හන්තාන සුන්දරයි තවම…


හානේ ඔයා?
කොච්චර කාලෙකට පස්සෙද?
ඒකනේ අවුට් උනාට පස්සේ දැක්කෙම නැහැ
කොහෙද ඔයා නැව් නැග්ගනේ…

ඉතින්?
හ්ම් ම්ම් කිතුල්!

මතකද ඒ දවස්?
නැතුව… රැග් කරද්දී ඔයා ඇඬුව හැටි මරු හෙහෙ
බොරු බොරු මම ඇඬුවේ නැහැ…එතකොට කොහොමද ඔයා ට දාල තිබ්බ කාඩ් එක? මොකද්ද අර *****
ෂ්ෂ්… කෑගහන්න එපා හලෝ… මේකිගේ කට නම් අඩු වෙලා නෑ හෙහෙ

මතකද?
මොනවාද?
හන්තාන?
අපි දෙන්න?
ඔව් අපි අත් අල්ලන් ගියේ…
ඔයා ඇවිත් මගේ අතේ එල්ලුනානේ බයයි කියල
බොරු බොරු මෙයා බොරු මයි කියන්නේ… ඔයානේ ඇවිත් මගේ අත අල්ලාගත්තේ… හොර කොල්ලා
හැබැයි ඔයා අත ඇරියේ ත් නෑනේ

ඉතින්…?
කිතුල්!
පිස්සු
ඔව් ඒක ඇත්ත
….
කවද්ද යන්නේ?
හෙට
හෙට?
ඔව් යන්න වෙනවා
….
හ්ම්
හ්ම්
එහෙනම්…මම යන්නම්
හොඳයි පරෙස්සමින්… සතුටින් ඉන්න

~සත්‍ය සිදුවීමක් ඇසුරෙනි

PS: ආදර නිල් දෑසක් නිසා අවදිඋනු මතකයකි

PPS: මැදියම පිපුණු කුසුමක් මෙගා එක යන අතරේ ගිය පොඩි ඇඩ් එකක් කියල හිතන්ටකෝ

ජේන් එයර්, ලිසී සහ මම


මම කියන්නේ කව්ද කියන එක මට හැමදාම තිබුන ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට ‘මට වෙන්ඩ ඕන කරන මම’ සහ ‘ස්වභාවික මම’ අතර මම දෝලනය උනා කිව්වොත් හරි. තමන්ගේ ස්වභාවයෙන් වෙනස් වෙන්ඩ හදන්නේ ඇයි කියන්න මම දන්නේ නැහැ. ඒ වගේම තමන්ව වෙනස් කරලා පෙන්නන්න හදන්නේ ඇයි කියන එකටත් මට උත්තරයක් නැහැ.
මම දන්නේ මාත් එහෙම වෙනස් පුද්ගලයෙක් වෙන්ඩ හැදුව කියන එක විතරයි.
මෙතැනදී මම කියන්නේ තමන්ගේ දුර්වලතා හඳුනාගෙන, වැරදි හදාගන්න එක නෙවි.
තමන් කව්ද කියන එක හරියට හඳුනා ගන්නේ නැතිව තමන් හිතෙන මවාගත්තු කෙනෙක් වෙන්ට යෑම.


මේ සටහන ලියන්න හිතුනේ ඊයේ බලපු ‘ජේන් එයර්’ චිත්‍රපටය නිසා. ජේන් එයර් කියන්නේ මගේ ප්‍රියතම පොත් වලින් එකක්. ගොඩක් සැරයක් කියවපු නිසා සමහර දෙබස් කට පාඩම්. මට මුලින්ම ජේන් හම්බ උනේ ගොඩක් පොඩි කාලේදී. ඒ කියන්නේ අවුරුදු 9 – 10 වගේ වයසේදී. මම කියෙව්වේ සිංහල පරිවර්තනයක්. මට මතකයි ඒකෙ එක තැනක ජේන්ට ‘මගේ අබ ඇටය’ කියල අමතනවා.


ඒ කාලේ නම් මට හිතුනේ මොන පිස්සු කතාවක්ද මේ කියල. පොඩි වැඩිනේ මම. ඒ වගේ ගැඹුරු ආදර කතා තේරෙන්නේ නැහැ අවුරුදු 10 දී. අවුරුදු 10 කියන්නේ ඉනිඩ් බ්ලයිටන් ගේ පොත් වලට පිස්සු වැටෙන කාලේ. මං පණ්ඩිත කමට බ්‍රොන්ටේ කියවන්ට ගියාට!


ආයෙමත් මට ජේන්ව මුණ ගැහෙන්නේ ඊට අවුරුදු ගානකට පස්සේ. අවුරුදු 16 දී.
හැබැයි ඒ වෙද්දී මට එලිසබෙත්ව මුණ ගැහිලා ඉවරයි. මේ කියන්නේ ප්‍රයිඩ් ඇන්ඩ් ප්රෙජුඩිස් හි එලිසබෙත් බෙනට් ගැනයි.



සා පෙළ විභාගෙට පාඩම් කරන්ඩ ඕන කාලේ මට එයාව හමු වුනේ. එලිසබෙත් ගැන කිව්වොත්, හම්බුන දා ඉඳන්  එයා තමයි මට වෙන්ඩ ඕන උනේ. රූමත් නැණවත් ලිසී! ඔයා වගේ බය නැතිව ඕන සභාවක් ඉදිරියේ මුඛරිව කෙලිලොල්ව ඉන්ට පුළුවන් නම්! කව්රු මොනා කිවත් තමන්ගේ මතයේ අභිමානයෙන් ඉන්ට පුළුවන් නම්! ඒ වගේම කියන්ට ඕන දේ අදාළ කෙනාට නියමෙට වැදෙන්න නියම වෙලාවට කියන්නත් එයාගේ තිබුනේ පුදුම දක්ෂතාවක්.


ආයෙමත් ජේන් ගැන. සා පෙළ කරලා නිකන් ඉන්න කාලේ බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් නිකමට වගේ මං ජේන් එයර් පොත අරන් කියවන්න ගත්තේ. හරි ලොකු පොතක් ඒක.
ලිසීට වගේ ජේන්ට ලස්සන කල එළියක් තිබුනේ නැහැ.
ඒත් පොත ටිකක් දුර යද්දීම ජේන් මාව ඇඬෙව්වා. එක තැනකදී නෙවි, කීප තැනකදීම. සමහර තැන් කියවද්දී මගේ කකුල් දෙක පණ නැති වෙනවා වගේ දැනුනා.



හැබැයි පොත කියවල ඉවර කරාට පස්සේ මම තීරණය කරා මම නම් ජේන් වගේ වෙන්නේ නැහැ කියල. ජේන් එයාගේ ආදරේ දාල යනකොට මම හිතුවේ ජේන් මහා මෝඩියක් කියල. මම නම් කවදාවත් ඔහොම යන්නේ නැහැ කියල මම හිතුව. ජේන්ගේ තීරණේ මට ඒ වෙලාවේ පෙනුනේ තේරුමක් නැති දෙයක් හැටියට. එයාගේ කැප කිරීමේ හැකියාව – ඒ වගේම මොන තරම් වේදනාත්මක උනත් නිවැරදි දේ කිරීම – මට හිතුනේ මෙච්චරම goody two shoes වෙන්ඩෝනෙද කියල.


නමුත් පස්සේ කාලෙකදී – මාත් ජේන්ගේ වයසට ආසන්න වයසකදී වෙච්චි සිදුවීම් පෙළක් නිසා මට තේරුම් ගියා ජේන්ට මම අච්චර ආදරේ කරන්ට හේතුවත්, එයාට මාව අච්චර අඬවන්න පුළුවන් වෙච්චි හේතුවත්.


ඒක තමයි මගේ පලවෙනි ආදරේ. දැනට අවුරුදු දහයකට වගේ කලින්. ගොඩක් ඉස්සර…ඉස්සෙල්ලම මුළු හදවතින්ම දැනෙන්න ආදරේ කරා. එයා මගේ හොඳ යාලුවෙක් (අපි එයාට ඉසුරු කියමු). නමුත්…ඒ වෙනකොටත් මගේ හොඳම යෙහෙළිය සිතාරා එයාට ආදරේ කරන්න අරන්. ඉසුරු ගෙන් සිතාරට හොඳ ප්‍රතිචාරයක් නොලැබුනාට සිතාරා ආදරේ කරේ පිස්සුවෙන් වගේ. ඒක මම වගේම අපි වටේ හිටපු හැමෝම වගේ දැනන් හිටිය. පිස්සු කෙල්ලෙක් කියල සමහරු එයාට හිනා උනා. ඊළඟ අවාසනාවන්ත කාරණේ ඉසුරුගේ හොඳම යාලුවා මට ආදරේ කරපු එක. අවුල් ජාලයක්. සිතාරා මගේ ආදරේ ගැන දැන හිටියේ නැහැ. ඒත් මම දැක්ක ඒ කෙල්ල ඉසුරු නිසා කොච්චර ඇඬුවද කියල. මගේ හිත හොඳටම කැඩුන. මගේ හොඳම යෙහෙළියගේ කඳුළු උඩින් මට හිනාවෙන්න පුළුවන් උනේ නැහැ. ඉසුරුටත් එයාගේ යාලුවාගේ ප්‍රශ්නේ. අපි දෙන්න දවසක් මිනිත්තු ගානක් එකිනෙකා දිහා බලන් හිටිය. මුලින් අහක බලා ගත්තේ මම. අහක බලද්දී මම දැනන් හිටිය ඒ අපේ ඇස් කතා කරන අන්තිම වතාව වේවි කියල.
අපි හතර දෙනා අද හතර දිහාක. අන්තිමට අපි කාටවත් අපිව අයිති උනේ නැහැ. අපි ගත්තු තීරණයන් නිසා – තව කෙනෙකුට දුකක් දෙන්න බැරි වීම නිසා – අපි සතුටෙන්ද කියල මට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් වෙන තීරණයක් ගත්තනම්…ඒත් අපිට සතුටෙන් ඉන්න පුළුවන් වේවිද?


මං කරපු වගේ වැඩක් ලිසී නම් කවදාවත් කරන්නේ නැති විත්තිය මම දැන් දන්නවා.


ඊයේ ජේන් එයර් බලද්දී මට මතක් උනේ මාවම.


කොච්චර උත්සහ කරත් මම ලිසී නෙවෙයි.

සිහින හිම දියවෙන දිවි ගිම්හානයේ රැයක…



රෑ අහස තරු කැට වලින් පිරිලා. උපන් බිමේ නොදැකපු අමුතු තරු රටා. මම උඩ බලාගෙනම පාර දිගේ ඇවිද්දා. මම හෙව්වේ අරුන්දතී තරුව. සප්තර්ශි තාරකා මණ්ඩලය අරුන්දතී ව සඟවාගෙන. ඈ වාගේ සර්ව සම්පුර්ණ නිර්මල භාර්යාවක් වෙන්න පෙරුම් පුරන සිය දහස් ගණන් පෙම්වතියන් ගේ ඇස් වලින් ඈ විඩාවට පත් වෙලාද?

අරුන්දතී මම නම් නුඹේ නමින් ප්‍රතිඥා දෙන්නේ නෑ. මට පේන්න එන්න එකපාරක්.

ඒත් ඈට මාව විශ්වාස නැතුව වගේ. මට අරුන්දතී හොයා ගන්න බැරි උනා.

තරු තරු තරු… අහස් ගඟේ පෙණ නංවමින් දිලිසෙනවා. පොඩි කාලේ මාත් එක්ක එක්ක කතා ගොතපු දඩයක්කාරයා මෙන්න ඔලුවෙන් හිටගෙන! ඒ ඇයි කියල මං එයාගෙන් අහන්න ගියේ නෑ. එයා මගෙන් මොනවා අහයිද කව්ද දන්නේ.

තරුවක් කඩන් වැටෙනවා දැක්ක නිසා මම අත දික් කරා ඒක අල්ලගන්න.

යමක් ගන්නකොට අත් දෙකෙන්ම ගන්න ඕනැ. එහෙමයි හැදිච්ච ළමයි.

ඉස්කෝලේ මිස් කෙනෙක්ගේ අවවාදේ මතක් උනා. ඒත් අනිත් අතේ අරලිය මලක්. අමාරුවෙන් හොයා ගත්ත මල විසි කරනවට මල කැමති උනේ නැහැ.

විසි කරන්නද ඔයා මාව කඩා ගත්තේ? මාව වෙන කෙනෙක්ට කඩා ගන්න දුන්නෙත් නැහැ. ඇරත් මේ නොදන්නා රටේ විසි කරාම මම ආයිත් ලංකාවට යන්න පාර හොයාගන්නේ කොහොමද?

මම හැම තැනම දිව්වා අරලිය ගහක් හොයන්න. අන්තිමට පතොක් ගහක අරලිය මල රැඳෙව්වා තරුව අල්ලගන්නකම්. බෙල්ල රිදෙන කම් උඩ බල බලා මම කඩා වැටෙන තරුව හෙව්වා.

ඒක නොපෙනී ගිහින් ඒ වෙනකොටත්. පොඩි කාලේදී නම් මං රෑට ගෙදර අය නිදාගත්තම හොරෙන් වත්තට ගිහින් ඔඩොක්කුව පිරෙන්න තරු ඇහිඳලා තියෙනවා. ඒ තරු වලට මම මොකද කරේ කියල මතක නැහැ.
මං හිස් අතින් ආයෙත් මගේ මල හෙව්වා.

කටු දික් කරගෙන පතොක් ගහ මට එරෙව්වා.
ගහ වටේටම හෙව්වත් මට හම්බුනේ ඉරිලා ගිය එකම එක සුදු පාට පෙත්තක් විතරයි.

ඇඞෙන්න ආවත් මම ඇඬුවේ නැහැ…
පතොක් කටුවක රැඳිලා තිබුන අරලිය පෙත්ත පරිස්සමට තුරුළු කරන් ගෙදර ගියා.

I’d like to make myself believe
That planet earth turns slowly
It’s hard to say that I’d rather stay
Awake when I’m asleep
Because my dreams are bursting at the seams

භය


 

“දැන් මොකද්ද ප්‍රශ්නේ?”
“මට කියන්න තේරෙන්නේ නෑ හරියටම… ඒත් එයා දැන්…”
“ඉතින් එයාට හරිම කැමැත්තෙන් නේ ඔයා හිටියේ? ඇයි එයා ඔයාට හිත රිදෙන්න මුකුත් කිව්වද?”
“නැහැ නැහැ. දැන් එයා මට හැමදාම කෝල් කරනවා. ඒ උනාට මට …”
“පහුගිය ටිකේ එයා කෝල් එකක් වත් දුන්නේ නෑ කියල ඔයා නහයෙන් අඬ අඬ හිටියේ. ඉතින් දැන් හැමදාම කෝල් කරනවා නම් සතුටු වෙන්න එපාය”
“ඔව් ඉතින්… ඒත් හැමදාම කෝල් කරන්න ඕනද”
“”
“ඊයේ මාව හම්බෙන්නත් ආව. එයාගේ ටිකක් බඩත් ඇවිල්ල වගේ”
“එයා ඔයාට කැමතියි කියල හිතනවද?”
“ඔව්”
“හඃ”
“ඇයි?”
“මට දැන් තේරෙනවා”
“මොකද්ද?”
“ඔයා ට හැමදාම ඕන කලේ ලබාගන්න බැරි දේවල්”
“”
“ඇයි කතා නැත්තේ? ඒක තමයි ඇත්ත. ”
“ඔයා කියන්නේ ලබා ගන්න පුළුවන් දේවල මට අගයක් නෑ කියලද? ”
“අගයක් නැහැ නෙවෙයි. ඔයා බයයි”
“මම බයයි?”
“ඔව්. ආදරේට බයයි. ආදරේ ලැබෙන කොට ඔයා බයේ දුවනවා. නොලැබෙන ආදරයක් ම ඉල්ලා ඉල්ලා අඬනවා. ඒක ලැබෙන දවසට ඔයාට ඒක ඕන නැති වෙනවා.”
“”
“මට කියන්න අමා, ඇයි ඔයා ආදරේට බය?”
කන්නාඩියෙන් පෙනෙන රුව මගෙන් අසයි. මට ඇයට දීමට පිළිතුරක් නැත.