පහුවුණු සති අන්තයේ හාදයා ට ලව් කේක් කන්ට දොළ දුක් පහල වෙලා අමා හදල දුන්නා. ලව් කේක් කියන්නේ අටෝරාසියක් ජාති දාල හදන කේක් එකක්. ඒකෙ ඇතුල තෙතට උඩ හයියට තියෙන්ට ඕනැ.
ලව් කේක් හදන්ට අමාට කියා දුන්නේ අම්මම්මා.
අමාට අම්මම්මා ව මැවෙනවා… අමා දකිද්දී උන්දැගේ කොන්ඩේ ඔක්කොම සුදු වෙලා. කොණ්ඩය කොටට කපා හිටියේ ඒ වෙද්දී සෑහෙන්න කොන්ඩේ ගිහිං තිබිච්චි හන්දා. ඈ සුදුයි, හීන්දෑරියි, ටිකක් විතර උස යි. උල්වුනු නිකටක් එක්ක ලස්සන දිග බෙල්ලක් තිබුණා.
අම්මම්මගේ දූ හෙවත් අමාගේ මෑණියන්දැ සුකුරුත්තම් ඉවුම් පිහුම් ගැන වැඩි උනන්දුවක් නැති නිසා උන්දැ ගේ රෙසිපි සේරෝම සින්නක්කරේ ලියල දුන්නේ අමා මිණිබිරි පොඩ්ඩ ට.
අම්මේ ඒ දවස්වල අම්මම්මා යි අමායි ඔයි රෙසිපි පොත් පෙරළන් නටපු ජවුසන්!
අම්මම්මා ගාලු ඉන්න කොට ඉස්කෝල නිවාඩුවට අමා එහෙ නතර වෙනව. ආයේ මොනාද තින්..පේස්ට්‍රි ද කට්ලට් ද මොස් ජෙලිද කේක් ද ඔයි එකේක ජාති!
සේරෝම හදන හැටි ලියල තීන්නේ උන්දැ ගේ සුප්‍රසිද්ධ රෙසිපි පොතේ.
හවසට අපි දෙන්නා උණු උණු තේ බොන්නේ බීරළු කැටයම් වැරන්ඩාවේ වේවැල් පුටුවල ඉඳගෙන.
තේ බොන ගමන් අම්මම්මා මට පරණ කතා කියනවා. එයා පොඩි සංදියේ, තරුණ සන්දියේ වෙචිචි දේවල්…
ඔය පරණ කතා මගේ මනසේ ඇඳෙන්නේ කළු සුදු නැත්නම් සේපියා වර්ණ වලින්.
පොඩි සංදියේ මං හිතාන උන්නේ ඉස්සර ලෝකේ කළු සුදු ඉතරයි කියල! ගාලු අම්මම්මා ගේ අල්මාරි අස්සෙයි, නුවර ආතම්මගේ ට්‍රන්ක පෙට්ටි අස්සෙයි, අහුමුලු ඔල දාල තිබිල, මං ඇදල අරං හිට, පෙරලා පෙරළා බලපු පින්තූර ඇල්බම් සේරෝගේම තිවුණේ ඒ පාට හන්දා මට එහෙම හිතෙන්ට ඇති.
අම්මම්මා පවුලේ එකම ළමය වෙච්චි, හරි හුරතලේට හැදිලා තීන්නේ.
අතට පයට ඔක්කොම කරන්ට කට්ටිය හිටි නිසා දීගෙක යනකම්ම දෑතේ වැඩක් කරලා නැතුවා. පියානෝ ගහන්ටයි ලේස් ගෙතුම් වැඩයි කේක් හදන්ට යි ඇරෙන්ට කුස්සියේ ලිග්ගල් අස්සේ දැලි ගාගන්ට, පොල් ගාන්ට, පිටි කොටන්ට වාගේ බරපතල වැඩ නම් මුකුත් කරන්ට ගිහිං නැතිලු.
ළමිස්සි කාළේ උන්දැ කන්‍යාරාමෙට ඉස්කෝලේ යනවලු බක්කි කරත්තේ නැගල.
අම්මේ බලන්න එපාය හෙලන්ගේ ආඩම්බර කරත්තේ යන කොට! හිනා කඳුලක් නෑ මුණේ. ඔය තරුණ ගැටවු බල බල උන්නට එකෙක් ගානකට ගත්තේ නෑ හෙලන්!
ඔහොම කියන්නේ ලොකු ආච්චි.
එයා තමා අම්මම්මගේ ලොකු නෑනා. එතකොට නම් ලොකු ආච්චි ඔව්ව කියන්නේ හිනා වෙවී. ඒ උනත් ඒ කාලේ ලොකු ආච්චිත් තරුණ දැරිවි වෙලා හිටි කොට, මධුබාලා වාගේ අම්මම්ම ඔහොම යනව දකිද්දී, එහෙමට පෙනුමක් ලස්සනක් නැති ලොකු ආච්චිට හීනි දුකක් ඉරිසියාවක් දැනුණා කියලා උන්දැම මා එක්ක කියලා තීනවා.
හැබැයි සීයා අම්මම්ම ව කැන්දන් ආවට පස්සේ නෑනලා දෙන්නා ගජ යාලුවෝ වෙලා තීනවා. අමා ලොකු වෙලා දෙන්නා වයසට ගිහිං, දෙන්නගෙන් එක්කෙනෙක් නැතිවෙනකම්ම ඒ යාළුකම් තිවුණා. ලොකු ආච්චි නැතිවුණු වෙලේ අම්මම්ම විස්සෝප උනා ලොකු ආච්චිගේ අනිත් නංගිලා වගේම.
ලංසි බාගයක් වෙච්චි හෙලන්, හරි මෝස්තරේට පිළිවෙලට ඇඳුම් ආයිත්තමුත් ඇඳ පැළඳගෙන යනකොට ඒ දිහා නොබලපු තරුණයෙක් ඉඳල නැතිව ඇති.
අම්මම්මා වයසට ගියත් හරි පිරිසිඳු වට පිළිවෙලට ඇඳපු කෙනෙක්. කෙස් ගහක්වත් එහා මෙහා නොයන්න කොණ්ඩේ පීරලා කටු ගහල, සාය ගවුම හොඳට මැදල මිසක් ආයේ අමා ට වත් ඈ ගමනක් යන්ට දෙන්නේ නෑ. අමාට ඉස්ඉස්ලෙල්ලම සාරියක් අන්දලා, සාරිය ලස්සනට පෙනෙන්න ඇවිදින විදිහ, වාඩි වෙන විදිහ ඔක්කොම කියා දුන්නේ අම්මම්මා. උරිස් පස්සට කරන්, නිකට උස් කරන් කුදු නොවී ‘කුල කාන්තාව’ වාගේ ඉන්ට ඕන කියල ඈ අමාට අවවාද දුන්නේ. ඔය ‘පුහුණුවීම්’ කරද්දී අම්මා නම් හොරෙන් හිනා වෙනවා මතකයි!
ඒ කාලෙත් එහෙම නම් ළමිස්සි කාලේ කොහොම මෝස්තරයක් තියෙන්ට ඇද්ද?!
ඔහොම සුකුමාරෙට අහංකාරෙට බක්කි කරත්තෙන් වඩින මේ රූප සුන්දරී ව දවසක් අහම්බෙන් වාගේ දැකපු පළාතේ තලතුනා මහතෙක්ට මේකට හිත ගිහිං…
එතකොට ඈට යාන්තම් දාසයයි.
ඔහු තරුණ විය ඉක්මවමින් තිස් පස් වෙනි වියටත් ලං වෙමින්…
ජුනි 22, 2015 @ 18:32:18
සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගෙ කතාවක් මතක් වුනා ..මට මතක විදිහට සද්ගුණාකාරය වෙන්ට ඕන…..
මේ හලෝ…. දැං අර හේවායයි කුමාරියි අමතක කරල ඉන්න එකේ හෙලන් ගැනවත් ලියහං තව මොක මොකවත්…:)