ඔබ ආකර්ෂණය වන්නේ කාටද? – Atlas Shrugged



“හරියටම සැක නැතිව කියන්න පුලුවන්ද මම ගෑණු පස්සේ දුවන එක ඇරෙන්න වෙන වැඩක් කරන්නේ නැහැ කියල?”
“ඔහේ කවදාවත් එහෙම නැහැ කියල නැහැනේ”
“හඃ මොකටද මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ. එහෙම පෙන්නන්න මම කොච්චර මහන්සි උනාද!”
“ඒ කියන්නේ ඒ කතාව බොරු කියලද?”
“ඔහෙට මාව පේන්නේ හීනමානයෙන් පෙලෙන සෙල්ලක්කාරයෙක් හැටියෙටද?”
“දෙවියම්පල්ල නැහැ!”
“ඒ වගේ වැදගැම්මකට නැති එකෙක් තමයි ඔහොම වැඩ කරන්නේ”
“ඒ කිව්වේ?”
“මතකද මම ධනය සහ හේතු ඵල ධර්මය ප්‍රතිවර්ත කරන්න හදන මිනිස්සු ගැන කිව්ව දේ? මනස වෙනුවට බලෙන් පැහැරගත් මනසේ නිෂ්පාදන ආදේශ කරන්න හදන මිනිස්සු? … තමන් නීචයෙක් කියල සලකන මිනිහ ආත්ම අභිමානය ඇතිකර ගන්න හදන්නේ මෛථුන වික්‍රමයන් වලින්. නමුත් මේක අසාර්ථක වෙන්නේ ලිංගිකත්වය කියන්නේ ආත්ම අභිමානයේ හේතුව නොවන නිසා. ලිංගිකත්වය මනුෂ්‍යයෙක්ගේ ආත්ම අභිමානයේ ඵලයක් සහ ප්‍රකාශනයක්.”
“ඒක තව පැහැදිලි කරොත් හොඳයි”
“මෙතන එකම දේ තියෙන්නේ. ධනය ලැබෙන්නේ භෞතික සම්පත් වලින් කියල සහ, ධනයට බුද්ධිමය මුලයන් හෝ අර්ථයක් නැහැ කියල හිතන මිනිස්සුම තමයි – ලිංගිකත්වය කියන්නේ මනසෙන් ස්වාධීනව ක්‍රියාත්මක වෙන කායික ශක්‍යතාවක් කියල හිතන්නේ. හේතුව එකයි. ඔවුන් හිතන්නේ, ශරීරය විසින් ආශාවන් හදල තේරීමක් කරනවා කියල. ඒක හරියට යකඩ කුට්ටි ඉබේම රේල් පාරක් වෙනවා වගේ!

ආදරේ අන්ධයි කියලයි ඔවුන් කියන්නේ. අනුරාගය ට කිසිම තාර්කික හෝ දාර්ශනික හෝ පදනමක් නැතිලු. නමුත් ඇත්තටම මිනිහෙක් ගේ ලිංගික ආකර්ෂණය තීරණය කරන්නේ ඔහුගේ මුලික විශ්වාශයන්.

මිනිහෙක් ආකර්ෂණය වෙන දේ කිව්වොත්, මම කියන්නම් ඔහුගේ ජීවිත දර්ශනය! ඔහු නිදිවදින ගැහැණිය පෙන්වුවොත් මම කියන්නම් ඔහු තමන්ව තක්සේරු කරන්නේ කොහොමද කියල. පරාර්ථකාමීත්වය ගැන කොච්චර කෑගැහුවත්, රමණය කියන්නේ හෘදයංගමව ම ආත්මාර්ථකාමී ක්‍රියාවක්. ඒක තමන් ගැන හීනමානයෙන් නොවෙයි, උද්දාමයෙන්, අනිකාට තමන් ගැන ඇති ආශාව ගැන ඇති නිසැක ආත්ම අභිමානයෙන් යෙදෙන ක්‍රියාවක්.
ඔහුට මේ වෙලාවේ කයින් මෙන්ම අධ්‍යාත්මයෙනුත් නිරුවත් වෙලා, තමාගේ සැබෑ ආත්ම ප්‍රතිභිම්බය සමග මුහුණට මුහුණ සිට ගන්න සිදුවෙනවා. ඔහු හැමදාම ආකර්ෂණය වෙන්නේ ඔහුට ඔහු ගැන තිබෙන තක්සේරුවට ප්‍රතිබිම්බිතව දක්වන ගැහැනියකට.
තමා ගේ වටිනාකම ගැන හදවතේ ගැඹුරුම තැනින් නිසැකවම දන්නා කෙනා ආකර්ෂණය වන්නේ ඔහුට සොයාගන්න පුලුවන්න උසස්ම ගැහැණියට – ඔහු උතුම් කොට සලන, ගෞරවයෙන් සලකන, ශක්තිමත්, ඒ වගේම අභිබවනය කිරීමට අපහසුම ගැහැණියට. ඒ මොකද කිව්වොත්, වීරවරියකගේ ස්වාමීත්වය ලැබීමෙන් පමණයි ඔහුට සතුටු වෙන්න පුළුවන් – මොළේ කලඳක් නැති බොළඳ අධම ස්ත්‍රියකගේ ස්වාමියා වීමෙන් ඔහුට පළක් නැහැ”

Atlas Shrugged Pg 489-490

පෙර කොටස් >>

නිකම්ම නිකම් වළල්ල ක්…

සටනේ තවත් කොටසක්

පලි:  පින්තුරේ ගත්තේ මෙතනින්. පින්තුරේ ඉන්නේ මාරි සහ පියරේ කියුරි.

ගුරුකම – 2 කොටස


<<පළමු කොටස

උකස් බදු කඩේ ඉඳන් ගෙදෙට්ට අඩිය තියද්දීම මල්ලි ගෙදර ඇවිදින් කියල මට තේරුණා. ‘මද්දු ආවද’ කියාගෙන හොර පුසා වාගේ ආවේ සල්ලි ගැන අහන්න තමයි. නැත්තන් වෙනදට රෑ දෙක තුන ගෙදරින් පිට ඉන්නේ මං උන්නද මලාද කියාලා වගක් නැතිව.
මං කතාවක් නැතිවම නෝට්ටු මිටිය මෙසේ උඩින් තිබ්බ.
මල්ලිගේ ඇස් දෙක යන්තන් දිලිහුනා.

***

ගුරුකම කරවාගන්න මල්ලිට තනියම යන්න දෙන්න හිත දුන්නේ නැත්තේ ඌ ගැන තිබ්බ අවිස්වාසෙටත් වඩා කට්ටඩියා මගඩියක් කරාවි කියල බය හිතුනු නිසා. එන්ට කියල තිබ්බේ රබර් වත්ත පහු කරාම හම්බෙන පීල්ල ගාවට. ගලා යන දිය පාරක් ඕනි කිව්වේ. දීල තිබ්බ වෙලාව ත් මහා මුසලයි. හවස 6 ට. පොඩි කාලේදී නං අම්ම අපට ඉර බස්සයින් පස්සේ ඔය පැත්තේ යන්ට දෙනවා බොරු.


අපි පීල්ල ගාවට යද්දී ඇවිදලම මට හොඳටම මාන්සියි. ගේන්ටය කියල තිබ්බ අඩුම කුඩුම මල්ල මට දීල මල්ලි වට පිට බැලුව. කෝ මේ
ගුරුන්නාන්සේ?

“උඹල වෙලාවට ආපු එක හොඳා. නැත්තන් රාහු කාලෙට අහුවෙනවා”
එක පාරටම පිටිපස්සේ පඳුරු අස්සෙන් කවුදෝ කියාගෙන මතුවුනු තාලෙට මම නම් ගැස්සුනත් එක්ක.


“කෝ කෝ එහෙනං ආවනං මෙහෙට. සිරිදාස උඹ ඇවිත් කමිසේ ගලෝල මෙන්න මෙතනින් දිගා වෙයන්”
ගුරුන්නාන්සේ පීල්ල ලඟට වෙන්න තිවුණු ගල් පොත්ත පෙන්නල කිව්වේ මං දිහාත් ඇහැ කොනකින් බලන ගමන්.


ඊට පස්සේ නොතේරෙන මන්තර වාගේ මොනවදෝ මහා ගොඩක් මිනිහ එක දිගට ජප කරා. කිසිම ගැලපිල්ලක් නැති තාලයක් නැති ඒ ජප කිරිල්ල ඇහිච්ච මට නම් හිතුනේ මේ මිනිහා බොරුවට නිකම් කටට එන එකක් කියල අපිව රවටනවා කියලයි. ඒත් මල්ලි නම් පුදුම සද්ධාවකින් ඇස් දෙකත් වහගෙන ගල් පොත්තේ දිගෑ වෙලා.
හ්ම්… මේකටත් අපි කියන පන්සලකට තමා යන්න බැරි. කොච්චර නම් මූ මට අසමජ්ජාති කතා කිව්වද මං ගමේ ඈයෝ එක්කල දඹුලු ගිය වෙලේ.


“ඔය මොනවාදැයි ඔය කෝප්පේ බොන්න දෙන්නේ?”
කට්ටඩිය මොනවදෝ වක්කරල මල්ලිට බොන්න දෙනවා දැක්ක මට කට පියාගෙන ඉන්න බැරි උනා. කව්ද දන්නේ මේකා මොනවත් වසක් විසක් දීල පැනල යාවිද කියල?


කට්ටඩිය මා දිහා ඔරවල බැලුව මිසක මුකුත් කීවේ නැහැ.
මල්ලි කෝප්පේ අතින් අරන් බීගෙන බීගෙන ගියේ අමුර්තේ වාගේ.


මොකද්දෝ පිත්තල පතුරක් අරන් කට්ටඩිය මල්ලිගේ බඩ උඩින් තිබ්බ.
“මේක අපේ අප්පුච්චගෙන් මට ලැබුන බොහොම බලගතු යන්තරයක්” කට්ටඩිය කිව්වේ මටද මල්ලිටද කියල මට තේරුනේ නැහැ.
“අප්පුච්චගේ මුත්තා ඉන්දියාවෙන් ආපු හොඳ යන්තර මන්තර දන්නා ගුරුන්නාන්සේ. එහෙව් පරම්පරාවකින් එන සාස්තරයක් මේක. අපේ පවුලේ දොළොස්දෙනෙක් ඉන්දැද්දී අප්පුච්ච මට විතරමයි මේ සාස්තරේ දුන්නේ.”
කට්ටඩිය උන්දැගේ පුරාජේරුව කියෝනව. හුහ්…! යන්තරේ බල බලන්න බැරිය අදින් පස්සේ. බලමුකො මලය අරක්කු කටේ ගෑම නවත්තයිද කියල. හැබැයි පුතෝ… උඹල මාව ගොනාට අන්දන්න හිතන්න එපා…
“කට කට!”
මටත් නොදැනී මම තනියම හිතේ තිව්ව ඒවා කියවන වග තේරුනේ කට්ටඩිය සැර කරාම.


කට්ටඩිය ඉන් පස්සේ අනම් මනම් මහ ගොඩක් ජාති කරා. වැලි ඉස්සා. මැතිරුවා.පරල වෙලා ඇස් උඩ දාගෙන කෑ ගැහුවා. මල්ලි ඔය ඔක්කොම අස්සේ වැඳගෙන ඇස් පියාන හිටිය වෙව්ල වෙව්ල.


කට්ටඩිය ඉන් පස්සේ අනම් මනම් මහ ගොඩක් ජාති කරා. වැලි ඉස්සා. මැතිරුවා.පරල වෙලා ඇස් උඩ දාගෙන කෑ ගැහුවා. මල්ලි ඔය ඔක්කොම අස්සේ වැඳගෙන ඇස් පියාන හිටිය වෙව්ල වෙව්ල.


“ඕං නමෝ නමෝ
ඒස්වාහඃ!”
උඩ පැනල කැගැහුව කට්ටඩිය තුහ් ගාල කෙල ගහල කොන්දට අතත් තියාන හෙමින් සීරුවේ වාඩි උනේ “ඕන් දැන් හරි” කියාගෙන මල්ලිට තට්ටුවකුත් දමාගෙනයි.
මල්ලිට දාඩිය දාල හොඳටෝම. ඇස් ඇරිය හැටියේ ඔක්කාරෙට එනවා කියල වමනේ දාන්න ගත්ත.


“උඹ මොනවාද මූට බොන්න දුන්නේ?”
මල්ලි වමනේ දාන්නේ මොකක් හරි විස වෙලාවත්ද කියල බය උණු මම ඇහුවේ කට්ටඩිය ගෙන්. ඒ මිනිහ ට වගක්වත් නැහැ.
“උඹට තේරෙන්නේ නැහැ මේවා. ඇඟේ තියෙන හුනියම එලියට එන්නේ ඔහොමයි. පණ්ඩිත නොවී හිටහන්…”


හොඳයි ගුරුන්නාන්සේ… බලමුකෝ හුනියම ගියාද කියල…


“ගුරුන්නාන්සේ…උඹ වංචාවක් කරා නම් මගෙන් බේරෙන්න වෙන්නේ නෑ. මේ ගුණවතී කව්ද කියල උඹ දන්නේ නෑ”
“හුහ්… ගුණවතී… සිරිපාලට වඩා ලොකු හුනියමක් උඹට වැදිලා තියෙනවා. උඹේ යකා එලවන්න නම් මේ වගේ දෙ තුන් ගුණයක ගුරුකමක් කරන්න වෙනවා.”
“මොකක් කිව්වා? මේ යසට ඉන්න මට මොකාද වැහිලා ඉන්න යකා? උඹ හදන්නේ මාවත් අන්දන්නද?”
“යසට ඉන්න?”
කට්ටඩිය කට ඇද කරන් හීනියට හිනා උණු තාලේ මට ඇල්ලුවේ නැහැ.


“ගුණවතී, උඹ අද ගෙදර ගිහින් කන්නාඩිය ඉස්සරහට ගිහින් දහයේ ඉඳන් ආ පස්සට ගණන් කරහන්. එක වෙනකන් උඹට ගණන් කරගන්න පුළුවන් උනොත්… උඹට බැරි වෙනවා ඒක. අන්න ඒකටත් මා ගාව තියෙනවා මන්තර…”
“උඹේ ඔය විකාර මට වැඩක් නැහැ. මට ඔය මන්තර ඕනෑන්නේ නැහැ. හැබැයි මලය අදින් පස්සේ ගිනි වතුර කටේ තිබ්බොත් මම උඹට…”
මල්ලි මගේ අතින් ඇදල ගත්තු නිසා ඉතුරු ටික කියාගන්න උනේ නැහැ. මටත් ඕනේ වෙලා තිබ්බේ එතනින් පැන ගන්නයි කොහොමත්.


ආපහු එන ගමනේදී මල්ලියි මායි අතර කතාවක් බහක් උනේ නැහැ.


බලමුකෝ ගුරුකමේ බලේ…ඇඳට වැටිලා චීත්තෙට ගුලිවෙන ගමන් මම හිතුව.

ගුරුකම වැඩ කලාද? ඊළඟ කොටසින්

සටනේ තවත් කොටසක් – Atlas Shrugged


ඇය සිය කාමරයේ දොර දෙසට හැරුනේ නැත. ඔහු නොසෙල්වී සිටියේය. ඔවුන්ගේ සමීපයේ වූ සඳලු තලයේ සිහින් අත්වැලෙන් ඔබ්බට හිස් අවකාශය පැතිරී තිබුණි. තෙල් ළිං වල ලකුණු හඟවන වානේ දඬු වලින් පහත ප්‍රපාතාකාර බෑවුම හැඩ වී ඇති සෙයකි. ඈතින් ටැගාට් දුම්රියේ විදුලි බුබුළු දැල්වෙනු පෙනුනි. ඊටත් එහා ඇසට පෙනෙන නොපෙනෙන මායිමේ කුඩා හතරැස් කොටුවක් සේ දිස්වුයේ පාලමයි.
හඬක් හෝ චලනයකින් තොර රිද්මයක් වැයෙනු ඇයට දැනිණි. ඇගේ ටැගාට් දුම්රිය, නව දුම්රිය මාර්ගයේ තවමත් වේගයෙන් දුවනු ලෙසිනි. නිහඬ අණකට විරුද්ධව පිළිතුරක් දෙන ලෙසින් ඇය සෙමින් හැරී ඔහු දෙස බැලුවාය.

ඔහුගේ මුහුණේ රැඳි බැල්ම දුටු විට, ගමනාන්තය හමුවුණු බවද, එය එසේම වන බව ඇය දැනගෙන සිටි බවද, පළමු වරට ඇය වටහා ගත්තාය. වෙනත් පිරිමි මුහුණක ඒ බැල්ම ලියවෙන ආකාරයට වෙනස්ව ඔහුගේ මුහුණ ඇඳී තිබුණි. අමනෝඥ සහගින්නක් පිළිබිඹු වන ආකාරයට මුහුණේ  මස් පිඬු ලිහිල් ව, දෙතොල් ඇරී තිබුනේ නැත. ඒ වෙනුවට එහි වුයේ සුනම්‍ය බැල්මකි. මේ නිසා අමුතු නිර්මලත්වයක් සහ තාරුණ්‍යයක් ඔහුට ආරෝපණය වූ සේය. උවනේ රේඛා තදින් බැඳ ඇති සෙයකි. දෙතොල් තදින් පියවී තිබුණි. තීව්‍ර දෑස පමණක් බොඳවී ගොස්ය.

මුලින් දැනුනු තිගැස්ම ක්‍රමයෙන් හිරි වැටීමකට පරිවර්තනය වන බවක්ද  අශ්වාස ප්‍රශ්වාසය ද නැවතුනු සේද ඇයට දැනෙන්නට විය.

වචනයෙන් නොකීවත් සත්‍ය වශයෙන්ම ඇයට දැනුනේ මෙයයි : ‘ඔව් හෑන්ක් – ඔව් – දැන් –  මේ අපේ සටනේ තවත් කොටසක්, මට කියන්න තේරෙන්නේ නැති විදියකට… මොකද මේ අපේ පැවැත්ම, ඔවුන්ට එරෙහිව… අපේ ධාරිතාව –  කොතෙකුත් ඔවුන්ගෙන් අප හිංසාවට ලක්වන හේතුව වන අපේ සතුටු වීමට හැකි ධාරිතාව…මේ මොහොත, මේ විදියට, බොළඳ වචනවත් බොරු ප්‍රශ්න වත් නැතුව…අපට ඕන නිසා…’

~ Atlas Shrugged, Ayn Rand (pg 250 – 252)

පොතේ මීට කලින් පරිච්චේදයක කොටස මෙතනින්… හෑන්ක් සොයාගත් ලෝහයේ අගය තේරුම් ගත් ඩැග්නි

නිකම්ම නිකම් වළල්ල ක්… Atlas Shrugged


ඇය සෙමින් සාදයෙන් පිටත්ව යාමට පටන් ගත්තාය. නමුත් ලිලියන්ගේ වදන් ඇසුණු ඈ නැවතුනාය. එදා සැන්දෑවේදී බොහෝ දෙනෙක් ඇසු එකම ප්‍රශ්නයට ලිලියන් එම පිළිතුර බොහෝ වාරයක් දී තිබුණි. නමුත් ඩැග්නිට එය ඇසුණු ප්‍රථම වතාව එය විය.

“අහ් මේකද?” ලෝහමය වළල්ලෙන් සැරසුණු අත දික් කර, මනාව සැරසී ගත් කාන්තාවන් දෙදෙනෙකු ට පෙන්වමින් ලිලියන් පැවසුවාය. “අපෝ මේක නිකම් සාමාන්‍ය කඩේකින් වත් ගත්ත එකක් නෙවේ. මගේ ස්වාමියාගෙන් ලැබුණු විශේෂ තෑග්ගක්. අඃ ඇත්තෙන්ම ඒකෙ කිසිම ලස්සනක් නැහැ. නිකම්ම නිකම් වළල්ල ක්… නමුත් ඔයාලට තේරෙන්නේ නැද්ද, ඒක මිල කරන්න බැහැ කියලනේ කියන්නේ. ඇත්තම කියනවා නම්, මම ඕන වෙලාවක මේක ඕනෑම දියමන්ති වළල්ලකට මාරු කරන්න සුදානම්. හඃ ඒ වුනාට කවුරුත් ඒකට සුදානම් නැහැනේ… මේක ගොඩක් වටිනා වුනත්…ඇයි මේක වටින්නේ ඇහුව? මේකනේ අනේ ‘රියර්ඩන් ලෝහ’ යෙන් හැදුව පලවෙනිම වස්තුව! ඒකයි!”

ඩැග්නි ශාලාවේ කිසිවක් නුදුටුවාය. ඇයට සංගීත නාදය නොඇසුණි. දැඩි නිශ්චලත්වයේ පීඩනය පමණක් ඇයට දැනෙමින් පැවතුනි. ගතවුණු මොහොත හෝ මීළඟ මොහොත ගැන ඇයට අවබෝධයක් නොතිබුණි. කාලය නැවතුනාක් මෙන් විය. ඇය මීළඟට කළ දේ ගැන හෝ, ඇය ගැනවත්, ලිලියන් හෝ හෑන්ක් රියර්ඩන් පිලිබඳ වත්, ඇයගේ ක්‍රියාවේ තේරුම වත් ඇය සිතුවේ නැත. එය තනි මොහොතකදී කිසිදු සන්දර්භය කට අයත් නොවන ප්‍රතිචාරයක් විය.
ඇයට ලිලියන් පැවසූ දෙය ඇසී තිබිණ. නිල් – කොළ පැහැති ලෝහ වළල්ල දෙස ඇය බලා සිටියාය.

යමක් ඇයගේ මැණික් කටුවෙන් ඇද ගලවනවා ඇයට දැනුනි. ඉතාම ශාන්ත, නිවුණු කටහඬකින්, ලිලියන් අමතන්නේ ඇයම බව ඩැග්නිට තේරුම් ගියේ මොහොතක ප්‍රමාදයෙනි.
“මම හිතන තරමට ඔයා බයගුල්ලියක් නොවෙයි නම්, මම කැමතියි ඔය වළල්ල මාරු ක‍රන්න”.
ඇයගේ දියමන්ති වළල්ල සිය අත්ල මත තබා එය ලිලියන් වෙතට දික් කරගෙන සිටියාය.

“ටැගාට් මෙනෙවිය! විහිළු කරනවද!” කව්දෝ ගැහැණු හඬක් අසනු ලැබිණ. ඒ ලිලියන් නොවේ. ලිලියන් කෙලින්ම ඇය දෙස බලා සිටියාය. ඩැග්නි කරන්නේ විහිළුවක් නොවන බව ලිලියන් දැන සිටියාය.

“මට ඔය වළල්ල දෙන්න,” බැබලෙන දියමන්ති වළල්ල සිය අත්ල මත තබාගත් ඇය පවසා සිටියාය.

~ From Atlas Shrugged (155-156) –  Ayn Rand

ප ලි : අයින් රෑන්ඩ් කියවන්න ගත්තේ අරුණි අක්කා නිසයි. Atlas Shrugged මම තාම කියවනවා. පිටු 1168 තියෙන ලොකු පොතක් නේ …එක නිසා ඉවර කරන්න ටිකක් කල් යාවි. කොහොම නමුත් මම මෙතෙක් කියවල තියෙන අපූරුම පොතක්. ජීවිතයට යමක් ගන්න පුළුවන් පොතක්. පොතේ කතා නායිකාව ඩැග්නි ටැගාට් දැනටමත් මගේ ප්‍රියතම චරිතයක් වෙලා ඉවරයි.
ඉතින් අයින් රෑන්ඩ් හඳුන්වල දුන්නට අරුණි අක්කට ගොඩක් ස්තුතියි !

හඳ විතරයි මගේ තනියට


ලොකු ලොකු දේවල් සිදුවෙන
රටේ ලෝකේ බයත් හිතෙන
පොඩි කෙල්ලෙක් නෙවෙයිනෙ මං
ලොකු ළමයෙක් ඇත්ත තමයි
ඉතින් ඕක ලොකු දෙයක්ද
මාව දාල නුඹ ගියාට

ඒ උනාට
හිතෙනවා මට
පාළු දැනෙයි හරි සැරේට
හඳ විතරයි මගේ තනියට

සරත් කාලේ ළඟ ළඟ එන
කොළ කහ වී වැටෙන හැටී
ටික ටික සීතල වෙනවා
මගේ හදවත වගෙ හරියට

වැහි බිඳු එක දෙක වැටෙන්නෙ
කඳුළු මගේ වැටෙන ලෙසට
සිද්ද උනේ මොකද කියල
අනේ කියා දෙනවද මට

නුඹේ තුරුලේ සැතපීලා
උණුහුම දැනුනත් රස්නෙට
දෑස් හැරුණු විට තේරේ
සිහිනෙකි ඒ නුඹ නැත ළඟ…

Big Big World ගීතයේ පරිවර්තනයකි ~

මහ රෑ ආ අමුත්තා – 3 (අවසාන කොටස)


අමන්දාගේ ක්‍රියාව ඔහු තිගැස්සීමට ලක් කලේ හෝ නොකළේ කෙසේ වෙතත්, ඔහු එය සම්පුර්ණයෙන්ම තේරුම් ගත්තේය. ක්‍රියාවට පෙරලා ප්‍රතික්‍රියාවද ඔහුගෙන් ලැබුණි. අමන්දා ඇඳ කෙලවර වාඩිවී දනිස් මතට බරදී පෙම්බරයාගේ දෙතොලේ රස උරා බොන අතරේ ඔහුගේ ගෙල පිටුපසට අත යවා හිසකෙසින් ග්‍රහණය කර ගෙන සිටියාය.  සාලියගේ අතද ඇයගේ වරලසේ පැටලුනු ලෙසකි. මෙසේ දෙදෙනාම එකිනෙකාට ආධාරක ලෙස ගනිමින් අපූරුවට  සමබරතාවය රැක්කෙන් නොවැටී සිටීමට හැකිවිය.

එදා විවාහ ගිවිසගත් දා ඇය වැළඳ ගත්තද, ඇය ඇඳ උන් බරැති සාරියත්, ගනකම නොනැමෙන සුළු රෙද්දෙන් මසා තිබුණු සාරි හැට්ටයත්, තවත් නොකී ඇඳුම් ආයිත්තම් රැසක් නිසාත්, ඔහුගේ වැළඳ ගැනීම් වලට බාධා රැසක් විණි. එහෙයින්, එදා ඔහුගේ සෙවීම ඵල විරහිතම නොවුවද, වැඩි දීමනාවක් නොලද එකක් විය.
නමුත් මෙදා ඇයගේ නිදන ගවුම ඒ කිසිදු බාධාවක් ඔහුට එල්ල කලේ නැත. එහෙයින් ගවුමේ සැටින් රෙද්ද මතින් සුරත ගෙනයාමෙන් ඔහු ලත් සුවය ඉක්මවුයේ නම්, ඒ ඔහුගේ කාර්යක්ෂම දෙඅත නිසා ඇය ලත් සුවය පමණි. මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලය වුයේ ඔවුන්ගේ පොරය උන්මාදනීය ඇවිස්සීමක් බවට පත් වීමය.
ඇඳුමෙන් මේ වර අවහිරය තිබුනේ ඔහුගෙනි. මක් නිසාද යත් ඔහු තවමත් දිගු අත් සහ කොලරය සමඟ ටයි පටියද සහිත කමිසය හැඳ සිටි බැවිනි. ටයි පටිය අමන්දාට ඔහුගේ සිරුරේ පහස විඳින්නට හරහට නොසිටි මුත්, කමිසය ප්‍රශ්නයකි. සාලියගේ දෑත එවෙලේ එතරම් කාර්ය බහුලව නොතිබුනා නම්, ඔහු සිය ප්‍රියාවට එතරම් කරදරයක් ව තිබූ කමිසය ගලවා විසි කරනවා නිසැකය. අවසන ඒ කාර්ය කිරීම අමන්දාගේම භාරයට ගත්තේ, අනුකම්පා විරහිත ලෙස කමිස බොත්තම්ද නොතකා හරිමිනි. මේ කරදරකාරී කමිසය ඈ ඔහුගෙන් ඉවත් කල විගස, සමබරතාවය ගිලිහී ගියෙන් දෙදෙනාම ඇඳ මතට වැටුණි. ආශා ලොවක දෙදෙනාම තනි වී සිටි ඒ වෙලේ ඇයගේ තුරුණු දේහය ඔහු සිය යහන කර ගත්තේ ඇයගේ දිගු ගවුමේ වාටිය සොයන අතර තුරය. වාටිය හමුවූ පසු තවත් වටිනා වස්තු ඔහු භාරයට විය. සුමුදු සිහින් දෙපා, වටකුරු දනිස්, පිරුණු කළවා – මේ සියල්ල ඉතා මෘදුව සෙමින් ලාලනය කෙරිණ…
මේ සියලු කලබගෑනි සහ වැඩ රාජකාරි අතරේ පිටස්තර ලොවේ සිදුවන දෑ ගැන හරි දැනීමක් නොතිබීම සාධාරණය. කෙසේ නමුත් යමෙක් කාමරේ දොරට තට්ටු කරන හඬ පළමුව ඇසුණේ ඔහුට නොව ඇයටය.
“අමා…නංගී? ඔයා නිදිද?”
අක්කාගේ කටහඬ හැඳින ගත් අමන්දා ගල් ගැසුණාය. ප්‍රේමාලින්ගනයෙන් ඇය ඉවත්වූ බව දැනුනු ඔහුද නිසල විය.
අක්කා නොනැවතී තට්ටු කරයි.
“නංගී…”
අමන්දාත් සාලියත් හති ලමින් එකිනෙකා දෙස බලා සිටියහ.
“මම කතා නොකර හිටියොත් අක්ක බයවෙලා ගෙදර කට්ටිය කුද්දගෙන එයි” ඇය රහසින් මිමුණුවාය. ඔහු ඉච්ඡාභංගයෙන් ඇයගේ උරිස මත හිස මොහොතකට රන්දවීය. “අමන්දා මට ඔයාගේ ඇඳ යට හැංගෙන්න නම් බැහැ”.
“ඇඳ යට හැංගෙන මිනිහෙක් මම බඳින්නෙත් නැහැ” ඇය ඍජු ව ඔහුගේ දෑසට එබීගෙන පැවසූ වදනින් තුටු වූ සාලිය ස්නේහයෙන් ඇගේ නළලත සිප ගත්තේ ඇඳෙන් නැගිටමිනි.
“අමන්දා මට…විනාඩියක් දෙනවද…?” හැර ලු කමිසය හැඳ ගෙන, අවුල් වූ හිසකෙස් සකසා ගන්නා තෙක්, ඇය අක්කාට දොර නොහැර සිටියාය.
“මේ එනවා අක්කා” යයි උස් හැඳින් පැවසූ අමන්දා සෙමින් දොර වෙතට පිය නැග්ගේ පොඩිවුණු නිදන ඇඳුම අතින් හරි හස්සන්නට තැත් කරමිනි. ඇය නිර්භීතව දොර අරින විට ඔහු කමිසය යට කර ගත්තා පමණි.
සිය නැගණියට අසනීපයක් වත් දෝයි සැකයෙන් ඇය දොර අරින තෙක් බියෙන් සිටි සමන්තීගේ මුහුණ, අමන්දාට පිටුපසින් සිටගෙන සිටි සාලිය දුටු විට විශ්මයෙන් පිරී ගියේය. නුදුරු දිනක සිය නෑනා වන්නට සිටින සමන්තී අක්කාට හිස මදක් නවා අචාර කළ සාලිය “සුභ රාත්‍රියක්” යයි පවසා, මෙවන් අවස්ථාවක කෙනෙක්ට උපදවාගත හැකි උපරිම ධෛර්‍යය සහ ගරුත්වය වඩවාගෙන කාමරයෙන් පිටව ගියේය.
පිටව යන සාලියගේ අවසන් චායාවද නොපෙනී යන තෙක් හිස මදක් ඇල කරගෙන බලා සිටි සමන්තී (ඔහු සැබවින්ම ඔහුගේ කාමරයට ගියාදැයි සැක හැර දැන ගන්ට මෙන්), තමා අභියස අවුල් වූ කෙස් වැටියෙන්ද, ලා රතු වූ මුහුනෙන්ද යුතුව සිටින නැගණිය දෙසට හැරුණි.

“මම බයේ හිටියේ හවස ඔය දෙන්න රණ්ඩු කරගෙන කියල. දැන් දෙන්නගේ රණ්ඩුව හරි නේද?” සමන්තී ඇසුවේ අමන්දාගේ මුවඟට මද සිනාවක් නංවමිනි.

ඔව් ඇත්තටම…

මහ රෑ ආ අමුත්තා – 2



<<< පළමු කොටස

එක්වරම අනෙක්පස හැරුණු ඔහු පියවර කිහිපයක් එහාට ගොස්, ඇගේ ඇඳ විට්ටමේ අත රඳවා ගෙන, කතා කරන්නට පටන් ගත්තේ ඉවත බලාගෙනය.
“ඔයාට කියන්නැතිව ගියාට මට සමාවෙන්න අමන්දා”
ඇඳ විට්ටමේ රැඳවූ අත ගැන එවෙලේ මතක් වුවක් මෙන්, අනුචිතයක් කළා යන හැගීමෙන්දෝ ඔහු අත ගෙන ඉණ මත තබා ගත්තේය.
අමන්දා යන්තමට හිස වැනුවා පමණි.
“ඔයා හිතනවා ඇති මාලේ අරන් එන්න වැඩ කරන කවුරු හරි යවන්න තිබුන කියල. ඇත්ත. නමුත් මමම ගියේ…ඔයාගෙන් ටිකක් වෙන්වෙලා ඉන්න එක හොඳයි කියල හිතුන නිසා. නැත්නම් මට…ආත්ම පාලනයක් නැති වෙන්න තිබ්බා” ඔහු කතාව කරගෙන ගියේය.
මෙය අසා වරදකාරී හැඟීමෙන් සේම අසාධාරණයට ලක්වියයි කෝපයෙන්ද පිරී ගිය සිතැත්තී, “ඔව් බඳින්න ඉන්න මනමාලිගේ ලජ්ජා නැති කල්ක්‍රියාව නිසා ඈත්වෙන්න හිතන්න ඇති නේද’ යයි ඇය පැවසුවාය.
ඇගේ කතාවෙන්, ඔහුගේ තාවකාලික වෙන්ව යාම, ඇයගේ ගෞරවය රැකීමට නොව, ඇගෙන් සිදුවූ වරදක් නිසා යාමක් බව ඇය සිතන බව ඔහුට ප්‍රත්‍යක්ෂ විය.
“මට විශ්වාස නැත්තේ ඔයාව නෙවෙයි අමන්දා, මාවයි”
ඔහුගේ පාපොච්චාරණය තේරුම් යාමට ඇයට තත්පර කිහිපයක් ගතවිණි. ඔහු මේ පවසන හැටියට ඇය කෙරෙහි ඔහු තුල වූ ආලය, ඔහු වෙත ඇයගේ ආශාවට වටා බලවත්ය. සිනහව මැඩ ගැන්මට උත්සාහ කරන අතරේම, ඔහු කරා සෙමින් පිය නගමින්, ඇය “එතකොට ඔයා මේ මහා රෑ, තට්ට තනියම මගේ කාමරේට ආවේ මාත් එක්ක තනියම ඉන්දැද්දී, ඔයාට ඔයාව පාලනය කරගන්න අමාරුයි කියල මට කියන්නද?” යයි ඇසුවාය.
නළල රැලි කරගෙන මේ උහතෝකොටිකය පිලිබඳ සාලිය කල්පනා කරන හැඩක් පෙනුනි.
“අහ්…ඔව් ඒ කිව්වත් වගේ මම කරලා තියෙන්නේ මොන වැඩක්ද!” ඔහු කියත්ම ඇය මද සිනාවකින් යුතුව ඔහුගේ අත අල්ලා ගත්තාය.
කඳුරට සීතල දේශගුණයට නුපුරුදු ඇගේ අත්ලේ සීතල දැනුනු ඔහු, වහාම ස්වෙටරය ඇඳ ගන්නයි අණ කරමින් කාමරයේ හීටරය ක්‍රියාත්මක කිරීමටත්, අඩක් විවර කල තිබුණු කවුළුව වැසිමටත් යුහුසුළු විය. උස් වූ ඇඳේ වාඩිගත් ඇය පොරෝනය ගෙන උරිස් වටා පොරවා ගත්තාය.
“හරි හරි…මගුල් දවසේ මනමාලිට නහය රතු වෙලා හෙම්බිරිස්සාව හැදුනොත්…නේද?” ඔහුද පුටුවක් ඇඳ වෙත ලංකර හිඳ ගත් හෙයින්, ඇය හිස ඔහුගේ ලය මත හොවා තුරුළු වෙමින් පැවසුවාය. “මම ගියේ මගේ හිත කියන දේ අහන්නැති නිසා අමන්දා…ඒත් ආව මොහොතේ ඉඳන් ඔයා ඇරෙන්න වෙන දෙයක් මගේ ඔළුවට ආවේ නැහැ.” ඔහු මෘදුව ඇගේ හිස කෙස් පිරිමදිමින් කිවේය.
අමන්දා ඔහු වෙත තුරුළු වුයේ සිතලටමයි කිව නොහැක. ඔහුගේ පාරම්පරික වලව්වේ, ඔහුගේ අනාගත මනාලිය මෙසේ සිය පවුලේ අයත් සමඟ ආගන්තුක සත්කාර විඳින මොහොතේ, වෙනදා මෙන් ඇය සිප වැළඳ ගැනීම නොහොබිනා කමක් ලෙස, ඔහුට සිතෙනු බව ඇය තේරුම් ගත්තාය. සිය කුමරි බඹසර පසෙක ලා ඔහුගේ ගෙලේ අත් පටලාගෙන, පොරෝනය අහකට ගසා දැමු ඇය, ඔහුගේ දෙතොල් සිප ගත්තේ එහෙයිනි.

මහ රෑ ආ අමුත්තා – 1


අමන්දා කනස්සල්ලෙන් යුතුව සුවිසල් නුගවෙලතැන්න මන්දිරයේ ඇයට පිළියෙළ කරදී තිබුණු කාමරයේ ඇඳ මත දිගෑදී සිටියාය.
අක්කා සමඟ කතා කිරීමට ඇත්නම්…
නමුත් නිවෙසේ අන් සියල්ලන් සේම අක්කාද නින්දට ගොස් ඇති බවක් ඇය සිතුවාය. හැරත් අක්කා සිටින කාමරය ඇය නොදනී. මේ නිවසට ආගන්තුක ඈ, මහ රෑ ජාමේ නිදන ඇඳුම පිටින් කාමර වලට තට්ටු කිරීම නොහොබිනා බැව් සිහිපත් කළාය.
කාමරයේ දොරට කව්දෝ සිමින් තට්ටු කරනු ඇසුනින් අමන්දා වහා කල්පනා ලොවින් මිදුණි.
බාගවෙලාවට ඒ අක්කා විය හැකියැයි සිතු ඇය ගේ මුහුණ දැල්විණි. ඒත් සමඟම මේ අක්කා නොව, මුළු දවස මුළුල්ලේම ඕපාදුප දොඩමින් ඈට කන්කරච්චලයක් වී තිබුණු ප්‍රතිභා නුගවෙලතැන්න විය හැකියැයි අමන්දාට සිතුනි. ඇය දොර හැරියේ පැය දෙක තුනක හරසුන් නන් දෙඩවිල්ලකට පෙර සුදානමිනි.
එහෙයින් අමන්දා දොර අරින විට, දොර ළඟ සිටගෙන සිටි සාලියට ඇගේ මුහුණේ කිසිදු ප්‍රසන්න බවක් පෙනුනේ නැත.
ඔහු දුටු විගස ඇගේ මුහුණේ ඇතිවූ වෙනසින් ඔහුගේ පැමිණීම ඇයට පුදුමයක් බව කියා පෑවේය. ඔහු ඇගේ විශ්මය අපේක්ෂා කල බැව් ද ඔහුගේ මුහුණින් පෙනුණි. ඇගේ සුරත ඒ වන විට හිස්වූ ගෙල වෙත ගියේ නිරායාසයෙනි.
ඔහු පැමිණියේ සිය මෑණියන්ගෙන් දායාද වී යයි පවසා සවස ඇයගේ ගෙල බැඳී මුතුපට රැගෙන යන්නද?
කිසිදු පැකිලීමකින් තොරව, ඇය වහා දොර ලඟින් මෑත් වුයේ ඔහුට කාමරය තුළට පැමිණීමට ඉඩ සලසමිනි. වෙනත් අවස්ථාවකදී නම් ඇය මෙසේ හැසිරෙන්නේ නැත. ඔහු නින්දට පෙර සුභ රාත්‍රියක් කීමට පැමිණි බව ඇය සිතනු ඇත. නමුත් ඔහුගේ මුහුණේ තවමත් පෙනෙන්නට තිබුණු දුක්බර පෙනුම ඇගේ සිත මෙලෙක් කළේය.
සාලිය නුගවෙලතැන්න කාමරය තුළට පැමිණියේය. දොර වැසූ අමන්දා ඒ මතට බරදී හේත්තුවුයේ කෙමෙන් වැඩිවන හෘද ස්පන්දනය අඩු කිරීමේ නිෂ්ඵල වෑයමක් දරමිණි. කාමරයට ඇතුළුවූ ඔහු ඉණ තෙක් වැඩුණු ඇයගේ මුදා හල වරලස සිට නිදන ඇඳුමේ සැටින් රෙද්දෙන් යන්තමින් වැසුනු පයඟිලි දක්වා පිරික්සුම් බැල්මක් හෙළීය.

~ පසු වදන: මේක මගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් නෙවෙයි. මම කියෙව්ව ඉංග්‍රීසි නවකතාවක අනුවර්තනයක්. මුල් පොත ‘Mr.Darcy takes a Wife‘. Jane Austen ගේ සුප්‍රකට Pride and Prejudice පොතේ මීළඟ කොටස විදියට ලියල තියෙන්නේ. අවවාදයයි : Pride and Prejudice මිනුමින් Mr.Darcy takes a Wife මනින්න නම් එපා! සාහිත්‍යමය වටිනාකමක් නම් එතරම් නැතත් self gratification සඳහා කියවන්න! හික්ස්~
ඉඩ තියෙන විදිහට තව දුරටත් අනුවර්තනය කිරීමට බලාපොරොත්තු වෙමි !