුදු ඉතරයි කියල! ගාලු අම්මම්මා ගේ අල්මාරි අස්සෙයි, නුවර ආතම්මගේ ට්‍රන්ක පෙට්ටි අස්සෙයි, අහුමුලු ඔල දාල තිබිල, මං ඇදල අරං හිට, පෙරලා පෙරළා බලපු පින්තූර ඇල්බම් සේරෝගේම තිවුණේ ඒ පාට හන්දා මට එහෙම හිතෙන්ට ඇති.

mamma10

අම්මම්මා පවුලේ එකම ළමය වෙච්චි, හරි හුරතලේට හැදිලා තීන්නේ.

අතට පයට ඔක්කොම කරන්ට කට්ටිය හිටි නිසා දීගෙක යනකම්ම දෑතේ වැඩක් කරලා නැතුවා. පියානෝ ගහන්ටයි ලේස් ගෙතුම් වැඩයි කේක් හදන්ට යි ඇරෙන්ට කුස්සියේ ලිග්ගල් අස්සේ දැලි ගාගන්ට, පොල් ගාන්ට, පිටි කොටන්ට වාගේ බරපතල වැඩ නම් මුකුත් කරන්ට ගිහිං නැතිලු.

ළමිස්සි කාළේ උන්දැ කන්‍යාරාමෙට ඉස්කෝලේ යනවලු බක්කි කරත්තේ නැගල.

අම්මේ බලන්න එපාය හෙලන්ගේ ආඩම්බර කරත්තේ යන කොට! හිනා කඳුලක් නෑ මුණේ. ඔය තරුණ  ගැටවු බල බල උන්නට එකෙක් ගානකට ගත්තේ නෑ හෙලන්!

ඔහොම කියන්නේ ලොකු ආච්චි.
එයා තමා අම්මම්මගේ ලොකු නෑනා. එතකොට නම් ලොකු ආච්චි ඔව්ව කියන්නේ හිනා වෙවී. ඒ උනත් ඒ කාලේ ලොකු ආච්චිත් තරුණ දැරිවි වෙලා හිටි කොට, මධුබාලා වාගේ අම්මම්ම ඔහොම යනව දකිද්දී, එහෙමට පෙනුමක් ලස්සනක් නැති ලොකු ආච්චිට හීනි දුකක් ඉරිසියාවක් දැනුණා කියලා උන්දැම මා එක්ක කියලා තීනවා.
හැබැයි සීයා අම්මම්ම ව කැන්දන් ආවට පස්සේ නෑනලා දෙන්නා ගජ යාලුවෝ වෙලා තීනවා. අමා ලොකු වෙලා දෙන්නා වයසට ගිහිං, දෙන්නගෙන් එක්කෙනෙක් නැතිවෙනකම්ම ඒ යාළුකම් තිවුණා. ලොකු ආච්චි නැතිවුණු වෙලේ අම්මම්ම විස්සෝප උනා ලොකු ආච්චිගේ අනිත් නංගිලා වගේම.

ලංසි බාගයක් වෙච්චි හෙලන්, හරි මෝස්තරේට පිළිවෙලට ඇඳුම් ආයිත්තමුත් ඇඳ පැළඳගෙන යනකොට ඒ දිහා නොබලපු තරුණයෙක් ඉඳල නැතිව ඇති.

අම්මම්මා වයසට ගියත් හරි පිරිසිඳු වට පිළිවෙලට ඇඳපු කෙනෙක්. කෙස් ගහක්වත් එහා මෙහා නොයන්න කොණ්ඩේ පීරලා කටු ගහල, සාය ගවුම හොඳට මැදල මිසක් ආයේ අමා ට වත් ඈ ගමනක් යන්ට දෙන්නේ නෑ. අමාට ඉස්ඉස්ලෙල්ලම සාරියක් අන්දලා, සාරිය ලස්සනට පෙනෙන්න ඇවිදින විදිහ, වාඩි වෙන විදිහ ඔක්කොම කියා දුන්නේ අම්මම්මා. උරිස් පස්සට කරන්, නිකට උස් කරන් කුදු නොවී ‘කුල කාන්තාව’ වාගේ ඉන්ට ඕන කියල ඈ අමාට අවවාද දුන්නේ. ඔය ‘පුහුණුවීම්’ කරද්දී අම්මා නම් හොරෙන් හිනා වෙනවා මතකයි!

ඒ කාලෙත් එහෙම නම් ළමිස්සි කාලේ කොහොම මෝස්තරයක් තියෙන්ට ඇද්ද?!

ඔහොම සුකුමාරෙට අහංකාරෙට බක්කි කරත්තෙන් වඩින මේ රූප සුන්දරී ව දවසක් අහම්බෙන් වාගේ දැකපු පළාතේ තලතුනා මහතෙක්ට මේකට හිත ගිහිං…
එතකොට ඈට යාන්තම් දාසයයි.
ඔහු තරුණ විය ඉක්මවමින් තිස් පස් වෙනි වියටත් ලං වෙමින්…