කුටියට ආ හේවායා සිය කර වටා දැවටු සාලුව ගෙන බිත්තියේ එල්ලුවේය. ඔහු එන තෙක් බලා සිටි කුමරිය ඔහු වෙත දිව ගොස්, ඔහුගේ බඳ වටා දෙඅත් යවා තුරුළු වුයේ සෙනෙහසිනි. ඔහුගේ පිටි උරපත්තේ මුහුණ හෙවු ඇය ළය පිරෙන්නට දිගු හුස්මක් ගත්තාය.
සිය පෙම්බරයාගේ ගතෙන් නැඟ එන සුවඳ මෙන් වෙන කිසිවක් ළඳකගේ සිත උණුසුම් කරයිද?
“සීදේවි …”
එහෙත් හේවායාගේ ස්වරයෙහි වුයේ කණස්සල්ලකි.
“මම අර වෙදා ගැන ඇහැ ගහගෙනයි හිටියේ…මිනිහා කහවනු වලට කෑදරය කියල මට අහන්ට ලැබුනා නැවේ මිනිස්සුන්ගෙන්..”
“කහවණු වලට කරන්ට බැරි දේවල් බොහොම හිඟයි මැණික. අපි ළඟ කහවණු නැහැනේ…ඉතින් වෙදරාළ මුකුත් කරනවා දුටුවද?”
“මම එහෙමම දුටුවේ නැහැ සීදේවි…ඒත් ළඟකදී පටන් මිනිහා අතේ කහවණු ගැවෙසෙනවා ය කියලයි තැබෑරුමේ කියන්නේ. මට සැක ඒ ගැනයි…කොහොම නමුත් කුමරී තවම නැව ගොඩ බිමක් පෙනෙන තෙක් මානයේ නැහැ. ඊළඟ නැවතුම වෙන්න ඕනා බෙරෙනිස්…මිසරයේ…එතෙක් ඔය කොයි එකාට උනත් අපට කිසිත් කරන්ට බැහැ. මොකද අපිව කම්මුතු කරන්ට ඕනා නම් දැනටමත් නැවෙන් ලුහුදට තල්ලු කරන්ට තිබුනා! හඃ… බෙරෙනිස් ලං වද්දී අපි ප්‍රවේසම් වෙන්න ඕනා”
යටි තොල සපා ගත් කුමරිය මද වෙලාවක් කල්පනා කළාය. වෙදැදුරා ඔවුන්ව පාවා දුන්නා නම්, නැවේ ගමනාන්තයට ළඟාවීමට පෙර, ඒ කා හට දැයි සොයා ගත යුතු ය.
රජ වාසල ජීවිතයෙන් ඇය එක් දෙයක් උගත්තා නම්, ඒ කහවණු පුරඟන න් වෙතට ද, පුරඟන සියලු රහස් වෙතටද මග පෙන්වන බව ය. නෞකාවේ පුරඟන න් අතලොස්සකි. එහෙත් ඔවුන් හමුවන්නේ කෙසේද? හේවායා නම් තමා එවන් එකියක හා ගැවසෙනවාට තදින් විරුද්ධ වනු බව ඇය දත්තා ය.
එහෙත් මේ ඔහුට කළ හැක්කක් නොවේ. තමාම කළ යුත්තකි.