පෙම්වතියගේ අණෙන් සිය වැඩ නැවැත්වීම ට සිදුවීම නිසා දුකට පත් හේවායා මුහුණ පුළුටු කරගත්තද, ඔහුගේ මුහුණ දුටු පෙම්වතියට නම් සිනාව නවතාගැනීමට හැකිවුයේ නැති!
“ඔන්න ඉතින්.” මුදා හල වරලස නැවත සකසමින් කුමරිය හඬ අවදි කලේ හේවායා දෙස යටසින් බලමිනි.
“මේ අහන්න මගේ රන්. කියන්ට කාරනාවක් තියෙන හන්දයි මම…” ඇය සුසුමක් හෙළුවාය. මෙතෙක් වෙලා මුහුණේ රැඳී තිබුණු කෙළිලොල් නුරා ස්වභාවයද ඒ සුසුමට අසුවී ගසා ගෙන ගියාක් මෙන් ඇගේ මුහුණේ මතුවුයේ අපේක්ෂා භංග බැල්මකි. ඇයගේ වෙනස්වීම ඉවවැටුණු හේවායාද වහා ඇයගේ මුහුණ බැලීය. ඔහුගේ දෙනෙතේ වුයේ ප්‍රශ්නාර්ථයකි.
“මදුරා පුරේ ට මාව දෙන්ටයි පියරජතුමා තනන්නේ. ඉක්මනින්ම…බොහොම ඉක්මනින්ම මට නැව් නගින්ට වේවි…” ඇය කතා කලේ ඈතින් පෙනෙන නොපෙනෙන මායිමේ යන්තමින් දිස්වුනු කඳු වළල්ලක් දෙස නෙත් යොමාගෙනය. සිය හද රන් කිරුළු පලන් පෙම්බරයාණන්ගේ මුහුණ දෙස බලාගෙන, තමාට වෙනකෙක් හා සරණ යන්නට සිදු වනු බව, කෙසේ නම් පවසන්නටද?
එකදු මස් පිඩුවකුදු නොසෙල්වී, සෙල්මුවා බැල්මකින් යුතුව හේවායා මේ අසුභ ආරංචිය භාරගත් අන්දම දකින යමෙක්, මේ හේවායා නම් කුමරිය කෙරේ කිසිඳු ප්‍රේමයක් නැති අමනයෙකැයි සිතුවා නම් ඒ ස්වභාවිකය. කෙසේ වතුදු සිය පෙම්බරාගේ සියලු ඉරියව් හොඳින්ම දන්නා කුමරියට නම්, තදින් මිට මොලවා ගත් දෑතින් සහ පුට්ටු වූ දෙතොලින් යුතුව, සිටිනා හේවායාගේ සිතුවිලි හඳුනා ගැනීම අපහසු වුයේ නැති.
“සීදේවි…” හේවායා ආයාසයෙන් යමක් කියන්ට තනන බවක් පෙනුනි.
“මදුරා පුරේ අග බිසව් වුනාම මගේ සීදේවිට…” ඔහු දිව පැටලුනාක් මෙන් කතාව නැවැත්වීය. යලිත් දිගු හුස්මක් ගත හෙතෙම කතාව පටන් ගත්තේ ඔහුගේ සුපුරුදු තේජවන්ත විලාශයෙන් නොව බිඳුණු ස්වරයකිනි.
කුමරිය විසල් කරගත් දෑසින් යුතුව ඔහු දෙස බලා සිටියා පමණි.
“සීදේවි මදුරා පුරේ ගියාට මම තරහ වෙන්නේ නෑ… නමුත්… මගේ රාජ කුමාරි මා එක්කල එන්ට කැමති නම්… ඔව්… මගේ ජීවිතේ තියෙන තාක් කල් මගේ කුමාරිව මම රකිනවා.” බිඳුණු ස්වරයෙන් පටන් ගත වැකිය හේවායා අවසන් කලේ නම් සුපුරුදු ස්ථිර විශ්වාසී ස්වභාවයෙනි.
මෙතෙක් වේලා මිලින වී ගිය කුසුමක් මෙන් සිටි කුමරියගේ මුහුණ යන්තම් විකසිත වුයේ ඒ අවසන් වැකිය සවනත් වැකීමෙනි.
“මගේ රන් මාව එක්ක යනවා?” ඇය තමාට පිටුපා සිටි හේවායා ගේ ගෙල වටා මුදු මල්දමක් පලදන්නා සේ දෙඅත් යවා ඔහුගේ පිටි උරයේ හිස හොවමින් ඇසුවාය. සිය පෙම්බරා රජ අණට ද පිටුපා තමා සරණ කරගැනීමට සුදානම් බව ඇසු කුමරියගේ සිතේ ද, හුදෙක් ඕනෑම පෙම්වතියකගේ සිතක ඇතිවනවාක් මෙන් ආඩම්බරයක් මිශ්‍ර අමන්දානන්දයක් පහල වීම අරුමයක් නොවේ. රජ අණට පිටුපෑම කෙතරම් භයානකද? ඊටත් ඔහු පිටදේසක්කාරයෙකි. ඔහුට කියා උදව් දෙන්නට බලවත් ප්‍රභූන්, නෑසියන් මෙහි නැත. මිල මුදල් රන් රිදී ඔහු ළඟ නැත. ඔවුන් පැරදුනොත් පිය රජු ඇයට සමාව දුන්නත්, ඔහුට නම් අත්වනුයේ ඉතාම දුක්ඛදායී ඉරණමකි. එහෙත් ඒ සියල්ල තිබියදී ඔහු තමා වෙනුවෙන් සටන් කරන්නට ලැහැස්තිය!
එහෙත් ඇයගේ අහිංසක ප්‍රීතියට වැඩි ආයුෂ තිබුනේ නැත. සිය පෙම්වත් හේවායා ගැටෙන්නේ මුළු ලංකා දීපයේ අධිපති සිය පිය රජ සමඟය. නැත. එපමණක් නොවේ. මුහුදින් එතෙර නොදුටු කුමරාද ඔවුන්ට එරෙහි වනු ඇත. රාජධානි දෙකක් හා යුධ වදින්නට තනි හේවායකුට පිළිවන්ද?
දැඩි බියකින් කුමරියගේ හදවත ගැහෙන්නට විය. හටගත් ප්‍රීතිය ක්ෂණයෙන් නැතිවී ගියේ දැල්වෙන පහන් සිලක් හදිසියේ සුළඟට නිවී යන පරිද්දෙනි. මධ්‍යාහ්න යේ වුවද සියල්ල එකවර අඳුරු වූ ලෙසක් කුමරියට දැනුනි. තමා අසල මීට මොහොතකට පෙර සිටි හේවායා බියජනක ලෙස, ඇල්ලිය නොහැකි වේගයකින් ඈතට ඇදී යන ලෙසක් ඇයට දිස්විණි.
ඒ හැඟීම පැවතියේ තත්පර කිහිපයකි. යලිත් පියවි සිහියට එළඹී කුමරිය ඇය දුටු ඒ බියකරු දෘෂ්ටිය සිතෙන් ඈත් කර දැමුවාය.
නමුත් පසු දිනකදී, ඒ නිල්වන් කඳු වළල්ලෙන් බොහෝ ඈත, කර්කශ දේශයක නුහුරු තරු රටා අහසක් යට අවසන් හුස්ම හෙලන වෙලේ මේ සිද්ධිය සිහිය ට ආ කුමරිය, එදා ඒ දර්ශනය වුයේ අනතුරු හැඟවීමක් බව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන ගත්තාය.
මැයි 10, 2012 @ 13:11:46
/ “මගේ රන් මාව එක්ක යනවා?” ඇය තමාට පිටුපා සිටි හේවායා ගේ ගෙල වටා මුදු මල්දමක් පලදන්නා සේ දෙඅත් යවා ඔහුගේ පිටි උරයේ හිස හොවමින් ඇසුවාය /
මොකද්ද අමෝ…මේ කියන අන්ඩර දෙමළෙ?..ඈ…
පිටි උරයේ… ඈ බොල මූ හේවායෙක්ද නැත්නම් බක්කරේ කෙනෙක්ද?..යන යන තැන පිටි උරයක් කරේ තියාගෙන යන්නෙ?…….අනික තමංගෙ කෙල්ල හම්බවෙන්ට යනකොට…
ජාඩියට මූඩිය වගෙ කුමාරිත් අම්මප ඊට එහා…අර යකා පිටි උරයක් ඇන්න ආවම කියමු…මේ අම්මණ්ඩි මොන කෙහෙල්මලකටද ඒකෙ ඔළුව ඔබන්ට ගියේ?…හෙහ්, හෙහ්,මට වැවිල පේනව කුමාරි නිකං ඉන්ට ඇති සොකරි වාගෙ…මූණ පුරාවට පිටි උලාගෙන…
අනික පොඩි අන්විස්වාසබල් ගතියකුත් තියෙනව ඒ පිටි උරේ කතාවෙ…ඔය උඹ කියන කාලෙ ලංකාවෙ කොහෙද බං පිටි?
මැයි 11, 2012 @ 04:05:56
රවිගේ කමෙන්ට් එක දැක්කාම ලියන්ට හිටපු ඔක්කොම අමතක උනා…හී හී හී හී….
මැයි 11, 2012 @ 10:03:00
අපොයි එහෙම බෑ. කෝම හරි මතක් කරලා ලියන්ට !
මැයි 15, 2012 @ 05:06:26
@ Praveena,
හෙහ්, හෙහ්, ඔය කමෙන්ට් එක දැකලයි ඔහොම උනේ…….
මැයි 11, 2012 @ 09:56:37
මේකනේ රවී අයියේ සීන් කෝන් එක.
ඒ දවස්වල පිටි තිබුනේ නැත්තේ මොකෝ, ඇයි හාල් පිටි තිබුන ඕන තරම්. ඉතින් දැන් මේ හේවාය කැවුම් කන්ට හරි පෙරේතය වෙච්චි, එයයිගේ රටේ කැවුම් හාල් පිටි නැතුවා වෙච්චි, තමාගේ කෙල්ලට කියල කැවුම් හදොගෙන කන්ටයි ඔය පිටි උරේ අරන් ආවේ.
ඉතින් අපේ මේ කුමාරි ඕකට හේත්තු උන හේතුව ඊළඟට කියන්නම්. දැන් ඒ දවස්වල මේක් අප් පවුඩර් හෙම නෑනේ. ඉතින් පවුඩර් වෙනුවට හාල් පිටි තමා කස්ටිය පාවිච්චි කරේ. කොල්ල හම්බුවෙන්ට එනකොට හොඳට මේක් අප් දාගෙන කාරිය ආවට, කොහෙද ඉතින් අපේ හේවා පොරගේ සෙල්ලම් නිසා කුමාරිගේ පවුඩර් තට්ටුව අභිනිෂ්ක්‍රමනේ කරානේ. ඉතින් එයා ඒ නැතිඋනු ෆේස් පවුඩර් ආයේ ගාගන්න තමා පිටි උරේට හේත්තු උනේ.
ඔන්න දැන් තේරෙනවා නේද? මේ රජකාලේ මේක් අප් ක්‍රම හෙම මම ගල් කණු, සීගිරි කුරුටු ගී හෙම කියෝලා පර්යේෂණාත්මකව හොයා ගත්තු දේවල්. විහිළුවට ගන්ට එපා ඕන්.
මැයි 15, 2012 @ 05:21:34
@ අමා,
අම්මප කියාපං අමා….ඔන්න බලාපංකො ඒකෙත් හැටි, මම මේ අර කුමාරි පිටි උරේ ඔළු ගෙඩිය ඔබන කතාව නිකං විහිළුවට වගෙ කිව්වෙ.චේතනාන්විත වරදවා වටහාගැන්ම කියල කියන්නෙ Deliberate Misunderskirt ….අන්න ඒක පාවිච්චි කලා 🙂 🙂
දැං බලාගෙන ගිහාම මම එහෙම වැරදියට කියල හිතල තේරුම් ගත්තු විදිහ හරි නෙව, ඔන්න ඕක තමයි කියන්නෙ ” බොහෝ ඇසූ පීරූ තැන් ඇත්තාවූ යම් කුශාග්‍ර බුද්ධිමතෙක් වේද ඔහු යම් කරුණක් චේතනාන්විතවම වරදවා වටහාගන්නට තැත් කලද ඔහුගේ උප විඥානගතවූ මහා බුද්ධි මහිමය කෙසේද යත් නොදැනුවත්වම අදාල කරුණ ඔහු තේරුම් ගත් ලෙසම සිදු වන්නේය ” කියල… 😀 😀
මැයි 10, 2012 @ 16:16:00
නියමයි!!! අනතුරු දැක් වූ සිතිවිලි ගෙන අපූරු රංගනයක්. මොළය කරන විහිළු තමා!!!!
@රවී, කොහොමෙයි ඒ අහිංසක ‘සීදේවි’ එයාගෙ සිහින සිතුවිලි අස්සෙ දී “පිටි උර” දකින එකත් ඒකට ඔළුව ඇතුල් කරනවා ද නැත්ද කියලා තීරණය කරන්නෙ?!!! සිහින සිතුවිලි පාලනය කරගන්න බැහැනෙ. ඔයා දකින සිහින සිතුවිලි අස්සට රිංගන්නේ ඒ ඒ කාල වල රටේ තිබිච්ච දේවල් විතරයි ද?!!!! 🙂
මැයි 11, 2012 @ 10:02:03
ඒක තමයි නේද අක්කේ. මෙහෙම හිතන්ටත් පුළුවන්. මිනිස් හිත හරි බලවත් නේ. ඉතින් කුමාරිගේ හිත කාලය නමැති මානය ඔස්සේ ඉදිරියට ගමන් කරා අවුරුදු දාස් ගානක් ඉදිරියට. එතකොට එයා දැක්ක ලංකාවේ යම් දවසක පිටි වලට ලොකු බලයක් ලැබෙන බවත්, පිටි වලින් ආණ්ඩු හොල්ලන්ට පුළුවන් වෙන්ට බවත්, පිටි මිල නිසා ජහමනයාට වැලේ වැල් නැති වෙන බවත්. ඉතින් ඕක දැකල කෙල්ල බය උනා අම්බානට. ඔන්න ඕකයි කතාව. කොහෙද මේ රවී අයියට ඕව තේරෙන එකක්ය!!
මැයි 15, 2012 @ 05:32:33
@ aruni,
/ ඔයා දකින සිහින සිතුවිලි අස්සට රිංගන්නේ ඒ ඒ කාල වල රටේ තිබිච්ච දේවල් විතරයි ද?!!!! /
ඒකත් හරි තමයි බලාගෙන යනකොට,…ඒත් හීනයක් උනත් පොඩි යථාරූපී ගතියක් තියෙන්නෙ ඕමනාය කියලයි මට හිතුනෙ 🙂
ජීවිතේට හීන ඕන වෙනව වගේම හීනෙකටත් තාත්විකත්වයක් ලාවට වගෙ තිබ්බ නම් අගෙයි කියලයි මයෙ කම්පනාව 🙂
මැයි 10, 2012 @ 16:18:32
@ රවී, කෙසේ වෙතත් රවී දාපු ටික කියවලා හිනා වෙද්දී, අද දවසටම මදි නොවෙන්න ඔක්සිටෝසින් වලින් මගේ මොළය පිරිලා ගියා.
මැයි 11, 2012 @ 10:05:44
ඔක්සිටෝසින්! ඒකට කියන්නේ ‘ආදර හෝමෝන්’ එක කියල නේද? එහෙනම් සුදු අප්පුහාමිට තමා වාසි
මැයි 15, 2012 @ 05:39:20
@ aruni,
මවිසින් රචිත දෑ කියවීමෙන් ඔබගේ මස්තිෂ්කය ඔක්සිටොසීනයෙන් සංතෘප්ත වී ගියෙහිද, ඒ මට ද මහත් වූ ප්‍රීතියෙකි.හුදෙක් එවදන් ඇසීමෙන් පමණක් ඔක්සිටොසීනයෝ මා මස්තිෂ්කයද සංතෘප්ත කරමින් නිපැදැවුනු බැව් කෘතඥතා පූර්වකව මෙහිලා සටහන් කර තබන්නෙමි.
මැයි 11, 2012 @ 07:37:59
ඇතියන්තන් ලියලා
මේ කරුනාකොරලා මෙක ඉක්මනට ලියනවද
මන් තාම කම්පනා කරනව අවස්තා සම්බන්දය………
මැයි 11, 2012 @ 10:07:18
ඇයි අනේ ඔයා හිතුවද මේක සිංහල පේපර් එකක් කියල අවස්ථා සම්බන්ධෙ ගලපන්න? හි හි
මැයි 11, 2012 @ 07:59:27
/*ය පෙම්වත් හේවායා ගැටෙන්නේ මුළු ලංකා දීපයේ අධිපති සිය පිය රජ සමඟය. නැත. එපමණක් නොවේ. මුහුදින් එතෙර නොදුටු කුමරාද ඔවුන්ට එරෙහි වනු ඇත. රාජධානි දෙකක් හා යුධ වදින්නට තනි හේවායකුට පිළිවන්ද?*/
කවුද අනේ මේ කුමාරිකාව? කවුද මේ ලංකා දීපයේ අධිපති පිය රජතුමා? කවුද මේ කුමාරිකාවව බන්දලා දෙන්න යන මදුරාපුර කුමාරයා? දැං මේ කුතුහලයත් එක්ක අපි තව කොච්චර කල් ඉන්න ඕනෙද ඊලඟ කොටස කියවන්න? හොඳ හිතිං ඉක්මණට දාන්නයි කිව්වෙ ඊලඟ කොටස! 😛
මැයි 11, 2012 @ 10:10:31
//කවුද අනේ මේ කුමාරිකාව? කවුද මේ ලංකා දීපයේ අධිපති පිය රජතුමා? කවුද මේ කුමාරිකාවව බන්දලා දෙන්න යන මදුරාපුර කුමාරයා?//
අනේ නංගෝ එහෙමට කියල ඉතිහාසගත කස්ටිය නෙවි මේගොල්ලෝ. ඔයි මට හිතිච්ච මනංකල්පිත චරිත.
තව ඉතින්… හයියෝ ලියන්ට වෙලා යනවා නං වැඩි තමා. ලියන්ට හිතෙන්නේ නෑනේ අනේ. ඉක්මනට ලියන්ට උත්සාහ ගන්නම්කො
මැයි 15, 2012 @ 06:12:42
@ සිත්තමී,
/ කවුද අනේ මේ කුමාරිකාව? කවුද මේ ලංකා දීපයේ අධිපති පිය රජතුමා? කවුද මේ කුමාරිකාවව බන්දලා දෙන්න යන මදුරාපුර කුමාරයා? /
කුමාරිකාව – උන්මාද චිත්‍රා,
ලංකා දීපයේ අධිපති තුමා – රංජිත් විජේවර්ධන
මදුරාපුර කුමාරයා – දොන් ජෙරොනිමෝ ද අසවේදු
අනේ නඟේ..උඹටත් මේ අම්මණ්ඩි ලියන මනෝ විකාර ඔක්කොම හැබෑ 😀 😀
අන්න අර හේවාරාල නම් ඇත්තම ඇත්ත. වයිකිංල කියල හිටියෙ අර පට්ට හොරු, මං පහරන්නො රැලක්….අන්න එවුංගෙං කොලෑ වෙච්චි එකෙක් තමයි ඔය බුවා 🙂 🙂
මැයි 14, 2012 @ 21:31:36
ඔක්සිටෝසින් ‘ආදර හෝර්මොනයක්’ විතරක් නෙමෙයි. ඒක ගැහැණු පිරිමි දෙගොල්ලන් තුලම සමාජ සබඳතා වල දී trust and cooperation වැඩි කරන්නා වූ ද, දරු උප්පතියේ දී හා දරුවාට කිරි දෙනවිට ක්‍රියාත්මක වෙන්නා වූ ද මොළය නිකුත් කරන පෙප්ටයිඩ් එකක්.
කොහොමටත් මම සතුටින් ඉන්න කොට සුදු අප්පුහාමිට තමයි වාසි!!!
මැයි 25, 2012 @ 13:29:20
මේක දැක්කම මට ආපු ප්‍රශ්න
1. මේකෙ කොල්ල සිංහල කතා කරනවද? එහෙනං ඌ ඒක ඉගෙන ගත්තේ කොහෙන්ද?
2. නැත්තන් කෙල්ල කඩ්ඩ ( or any other Nordic language for that matter) කතා කරනවද? එහෙනං එයා ඒක ඉගෙන ගත්තේ කොහෙන්ද?
පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි! 😀
මැයි 28, 2012 @ 15:10:29
@මුහුදු
ඒ ගොල්ලෝ ගුගල් ට්‍රාන්ස්ලේට් යුස් කරා අනේ. 😛 😛
ඇත්තටම ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්!
මැයි 27, 2012 @ 04:54:10
බුදු අම්මෝ අක්කේ මෙහෙම ගියොත් නං මගේ මේ අලි ජීවිත කාලේ ඇතුලත මේක කියවලා ඉවර කොරන්ඩ වෙන්නෑ. ඇයි අෆ්ෆා එකක් ලියලා අවුරුද්දකින්නේ ඊළඟ කොටස ලියන්නෙ. එතකොට කලින් එක අමකත් වෙලා. ඔන්න ඊළඟ එක වත් ඉක්මණට ලියන්ඩෝ. ලියලා තියන ටික නං මරු. හැබැයි හොදටෝම මදි.
මැයි 28, 2012 @ 15:12:43
ගැත්තාට අනුකම්පා කොරන්ට අලි පැටියෝ
ඉස්තුතියි ගොඩා ආ ආ ක්ම ඇගයීමට!
ඊළඟ කෑල්ල මේ සතියේ දෙන්නම්කො!