ධීරේ ධීරේ … හෙමින් හෙමින් …


ධීරේ ධීරේ කියන පරණ සින්දුව අලුත් කට්ටිය දාලා ගහල හිට් එකක් වෙලා – ආයෙත්.
අලුත් ධීරේ ධීරේ දැක්කම අමාට අවුරුදු ගානකට කලින්  පරණ ක්‍රෂ් එකක් මතක් උනා!

ඒ දවස් වල එක්තරා පිරිමි ළමෙක් අමා ගැන පොඩි මෙව්වා එකක් පහල කරගෙන තිවුන  ලු… අමාට ත් එහෙම මෙව්වා එකක් තිවුනා වගේ ලු…

අමාගේ පවුල ගොඩක් නිදහස් විදියට හිතන සාම්ප්‍රදායික දේවල් එච්චර ගණන් ගන්න කට්ටියක් නොවන හන්දා අමා හැදුනේ වළාකුලක් වගේ සැහැල්ලුවෙන් නිදහසෙන්.
හැබැයි දැනුම් තේරුම් යනකම්, කරන්ට ඕනැ මොනාද, නොකරන්ට ඕනැ මොනාද කියන එක ගැන අමාට කියා දීල තිවුනේ. ඉතිං ආදර කතා කොහොමටත් අති භයංකර දේවල් උනේ නෑ. ඒ වයසේ ඉතින් කෝමත් මල් මල් වයස නෙව. පුංචි පුංචි කතා ගොඩයි! පුංචි පුංචි කතා යටින් සිරා කතාවක් අතරින් පතරේ ලියලුවේ නැතුවා නෙවි.

එව්වා කෝම උනත් මේක අර පුංචි මල් කතාවක්…

ඒ දවස් වල ඉස්කෝලේ අර ඩේ, මේ ඩේ කිය කියා එක එක ජවුසම් නේ…දන්නවා නේ තින්. ඔය ඩේ එහෙකදී අමා ට පොඩි රඟපෑමක් තිවුන ලු.
ඒක දැකපු එක්තරා පිරිමි ළමයෙක්  ට අමා ගැන තනිකරම වැරදි චිත්‍රයක් මවා ගෙන.

මෙහෙම වෙන්ට හේතු කීපයක් ලු:
1 – අමා ට තීන්නේ හෙනම අහිංසක පෙනුමක් ලු. (පෙනුම විතරයි ඈ )
2 – අමා රඟපාපු චරිතේ හ‍රී අහිංසක ලු.
3 – අමා ටිකාක් විතර එයා කැමති නිළියක් වගේ ලු.
කොටින්ම ඒ ළමයාගේ හිතේ උන්නු අවිහිංසක සිහින කුමාරි මොඩල් එක අමා කියල ඒකා හිතන් උන්නේ. පවු ඉතින් අමා හැබෑවට තනිකර අනික් පැත්ත. හී!
පොඩි පොඩි අඟර දඟර සීන් කීපෙකට පස්සේ අමාට ලැබුනා මේ ළමයා ත් එක්ක තනි පංගලමේ සුහද කතාවකට ඉඩ!
මොකද දන්නවද එයා කීවේ?
“අමා ඔයා ධීරේ ධීරේ සින්දුවේ ඉන්න අනූ වගේමයි!”

20912360.cms

බලාන්ට හරි අහිංසක පාට යි නේද

dheere
හලේ…අමා තින් කොහොමත් අණ්ඩපාල මොඩල් නේ.
අමා ට කියවුනේ මෙහෙම
“ඒ උනාට ඔයා ඒකෙ ඉන්න නළුවා වගේ නෙමී නේ අනේ”

 

කාන්දම් ඇස්



හිත අවදි කරන කෝපි සුවඳ ත් එක්ක අදත් ඇවිත්. මටත් නොදැනීම හිත කෝල වෙනවා. කොළ පාට ඇස් දෙක හිනා වෙනවා නෙවි, හිනාව උතුරවනවා. ඉතින් මම ත් නිකන් ඉඳීද?
“ඔයා ඔය කියන්නේ ඇත්තටද? විහිළුවටද? මට තෝර ගන්ට අමාරුයි.”
කොළ පාට ඇස් දෙකට තවම මගේ කළු පාට ඇස් දෙක කියවන්ට බැහැලු.
“මේක හරියන එකක් නෙවි”
“ඇයි?”
ඇයි? මටත් ප්‍රශ්නයක්.
සමහර විට අර ගිනි පෙනෙල්ලෙන් බැට කාපු කෙනා කණාමැදිරි එළියටත් බය නිසා වෙන්ට ඇති.
එහෙම නෙවෙන්නත් ඉඩ තියෙනවා. මනුස්ස හදවත් කොහොමටත් සංකීර්ණ වැඩියි.
“ඇස් කතා කලාට හදවත් කතා කරලා නැහැ.”
“ඉතින්?”
ඉතින්? ඇත්තටම ජීවිතේ මෙච්චර සරලද?
කඳු පල්ලමක් දිගේ ලිස්සගෙන පහතට වැටෙනවා වගේ මට දැනෙන්නේ ඇයි? ලොකුම ලොකු කාන්දමකින් මාව ඇදිල යනවා වගේ මට දැනෙන්නේ ඇයි?
ප්‍රතිරෝධය පෑම සම්පුර්ණයෙන්ම නිෂ්පල දේ වලට ප්‍රතිරෝධය පෑමේත් එක්තරා විඳීමක් තියෙනවා කියල මට හිතෙනවා.

 

Before this river
Becomes an ocean
Before you throw my heart back on the floor
Oh baby I reconsider
My foolish notion
Well I need someone to hold me
But I’ll wait for something more

ජේන් එයර්, ලිසී සහ මම


මම කියන්නේ කව්ද කියන එක මට හැමදාම තිබුන ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට ‘මට වෙන්ඩ ඕන කරන මම’ සහ ‘ස්වභාවික මම’ අතර මම දෝලනය උනා කිව්වොත් හරි. තමන්ගේ ස්වභාවයෙන් වෙනස් වෙන්ඩ හදන්නේ ඇයි කියන්න මම දන්නේ නැහැ. ඒ වගේම තමන්ව වෙනස් කරලා පෙන්නන්න හදන්නේ ඇයි කියන එකටත් මට උත්තරයක් නැහැ.
මම දන්නේ මාත් එහෙම වෙනස් පුද්ගලයෙක් වෙන්ඩ හැදුව කියන එක විතරයි.
මෙතැනදී මම කියන්නේ තමන්ගේ දුර්වලතා හඳුනාගෙන, වැරදි හදාගන්න එක නෙවි.
තමන් කව්ද කියන එක හරියට හඳුනා ගන්නේ නැතිව තමන් හිතෙන මවාගත්තු කෙනෙක් වෙන්ට යෑම.


මේ සටහන ලියන්න හිතුනේ ඊයේ බලපු ‘ජේන් එයර්’ චිත්‍රපටය නිසා. ජේන් එයර් කියන්නේ මගේ ප්‍රියතම පොත් වලින් එකක්. ගොඩක් සැරයක් කියවපු නිසා සමහර දෙබස් කට පාඩම්. මට මුලින්ම ජේන් හම්බ උනේ ගොඩක් පොඩි කාලේදී. ඒ කියන්නේ අවුරුදු 9 – 10 වගේ වයසේදී. මම කියෙව්වේ සිංහල පරිවර්තනයක්. මට මතකයි ඒකෙ එක තැනක ජේන්ට ‘මගේ අබ ඇටය’ කියල අමතනවා.


ඒ කාලේ නම් මට හිතුනේ මොන පිස්සු කතාවක්ද මේ කියල. පොඩි වැඩිනේ මම. ඒ වගේ ගැඹුරු ආදර කතා තේරෙන්නේ නැහැ අවුරුදු 10 දී. අවුරුදු 10 කියන්නේ ඉනිඩ් බ්ලයිටන් ගේ පොත් වලට පිස්සු වැටෙන කාලේ. මං පණ්ඩිත කමට බ්‍රොන්ටේ කියවන්ට ගියාට!


ආයෙමත් මට ජේන්ව මුණ ගැහෙන්නේ ඊට අවුරුදු ගානකට පස්සේ. අවුරුදු 16 දී.
හැබැයි ඒ වෙද්දී මට එලිසබෙත්ව මුණ ගැහිලා ඉවරයි. මේ කියන්නේ ප්‍රයිඩ් ඇන්ඩ් ප්රෙජුඩිස් හි එලිසබෙත් බෙනට් ගැනයි.



සා පෙළ විභාගෙට පාඩම් කරන්ඩ ඕන කාලේ මට එයාව හමු වුනේ. එලිසබෙත් ගැන කිව්වොත්, හම්බුන දා ඉඳන්  එයා තමයි මට වෙන්ඩ ඕන උනේ. රූමත් නැණවත් ලිසී! ඔයා වගේ බය නැතිව ඕන සභාවක් ඉදිරියේ මුඛරිව කෙලිලොල්ව ඉන්ට පුළුවන් නම්! කව්රු මොනා කිවත් තමන්ගේ මතයේ අභිමානයෙන් ඉන්ට පුළුවන් නම්! ඒ වගේම කියන්ට ඕන දේ අදාළ කෙනාට නියමෙට වැදෙන්න නියම වෙලාවට කියන්නත් එයාගේ තිබුනේ පුදුම දක්ෂතාවක්.


ආයෙමත් ජේන් ගැන. සා පෙළ කරලා නිකන් ඉන්න කාලේ බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් නිකමට වගේ මං ජේන් එයර් පොත අරන් කියවන්න ගත්තේ. හරි ලොකු පොතක් ඒක.
ලිසීට වගේ ජේන්ට ලස්සන කල එළියක් තිබුනේ නැහැ.
ඒත් පොත ටිකක් දුර යද්දීම ජේන් මාව ඇඬෙව්වා. එක තැනකදී නෙවි, කීප තැනකදීම. සමහර තැන් කියවද්දී මගේ කකුල් දෙක පණ නැති වෙනවා වගේ දැනුනා.



හැබැයි පොත කියවල ඉවර කරාට පස්සේ මම තීරණය කරා මම නම් ජේන් වගේ වෙන්නේ නැහැ කියල. ජේන් එයාගේ ආදරේ දාල යනකොට මම හිතුවේ ජේන් මහා මෝඩියක් කියල. මම නම් කවදාවත් ඔහොම යන්නේ නැහැ කියල මම හිතුව. ජේන්ගේ තීරණේ මට ඒ වෙලාවේ පෙනුනේ තේරුමක් නැති දෙයක් හැටියට. එයාගේ කැප කිරීමේ හැකියාව – ඒ වගේම මොන තරම් වේදනාත්මක උනත් නිවැරදි දේ කිරීම – මට හිතුනේ මෙච්චරම goody two shoes වෙන්ඩෝනෙද කියල.


නමුත් පස්සේ කාලෙකදී – මාත් ජේන්ගේ වයසට ආසන්න වයසකදී වෙච්චි සිදුවීම් පෙළක් නිසා මට තේරුම් ගියා ජේන්ට මම අච්චර ආදරේ කරන්ට හේතුවත්, එයාට මාව අච්චර අඬවන්න පුළුවන් වෙච්චි හේතුවත්.


ඒක තමයි මගේ පලවෙනි ආදරේ. දැනට අවුරුදු දහයකට වගේ කලින්. ගොඩක් ඉස්සර…ඉස්සෙල්ලම මුළු හදවතින්ම දැනෙන්න ආදරේ කරා. එයා මගේ හොඳ යාලුවෙක් (අපි එයාට ඉසුරු කියමු). නමුත්…ඒ වෙනකොටත් මගේ හොඳම යෙහෙළිය සිතාරා එයාට ආදරේ කරන්න අරන්. ඉසුරු ගෙන් සිතාරට හොඳ ප්‍රතිචාරයක් නොලැබුනාට සිතාරා ආදරේ කරේ පිස්සුවෙන් වගේ. ඒක මම වගේම අපි වටේ හිටපු හැමෝම වගේ දැනන් හිටිය. පිස්සු කෙල්ලෙක් කියල සමහරු එයාට හිනා උනා. ඊළඟ අවාසනාවන්ත කාරණේ ඉසුරුගේ හොඳම යාලුවා මට ආදරේ කරපු එක. අවුල් ජාලයක්. සිතාරා මගේ ආදරේ ගැන දැන හිටියේ නැහැ. ඒත් මම දැක්ක ඒ කෙල්ල ඉසුරු නිසා කොච්චර ඇඬුවද කියල. මගේ හිත හොඳටම කැඩුන. මගේ හොඳම යෙහෙළියගේ කඳුළු උඩින් මට හිනාවෙන්න පුළුවන් උනේ නැහැ. ඉසුරුටත් එයාගේ යාලුවාගේ ප්‍රශ්නේ. අපි දෙන්න දවසක් මිනිත්තු ගානක් එකිනෙකා දිහා බලන් හිටිය. මුලින් අහක බලා ගත්තේ මම. අහක බලද්දී මම දැනන් හිටිය ඒ අපේ ඇස් කතා කරන අන්තිම වතාව වේවි කියල.
අපි හතර දෙනා අද හතර දිහාක. අන්තිමට අපි කාටවත් අපිව අයිති උනේ නැහැ. අපි ගත්තු තීරණයන් නිසා – තව කෙනෙකුට දුකක් දෙන්න බැරි වීම නිසා – අපි සතුටෙන්ද කියල මට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් වෙන තීරණයක් ගත්තනම්…ඒත් අපිට සතුටෙන් ඉන්න පුළුවන් වේවිද?


මං කරපු වගේ වැඩක් ලිසී නම් කවදාවත් කරන්නේ නැති විත්තිය මම දැන් දන්නවා.


ඊයේ ජේන් එයර් බලද්දී මට මතක් උනේ මාවම.


කොච්චර උත්සහ කරත් මම ලිසී නෙවෙයි.

පිස්සුව



මතකද දවසක් අපි දෙන්න හම්බු උනා අහම්බෙන් යාලුවෙක්ගෙ ගෙදරදී?
කොහොමහරි කැරකිලා මං ඔයා ලඟින්ම වාඩි වෙලා තිබුන, සැපට සෝෆා එකේ.
මං වටේ දැවටී දැවටී හිටපු අර චුටි හුරතලී ව බැරිම තැන මං ඔඩොක්කුවට ගත්ත. තාම මතකයි එයාගේ ලස්සන බෝනික්කි අත පය මම ආසාවෙන් තුරුළු කරගත්ත හැටි.
‘අනේ චුටි පැටියෝ ඔයාව කන්න හිතෙනවා’
මං එහෙම කිව්වම ඔයා හිනා වේවි කාටවත් නොපෙනෙන්න මගේ අතක් ඇදල අරන් මිරිකුව. පුදුමෙකට වගේ ඔයාගේ ලොකු ගොරෝසු ඇඟිලි වලින් මගේ ඇඟිලි හිරවෙනකොට රිදුනේ නම් නැහැ.
‘ඔව් මටත්’
ඔයා හීනියට කිව්ව දේ ඇහුනේ මට විතරයි.
හොඳටම ලජ්ජා හිතිලා මම බිම බලාගත්ත.
පිස්සු කොල්ල…



හඳ විතරයි මගේ තනියට


ලොකු ලොකු දේවල් සිදුවෙන
රටේ ලෝකේ බයත් හිතෙන
පොඩි කෙල්ලෙක් නෙවෙයිනෙ මං
ලොකු ළමයෙක් ඇත්ත තමයි
ඉතින් ඕක ලොකු දෙයක්ද
මාව දාල නුඹ ගියාට

ඒ උනාට
හිතෙනවා මට
පාළු දැනෙයි හරි සැරේට
හඳ විතරයි මගේ තනියට

සරත් කාලේ ළඟ ළඟ එන
කොළ කහ වී වැටෙන හැටී
ටික ටික සීතල වෙනවා
මගේ හදවත වගෙ හරියට

වැහි බිඳු එක දෙක වැටෙන්නෙ
කඳුළු මගේ වැටෙන ලෙසට
සිද්ද උනේ මොකද කියල
අනේ කියා දෙනවද මට

නුඹේ තුරුලේ සැතපීලා
උණුහුම දැනුනත් රස්නෙට
දෑස් හැරුණු විට තේරේ
සිහිනෙකි ඒ නුඹ නැත ළඟ…

Big Big World ගීතයේ පරිවර්තනයකි ~

මුරණ්ඩු තොල්


වැස්ස වැටෙනවා පේනවා ජනේලෙන් එහා.

ඉස්සර දවසක, මේ වගේම ඉල් මහේ හැන්දෑවක වැස්සේ දිව්වා ඔයත් එක්ක. මගේ තෙත කොණ්ඩේ දිගේ බේරීගෙන ඇවිත් මල් වැටුණු ගවුමත් තෙම තෙම වැහි බිංදු දඟ කරද්දී, ඒ වැහි බිඳු පස්සෙන් පන්නපු මුරණ්ඩු තොල් දෙක කාගේද කියල ඔයාට නම් අමතක ඇති.

ඔයා ගියාට පස්සේ මම වැස්සේ තෙමෙන එක නැවැත්තුවා.

හිතන්නෙපා වහින වෙලාවට මම අඬන්නේ කව්රුත් නැති පාලුවට කියල. ගොඩක් කාලෙකට කලින් අර මුරණ්ඩු තොල් දෙක දීපු හාදු එකින් එක කඳුළු වතුරේ දිය කරලා මකවන්න ඕන නිසා මිසක්…

මුණුපොතේ නැටු බහුරූ කෝලම් නිසා නිදහස ලද්දෙමි!


මම මේ බ්ලොග් එක ලියන්න ගත්තේ කතන්දර විතරක් – සිංහලෙන් කිව්වොත් Fiction විතරක් ලියන්න කියල. පුද්ගලික අත්දැකීම් නොලිය ඉන්නයි හිටියේ…ඒත් අදනම් මට මේක නොලියම බැහැ වගේ. සමාවෙන්න යාලුවනේ, මේක කියවන ඔයාලට මේක බහු බුත නන් දෙඩවිල්ලක් වගේ පෙනෙයි. නමුත් අමාට අද ගොඩක් දුක වගේම තරහත් ගිය දවසක්. මෙහෙම ලියල හරි හිත හෑල්ලු කරගන්නයි හදන්නේ.

දන්නවනේ ඕනෙම කෙල්ලෙක්ට වැඩියෙම දුක හිතෙන වගේම තරහ යන මාතෘකාවත් මොකද්ද කියල…

අපේ ජීවිතේ දී හම්බුවෙන අය – සමහරු ඉක්මනින්ම අමතක වෙනවා. නමුත් සමහරු – කොච්චර උත්සහ කරත් එයාල අමතක වෙන්නේ නැහැ. එයාල අපිට කොච්චර රිද්දුවත් එයාලගේ නරකක් පේන්නෙත් නැහැ. ආදරේ අන්ධයි කිව්වේ ඒක වෙන්නැති.

අද මේක ලියන්න හේතු වුනු පුද්ගලයට මම ආදරේ කරන්න පටන් ගත්තේ අවුරුදු 4 කටත් කලින්. ආදරේට මම එයාට කිව්වේ චොකලට් කියල. එයාගේ කටින් පිටවෙන හැම වචනයක්ම මම අහගෙන හිටියේ ලෝකේ තියෙන පරම සත්‍යය කියනව වගේ. එයාගේ ලස්සන මුණේ මැවෙන එක හිනාවකින් මට මුළු දවසම සතුටින් ඉන්න පුළුවන් වුනා. ඒත් එයාගේ මුණේ තිබුණු ලස්සන හිතේ තිබුනේ නැතුව ඇති. නැත්තම් හදිස්සියේම එයාට පණටත් වඩා ආදරේ කරපු අමාව දාල නැව් නගීද?
එයාගේ වෙනසට හේතුව මට අදටත් හිතාගන්න බැහැ.

ඒත් ඒ කොච්චර නපුරුකම් කරත්, මේ මෝඩ අමාට එයා එක්ක තරහක් ආවේ නැහැ. ගොඩක් දුක හිතුන විතරයි. ඒත් එක්කම, මට එහෙම කරන්න මගෙන් මොකද්ද එයාට උණු වැරැද්ද කියල හැමදාම හිතුව. එයා ගැන කවුරුත් නරකක් කියනවා මට අදටත් ඇහිලා නැහැ. නපුරු උනේ මට විතරක් වෙන්නැති. එහෙම වුනේ මගේ තිබුන අඩු පාඩුවක් වෙන්නැති.

අද… මගේ කියල අයිතිවාසිකම් කියන්න බැරි උනත්, මගේ ආදරේ ට වෙන කෙල්ලෙක් ලොකුවට ලෝකෙටම පේන්න මුණු පොතේ ඇඩ් එකක් දාල…බෝයි ෆ්‍රෙන්ඩ්, ෆියෝන්සේ, ස්වීට් හාට්, ඩාලින් – ඔය වගේ නම් ගොඩක් එක්ක. මට පේන්නත් එක්ක වෙන්නැති.
ආදරේ කරන්නේ මුණු පොතේ හැමෝටම පේන්න බහු බුත ලියලද?
මට රිද්දන්න ඕනේ නම් ඔය ටෙලිෆෝන් තියෙන්නේ, කෙලින්ම කතාකරලා බනින්න නේ තියෙන්නේ.
මාව දාල ගියේ මේ වගේ ඇඩ් දාන කෙල්ලක් යාලු කරගන්නද? අඩු ගානේ ඔයා හොඳ ගැණු ළමයෙක් (ඒ මම නොවුනත්) හොයා ගත්තා කියල හරි මට හිත හදා ගන්න තිබුන. නමුත් ඔයාගේ ටේස්ට් එක මෙච්චර පල්ලෙහා වැටිලා කියල තේරුනේ අදයි.

කොහොම නමුත් චොකලට්, ස්තුතියි.
අද මට ඔයත් එක්ක ගොඩක් තරහ ගියා. ඒ ඔයාගේ සැබෑ මුණ දැක්කේ අද නිසා.
ඉතින් දැන් මම… නිදහස්!