මයේ ජීවිතේටම හම්බුවෙච්චි අහිංසකම මනුස්ස ප්‍රාණියා වෙන්නේ මයේ ආත්තම්මා හෙවත් ලීලාවතී කුමාරිහාමි නොහොත් අමාගේ අප්පච්චිගේ මව්තුමී.
උන්දැ ගේ ගම නුවර. කෑගල්ල පැත්තේ බොහොම වංසක්කාර වලව්වකට දීග ගිහින් තිවුනේ.
කෑගල්ල කියන්නේ ඉස්සර රජ්ජුරුවන්ගේ අන්ත:පුර බිසෝවරු ගාල් කරලා තිවුණු පැත්තක්ලු. ඒ හන්දා ඒ පැත්තේ රූපශ්‍රියා ජානය අධිසාන්ද්‍ර වෙලා තවමත් හරි ලස්සන ගෑණු උපදිනවලු!
ලස්සන ගෑනුන්ට දාව උපදින පුත්තුනට උනත් ඔය ජාන ලක්ෂණ පිහිටන්නේ නැතුවා නෙවේ නෙව!
ඔය කතන්දර කොහොම වෙතත් ලීලාවතී කුමාරිහාමිගේ අත ගත්තු වංසක්කාර පුත්‍රයා ටත් ඕනෑවට වැඩියත් ඔය ජානේ උරුම වෙච්චි. ඇත්දළ පාට ආරෝහ පරිණාහ දේහදාරී රූපේ ඉතරක් නෙවි සෙල්ලම් නිරිඳු විලාසේ සෙල්ලක්කාර නාස්තිකාර ජාන ඔක්කොමත් පෝලිමට උන්දැට ලැබිල තිඋනා. ඒ වාගේම, ගරා වැටෙන වලව්වකුත්, මාර දූවරු වාගේ නංගිලා රොත්තකුත්, ප්‍රවේණි කරුමෙට කර ගහපු ගමේ අනියම් ගැහැණු කීප දෙනෙකුත් මේ පුත්‍රයා ට උරුම වෙලා තිවුනා.
අනේ ඉතිං අහිංසක ලීලාවතී!
අන්ත:පුර පරම්පරා ගානක රූප ලස්සනක් උන්දැට තිවුනේ නෑ! වටකුරු මුණක් එක්ක තල එළලු හමක්, බොල්ලෑව දන්ත කල්‍යාණය ක් සහ එක රැල්ලක්වත් නොහිටින දිග කොණ්ඩයක් ඈට තිවුණා. සැමියා බිරිඳගේ දෙවියා ය කියල ඉස් මුදුනින් පිළිඅරං, දෑවැද්දට ඇතෙක් බරට ගොඩින් මඩින් වස්තුව අරං ඈ ආතා එක්කල කෑගලු වලව්වට දීග ඇවිත් තීන්නේ…
අමාට ආතා කීවම හිතට එන්නෙම හිච්චි ආතා.
ඒ උනත් ඒ අමාගේ අප්පච්චි ගේ පිය තුමා නෙවි. ඒ උන්දැ නොහොත් අර ලීලාවතී කරකාරෙට ගත්තු වංශක්කාර පුත්‍රයා ට අමා කීවේ කෑගලු ආතා කියල. කෑගලු ආතා ගේ මළගම යාන්තම් වාගේ අමාට මතකයි.
කෑගලු ආතා ගැන නැති හර්දයාංගම මතක තියෙන්නේ ආතම්මාගේ බාල මල්ලි හිච්චි ආතා ගැන!
ආතම්මාට වාගේම අවලස්සන දත් කුට්ටමක් තිවුනා හිච්චි ආතා ට. ආතම්මා ට වාගේම හරි ලස්සන හදවතකුත් තිවුණා උන්දැට!
එහෙම නැතිනං, දෑවැදි දේපල ඔක්කොමත් කාබාසිනියා කරලා, අයාලේ ත් ගිහිං කරපු ඔක්කොම නෙයියාඩගම් ඉවසං හිටි හිලව්වට, කසාද මිනිහා ගෙදරින් පන්නපු තමන්ගේ අක්කණ්ඩි ව බාර අරං, අක්කණ්ඩි ගේ ළමයි තුන් දෙනා ත් හදාවඩා ගනීවිද?
කෑගලු ආතා මුලින්ම ආතම්මව ගෙදරින් එලෝලා තීන්නේ චුටි නැන්ද අත දරුවා කාලේ. එතකොට පවුලේ වැඩිමලා වෙච්චි අප්පච්චි ට අවුරුදු හයක් වගේ ලු. ආතම්මා ට අප්පච්චිව යි බාප්පව යි එක්කං යන්ට දීල නෑ. කිරි උරන චුටි නැන්ද ඉතරක් අරං යන්ට කියල. ආතම්ම තනියම චුටි නැන්ද ව එක අතකින් වඩාන, අනිත් අතින් මල්ලකුත් අරං වලව්වෙන් එලියට බැහැල. ආතම්ම දීග එද්දී නුවර වලව්වෙන් වැඩට එක්කරන් ආව හීං මැණිකා කියල ගෑණු කෙනෙකුත් උන්දැගේ ගැටවර වයසෙ කොළුවත්, ‘අපේ මැණිකෙට තනිපන්ගලෙම යන්ට දෙන්ට බැරිය’ කියල ආතම්ම එක්කල ඇවිදින්.
හය මාසයක් ඉතර ආතම්ම නුවර මහ ගෙදර හිටියම පයින්ඩයක් ආවලු වහාම කෑගලු එන්ටය කියල.
ඒ පයින්ඩ එවල තීන්නේ ආතම්ම නැති සාංකාවට බාප්පා හොඳටම අසනීප උනු හංදා.
ඒ පළවෙනි වතාව උනත් අන්තිම වතාව නෙවි. නොම්මර එකේ බෙබේ කෙනෙක් උණු කෑගලු ආතා ගේ වධ හිංසා නැති වෙලාවට නපුරු නෑනන්ඩිල ගේ වදේ. හැම දෙයක්ම මීක් නොකිය ඉවසං ඉඳල ආතම්ම.
කෑගලු ආත යන්ට කියද්දී යනවා. එන්ට කියද්දී එනවා.
ඕන් ඔහොම අවුරුදු ගාණක් ඇදී ඇදී ඒත් කවදාවත් දික් නොවුණු කසාදයක් ඒක!
අගෝ. 03, 2015 @ 06:36:37
/ ලස්සන ගෑනුන්ට දාව උපදින පුත්තුනට උනත් ඔය ජාන ලක්ෂණ පිහිටන්නේ නැතුවා නෙවේ නෙව! /
ඒත් ඒ පුත්තුන්ට දාව උපදින ඊළඟ පරම්පරාවෙ දූලට ඔය රූපශ්‍රියා ජාන යන්නෙ නෑ. සූලොජි කලානම් උඹ දන්නව ඇති තුන්වන පරම්පරාවෙදි ඒ ජාන නිලීන ( Recessed ) වෙනව.
/ ඒ පයින්ඩ එවල තීන්නේ ආතම්ම නැති සාංකාවට බාප්පා හොඳටම අසනීප උනු හංදා./
බාප්ප කිව්වම නිකම් හරි නෑ වගේ….අපි කිව්වෙ හීන් අප්පච්චි / පොඩි අප්පච්චි කියල
පව් බන් අත්තම්ම ගැන බොහොම දුකයි. ඒ කාලෙ ඉතින් ගෑණු මනුස්සයින්ගෙ උරුමෙ ඕක තමයි. විශේෂයෙන්ම ඉහළ කුලවල. කුල මාන්නෙ හින්ද දික්කසාද වෙන්නත් බෑ. අපෙ අත්තම්ම ( අම්මගෙ අම්ම ) ඒ අතින් බොහොම වාසනාවන්තයි. උන්දැට හම්බවුනේ බොහොම නිවිච්ච සාන්ත දාන්ත රටක් වටින පුරුසයෙක්. ඒ අපෙ ලොකු ආත.
අපෙ අත්තම්මගෙ කතාව සුට්ටක් ලිව්ව මම කාලෙකට ඉස්සෙල්ල. ආයම කොණක ඉඳල ලියන්ට ඕන…හෙහ්,හෙහ්,
අගෝ. 03, 2015 @ 22:48:57
/ඒත් ඒ පුත්තුන්ට දාව උපදින ඊළඟ පරම්පරාවෙ දූලට ඔය රූපශ්‍රියා ජාන යන්නෙ නෑ. /
හෙහ්…පුත්තුන්ට ගියත් මිණිබිරීලට යන්නේ නෑ ! හැක හැක…! අපේ පවුලේ ඔය ‘රූප ශ්‍රියා’ ජානේ අඩු නැතිව පිහිටලා තිවුණු දෙන්න තමා අම්මම්මා සහ කෑගලු ආතා. ඊට පස්සේ ආව ඈයින්ට තින් කොහෙන් කොහෙන් හරි මොන මොනවා හරි අබ්ලික් ජාන ටිකක් සෙට් වෙලා තියෙන්නෙ.
/බාප්ප කිව්වම නිකම් හරි නෑ වගේ….අපි කිව්වෙ හීන් අප්පච්චි / පොඩි අප්පච්චි කියල/
හරි හරි ඇත්ත කතාව අයියෙ…කොහෙද අමාගේ සිංහල මුදුකරේයි කන්ද උඩරට යි දෙකම මික්ස් වෙච්චි චොප් සුයී එකක් නෙව! තව කාරනාවක් තියේ…අප්පච්චි තමන්ගේ සහෝදරය ගැන කතාකරන්නේ හරි අඩුවෙන්…අමා ට හම්බුවෙලත් නෑ….තින් අමාට එහෙම ‘පොඩි අප්පච්චි’ කියල අමතන්ට කරුණු කාරණා සිද්ද වුනේ නැතුවා.
ඒක හරි දුක හිතෙන කතාවක් අයියෙ…