සිඟිති හෙවත් නර්තන රැජිණිය


issarasa

මතකද ඉස්සර නවකතා වල නම්: සුනේත්‍රා නොහොත් අවිචාර සමය, ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිණිය, සිරියලතා හෙවත් අනාථ තරුණිය… ඔන්න ඔහොම.

ආන්න ඒ වගේ තමා සිඟිති ත්.
කවුරු?

අපේ කලින් ලියවිල්ලේ නර්තන රැජිණිය? ආන්න එයා.
සිඟිති කිව්වේ ආදරේට ගෙදරට කියපු නම. ගෙදර විතරක් නෙමෙයි එයාට ආදරේ කරපු/කරන ගොඩක් අය උන්දැට ආමන්ත්රණේ කරන්නේ ‘සිඟිති’ කියල තමා.

සිඟිති ට ඉබාගාතේ ගිය කුමාරයා මුලිච්චි වෙනකොට උන්දැ වැඩිය සුදුත් නැති – කළුත් නැති හීනි මුණක් එක්ක දිග ලොකු ඇස දෙකක් තියෙන අවුරුදු දා හතක විතර ළමිස්සියක්.

සිඟිතිගේ මෑණියන්දැ හෙලන්ට ඕනි කරලා තිවුණේ සිඟිතිව උන්දැ වාගේම, හිමින් ගමන් ඇති – ආඩම්බර සිහින් සිනා පානා – කුල කාන්තාවක් කරන්ඩ.
එව්ව කොහෙද සිඟිති එක්ක. හුහ්!

සිඟිති ඒ වෙනුවට හැමෝම එක්කල හොඳට හිනාවෙන, හිමින් ගමනක් නැති, ගස් නගින, විසේකාර කෙල්ලක බවට පත්ව හිටියා.

ඒ නමුත් ඉබාගාතේ ආ කුමාරයා වැඩියෙන්ම ආදරේ කරන ගුණාංගය නම් සිඟිති ට උරුම වෙලා තිබුණේ හෙලන් ගෙන්.

ඒ නම්, මොකක් නමුත් කවුරුත් කීව පළියට පිළිනොගෙන, තමුන්ම හිතල බලල තීරණ ගන්න එක!

සිඟිතිගේ මව් පරම්පරාවේ මුල් බැහැල  තිබුණේ පතිකුලයට ගියාට පස්සේ ගෙදර පාලනය කරගෙන, පියානෝ වයමින්, ලේස් ගොතමින්, කේක් පුළුස්සමින්, අච්චාරු ජාඩි දමමින්, උපාසක දන් උයමින්, දරුවන්ට ඇඳුම් මසමින් කල් ගෙවන හරිම ගෘහස්ත ජීවන දර්ශනයක්.

එව්වා සිඟිති ට මනාප උනේ නැති වෙච්චි!

මේ විසේකාර කෙල්ලට ඕනැ උනේ තමුන් උපන් පුංචි දූපතෙන් පියාඹල ගිහිං ලෝකේ බලන් එන්න. එයා කියවපු පොත් ඔල තිවුණු අමුතු තාලේ මිනිස්සු, පරණ ප්‍රාකාර, නවීන නගර, විසාල පාලම් එහෙම බලා කියා ගන්ඩ.

ඔය අතරේ එහා ගෙදර බෝඩිමට කුමාරයෙක් වැඩම කරේ ළඟ පාත විස්ස විද්‍යාලේ ඉගෙන ගන්ඩ.

දවසක් සිඟිති දන්නේ නැතුවට එයාගේ නර්තන ලීලාව හොඳ හැටි බලාන උන්නේ ආන්න ඒ කුමාරයා…

මුලදී නම් නර්තන රැජිණිය එක්ක හිනා වෙන්න – කතා කරන්ඩ කුමාරයා ටිකා…ක් බයෙන් උන්නේ. මොකද නර්තන රැජිණිය ට තිවුනේ කුමාරයට පුරුදු විනීත කුමාරිහාමි ලාගේ හැසිරීම් නෙවි නේ.
කුමාරයට වැඩිය නොතේරෙන ඉංගිරිසි සින්දු අහන එකත්, මහා තඩි පොත් පුස්තකාලෙන් උස්සන් එක එකත්, එව්වා වත්තේ ගස් යට ඉඳන් කියෝන එකත්, ඒ කියවන කොට ඒ පොත් ඔල එව්වට හිටි හැටියේ කැකිරි පලන එකත්, කුමාරයට ඇති කරේ හරි පුදුම සහගත කුතුහලයක්!

ඉබාගාතේ ආ කුමාරයෙක්!


කලින් සටහනට සිත්තමි නගා එක්කල උනු කතාවෙන් තව කතන්දරයක් කියන්න හිතුන.
8cc23c2d833f24687ae944834a9eeca8
ඔන්න කාලෙකට කලින් කාස්ටක නගරෙක බෝඩිමක නතර වෙන්න ආවලු ඔටුන්නක් නැති කුමාරයෙක්.

බෝඩිමේ උඩ තට්ටුවේ පාර අයිනේ දුවිලි පිරුණු කාමරයක් තමා කුමාරයට ලැබිල තියෙන්නේ. ශිල්ප සාස්තර ඉගෙන ගන්න බෝ දුර තක්සලාවකට ඇවිත්, ඉන්න හිටින්න තැනක් හොයන වෙලේ උන්දැට ලැබිල තීන්නේ ඔන්න ඔය අබලන් බෝඩිම.

කුමාරයෙක් උනත් මාළිගාව ගරා වැටෙමින් තිවුණු හන්දා, පිය රජ්ජුරුවෝ භාණ්ඩාගාරේ හිස් කොරල තිවුණු හන්දා, කුමාරයට කහවුණු හරි හිඟයි ලු. අතේ තිවුණු කහවුණු ඩිංගට කාස්ටක නගරෙ ලැබිල තීන බෝඩිමට ආ පළමු දවසේ නම් ආයෙත් නිල් පාට කඳු මැද්දාවට යන්න හිතුනත්…දෙවෙනි දවසේ උදෙන්ම ඒ හිතිවිල්ල දිය වෙලා ගියාලු…
ඒ මොකෝ කියනවා නම්…එදා උදේ කුමාරයා වතුර හීටරෙන් නටවපු වතුරෙන් හදපු නීරස තේ කෝප්පයක් කිරි නැතිවම බොන අතරේ ජනේලයෙන් එළිය බැලුකොට දැකල තියෙන විප්‍රකාර දර්ශනය හන්දා!

…පාරේ එහාපැත්තෙ ගෙදර, යට තට්ටුවේ කෑම කන කාමරේ එදා ජනෙල් රෙදි හෝදන්න දාලා. මේ ගෙදර ඉන්න, හදවතක හැඩයට පුංචි තලෙළු මුණක් තියෙන කෙලි පැංචිට අමතකයි අද එයාගේ ඔල්මොරොන්දම් දර්ශන වහන් කරන්න ලේස් රෙදි නැති විත්තිය! ඔන්න ඉතින් එයා උදේ නැගිටගෙන ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා, තේ බොන ගමන් සුපුරුදු පරිදි දැම්මලු රේඩියෝ එක! මොකද්ද ඉතින් ගිය සින්දුව? ආයේ මොකද්ද කෙලි පැංචිගේ ආසම ‘ඩාන්සින් කවීන්’ මිසක්ක! දැන් ඉතින් ඕක යනකොට කොහොමද නිදිමතේ තේ බිබී ඉන්නේ? කෙලි පැංචි සුටුස් ගාල පුටුවෙන් නැගිට්ට නෙවෙයි එයාට නැගිටුණා! එයා නටන්න ගත්ත නෙවෙයි එයාට නැටවුනා!…

සුදු යුනිෆෝර්ම් එක පිටින් කොන්ඩේත් කඩා ගෙන මෙලෝ සිහියක් නැතුව නටන මේ කෙල්ල දිහා බලාගෙන හිට්යේ එහා ගෙදර උඩු මහලේ කුමාරයා… අතේ තියෙද්දීම නිවෙන තේ එකත්, දුවිලි කාමරෙත්, දාල ආව නිල් කඳු යායත් අමතක වෙලා එයා මේ නර්තන ලාලනිය දිහා බලන් ඉන්නකොට ඊට කලින් කවදාවත් පිපිලා නැති හීනි හිනා මලකින් කුමාරයාගේ මුණ ආලෝකමත් උනා ලු!

(දැන් මේ නැටුම්කාරිය පස්සේ කාලයක අර කවුද රාජිනි චෙල්වනායගම්- එතකොට චන්න-උපුලි වාගේ ප්‍රසිද්ධ ප්‍රවීන නර්තන ශිලිපිනියක් උනා ය කියල හිතනවා නම් … නැහ්! ඇත්ත කතාව නම්  – කුමාරය ඒක දැක්කම හිත ඇදිලා තියෙන්නේ ඒ නැටුමේ ලස්සනකට නෙවෙයි – අවට ලෝකේ ගැන කිසිම වගතුවක් නැතුව හිතේ හැටියට ඒ කෙලි පැංචි සින්දුව රස විඳින ලස්සනට!)

හඹා එනු පිණිස!


353168693_b2063ad697

ඉපැරණි මතක මතින් හමන 
රුදුරු සුළං 
පාරවයි හදවත
කලතමින් රොන්මඩ දිවි ගඟේ...

බොළඳ කඳුලැලි ගලා 
පලා යන හැමවිටම 
පසුපසින් පැමිණ මා 
තදින් වැළඳගනු මැන, පෙම්වත.

ධීරේ ධීරේ … හෙමින් හෙමින් …


ධීරේ ධීරේ කියන පරණ සින්දුව අලුත් කට්ටිය දාලා ගහල හිට් එකක් වෙලා – ආයෙත්.
අලුත් ධීරේ ධීරේ දැක්කම අමාට අවුරුදු ගානකට කලින්  පරණ ක්‍රෂ් එකක් මතක් උනා!

ඒ දවස් වල එක්තරා පිරිමි ළමෙක් අමා ගැන පොඩි මෙව්වා එකක් පහල කරගෙන තිවුන  ලු… අමාට ත් එහෙම මෙව්වා එකක් තිවුනා වගේ ලු…

අමාගේ පවුල ගොඩක් නිදහස් විදියට හිතන සාම්ප්‍රදායික දේවල් එච්චර ගණන් ගන්න කට්ටියක් නොවන හන්දා අමා හැදුනේ වළාකුලක් වගේ සැහැල්ලුවෙන් නිදහසෙන්.
හැබැයි දැනුම් තේරුම් යනකම්, කරන්ට ඕනැ මොනාද, නොකරන්ට ඕනැ මොනාද කියන එක ගැන අමාට කියා දීල තිවුනේ. ඉතිං ආදර කතා කොහොමටත් අති භයංකර දේවල් උනේ නෑ. ඒ වයසේ ඉතින් කෝමත් මල් මල් වයස නෙව. පුංචි පුංචි කතා ගොඩයි! පුංචි පුංචි කතා යටින් සිරා කතාවක් අතරින් පතරේ ලියලුවේ නැතුවා නෙවි.

එව්වා කෝම උනත් මේක අර පුංචි මල් කතාවක්…

ඒ දවස් වල ඉස්කෝලේ අර ඩේ, මේ ඩේ කිය කියා එක එක ජවුසම් නේ…දන්නවා නේ තින්. ඔය ඩේ එහෙකදී අමා ට පොඩි රඟපෑමක් තිවුන ලු.
ඒක දැකපු එක්තරා පිරිමි ළමයෙක්  ට අමා ගැන තනිකරම වැරදි චිත්‍රයක් මවා ගෙන.

මෙහෙම වෙන්ට හේතු කීපයක් ලු:
1 – අමා ට තීන්නේ හෙනම අහිංසක පෙනුමක් ලු. (පෙනුම විතරයි ඈ )
2 – අමා රඟපාපු චරිතේ හ‍රී අහිංසක ලු.
3 – අමා ටිකාක් විතර එයා කැමති නිළියක් වගේ ලු.
කොටින්ම ඒ ළමයාගේ හිතේ උන්නු අවිහිංසක සිහින කුමාරි මොඩල් එක අමා කියල ඒකා හිතන් උන්නේ. පවු ඉතින් අමා හැබෑවට තනිකර අනික් පැත්ත. හී!
පොඩි පොඩි අඟර දඟර සීන් කීපෙකට පස්සේ අමාට ලැබුනා මේ ළමයා ත් එක්ක තනි පංගලමේ සුහද කතාවකට ඉඩ!
මොකද දන්නවද එයා කීවේ?
“අමා ඔයා ධීරේ ධීරේ සින්දුවේ ඉන්න අනූ වගේමයි!”

20912360.cms

බලාන්ට හරි අහිංසක පාට යි නේද

dheere
හලේ…අමා තින් කොහොමත් අණ්ඩපාල මොඩල් නේ.
අමා ට කියවුනේ මෙහෙම
“ඒ උනාට ඔයා ඒකෙ ඉන්න නළුවා වගේ නෙමී නේ අනේ”

 

ලීලාවතී කුමාරිහාමි ගේ දික් නොවුණු කසාදේ


kandy

මයේ ජීවිතේටම හම්බුවෙච්චි අහිංසකම මනුස්ස ප්‍රාණියා වෙන්නේ මයේ ආත්තම්මා හෙවත් ලීලාවතී කුමාරිහාමි නොහොත් අමාගේ අප්පච්චිගේ මව්තුමී.
උන්දැ ගේ ගම නුවර. කෑගල්ල පැත්තේ බොහොම වංසක්කාර වලව්වකට දීග ගිහින් තිවුනේ.

කෑගල්ල කියන්නේ ඉස්සර රජ්ජුරුවන්ගේ අන්ත:පුර බිසෝවරු ගාල් කරලා තිවුණු පැත්තක්ලු. ඒ හන්දා ඒ පැත්තේ රූපශ්‍රියා ජානය අධිසාන්ද්‍ර වෙලා තවමත් හරි ලස්සන ගෑණු උපදිනවලු!
ලස්සන ගෑනුන්ට දාව උපදින පුත්තුනට උනත් ඔය ජාන ලක්ෂණ පිහිටන්නේ නැතුවා නෙවේ නෙව!

ඔය කතන්දර කොහොම වෙතත් ලීලාවතී කුමාරිහාමිගේ අත ගත්තු වංසක්කාර පුත්‍රයා ටත් ඕනෑවට වැඩියත් ඔය ජානේ උරුම වෙච්චි. ඇත්දළ පාට ආරෝහ පරිණාහ දේහදාරී රූපේ ඉතරක් නෙවි සෙල්ලම් නිරිඳු විලාසේ සෙල්ලක්කාර නාස්තිකාර ජාන ඔක්කොමත් පෝලිමට උන්දැට ලැබිල තිඋනා. ඒ වාගේම, ගරා වැටෙන වලව්වකුත්, මාර දූවරු වාගේ නංගිලා රොත්තකුත්, ප්‍රවේණි කරුමෙට කර ගහපු ගමේ අනියම් ගැහැණු කීප දෙනෙකුත් මේ පුත්‍රයා ට උරුම වෙලා තිවුනා.

අනේ ඉතිං අහිංසක ලීලාවතී!
අන්ත:පුර පරම්පරා ගානක රූප ලස්සනක් උන්දැට තිවුනේ නෑ! වටකුරු මුණක් එක්ක තල එළලු හමක්, බොල්ලෑව දන්ත කල්‍යාණය ක් සහ එක රැල්ලක්වත් නොහිටින දිග කොණ්ඩයක් ඈට තිවුණා. සැමියා බිරිඳගේ දෙවියා ය කියල ඉස් මුදුනින් පිළිඅරං, දෑවැද්දට ඇතෙක් බරට ගොඩින් මඩින් වස්තුව අරං ඈ ආතා එක්කල කෑගලු වලව්වට දීග ඇවිත් තීන්නේ…

අමාට ආතා කීවම හිතට එන්නෙම හිච්චි ආතා.
ඒ උනත් ඒ අමාගේ අප්පච්චි ගේ පිය තුමා නෙවි. ඒ උන්දැ නොහොත් අර ලීලාවතී කරකාරෙට ගත්තු වංශක්කාර පුත්‍රයා ට අමා කීවේ කෑගලු ආතා කියල. කෑගලු ආතා ගේ මළගම යාන්තම් වාගේ අමාට මතකයි.
කෑගලු ආතා ගැන නැති හර්දයාංගම මතක තියෙන්නේ ආතම්මාගේ බාල මල්ලි හිච්චි ආතා ගැන!

ආතම්මාට වාගේම අවලස්සන දත් කුට්ටමක් තිවුනා හිච්චි ආතා ට. ආතම්මා ට වාගේම හරි ලස්සන හදවතකුත් තිවුණා උන්දැට!
එහෙම නැතිනං, දෑවැදි දේපල ඔක්කොමත් කාබාසිනියා කරලා, අයාලේ ත් ගිහිං කරපු ඔක්කොම නෙයියාඩගම් ඉවසං හිටි හිලව්වට, කසාද මිනිහා ගෙදරින් පන්නපු  තමන්ගේ අක්කණ්ඩි ව බාර අරං, අක්කණ්ඩි ගේ ළමයි තුන් දෙනා ත් හදාවඩා ගනීවිද?

කෑගලු ආතා මුලින්ම ආතම්මව ගෙදරින් එලෝලා තීන්නේ චුටි නැන්ද අත දරුවා කාලේ. එතකොට පවුලේ වැඩිමලා වෙච්චි අප්පච්චි ට අවුරුදු හයක් වගේ ලු. ආතම්මා ට අප්පච්චිව යි බාප්පව යි එක්කං යන්ට දීල නෑ. කිරි උරන චුටි නැන්ද ඉතරක් අරං යන්ට කියල. ආතම්ම තනියම චුටි නැන්ද ව එක අතකින් වඩාන, අනිත් අතින් මල්ලකුත් අරං වලව්වෙන් එලියට බැහැල. ආතම්ම දීග එද්දී නුවර වලව්වෙන් වැඩට එක්කරන් ආව හීං මැණිකා කියල ගෑණු කෙනෙකුත් උන්දැගේ ගැටවර වයසෙ කොළුවත්, ‘අපේ මැණිකෙට තනිපන්ගලෙම යන්ට දෙන්ට බැරිය’ කියල ආතම්ම එක්කල ඇවිදින්.

හය මාසයක් ඉතර ආතම්ම නුවර මහ ගෙදර හිටියම පයින්ඩයක් ආවලු වහාම කෑගලු එන්ටය කියල.
ඒ පයින්ඩ එවල තීන්නේ ආතම්ම නැති සාංකාවට බාප්පා හොඳටම අසනීප උනු හංදා.

ඒ පළවෙනි වතාව උනත් අන්තිම වතාව නෙවි. නොම්මර එකේ බෙබේ කෙනෙක් උණු කෑගලු ආතා ගේ වධ හිංසා නැති වෙලාවට නපුරු නෑනන්ඩිල ගේ වදේ. හැම දෙයක්ම මීක් නොකිය ඉවසං ඉඳල ආතම්ම.
කෑගලු ආත යන්ට කියද්දී යනවා. එන්ට කියද්දී එනවා.
ඕන් ඔහොම අවුරුදු ගාණක් ඇදී ඇදී ඒත් කවදාවත් දික් නොවුණු කසාදයක් ඒක!

 

මැදියම පිපුණු කුසුමක් – 21


<<මැදියම පිපුණු කුසුමක් 20

මදුරා පුර රාජකීය චර පුරුෂ ධර්මෙශ්වර් මහත් වියවුලකට පත්ව සිටියේය.
චර පුරුෂයා වනාහි සිය රාජ්‍යයට අවශ්‍ය රහස් සොයන්නා මිස, වැරැද්ද නිවැරැද්ද අනුව යුක්තිය පසිඳලන්නා නොවේ.එසේම රාජ අණ සැමවිටම යුක්තිසහගත විය යුතු වුවත් වූවත් එය එසේ නොවන බවද ඔහු දනී.
ධර්මෙශ්වර් ට අණ ලැබී තිබුණේ සිය රජ කුමරා අවමානයට පත් කර පලා ගිය හෙළ කුමරිය සොයා ගැනීමය. මදුරා රාජ සභාවේ සමහර බක පණ්ඩිතයන්ට අනුව, මේ ලක්දිව රජු විසින් හිතාමතා තම දියණිය සඟවා ගෙන, මදුරාව අවමානයට පත් කිරීමට සිදු කළ කූට ප්‍රයෝගයකි. වහාම ලක්දිවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ යුතු යයි ඔවුන්ගේ අදහස විය.
ඒ වන විටත් හිස් වෙමින් තිබුණු රාජකීය භාණ්ඩාගාරයට තවත් සංග්‍රාම පෙළක් නඩත්තු කළ නොහැකි බැව් දැන සිටි මදුරාවේ රජ කුමරා ට අවැසිව තිබුණේ හැකි තරම් සාමකාමී විසඳුමකට පිවිසීමට ය.
අතුරුදන් වූ කුමරිය සොයා ගැනීමට ධර්මෙශ්වර් ට අණ ලැබුණේ ඒ අනුව ය.

ෆරීදා ගෙන් දැනගත් හෝඩුවාව ඔස්සේ සොයා බැලූ කල දැනගත් තොරතුරු නිසා රැවුල් කරු සිටියේ නොසන්සුන් සිතිනි. අතුරුදන් වූ ලක්දිව රජ කුමරිය දැන් ඔහු අසළ බව ධර්මෙශ්වර් ට සැකයක් නොවීය.
එහෙත් හෙළදිව කුමරිය ට වෙදදුරා පිළිබඳ සැකයක් පහල වී ඇත්නම් වැඩි කල් නොගොස්ම තමාට ක්‍රියාත්මක වන්ට සිදු වෙයි.
නැතහොත් සිය නරපතියාණන් ගේ අණ ඉටු කිරීමට නොහැකි වනු ඇත.

ඔහුගේ මීළඟ පියවර කුමක් විය යුතුද?
කුමරිය පමණක් ජීව ග්‍රහයෙන් මදුරාවට රැගෙන ගියහොත් යුධකාමී රාජ සභාව ට මේ නිර්ලජ්ජිත පෙම් හබය පිලිබඳ සත්‍යය කිසිදා ඒත්තු ගන්වන්ට නොහැකි වන්නේය. එහෙයින් සාක්ෂි ඇතුව මේ වියවුල ලෙහන්නට නම් හෙළ කුමරියගේ රන්වන් හිසකෙස්  සහිත වල්ලභයා ද මදුරාව වෙතට රැගෙන යා යුතු ය.

ධර්මෙශ්වර් තීරණයකට එළඹිණි.
එය ක්‍රියාවට නං වනු වස්, ගොඩබිමක් හමු වන තෙක් සිටිය යුතුය. මීළඟ වරාය අද හෙටම දිස්වනු ඇතැයි ඉබන් වසියා පවසන හෙයින් එතෙක් ඉවසීමට ඔහු ඉටා ගත්තේය.

* * *

මේ අතර අල්-සෆීනාවේ තවත් කොණක මදුරා රාජ සභා පුරෝහිත ගේ කුලීහේවායෝ දෙදෙනෙක් බරපතල කසු කුසුවක යෙදී සිටියහ. හුදෙක් ‘කුලීහේවායෝ’ නොවූ ඔවුහු මදුරාවේ පුරෝහිතගේ කහවණු වෙනුවෙන් බොහෝ රහස් මෙහෙයුම් ක්‍රියාත්මක කළ අය වුහ.

“කුමාරි ව ධර්මෙශ්වර් හොයාගෙන කියලද හිතන්නේ?” මෙසේ ඇසුවේ දෙදෙනාගෙන් බාල පෙනුමක් ගත් මිනිසා ය.
“හ්ම්..ඒ ගැන කියන්නට බැහැ සම්පු. මොනවා උනත් ඔහු අති ශුර චර පුරුෂයෙක්”
“අති ශුර ! ඒත් අපි ගැන තවම ධර්මෙශ්වර්ට ඉව වැටිල නෑ.” සම්පු අවඥා සහගත සිනාවක් සහිතව පැවසීය. ඊට පිළිතුරු වශයෙන් මදක් වියපත් පෙනුමක් තිබුණු වයිප්පු නම් වූ අනෙකා කලේ උරිස් හැකිලීම පමණි. සතුරා අවතක්සේරු නොකිරීම යනු වයිප්පු ගේ දශක කිහිපයක කුලීහේවා ජීවිතයෙන් ඔහු උගත් මූලික පාඩමකි.

“ලංකා දීපේ කුමාරි මදුරාවට කැන්දන් නොඑන තැනට වැඩ සිද්ධ කරන්න ය කියා පුරෝහිත අපට දුන් රාජකාරිය, ඈම මාළිගයෙන් පැන ගිය එකෙන් හොඳටම ලෙහෙසි උනා නෙවද වයිප්පු?” සම්පු නැවතත් ඇසීය.
“ලෙහෙසි උනා ද නැද්ද කියන්න තවම කල් වැඩියි..මේ ධර්මෙශ්වර් නොහිටියා නම් කුමාරිට ඈත රටකට පැන යන්ට ඉඩ දී අපට අපේ ගාස්තුවත් රැගෙන පසෙකට වන්නට තිබුණා. නමුත් ධර්මෙශ්වර් ඈව හඳුනාගෙන මදුරාවට රැගෙන ගියොත්, මේ ලංකාදීපයේ රජ තුමාගේ කුමන්ත්‍රණයක් නොවන බව කුමරු රාජ සභාවට ඒත්තු ගන්වයි ලෙහෙසියෙන්ම” වයිප්පු බැරෑරුම් ලෙස පැවසුවේය.
“හඃ නුඹ නම් හැබෑ ශුභවාදියෙක් වයිප්පු!” සම්පු ඊට පිළිතුරැ දුන්නේ නොරිස්සුම් හඬිනි.

ලක්දිව කුමරිය හා ඇයගේ වල්ලභයා මාතොට දී අහම්බෙන් නෙත නොගැටෙන්නට මේ වන විට ඔවුන් පුරෝහිත සමඟ මදුරාවේ සව්දිය පුරමින් සිටින්නට තිබිණි. වයිප්පු ගේ ඕනාකමට ම අල්-සෆීනා වට ඔවුන් නැව් නැග්ගේ, ලක්දිව කුමරිය පිළිබඳ සැබෑ පුවත කිසිදා මදුරාවට සැළ නොවෙන්නට වග බලා ගනු වස් ය. කෙසේ වෙතත් නැවේ ධර්මෙශ්වර් සිටිනු දුටු පසු, එය නිවැරදි පියවරක් බව සම්පු ට වුවද පිළිගැනීම ට සිදු විය.
දැන් ඔවුන්ට තිබුණේ ධර්මෙශ්වර් ගේ සැලැස්ම කෙසේ හෝ නිෂ්එල කිරීම ය.
නැතහොත්, ලක්දිව ට එරෙහිව මදුරා ව අවුළුවා ලීමේ පුරෝහිත ගේ අභිමතාර්ථය ට වැට බැඳෙනු ඇති හෙයිනි.

පෙම් යුවළක ගේ ඉරණම, ඔවුන් කිසිදා හමු නොවූ බල ලෝභීයයන් විසින්, මෙසේ  ලියැවෙමින් තිබිණි.

හෙලන් දීගෙක ගිය හැටි!


SRjnr_Wed035730919_8163037.4582844_std හැබෑ ජීවිතේ ප්‍රේමය, සුරංගනා කතාවල එන විදිහේ සුරූපී රාජ කුමාරි සහ එයාව බේරාගන්න කඩවසම් රාජ කුමාරයා ගේ ප්‍රේම කතන්දරේට වඩා ගොඩක් වෙනස් වගේම අනපේක්ෂිතයි.

හෙලන්, එයැයිට වඩා අවුරුදු දහනවයක් වැඩිමල්, දියෙස් මහත්මයා ව  කසාද බඳින්ට මනාප වෙන්නේ ප්‍රේමයක් නිසා ද? මල් පිපෙන දඟකාර වසන්ත ඍතුව එක්කල සීතල දරදඬු හේමන්ත ඍතුව පෑහෙනවද?

හෙලන් අම්මම්මා ලංසි බාගයක් කියල කලින් කීවනේ…උන්දැගේ අම්ම ලංසි. තාත්ත සිංහල. ජාති ආගම් පෑහෙන්නේ නැති කසාදයක් කරගත් හන්දා පැති දෙකෙන්ම අයින් කරලා. ඒ හන්දා අම්මම්මට පොඩි සංදියේ වැඩි නෑදෑ ආස්සරයක් තිවිල නෑ. මයේ මී ආච්චි – ඒ කීවේ හෙලන්ගේ අම්මා- හෙලන් පොඩි දැරිවි කාලෙම නැතිවෙලා. මී ආතා නොහොත් හෙලන්ගේ තාත්තා තමා ආයම්ම කෙනෙක් තියාන හෙලන් දූ පොඩ්ඩ ලොකු මහත් කරලා තීන්නේ. හෙලන්ගේ තාත්තා රස්සාව කරලා තීන්නේ තේ වත්තක වෙච්චි, ලොකුවට මහා ධනස්කන්දයක් නැතිවට යහමින් කාල ඇඳලා ඉන්ට පුළුවන් කම තිවිල.

ඒ උනාට පහු පහු වෙන කොට මී අත්තා සැරේට වියදම් කරන්ට අරන්. ඉතුරුවක් නෑ වාගේම තියෙන දේඔලුත් විකුණන්ට යි උකස් කරන්ට යි අරන්. උන්දැ ගේ ඒ කල්ක්‍රියාව ට හේතු අම්මම්මා කවදාවත් කීවේ නැතුවා. කෝම නමුත් අන්තිමට අම්මම්මා ට අවුරුදු දාසය වෙද්දී, ණය බේරන්ට තිවුණු එකම දේපල වෙච්චි ගෙදරත් උකස් කරන්ට ඔන්න මෙන්න තිවිල තියෙන්නේ…

ඕන් ඔය සංදියේ තමා අම්මම්මාව අපේ සීයා නොහොත් දියෙස් මුදලාලි ට මුලිච්චි වෙන්නේ.

අඟ හිඟ කම් තිවුනට උපන් රූපේ මකන්ට බෑ නෙව. රූපේ ඉතරක්ය, ඒ ලපටි කාලෙත් අම්මම්මා ගේ ගමන බිමන බැල්ම ඔක්කොමත් නිකං මහා රාණි වාගේ ලු!

අමා ඉපදෙද්දී ඒ සීයා නැතිවෙලා. මගුල් ෆොටෝ වල දැක්කේ උස, පොඩ්ඩක් තට්ටය පෑදෙන්ට ගිය තලතුනා පිරිමි කෙනෙක්. දවසක් මට අවුරුදු දහතුනක් විතර කාලේ, අම්මම්ම එක්ක කදේ දාගෙන ඉන්න ගමං, මං ඇහුව ඇයි අම්මම්මා එච්චර ලස්සන පෙනුමක් නැති සීයට කැමැති උනේ කියල.

“අනේ දුවා පිරිමින්ගේ මොන ලස්සනද! ලස්සන නෙවි බලන්න සීය ඉන්න හැටි… ගවනර් වාගේ ස්මාර්ට් නේද”
උන්දැ එහෙම කියල හිනා උනා.

කොහොම හරි අර බක්කි කරත්තෙන් වඩින හෙලන් ව දැකල හිත ගිය දියෙස් මුදලාලි හෙලන්ගේ තාත්තාගෙන් දූ ඉල්ලලා කපුවෙක් එවල තීන්නේ දෑවැදි මුකුත්ම එපා කියලයි.

වයස ඉතරක් නෙවි, කුල ගෝත්තර, වත් පොහොසත් කම් අතින් උනත් දෙන්නා අහසට පොළව වාගේ.

සීය ගේ දෙමව්පියෝ ඒ වෙද්දී නැති වෙලා හන්දාත්, උන්දැගේ නංගිලා මල්ලිලා සේරෝම ගේ බර කරට අරං පවුල බලාගත්තු ‘ලොකු අයියා’ උනු හන්දාත්, උන්දැගේ තීරණ ඔලට මොකෙක්වත් උඩින් ගිහිං නැතුවා. ඒ හන්දා මේ කසාදෙටත් විරුද්ධ වෙන්ට කවුරුත් ඉඳල නැහැ.

ඕන් ඔහොමයි හෙලන්, දියෙස් මුදලාලි ගේ ගෙදරට ආවෙ!

 

හෙලන් ගේ ලව් කේක් !


පහුවුණු සති අන්තයේ හාදයා ට ලව් කේක් කන්ට දොළ දුක් පහල වෙලා අමා හදල දුන්නා. ලව් කේක් කියන්නේ අටෝරාසියක් ජාති දාල හදන කේක් එකක්. ඒකෙ ඇතුල තෙතට උඩ හයියට තියෙන්ට ඕනැ.
ලව් කේක් හදන්ට අමාට කියා දුන්නේ අම්මම්මා.
අමාට අම්මම්මා ව මැවෙනවා… අමා දකිද්දී උන්දැගේ කොන්ඩේ ඔක්කොම සුදු වෙලා. කොණ්ඩය කොටට කපා හිටියේ ඒ වෙද්දී සෑහෙන්න කොන්ඩේ ගිහිං තිබිච්චි හන්දා. ඈ සුදුයි, හීන්දෑරියි, ටිකක් විතර උස යි. උල්වුනු නිකටක් එක්ක ලස්සන දිග බෙල්ලක් තිබුණා.

අම්මම්මගේ දූ හෙවත් අමාගේ මෑණියන්දැ සුකුරුත්තම් ඉවුම් පිහුම් ගැන වැඩි උනන්දුවක් නැති නිසා  උන්දැ ගේ රෙසිපි සේරෝම සින්නක්කරේ ලියල දුන්නේ අමා මිණිබිරි පොඩ්ඩ ට.

අම්මේ ඒ දවස්වල අම්මම්මා යි අමායි ඔයි රෙසිපි පොත් පෙරළන් නටපු ජවුසන්!

අම්මම්මා ගාලු ඉන්න කොට ඉස්කෝල නිවාඩුවට අමා එහෙ නතර වෙනව. ආයේ මොනාද තින්..පේස්ට්‍රි ද කට්ලට් ද මොස් ජෙලිද කේක් ද ඔයි එකේක ජාති!
සේරෝම හදන හැටි ලියල තීන්නේ උන්දැ ගේ සුප්‍රසිද්ධ රෙසිපි පොතේ.

හවසට අපි දෙන්නා උණු උණු තේ බොන්නේ බීරළු කැටයම් වැරන්ඩාවේ වේවැල් පුටුවල ඉඳගෙන.

තේ බොන ගමන් අම්මම්මා මට පරණ කතා කියනවා. එයා පොඩි සංදියේ, තරුණ සන්දියේ වෙචිචි දේවල්…

ඔය පරණ කතා මගේ මනසේ ඇඳෙන්නේ කළු සුදු නැත්නම් සේපියා වර්ණ වලින්.

පොඩි සංදියේ මං හිතාන උන්නේ ඉස්සර ලෝකේ කළු සුදු ඉතරයි කියල! ගාලු අම්මම්මා ගේ අල්මාරි අස්සෙයි, නුවර ආතම්මගේ ට්‍රන්ක පෙට්ටි අස්සෙයි, අහුමුලු ඔල දාල තිබිල, මං ඇදල අරං හිට, පෙරලා පෙරළා බලපු පින්තූර ඇල්බම් සේරෝගේම තිවුණේ ඒ පාට හන්දා මට එහෙම හිතෙන්ට ඇති.

mamma10

අම්මම්මා පවුලේ එකම ළමය වෙච්චි, හරි හුරතලේට හැදිලා තීන්නේ.

අතට පයට ඔක්කොම කරන්ට කට්ටිය හිටි නිසා දීගෙක යනකම්ම දෑතේ වැඩක් කරලා නැතුවා. පියානෝ ගහන්ටයි ලේස් ගෙතුම් වැඩයි කේක් හදන්ට යි ඇරෙන්ට කුස්සියේ ලිග්ගල් අස්සේ දැලි ගාගන්ට, පොල් ගාන්ට, පිටි කොටන්ට වාගේ බරපතල වැඩ නම් මුකුත් කරන්ට ගිහිං නැතිලු.

ළමිස්සි කාළේ උන්දැ කන්‍යාරාමෙට ඉස්කෝලේ යනවලු බක්කි කරත්තේ නැගල.

අම්මේ බලන්න එපාය හෙලන්ගේ ආඩම්බර කරත්තේ යන කොට! හිනා කඳුලක් නෑ මුණේ. ඔය තරුණ  ගැටවු බල බල උන්නට එකෙක් ගානකට ගත්තේ නෑ හෙලන්!

ඔහොම කියන්නේ ලොකු ආච්චි.
එයා තමා අම්මම්මගේ ලොකු නෑනා. එතකොට නම් ලොකු ආච්චි ඔව්ව කියන්නේ හිනා වෙවී. ඒ උනත් ඒ කාලේ ලොකු ආච්චිත් තරුණ දැරිවි වෙලා හිටි කොට, මධුබාලා වාගේ අම්මම්ම ඔහොම යනව දකිද්දී, එහෙමට පෙනුමක් ලස්සනක් නැති ලොකු ආච්චිට හීනි දුකක් ඉරිසියාවක් දැනුණා කියලා උන්දැම මා එක්ක කියලා තීනවා.
හැබැයි සීයා අම්මම්ම ව කැන්දන් ආවට පස්සේ නෑනලා දෙන්නා ගජ යාලුවෝ වෙලා තීනවා. අමා ලොකු වෙලා දෙන්නා වයසට ගිහිං, දෙන්නගෙන් එක්කෙනෙක් නැතිවෙනකම්ම ඒ යාළුකම් තිවුණා. ලොකු ආච්චි නැතිවුණු වෙලේ අම්මම්ම විස්සෝප උනා ලොකු ආච්චිගේ අනිත් නංගිලා වගේම.

ලංසි බාගයක් වෙච්චි හෙලන්, හරි මෝස්තරේට පිළිවෙලට ඇඳුම් ආයිත්තමුත් ඇඳ පැළඳගෙන යනකොට ඒ දිහා නොබලපු තරුණයෙක් ඉඳල නැතිව ඇති.

අම්මම්මා වයසට ගියත් හරි පිරිසිඳු වට පිළිවෙලට ඇඳපු කෙනෙක්. කෙස් ගහක්වත් එහා මෙහා නොයන්න කොණ්ඩේ පීරලා කටු ගහල, සාය ගවුම හොඳට මැදල මිසක් ආයේ අමා ට වත් ඈ ගමනක් යන්ට දෙන්නේ නෑ. අමාට ඉස්ඉස්ලෙල්ලම සාරියක් අන්දලා, සාරිය ලස්සනට පෙනෙන්න ඇවිදින විදිහ, වාඩි වෙන විදිහ ඔක්කොම කියා දුන්නේ අම්මම්මා. උරිස් පස්සට කරන්, නිකට උස් කරන් කුදු නොවී ‘කුල කාන්තාව’ වාගේ ඉන්ට ඕන කියල ඈ අමාට අවවාද දුන්නේ. ඔය ‘පුහුණුවීම්’ කරද්දී අම්මා නම් හොරෙන් හිනා වෙනවා මතකයි!

ඒ කාලෙත් එහෙම නම් ළමිස්සි කාලේ කොහොම මෝස්තරයක් තියෙන්ට ඇද්ද?!

ඔහොම සුකුමාරෙට අහංකාරෙට බක්කි කරත්තෙන් වඩින මේ රූප සුන්දරී ව දවසක් අහම්බෙන් වාගේ දැකපු පළාතේ තලතුනා මහතෙක්ට මේකට හිත ගිහිං…
එතකොට ඈට යාන්තම් දාසයයි.
ඔහු තරුණ විය ඉක්මවමින් තිස් පස් වෙනි වියටත් ලං වෙමින්…

මැදියම පිපුණු කුසුමක් – 20


<<මැදියම පිපුණු කුසුමක් – 19

කෙමෙන් ගෙවී යන මැදියම් යාමයේ නැව් කවුළුව තුලින් ගලන සඳ එළියෙන් නැහැවුණු ෆරීදා ගේ සිරුර දෙස ඔහු බලා සිටියේය. ඒ දුටු ෆරීදා ගේ මුහුණෙහි ඇඳී ගියේ දැකුම්කලු සිනහවකි.
දහසක් පිරිමි නෙත් හමුවේ නිරුවත් වන ඈ හට ඒ සියල්ලම හුදු ගැනුම්කාරයින් පමණි.
එහෙත් ඔහුගේ කල්පනාකාරී බැල්ම හමුවේ සියොලඟම සියුම් කිතියකින් කළඹෙන්නේ මන්ද යයි ඇයට තේරුම් ගත නොහැකි විය.


“දන්නවද…” ඇය මේ අර අඳින්නේ කුමක් හෝ ඕපා දුපයක් කියන්ට බව ඔහුට දැනුනි.
ඈ නොදනිතත් ඔහුට ඕපාදුප වැදගත් ය.
“අද අලුත් කෙල්ලක් ඇවිත් තැබෑරුමේ හොර ගල් අහුල අහුල හිටියනේ. මා ව අහල. ඔය එන්නේ මොකටද කියල මන් නොදන්නවය. හඃ වැඩ ඉල්ලගන්ට තමයි! ආයේ දෙකක් නෑ! හැබැයි හරි ලස්සන කෙල්ල”
ෆරීදා මුදා හල දිගු කෙස් කළඹ අතරින් අතැඟිලි යවමින් අවුල් හරින්නට පටන් ගත්තද කතාව නැවත් වුයේ නැත.
“අර අන්තිම වරාය මොකද්ද? මේ ඇත්තෝ නැව් නැග්ගේත් ඒ රටෙන් වෙන්ට ඕනේ..ආන්න එහෙන් ආපු එකියක් වාගේ මට නම් හිතුනේ කතාවෙන් පෙනුමෙන්. හා මෝඩ කෙල්ල! මගෙන් අහනවා මෙහි යන එන අය ගැන…..ඈගේ සොහොයුරා මෙහි යන එනවද කියල දැන ගන්ට ලු ඕනා. ..අර වෙදදුරා ලු ඈට කීවේ ඔහු මා ලඟට එන වග…වෙදදුරා! හඃ අනේ මගේ කට! “


මෙතෙක් වෙලා අඩ සිහියෙන් මෙන් වෙසඟන ගේ දෙඩවිල්ල ට සවන් යොමා සිටි ඔහු, ‘වෙදදුරා’ නම ඇසුණු විගසින් සම්පුර්ණ අවධානය ඇයගේ ‘ඔපාදුපය’ ට යොමු කළේය.
“ඉතින්…මට තේරුනා මෑට මා ළඟ වැඩ කරන්ට ඕනි වෙලා මේ බොරුවට දොඩනවා කියල. නැතිනම් වෙදදුරා කොහේ එනවද මෙහෙ! ඒ ඇත්තෝ කීව කිව්ව එක තනිකර මුසාවක් නේ.”
ඔහු මුල් වතාවට සිය හඬ අවදි කළේය. ” ඇයි? වෙදදුරා මෙහි එන්නේ නැතිද?”


ඊට පිළිතුරු වශයෙන් ඈ කලේ හඬ නගා සිනාසීම ය. “ඒ ඇත්තොන්ට දෙන්ට තරුණ ගැටවු ඉන්න එකක්ය මා ළඟ!”


ෆරීදා ගේ සමච්චල් සිනහවට ඔහුද හවුල් වුවද වෙදැදුරු ගැන සොයන මේ යුවතිය පිලිබඳ සොයා ගත යුතු බව ඔහු අදිටන් කර ගත්තේ සිය උඩු රැවුල දබරැඟිල්ලෙන් අඹරමිනි.

<<මැදියම පිපුණු කුසුමක් – 18

<<මැදියම පිපුණු කුසුමක් – 17

<<මැදියම පිපුණු කුසුමක් – 16

<<මැදියම පිපුණු කුසුමක් – 15

<<මැදියම පිපුණු කුසුමක් – 14

<<මැදියම පිපුණු කුසුමක් – 13

<<මැදියම පිපුණු කුසුමක් – 12

<<මැදියම පිපුණු කුසුමක් – 11

<<මැදියම පිපුණු කුසුමක් – 10

<<මැදියම පිපුණු කුසුමක් – 9

<<මැදියම පිපුණු කුසුමක් – 8

<<මැදියම පිපුණු කුසුමක් – 7

<<මැදියම පිපුණු කුසුමක් – 6

<<මැදියම පිපුණු කුසුමක් – 5

<<මැදියම පිපුණු කුසුමක් – 4

<<මැදියම පිපුණු කුසුමක් – 3

<<මැදියම පිපුණු කුසුමක් – 2

<<මැදියම පිපුණු කුසුමක් – 1

මැදියම පිපුණු කුසුමක් – 19


<<මැදියම පිපුණු කුසුමක් – 18

කුටියට ආ හේවායා සිය කර වටා දැවටු සාලුව ගෙන බිත්තියේ එල්ලුවේය. ඔහු එන තෙක් බලා සිටි කුමරිය ඔහු වෙත දිව ගොස්, ඔහුගේ බඳ වටා දෙඅත් යවා තුරුළු වුයේ සෙනෙහසිනි. ඔහුගේ පිටි උරපත්තේ මුහුණ හෙවු ඇය ළය පිරෙන්නට දිගු හුස්මක් ගත්තාය.

සිය පෙම්බරයාගේ ගතෙන් නැඟ එන සුවඳ මෙන් වෙන කිසිවක් ළඳකගේ සිත උණුසුම් කරයිද?
“සීදේවි …”
එහෙත් හේවායාගේ ස්වරයෙහි වුයේ කණස්සල්ලකි.
“මම අර වෙදා ගැන ඇහැ ගහගෙනයි හිටියේ…මිනිහා කහවනු වලට කෑදරය කියල මට අහන්ට ලැබුනා නැවේ මිනිස්සුන්ගෙන්..”
“කහවණු වලට කරන්ට බැරි දේවල් බොහොම හිඟයි මැණික. අපි ළඟ කහවණු නැහැනේ…ඉතින් වෙදරාළ මුකුත් කරනවා දුටුවද?”
“මම එහෙමම දුටුවේ නැහැ සීදේවි…ඒත් ළඟකදී පටන් මිනිහා අතේ කහවණු ගැවෙසෙනවා ය කියලයි තැබෑරුමේ කියන්නේ. මට සැක ඒ ගැනයි…කොහොම නමුත් කුමරී තවම නැව ගොඩ බිමක් පෙනෙන තෙක් මානයේ නැහැ. ඊළඟ නැවතුම වෙන්න ඕනා බෙරෙනිස්…මිසරයේ…එතෙක් ඔය කොයි එකාට උනත් අපට කිසිත් කරන්ට බැහැ. මොකද අපිව කම්මුතු කරන්ට ඕනා නම් දැනටමත් නැවෙන් ලුහුදට තල්ලු කරන්ට තිබුනා! හඃ… බෙරෙනිස් ලං වද්දී අපි ප්‍රවේසම් වෙන්න ඕනා”

යටි තොල සපා ගත් කුමරිය මද වෙලාවක් කල්පනා කළාය. වෙදැදුරා ඔවුන්ව පාවා දුන්නා නම්, නැවේ ගමනාන්තයට ළඟාවීමට පෙර, ඒ කා හට දැයි සොයා ගත යුතු ය.
රජ වාසල ජීවිතයෙන් ඇය එක් දෙයක් උගත්තා නම්, ඒ කහවණු පුරඟන න් වෙතට ද, පුරඟන සියලු රහස් වෙතටද මග පෙන්වන බව ය. නෞකාවේ පුරඟන න් අතලොස්සකි. එහෙත් ඔවුන් හමුවන්නේ කෙසේද? හේවායා නම් තමා එවන් එකියක හා ගැවසෙනවාට තදින් විරුද්ධ වනු බව ඇය දත්තා ය.

එහෙත් මේ ඔහුට කළ හැක්කක් නොවේ. තමාම කළ යුත්තකි.

<<මැදියම පිපුණු කුසුමක් – 17

<<මැදියම පිපුණු කුසුමක් – 16

<<මැදියම පිපුණු කුසුමක් – 15

<<මැදියම පිපුණු කුසුමක් – 14

<<මැදියම පිපුණු කුසුමක් – 13

<<මැදියම පිපුණු කුසුමක් – 12

<<මැදියම පිපුණු කුසුමක් – 11

<<මැදියම පිපුණු කුසුමක් – 10

<<මැදියම පිපුණු කුසුමක් – 9

<<මැදියම පිපුණු කුසුමක් – 8

<<මැදියම පිපුණු කුසුමක් – 7

<<මැදියම පිපුණු කුසුමක් – 6

<<මැදියම පිපුණු කුසුමක් – 5

<<මැදියම පිපුණු කුසුමක් – 4

<<මැදියම පිපුණු කුසුමක් – 3

<<මැදියම පිපුණු කුසුමක් – 2

<<මැදියම පිපුණු කුසුමක් – 1

Previous Older Entries