කුමාරයා පොත දැම්ම හැටි !


il_340x270.974540928_b258

විස්ස විද්‍යාලේ මානවිකාවෝ වගේම දාල ආව නිල් කඳු වළල්ලේ කුමාරිහාමිලාත් කොච්චරවාත් හිටියත්, ඉස්සරහ ගෙදර සිඟිති ටම හිත වැටුනේ ඇයිද කියල ඉබාගාතේ ආ කුමාරයා කවදාවත් හිතුවේ නැහැ!
සිඟිතිව ටිකක් ආස්සරේ කරලා තියෙන කෙනෙක්ට උනත් ඒ ප්‍රශ්නෙ මතුවෙන්නේ නැහැ!

ඒ මොකද කියනවා නම් සිඟිතිගේ මෑණියන්දා හෙලන් වාගේ සාම්ප්‍රදායික රූප රාජිණියක් නොවුණත් සිඟිති ගේ අමුතු ආකර්ෂණයක් තිවුණා. දීප්තිමත් ලොකු ඇස් යටින් එයා බලන බැල්මේ තිබුණේ පුරාතන කතන්දර වල එන රණශූර රැජිණක්, එහෙමත් නැත්නම් බලසම්පන්න මායාකාරියක් වාගේ හැඟීමක්. ඒ ඇස්වල ඒ තරම් ලොකු ශක්තියක් තිබුණා! ඒත් එක්කම සිඟිති හිනාවෙනකොට හිනාව පටන්ගත්තේත් ඒ ලොකු ඇස් වලින්මයි. ඇස් වලින්ම පටන් අරන් මුලු මුණම එළිය කරන ලස්සන ලොකු හිනාවක් ඒක!
එයාගේ හිනාව ‘සිනා නොමසන් දසන් දක්වා’ ජාතියේ නොවුනේ එයා කාව්‍යශේකරය, සිරිත් මල්දම එහෙම කියවල නැති නිසාම නෙමෙයි – එයාට නිසර්ගයෙන්ම පිහිටලා තිබුනේ කට කණේ යන උතුරලා එළියට පනින හිනාවක්.

ඉබාගාතේ ආ කුමාරයාට නම් සාම්ප්‍රදායික කුමාර රූපයක් එහෙන් මෙහෙන් ගෑවිලා තිබුණා. සිඟිතිගේ බුම්මා ගත සේපියා පින්තුර කෑල්ලක් මුලින්ම නිල් කඳු රාජ්ජේ නෑදෑයින්ට පෙන්නු වෙලේ “අනේ මේ කව්ද සුදු අප්පෝ” කියලා යි එයාලා කිව්වේ. පින්තුර වලට අකමැති නිසාම සිඟිතිගේ අර අකුණු ගහන්නා වාගේ පනින හිනාව ඒකේ තිවුනේ නෑනේ! ෆොටෝ කොලුවා “ඉස්සරහ බලන්න – කෙලින් බලන්න – ඔලුව උස්සාන්න” කියලා අර හැමෝටම ගන්න ජාතික හැඳුනුම්පත් පින්තුරයක් ගත්ත හන්දා ඉතින් අර බලගතු බැල්ම ත් පින්තුරේට අල්ලන්න බැරි වෙච්චි.

හැබැයි ඉතිං ඒ වෙද්දී ඔයි කොයි කවුරු කීවත් කුමාරයා නෙවි එව්වා මායිම් කරේ. බංකොලොත් උනත් එයා කුමාරයෙක් උනේ අන්න ඒ හින්දයි.

කුමාරයා මුලින්ම සිඟිති එක්ක කතා කරන්න පොටක් පාදා ගත්තේ පුස්තකාලේ ට පිං සිද්ධ වෙන්න. කොහෙන්දෝ හරියට නම කියාගන්නවත් බැරි ඉංග්‍රීසි පොතක් හොයාන ඇවිත් ඒක කොහෙද තියෙන්නේ කියලා දන්නවාද කියල කුමාරයා සිඟිති ගෙන් ඇහුවේ පුස්තකාලේ දූවිලි ගැහුණු පොත් රාක්කයක් ළඟදී. ඒ වෙද්දී සිඟිති හිටියේ පොත් රාක්කෙ ළඟ බිම වාඩිවෙලා යටම තට්ටුවේ පොත් අදිමින්.
“සොරි මිස් … මම මේ පොතක් හොයනවා… ඔතන තිබුණද දන්නේ නැහැ නේද?” කුමාරයා බයෙන් බයෙන් ඇහුවා.
සිඟිති උඩ බැලුවා. අඳුරන්නේ නැති තරුණ පිරිමි ළමයෙක් පොතක් ගැන අහනවා. සිඟිතිට ඒ දවස්වල පිරිමි ළමයි ගැන ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. කමක් නැහැ ඒත් පොතක් ගැනනේ අහන්නේ.
“මොකද්ද ඔයා හොයන පොත?”
“මේ… මෙන්න මේක මිස්” කියලා කුමාරයා කොළ කෑල්ලක් දික් කරා. ඒකෙ තිබුණේ කුමාරයාගේ විස්ස විද්‍යාලේ යාලුවෙක් සම්භාව්‍යයයි කියල ලියාල දුන්න පොතක නමක්- “Tales of Edgar Allan Poe”
ඔයි දුන්නට කුමාරයා දන්නා එඩ්ගා කෙනෙක් නැති වෙච්චි. එඩ්ගා ඇලන් කලුද සුදුද කියලා වත් උන්දැ දැනන් හිටියේ නැහැ! වෙලාවට එඩ්ගා ඇලන් පෝ ගේ පොත් කියවන්න සිඟිති නම් සෑහෙන්න කැමතියි!
“ආ… මේ පොතම නෙමෙයි හැබැයි මෙයාගේ වෙන පොතක් නම් තිබුනා. ඒ උනාට මෙතැන නෙමෙයි – අර හරියේ බලන්න- ඒ හරියේ තමා හොරර් තියෙන්නේ…මෙතැන තියෙන්නේ රොමැන්ස් නවල්ස් නේ”
කුමාරයාට ලැජ්ජා හිතුණා ආදර කතා තියෙන තැන හොල්මන් කතා පොත් හෙව්ව එකට. ගොඩේ කොල්ලෙක් කියල පෙනුනද දන්නේ නැහැ කියල එයාට හිතුණා. එයාට ලජ්ජා හිතුනම කන් දෙකේ ඉඳන් මුණම රතු වෙනවා. ඒ රතුවිල්ල දැක්ක සිඟිති ට දුක හිතුනා. නාඳුනන පිරිමි ළමයාගේ කතා උරුව මේ පළාතේ නෙවෙයි වගේ. වැඩිය පුස්තකාලේ ගිහිං නැතුවත් ඇති.

“ඉන්න මම හොයන්න” සිඟිති ඒ පාර නැගිටලාම ආවේ කුමාරයට පොත හොයල දෙන්න.

Advertisements