සිඟිති හෙවත් නර්තන රැජිණිය


issarasa

මතකද ඉස්සර නවකතා වල නම්: සුනේත්‍රා නොහොත් අවිචාර සමය, ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිණිය, සිරියලතා හෙවත් අනාථ තරුණිය… ඔන්න ඔහොම.

ආන්න ඒ වගේ තමා සිඟිති ත්.
කවුරු?

අපේ කලින් ලියවිල්ලේ නර්තන රැජිණිය? ආන්න එයා.
සිඟිති කිව්වේ ආදරේට ගෙදරට කියපු නම. ගෙදර විතරක් නෙමෙයි එයාට ආදරේ කරපු/කරන ගොඩක් අය උන්දැට ආමන්ත්රණේ කරන්නේ ‘සිඟිති’ කියල තමා.

සිඟිති ට ඉබාගාතේ ගිය කුමාරයා මුලිච්චි වෙනකොට උන්දැ වැඩිය සුදුත් නැති – කළුත් නැති හීනි මුණක් එක්ක දිග ලොකු ඇස දෙකක් තියෙන අවුරුදු දා හතක විතර ළමිස්සියක්.

සිඟිතිගේ මෑණියන්දැ හෙලන්ට ඕනි කරලා තිවුණේ සිඟිතිව උන්දැ වාගේම, හිමින් ගමන් ඇති – ආඩම්බර සිහින් සිනා පානා – කුල කාන්තාවක් කරන්ඩ.
එව්ව කොහෙද සිඟිති එක්ක. හුහ්!

සිඟිති ඒ වෙනුවට හැමෝම එක්කල හොඳට හිනාවෙන, හිමින් ගමනක් නැති, ගස් නගින, විසේකාර කෙල්ලක බවට පත්ව හිටියා.

ඒ නමුත් ඉබාගාතේ ආ කුමාරයා වැඩියෙන්ම ආදරේ කරන ගුණාංගය නම් සිඟිති ට උරුම වෙලා තිබුණේ හෙලන් ගෙන්.

ඒ නම්, මොකක් නමුත් කවුරුත් කීව පළියට පිළිනොගෙන, තමුන්ම හිතල බලල තීරණ ගන්න එක!

සිඟිතිගේ මව් පරම්පරාවේ මුල් බැහැල  තිබුණේ පතිකුලයට ගියාට පස්සේ ගෙදර පාලනය කරගෙන, පියානෝ වයමින්, ලේස් ගොතමින්, කේක් පුළුස්සමින්, අච්චාරු ජාඩි දමමින්, උපාසක දන් උයමින්, දරුවන්ට ඇඳුම් මසමින් කල් ගෙවන හරිම ගෘහස්ත ජීවන දර්ශනයක්.

එව්වා සිඟිති ට මනාප උනේ නැති වෙච්චි!

මේ විසේකාර කෙල්ලට ඕනැ උනේ තමුන් උපන් පුංචි දූපතෙන් පියාඹල ගිහිං ලෝකේ බලන් එන්න. එයා කියවපු පොත් ඔල තිවුණු අමුතු තාලේ මිනිස්සු, පරණ ප්‍රාකාර, නවීන නගර, විසාල පාලම් එහෙම බලා කියා ගන්ඩ.

ඔය අතරේ එහා ගෙදර බෝඩිමට කුමාරයෙක් වැඩම කරේ ළඟ පාත විස්ස විද්‍යාලේ ඉගෙන ගන්ඩ.

දවසක් සිඟිති දන්නේ නැතුවට එයාගේ නර්තන ලීලාව හොඳ හැටි බලාන උන්නේ ආන්න ඒ කුමාරයා…

මුලදී නම් නර්තන රැජිණිය එක්ක හිනා වෙන්න – කතා කරන්ඩ කුමාරයා ටිකා…ක් බයෙන් උන්නේ. මොකද නර්තන රැජිණිය ට තිවුනේ කුමාරයට පුරුදු විනීත කුමාරිහාමි ලාගේ හැසිරීම් නෙවි නේ.
කුමාරයට වැඩිය නොතේරෙන ඉංගිරිසි සින්දු අහන එකත්, මහා තඩි පොත් පුස්තකාලෙන් උස්සන් එක එකත්, එව්වා වත්තේ ගස් යට ඉඳන් කියෝන එකත්, ඒ කියවන කොට ඒ පොත් ඔල එව්වට හිටි හැටියේ කැකිරි පලන එකත්, කුමාරයට ඇති කරේ හරි පුදුම සහගත කුතුහලයක්!

Advertisements