මැදියම පිපුණු කුසුමක් – 21


<<මැදියම පිපුණු කුසුමක් 20

මදුරා පුර රාජකීය චර පුරුෂ ධර්මෙශ්වර් මහත් වියවුලකට පත්ව සිටියේය.
චර පුරුෂයා වනාහි සිය රාජ්‍යයට අවශ්‍ය රහස් සොයන්නා මිස, වැරැද්ද නිවැරැද්ද අනුව යුක්තිය පසිඳලන්නා නොවේ.එසේම රාජ අණ සැමවිටම යුක්තිසහගත විය යුතු වුවත් වූවත් එය එසේ නොවන බවද ඔහු දනී.
ධර්මෙශ්වර් ට අණ ලැබී තිබුණේ සිය රජ කුමරා අවමානයට පත් කර පලා ගිය හෙළ කුමරිය සොයා ගැනීමය. මදුරා රාජ සභාවේ සමහර බක පණ්ඩිතයන්ට අනුව, මේ ලක්දිව රජු විසින් හිතාමතා තම දියණිය සඟවා ගෙන, මදුරාව අවමානයට පත් කිරීමට සිදු කළ කූට ප්‍රයෝගයකි. වහාම ලක්දිවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ යුතු යයි ඔවුන්ගේ අදහස විය.
ඒ වන විටත් හිස් වෙමින් තිබුණු රාජකීය භාණ්ඩාගාරයට තවත් සංග්‍රාම පෙළක් නඩත්තු කළ නොහැකි බැව් දැන සිටි මදුරාවේ රජ කුමරා ට අවැසිව තිබුණේ හැකි තරම් සාමකාමී විසඳුමකට පිවිසීමට ය.
අතුරුදන් වූ කුමරිය සොයා ගැනීමට ධර්මෙශ්වර් ට අණ ලැබුණේ ඒ අනුව ය.

ෆරීදා ගෙන් දැනගත් හෝඩුවාව ඔස්සේ සොයා බැලූ කල දැනගත් තොරතුරු නිසා රැවුල් කරු සිටියේ නොසන්සුන් සිතිනි. අතුරුදන් වූ ලක්දිව රජ කුමරිය දැන් ඔහු අසළ බව ධර්මෙශ්වර් ට සැකයක් නොවීය.
එහෙත් හෙළදිව කුමරිය ට වෙදදුරා පිළිබඳ සැකයක් පහල වී ඇත්නම් වැඩි කල් නොගොස්ම තමාට ක්‍රියාත්මක වන්ට සිදු වෙයි.
නැතහොත් සිය නරපතියාණන් ගේ අණ ඉටු කිරීමට නොහැකි වනු ඇත.

ඔහුගේ මීළඟ පියවර කුමක් විය යුතුද?
කුමරිය පමණක් ජීව ග්‍රහයෙන් මදුරාවට රැගෙන ගියහොත් යුධකාමී රාජ සභාව ට මේ නිර්ලජ්ජිත පෙම් හබය පිලිබඳ සත්‍යය කිසිදා ඒත්තු ගන්වන්ට නොහැකි වන්නේය. එහෙයින් සාක්ෂි ඇතුව මේ වියවුල ලෙහන්නට නම් හෙළ කුමරියගේ රන්වන් හිසකෙස්  සහිත වල්ලභයා ද මදුරාව වෙතට රැගෙන යා යුතු ය.

ධර්මෙශ්වර් තීරණයකට එළඹිණි.
එය ක්‍රියාවට නං වනු වස්, ගොඩබිමක් හමු වන තෙක් සිටිය යුතුය. මීළඟ වරාය අද හෙටම දිස්වනු ඇතැයි ඉබන් වසියා පවසන හෙයින් එතෙක් ඉවසීමට ඔහු ඉටා ගත්තේය.

* * *

මේ අතර අල්-සෆීනාවේ තවත් කොණක මදුරා රාජ සභා පුරෝහිත ගේ කුලීහේවායෝ දෙදෙනෙක් බරපතල කසු කුසුවක යෙදී සිටියහ. හුදෙක් ‘කුලීහේවායෝ’ නොවූ ඔවුහු මදුරාවේ පුරෝහිතගේ කහවණු වෙනුවෙන් බොහෝ රහස් මෙහෙයුම් ක්‍රියාත්මක කළ අය වුහ.

“කුමාරි ව ධර්මෙශ්වර් හොයාගෙන කියලද හිතන්නේ?” මෙසේ ඇසුවේ දෙදෙනාගෙන් බාල පෙනුමක් ගත් මිනිසා ය.
“හ්ම්..ඒ ගැන කියන්නට බැහැ සම්පු. මොනවා උනත් ඔහු අති ශුර චර පුරුෂයෙක්”
“අති ශුර ! ඒත් අපි ගැන තවම ධර්මෙශ්වර්ට ඉව වැටිල නෑ.” සම්පු අවඥා සහගත සිනාවක් සහිතව පැවසීය. ඊට පිළිතුරු වශයෙන් මදක් වියපත් පෙනුමක් තිබුණු වයිප්පු නම් වූ අනෙකා කලේ උරිස් හැකිලීම පමණි. සතුරා අවතක්සේරු නොකිරීම යනු වයිප්පු ගේ දශක කිහිපයක කුලීහේවා ජීවිතයෙන් ඔහු උගත් මූලික පාඩමකි.

“ලංකා දීපේ කුමාරි මදුරාවට කැන්දන් නොඑන තැනට වැඩ සිද්ධ කරන්න ය කියා පුරෝහිත අපට දුන් රාජකාරිය, ඈම මාළිගයෙන් පැන ගිය එකෙන් හොඳටම ලෙහෙසි උනා නෙවද වයිප්පු?” සම්පු නැවතත් ඇසීය.
“ලෙහෙසි උනා ද නැද්ද කියන්න තවම කල් වැඩියි..මේ ධර්මෙශ්වර් නොහිටියා නම් කුමාරිට ඈත රටකට පැන යන්ට ඉඩ දී අපට අපේ ගාස්තුවත් රැගෙන පසෙකට වන්නට තිබුණා. නමුත් ධර්මෙශ්වර් ඈව හඳුනාගෙන මදුරාවට රැගෙන ගියොත්, මේ ලංකාදීපයේ රජ තුමාගේ කුමන්ත්‍රණයක් නොවන බව කුමරු රාජ සභාවට ඒත්තු ගන්වයි ලෙහෙසියෙන්ම” වයිප්පු බැරෑරුම් ලෙස පැවසුවේය.
“හඃ නුඹ නම් හැබෑ ශුභවාදියෙක් වයිප්පු!” සම්පු ඊට පිළිතුරැ දුන්නේ නොරිස්සුම් හඬිනි.

ලක්දිව කුමරිය හා ඇයගේ වල්ලභයා මාතොට දී අහම්බෙන් නෙත නොගැටෙන්නට මේ වන විට ඔවුන් පුරෝහිත සමඟ මදුරාවේ සව්දිය පුරමින් සිටින්නට තිබිණි. වයිප්පු ගේ ඕනාකමට ම අල්-සෆීනා වට ඔවුන් නැව් නැග්ගේ, ලක්දිව කුමරිය පිළිබඳ සැබෑ පුවත කිසිදා මදුරාවට සැළ නොවෙන්නට වග බලා ගනු වස් ය. කෙසේ වෙතත් නැවේ ධර්මෙශ්වර් සිටිනු දුටු පසු, එය නිවැරදි පියවරක් බව සම්පු ට වුවද පිළිගැනීම ට සිදු විය.
දැන් ඔවුන්ට තිබුණේ ධර්මෙශ්වර් ගේ සැලැස්ම කෙසේ හෝ නිෂ්එල කිරීම ය.
නැතහොත්, ලක්දිව ට එරෙහිව මදුරා ව අවුළුවා ලීමේ පුරෝහිත ගේ අභිමතාර්ථය ට වැට බැඳෙනු ඇති හෙයිනි.

පෙම් යුවළක ගේ ඉරණම, ඔවුන් කිසිදා හමු නොවූ බල ලෝභීයයන් විසින්, මෙසේ  ලියැවෙමින් තිබිණි.