කලින් සටහනට සිත්තමි නගා එක්කල උනු කතාවෙන් තව කතන්දරයක් කියන්න හිතුන.
ඔන්න කාලෙකට කලින් කාස්ටක නගරෙක බෝඩිමක නතර වෙන්න ආවලු ඔටුන්නක් නැති කුමාරයෙක්.
බෝඩිමේ උඩ තට්ටුවේ පාර අයිනේ දුවිලි පිරුණු කාමරයක් තමා කුමාරයට ලැබිල තියෙන්නේ. ශිල්ප සාස්තර ඉගෙන ගන්න බෝ දුර තක්සලාවකට ඇවිත්, ඉන්න හිටින්න තැනක් හොයන වෙලේ උන්දැට ලැබිල තීන්නේ ඔන්න ඔය අබලන් බෝඩිම.
කුමාරයෙක් උනත් මාළිගාව ගරා වැටෙමින් තිවුණු හන්දා, පිය රජ්ජුරුවෝ භාණ්ඩාගාරේ හිස් කොරල තිවුණු හන්දා, කුමාරයට කහවුණු හරි හිඟයි ලු. අතේ තිවුණු කහවුණු ඩිංගට කාස්ටක නගරෙ ලැබිල තීන බෝඩිමට ආ පළමු දවසේ නම් ආයෙත් නිල් පාට කඳු මැද්දාවට යන්න හිතුනත්…දෙවෙනි දවසේ උදෙන්ම ඒ හිතිවිල්ල දිය වෙලා ගියාලු…
ඒ මොකෝ කියනවා නම්…එදා උදේ කුමාරයා වතුර හීටරෙන් නටවපු වතුරෙන් හදපු නීරස තේ කෝප්පයක් කිරි නැතිවම බොන අතරේ ජනේලයෙන් එළිය බැලුකොට දැකල තියෙන විප්‍රකාර දර්ශනය හන්දා!
…පාරේ එහාපැත්තෙ ගෙදර, යට තට්ටුවේ කෑම කන කාමරේ එදා ජනෙල් රෙදි හෝදන්න දාලා. මේ ගෙදර ඉන්න, හදවතක හැඩයට පුංචි තලෙළු මුණක් තියෙන කෙලි පැංචිට අමතකයි අද එයාගේ ඔල්මොරොන්දම් දර්ශන වහන් කරන්න ලේස් රෙදි නැති විත්තිය! ඔන්න ඉතින් එයා උදේ නැගිටගෙන ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා, තේ බොන ගමන් සුපුරුදු පරිදි දැම්මලු රේඩියෝ එක! මොකද්ද ඉතින් ගිය සින්දුව? ආයේ මොකද්ද කෙලි පැංචිගේ ආසම ‘ඩාන්සින් කවීන්’ මිසක්ක! දැන් ඉතින් ඕක යනකොට කොහොමද නිදිමතේ තේ බිබී ඉන්නේ? කෙලි පැංචි සුටුස් ගාල පුටුවෙන් නැගිට්ට නෙවෙයි එයාට නැගිටුණා! එයා නටන්න ගත්ත නෙවෙයි එයාට නැටවුනා!…
සුදු යුනිෆෝර්ම් එක පිටින් කොන්ඩේත් කඩා ගෙන මෙලෝ සිහියක් නැතුව නටන මේ කෙල්ල දිහා බලාගෙන හිට්යේ එහා ගෙදර උඩු මහලේ කුමාරයා… අතේ තියෙද්දීම නිවෙන තේ එකත්, දුවිලි කාමරෙත්, දාල ආව නිල් කඳු යායත් අමතක වෙලා එයා මේ නර්තන ලාලනිය දිහා බලන් ඉන්නකොට ඊට කලින් කවදාවත් පිපිලා නැති හීනි හිනා මලකින් කුමාරයාගේ මුණ ආලෝකමත් උනා ලු!
(දැන් මේ නැටුම්කාරිය පස්සේ කාලයක අර කවුද රාජිනි චෙල්වනායගම්- එතකොට චන්න-උපුලි වාගේ ප්‍රසිද්ධ ප්‍රවීන නර්තන ශිලිපිනියක් උනා ය කියල හිතනවා නම් … නැහ්! ඇත්ත කතාව නම් – කුමාරය ඒක දැක්කම හිත ඇදිලා තියෙන්නේ ඒ නැටුමේ ලස්සනකට නෙවෙයි – අවට ලෝකේ ගැන කිසිම වගතුවක් නැතුව හිතේ හැටියට ඒ කෙලි පැංචි සින්දුව රස විඳින ලස්සනට!)
මැයි 18, 2017 @ 18:04:12
/මොකද්ද ඉතින් ගිය සින්දුව? ආයේ මොකද්ද කෙලි පැංචිගේ ආසම ‘ඩාන්සින් කවීන්’ මිසක්ක! දැන් ඉතින් ඕක යනකොට කොහොමද නිදිමතේ තේ බිබී ඉන්නේ? කෙලි පැංචි සුටුස් ගාල පුටුවෙන් නැගිට්ට නෙවෙයි එයාට නැගිටුණා! එයා නටන්න ගත්ත නෙවෙයි එයාට නැටවුනා!…/
You can dance, you can jive, having the time of your life
See that girl, watch that scene, digging the Dancing Queen
අන්න සින්දු..මේ අවුරුදු හතළිහකට පස්සෙත් මම තාමත් ඔය සින්දුවට නටනව..උඹේ අර නොනිමි කතන්දරේ ඉන්න නිල් ඇස් ඇති හේවායා පල්ලා…
මේ මම කාලෙකට ඉස්සෙල්ල ඇබා ගැන ලියපු සටහනක්…
ප්රථම ප්රේමය අමතක කල නොහැක කියල කතාවක් තියනවනෙ….ඒ වගේ Abba කෙරෙහි බැඳුනු මගේ ප්රේමය අදටත් එහෙමමයි……යූ ටුබ් එකේ ඩාන්සිං ක්වීන් බලනකොට අදටත් මගෙ රොමෝද්ගමනය වෙනව…….මේ ඇත්තමයි……….
මැයි 19, 2017 @ 03:53:21
ඔය ඇබාලාගේ මමත් ආසම සින්දුව ඩාන්සිං ක්වීන් තමයි. කතාව ලස්සනයි ඈ. තව තියෙනවද? එක්කො ඔන්න ඔහොම නතරවුණත් කමක් නෑ, නැත්තං අර හේවායට වෙච්ච සංගදිය මේ කුමාරයාටත් වෙයි.
ඈ අමා අක්කෙ, ඔය කතන්දර බාගෙට ලියලා තියෙද්දි ඔය මවාපු චරිත රෑ හීනෙං ඇවිල්ලා කරදර කරන්නෙ එහෙම නැද්ද? වෙන මෙලෝ වැඩක් කරගන්න දෙන්නෙ නැතුව හිත අස්සට රිංගගෙන උන්දැලාගෙ ලෝකෙටම ඔයාවත් ඇදං යන්න හදන්නෙ නැද්ද? අනේ මන්දා මටනං එහෙමයි. මොකද්ද හලෝ, අර හේවායාගේ කතාව ලියලා ඉවරයක් කරන්ඩකො.
රවි අයියා ඔය ප්‍රථම ප්‍රේමය ගැන කියලා තියෙන කාරණාවනං ඇත්තම ඇත්ත. මගෙයි රාජේශ් ඛන්නාගෙයි ප්‍රේමයත් තාම එහෙමමයි.