<<මැදියම පිපුණු කුසුමක් – 19
කෙමෙන් ගෙවී යන මැදියම් යාමයේ නැව් කවුළුව තුලින් ගලන සඳ එළියෙන් නැහැවුණු ෆරීදා ගේ සිරුර දෙස ඔහු බලා සිටියේය. ඒ දුටු ෆරීදා ගේ මුහුණෙහි ඇඳී ගියේ දැකුම්කලු සිනහවකි.
දහසක් පිරිමි නෙත් හමුවේ නිරුවත් වන ඈ හට ඒ සියල්ලම හුදු ගැනුම්කාරයින් පමණි.
එහෙත් ඔහුගේ කල්පනාකාරී බැල්ම හමුවේ සියොලඟම සියුම් කිතියකින් කළඹෙන්නේ මන්ද යයි ඇයට තේරුම් ගත නොහැකි විය.
“දන්නවද…” ඇය මේ අර අඳින්නේ කුමක් හෝ ඕපා දුපයක් කියන්ට බව ඔහුට දැනුනි.
ඈ නොදනිතත් ඔහුට ඕපාදුප වැදගත් ය.
“අද අලුත් කෙල්ලක් ඇවිත් තැබෑරුමේ හොර ගල් අහුල අහුල හිටියනේ. මා ව අහල. ඔය එන්නේ මොකටද කියල මන් නොදන්නවය. හඃ වැඩ ඉල්ලගන්ට තමයි! ආයේ දෙකක් නෑ! හැබැයි හරි ලස්සන කෙල්ල”
ෆරීදා මුදා හල දිගු කෙස් කළඹ අතරින් අතැඟිලි යවමින් අවුල් හරින්නට පටන් ගත්තද කතාව නැවත් වුයේ නැත.
“අර අන්තිම වරාය මොකද්ද? මේ ඇත්තෝ නැව් නැග්ගේත් ඒ රටෙන් වෙන්ට ඕනේ..ආන්න එහෙන් ආපු එකියක් වාගේ මට නම් හිතුනේ කතාවෙන් පෙනුමෙන්. හා මෝඩ කෙල්ල! මගෙන් අහනවා මෙහි යන එන අය ගැන…..ඈගේ සොහොයුරා මෙහි යන එනවද කියල දැන ගන්ට ලු ඕනා. ..අර වෙදදුරා ලු ඈට කීවේ ඔහු මා ලඟට එන වග…වෙදදුරා! හඃ අනේ මගේ කට! “
මෙතෙක් වෙලා අඩ සිහියෙන් මෙන් වෙසඟන ගේ දෙඩවිල්ල ට සවන් යොමා සිටි ඔහු, ‘වෙදදුරා’ නම ඇසුණු විගසින් සම්පුර්ණ අවධානය ඇයගේ ‘ඔපාදුපය’ ට යොමු කළේය.
“ඉතින්…මට තේරුනා මෑට මා ළඟ වැඩ කරන්ට ඕනි වෙලා මේ බොරුවට දොඩනවා කියල. නැතිනම් වෙදදුරා කොහේ එනවද මෙහෙ! ඒ ඇත්තෝ කීව කිව්ව එක තනිකර මුසාවක් නේ.”
ඔහු මුල් වතාවට සිය හඬ අවදි කළේය. ” ඇයි? වෙදදුරා මෙහි එන්නේ නැතිද?”
ඊට පිළිතුරු වශයෙන් ඈ කලේ හඬ නගා සිනාසීම ය. “ඒ ඇත්තොන්ට දෙන්ට තරුණ ගැටවු ඉන්න එකක්ය මා ළඟ!”
ෆරීදා ගේ සමච්චල් සිනහවට ඔහුද හවුල් වුවද වෙදැදුරු ගැන සොයන මේ යුවතිය පිලිබඳ සොයා ගත යුතු බව ඔහු අදිටන් කර ගත්තේ සිය උඩු රැවුල දබරැඟිල්ලෙන් අඹරමිනි.
<<මැදියම පිපුණු කුසුමක් – 18