හැබෑ ජීවිතේ ප්‍රේමය, සුරංගනා කතාවල එන විදිහේ සුරූපී රාජ කුමාරි සහ එයාව බේරාගන්න කඩවසම් රාජ කුමාරයා ගේ ප්‍රේම කතන්දරේට වඩා ගොඩක් වෙනස් වගේම අනපේක්ෂිතයි.
හෙලන්, එයැයිට වඩා අවුරුදු දහනවයක් වැඩිමල්, දියෙස් මහත්මයා ව කසාද බඳින්ට මනාප වෙන්නේ ප්‍රේමයක් නිසා ද? මල් පිපෙන දඟකාර වසන්ත ඍතුව එක්කල සීතල දරදඬු හේමන්ත ඍතුව පෑහෙනවද?
හෙලන් අම්මම්මා ලංසි බාගයක් කියල කලින් කීවනේ…උන්දැගේ අම්ම ලංසි. තාත්ත සිංහල. ජාති ආගම් පෑහෙන්නේ නැති කසාදයක් කරගත් හන්දා පැති දෙකෙන්ම අයින් කරලා. ඒ හන්දා අම්මම්මට පොඩි සංදියේ වැඩි නෑදෑ ආස්සරයක් තිවිල නෑ. මයේ මී ආච්චි – ඒ කීවේ හෙලන්ගේ අම්මා- හෙලන් පොඩි දැරිවි කාලෙම නැතිවෙලා. මී ආතා නොහොත් හෙලන්ගේ තාත්තා තමා ආයම්ම කෙනෙක් තියාන හෙලන් දූ පොඩ්ඩ ලොකු මහත් කරලා තීන්නේ. හෙලන්ගේ තාත්තා රස්සාව කරලා තීන්නේ තේ වත්තක වෙච්චි, ලොකුවට මහා ධනස්කන්දයක් නැතිවට යහමින් කාල ඇඳලා ඉන්ට පුළුවන් කම තිවිල.
ඒ උනාට පහු පහු වෙන කොට මී අත්තා සැරේට වියදම් කරන්ට අරන්. ඉතුරුවක් නෑ වාගේම තියෙන දේඔලුත් විකුණන්ට යි උකස් කරන්ට යි අරන්. උන්දැ ගේ ඒ කල්ක්‍රියාව ට හේතු අම්මම්මා කවදාවත් කීවේ නැතුවා. කෝම නමුත් අන්තිමට අම්මම්මා ට අවුරුදු දාසය වෙද්දී, ණය බේරන්ට තිවුණු එකම දේපල වෙච්චි ගෙදරත් උකස් කරන්ට ඔන්න මෙන්න තිවිල තියෙන්නේ…
ඕන් ඔය සංදියේ තමා අම්මම්මාව අපේ සීයා නොහොත් දියෙස් මුදලාලි ට මුලිච්චි වෙන්නේ.
අඟ හිඟ කම් තිවුනට උපන් රූපේ මකන්ට බෑ නෙව. රූපේ ඉතරක්ය, ඒ ලපටි කාලෙත් අම්මම්මා ගේ ගමන බිමන බැල්ම ඔක්කොමත් නිකං මහා රාණි වාගේ ලු!
අමා ඉපදෙද්දී ඒ සීයා නැතිවෙලා. මගුල් ෆොටෝ වල දැක්කේ උස, පොඩ්ඩක් තට්ටය පෑදෙන්ට ගිය තලතුනා පිරිමි කෙනෙක්. දවසක් මට අවුරුදු දහතුනක් විතර කාලේ, අම්මම්ම එක්ක කදේ දාගෙන ඉන්න ගමං, මං ඇහුව ඇයි අම්මම්මා එච්චර ලස්සන පෙනුමක් නැති සීයට කැමැති උනේ කියල.
“අනේ දුවා පිරිමින්ගේ මොන ලස්සනද! ලස්සන නෙවි බලන්න සීය ඉන්න හැටි… ගවනර් වාගේ ස්මාර්ට් නේද”
උන්දැ එහෙම කියල හිනා උනා.
කොහොම හරි අර බක්කි කරත්තෙන් වඩින හෙලන් ව දැකල හිත ගිය දියෙස් මුදලාලි හෙලන්ගේ තාත්තාගෙන් දූ ඉල්ලලා කපුවෙක් එවල තීන්නේ දෑවැදි මුකුත්ම එපා කියලයි.
වයස ඉතරක් නෙවි, කුල ගෝත්තර, වත් පොහොසත් කම් අතින් උනත් දෙන්නා අහසට පොළව වාගේ.
සීය ගේ දෙමව්පියෝ ඒ වෙද්දී නැති වෙලා හන්දාත්, උන්දැගේ නංගිලා මල්ලිලා සේරෝම ගේ බර කරට අරං පවුල බලාගත්තු ‘ලොකු අයියා’ උනු හන්දාත්, උන්දැගේ තීරණ ඔලට මොකෙක්වත් උඩින් ගිහිං නැතුවා. ඒ හන්දා මේ කසාදෙටත් විරුද්ධ වෙන්ට කවුරුත් ඉඳල නැහැ.
ඕන් ඔහොමයි හෙලන්, දියෙස් මුදලාලි ගේ ගෙදරට ආවෙ!
ජුනි 30, 2015 @ 03:55:58
මේකටත් හේවා රාලට උනු සන්තෑසියම වෙයිද ? 🙂
ජූලි 05, 2015 @ 17:17:14
හෙලන් ගැන තව ලියහං බං ….ඔය වගෙ ගෑණු / මිනිස්සුන්ගෙ ජීවිත අත්දැකීම් වල තියනව බොහොම රසවත් සිදුවීම්…මගෙ අත්තම්මත් ඔය ජාතියෙ කෙනෙක් තමයි. 🙂